Sunday, March 28, 2010

Of Course, Certainly, Surely, In Fact, Actually, Really, Indeed - ඇත්තෙන්ම එහෙමද?



එක් භාෂාවක භාවිතා වෙන යෙදුම් ඇතැම් විට තවත් භාෂාවකට කෙලින්ම පරිවර්තනය කරන්න බැහැ. ඕනෑම භාෂාවක මෙවැනි තමන්ටම ආවේනික ලක්ෂණ තිබුනත්, විශේෂයෙන්ම මේ වගේ වෙනස්කම් පේන්නෙ එකිනෙකට වෙනස් පසුබිම්වල වර්ධනය වුණ භාෂා අතර.

ඉතින් එකිනෙකට බොහෝ වෙනස් පසුබිම් තියන සිංහල සහ ඉංග්‍රීසි බස් දෙක අතරෙ මේ ආකාරයෙ විෂමතා තිබීම අරුමයක් නෙමෙයි. මේ වගේ තැන්වලදී කරන්න ඕනැ, ‍යෙදුමක් තවත් යෙදුමකින් පැහැදිලි කරන්න උත්සාහ කරනවා වෙනුවට, ඒ යෙදුම භාවිතා වෙන ආකාර ගැන සැලකිලිමත් වෙලා එය හරියාකාරව හසුරුවන්න ඉගෙන ගන්න එකයි.

සිංහලෙන් ඇත්තෙන්ම වැන්නක් යෙදෙන විවිධ තැන්වල, ඉංග්‍රීසියේ වෙනස් යෙදුම් කීපයක් භාවිතා වෙන ආකාරය ගැන අද ටිකක් අවධානය යොමු කරමු.

1. Of Course

(a) කෙනෙකුගේ ඉල්ලීමකට ඉතා කැමැත්තෙන් එකඟ වීමට (සිංහලෙන් කැමැත්ත දැක්වීමට ඇතැම් විට කියන ඕක අහන්නත් දෙයක්ද?” වැනි තේරුමක් මෙහි අන්තර්ගත වෙනවා.)

Will you come with us? – Of course (I will). ඔයා අපිත් එක්ක එනවද? - එනව, එනව (නැතුව?).

Can I use your pen? – Of course (you can). මට ඔයාගෙ පෑන පාවිචිච් කරන්න පුලුවන්ද? - අයියෝ, ගන්න, ගන්න.

Can we have some water? – Of course, give me one moment.  මට වතුර ටිකක් බොන්න පුලුවන්ද? - ඇයි බැරි? මට විනාඩියක් දෙන්න.

Do you mind if I come in? – No, of course not. මම ඇතුළට ආවට (ඔයාට) කමක් නැද්ද? - අයියෝ, කමක් නැහැ.

I did everything I could. – Of course (you did). මම පුලුවන් හැම දෙයක්ම කළා. - ඔව්, ඇත්තෙන්ම.
[මෙය උපහාසාත්මකව එහි අනිත් පැත්ත හැඟවීමටද (ironically) යොදා ගන්නවා. එසේ හපොයි ඔව්, කෙරුවා තමා වැනි අර්ථයක් දැක්වීමට උච්චාරණ රටාව වෙනස් කර පාව්ච්චි කරනවා.]

(b) තමන්ගේ උත්තරය සත්‍ය බව අවධාරණය කිරීමට (සිංහලෙන් ඇතැම් විට කියන එහෙම නොවෙන්නෙ කොහොමද?” වැනි අර්ථයක් මෙහි අන්තර්ගත වෙනවා.)

Did you go to work yesterday? – Of course (I did). ඔයා ඊයෙ වැඩට ගියාද? – ගියා, ගියා (නැතුව?).

Don’t you like music? – Of course I do. ඔයා සංගීතයට කැමති නැද්ද? - ඇයි නැත්තේ, මම කැමතියි.

Do you like heavy metal? – Of course not. ඔයා හෙවි මෙට්ල් සංගීතයට කැමතිද? – හ‍පෝ මම කැමති නැහැ (මොන පිස්සුද, මම කැමති නැහැ).

Is there anything wrong? – Of course there’s something wrong! මුකුත් වැරැද්දක් එහෙම තියනවද? - වැරැද්දක් තියනව නේන්නම්!

(c) තමන් කියන කාරණය පිළිගත් සත්‍යයක්, සාමාන්‍යයෙන් සිදුවන දෙයක්, බොහෝ අයට පැහැදිලි දෙයක්... වැන්නක් දැක්වීමට

Of course, there are many ways to do this. අපි කව්රුත් දන්නවා, මේක කරන්න ගොඩක් විදි තියනවා.

My friend, of course, was late. මගෙ යාළුවා නම් පරක්කු වෙලානෙ ආවෙ. (එයා පරක්කු වෙන එක සාමාන්‍ය දෙයක්.)

We can’t afford to buy that house – unless, of course, we win the lottery. අපට ඒ ගේ ගන්න සල්ලි නැහැ - අපට ලොතරැයියක් ඇදුනොත් මිසක්. (ලොතරැයියක් ඇදුනොත් නම් ගන්න පුලුවන් බව ඕනැ කෙනෙකුට පැහැදිලියිනෙ.)

***ඉහත අවස්ථාවලදී මෙන්, of course යෙදුමෙන් සාමාන්‍යයෙන් එය හා සම්බන්ධ කාරණය කව්රුත් දන්නා දෙයක් බව - එසේ නැතිනම් ඕක අහන්නත් දෙයක්ද?”, “එහෙම නොවෙන්නෙ කොහොමද?” වැනි අර්ථ - දක්වනවා. ඒ නිසා කෙනෙක් කළ ප්‍රකාශයක් අවධාරණයෙන් අනුමත කිරීමේදී ඇතැම් විට ඒ වෙනුවට වෙනත් යෙදුමක් භාවිතා කිරීම සුදුසු වෙනවා.

The cost of living is rather high these days. - It certainly / sure [අවිධිමත්] is.*
She plays the violin well. – She certainly / sure [අවිධිමත්] does.*
(මේ තැන්වල Of course it is. / Of course she does.  යෙදුවහොත් - එහි ඇති ඕක කියන්නත් දෙයක්ද?” වැනි අර්ථය නිසා - එය මුල් ප්‍රකාශය හෑල්ලුවට ලක් කිරීමක් ලෙස පෙනිය හැකියි.)
[*certainly යෙදෙන ආකාරය ගැන පහත (2) හි දක්වා තියනවා.]

*** නැතුව යන සිංහල අර්ථය ගැන සිතා අපේ සමහරුන් of course යෙදෙන තැන්වල ඒ වෙනුවට otherwise ද යොදනවා පෙනෙනවා. නමුත් otherwise පදය වෙනත් ආකාරයකට භාවිතා වන්නක් නිසා මෙය නොකළ යුතුයි.
(උදා: We have to be there by 8.30. Otherwise we’ll miss the train. අපි 8.30 වෙනකොට එතන ඉන්න ඕනැ. නැත්නම් අප‍ට කෝච්චිය වරදිනවා.) 

Will you join us? – Of course (I will.)  ඔයා අපිත් එක්ක එනවද (අපට එකතු වෙනවද)? - නැතුව?
(මෙතනදී Otherwise කියා උත්තර දීම ගැලපෙන්නේ නැහැ.)

2. Certainly  
[අවිධිමත් අවස්ථාවල, විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ, මේ වෙනුවට sure යන්නද යෙදෙනවා.]

(a) කෙනෙක්ගේ ඉල්ලීමකට හෝ ප්‍රකාශයකට නොපැකිලී එකඟ වීමට ( මෙයින් අනිවාර්යෙන්ම එකඟ වෙනවා වැනි අර්ථයක් කියවෙනවා.)

May I see your ID? [විධිමත්] / Can I see your ID? – Certainly / Sure [අවිධිමත්, විශේෂයෙන් ඇමරිකානු]. මට ඔයාගෙ හැඳුනුම්පත බලන්න පුලුවන්ද? - අනිවාර්යෙන්ම.

She plays the violin well. – Yes, she certainly / sure [අවිධිමත්, විශේෂයෙන් ඇමරිකානු] does. එයා හොඳට වයලින් වාදනය කරනවා. - ඔව් එයා ඇත්තෙන්ම හොඳට වාදනය කරනවා.
 
The cost of living is rather high these days. - Certainly / Sure [අවිධිමත්, විශේෂයෙන් ඇමරිකානු] it is. මේ දවස්වල ජීවන වියදම සෑහෙන්න ඉහළයි. - ඔව්, ඇත්තෙන්ම.

(b) තමන් කියන දෙය අනිවාර්යෙන්ම (සැකයකින් තොරව) එසේ යයි කීමට

I’ll certainly go there again./I sure will go there again. මම අනිවාර්යෙන්ම ආයෙ එහේ යනවා.

They certainly / sure [අවිධිමත්, විශේෂයෙන් ඇමරිකානු] won’t come unless you invite them personally. ඔයා පෞද්ගලිකව ආරාධනා නොකළොත් ඒ අය එන්නෙ නම් නැහැ (නොඑන බව මම හොඳින්ම දන්නවා).

The parents certainly / sure [අවිධිමත්, විශේෂයෙන් ඇමරිකානු] play a major role in a child’s education. ළමයෙකුගේ අධ්‍යාපනයෙදි දෙමව්පියන්ගේ කාර්යභාරය අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.

3. Surely

(a) විධිමත් භාවිතයේ ඇතැම් විට certainly හි (b) ට සමානව භාවිතා වුණත්, බොහෝ විට තමන් කියන දෙය එසේ වීමට ලොකු ඉඩක් ඇතැයි අනිත් අයට ඒත්තු ගැන්වීමට හා තමන් විශ්වාස කරන දෙයකට අනිත් අයගේ එකඟත්වය බලාපොරොත්තු වන අවස්ථාවල යෙදෙනවා (විශේෂයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ).
 
They surely won’t come unless you invite them personally. ඔයා පෞද්ගලිකව ආරාධනා නොකළොත් ඒ අය එන එකක් නැහැනේ. 
 
The parents surely play a major role in a child’s education. ළමයෙකුගේ අධ්‍යාපනයෙදි දෙමව්පියන්ගේ කාර්යභාරය වැදගත් වෙනවනේ.

(b) විශේෂයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ, තමන් නොසිතූ දෙයක් ගැන විමතිය පළ කරන අවස්ථාවල surely යොදනවා.

Surely you don’t think I should go there මම එහෙ යන්න ඕනැ කියල ඔයා හිතනවයි කියල හිතා ගන්නත් බැහැ!
 
4. In Fact

(a) කියූ දේකට අදාළ තවත් දෙයක් එක් කිරීමට

I meet her quite often. In fact, I even saw her yesterday. මට එයාව නිතරම මුණ ගැහෙනවා. ඇත්තම කියනව නම් ඊයෙත් දැක්කා.

(b) කියූ දේකට ප්‍රතිවිරුද්ධ යමක් කීමට

We thought the new teacher would be very strict. In fact, she is rather kind. අපි හිතුවෙ අළුත් ගුරුතුමිය හරි සැරයි කියලා. ඇත්තටම (පස්සෙ බලනකොට) එයා සෑහෙන්න කරුණාවන්තයි.

5. Actually

(a) යමක් සැබෑවටම එ‍සේ යයි කීමට 
[මෙතනදී මේ වෙනුවට really යන්නද යෙදිය හැකියි.]

He is someone who can actually / really help you. එයා ඇත්තටම ඔයාට උදව් කරන්න පුලුවන් කෙනෙක්.

What did they actually / really say? ඒ අය ඇත්තටම මොකද කිව්වෙ?

(b) යමක් තමන් හෝ අනිත් පුද්ගලයා සිතූ ආකාරයට වඩා වෙනස් බව ආචාරශීලීව කීමට

The trip wasn’t actually all that expensive. ගමනට ඇත්තටම එච්චර (හිතුව තරම්) වියදම් උනේ නැහැ.

(අනිත් පුද්ගලයා තමන් ඉන්දියානුවෙක් යැයි සිතන බව දැනගත් විටක)
I am not Indian, actually. I am Sri Lankan. මම ඉන්දියාවෙ නම් නෙමේ. මම ලංකාවෙ.

Did they say anything about me when they came here? – Actually, they didn’t come here. ඒ අය මෙහෙ ආව වෙලාවෙ මා ගැන මොනව හරි කිව්වද? - ඒ අය මෙහෙ ආවෙ නැහැනෙ.

(c) අළුත් මාතෘකාවක් හෝ අදහසක් ආචාරශීලීව එක් කිරීමට

(සංවාදයතක් මැදදී)
Actually, there’s another thing I want to discuss. තවත් දෙයක් නම් තියනව මට කතා කරන්න උවමනා.

I am happy, actually proud, to be here right now. මට සන්තෝසයි, ඇත්තෙන්ම ආඩම්බරයි, මේ මොහොතේ මෙතන ඉඳීම ගැන.

(d) අනිත් පුද්ගලයා අසතුටට පත් විය හැකි දෙයක් ආචාරශීලිව කීමට

I know you want to talk to me. Actually, I’m rather busy now, so can I call you back in half an hour? මම දන්නවා ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනැ කියලා. මේකයි වැඩේ, දැන් මට ටිකක් වැඩ වැඩියි. මම ඔයාට පැය බාගෙකින් ආපහු කතා කරන්නද?

Can you give me a lift [බ්‍රි] / ride [ඇ] when you go to Colombo tomorrow? – Actually, I am going by bus, not by car. ඔයා හෙට කොළඹ යනකොට මාවත් අරන් යන්න පුලුවන්ද? - මේකයි ප්‍රශ්නෙ, මම යන්නෙ බස් එකේ, කාරෙකේ නෙමෙයි.

6. Really

(a) යමක් සැබෑවටම එ‍සේ යයි කීමට (මෙතනදී මේ වෙනුවට actually යන්නද යෙදිය හැකියි. උදාහරණ සඳහා ඉහත actually බලන්න.)

(b) යම් ගූණයක් වැඩි වශයෙන් ඇති බව දැක්වීම‍ට adjective එකක් හෝ adverb එකක් සමග 
[මේ වෙනුවට බොහෝ විට very, quite ආදී පදත් භාවිතා වෙනවා.]

I am really sorry. මට හරි කණගාටුයි.

It was really hot yesterday. ඊයෙ හරි රස්නෙයි.

He drives really fast. එයා හරි වේගෙන් වාහනය පදවනවා.

(c) තමන් කියන දෙය අවධාරණය කිරීමට

He really must leave now. / He must really leave now. එයා දැන් යන්නම ඕනැ.

It really is too expensive. / It’s really too expensive. ඒකෙ මිළ නම් වැඩියි.

You really don’t have to go, do you?  / You don’t really have to go, do you? ‍ඔයා යන්නම ඕනැ නැහැ නේද?

I really don’t know. මම දන්නෙ  නම් නැහැ.
[පහත (d) හා සසඳන්න.]

(d) (නැත යන අර්ථයේ ප්‍රකාශයකදී) යමක් එතරම් දුරට එසේ නැති බව දැක්වීමට
[බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ මේ වෙනුවට quite ද යෙදෙනවා.]

He didn’t really / quite [බ්‍රි] agree with us. එයා අපිත් එක්ක එච්චර එකඟ උනේ නැහැ.

I don’t really / quite [බ්‍රි] know. මම හරියටම දන්නෙ නැහැ.
[ඉහත (c) හා සසඳන්න.]

(e) අනිත් පුද්ගලයා කියූ දෙයක් ගැන පුදුමය පළ කිරීමට

They are going abroad next month. – Oh, really? / Really? ඒ අය ලබන මාසෙ රට යනවා. - ඇත්තට?
[උච්චාරණ රටාව වෙනස් කර, තමන් එය විශ්වාස නොකරන බව උපහාසාත්මකව පෙන්වීමටත් මෙය යොදා ගන්නවා.]

(f) යමක් ගැන තමන්ගේ අසතුට දැක්වීමට

He really shouldn’t have talked to that guy. එයාට ඒ මිනිහා එක්ක කතා නොකර ඉන්නනෙ තිබුනේ.

You should really have called me. ඔයාට මට කතා කරන්න (කෝල් කරන්න) තිබුනනේ.

Really, we don’t have to do it now. අපි දැන් ඕක කරන්න ඕනැ නැහැනේ.

7. Indeed

(a) කෙනෙක් අසන / කියන දෙයකට නොපැකිලී එකඟ වීමට හෝ යමක් නොපැකිලී පිළිගත යුතු බව පෙන්වා දීමට

Did you go to work yesterday? – Indeed I did. / I did indeed. / Yes, indeed. ඔයා ඊයෙ වැඩට ගියාද? – ගියා, ගියා (නැතුව?).

She plays the violin well. – Indeed she does. / She does indeed. / Yes, indeed. එයා හොඳට වයලින් වාදනය කරනවා. - ඔව්, ඇත්තෙන්ම.

The parents play a major role in a child’s education indeed. ළමයෙකුගේ අධ්‍යාපනයෙදි දෙමව්පියන්ගේ කාර්යභාරය වැදගත් වෙනවාම තමයි (එසේ වන බව පිළිගත යුතුයි).

The video showed that he was indeed the culprit. වැරදිකාරයා එයාම බව වීඩියෝවෙන් පෙනුනා.

(b) විධිමත් භාවිතයේ, කියූ දේකට තවත් දෙයක් එක් කිරීමට

I meet her quite often. Indeed, I even saw her yesterday. මට එයාව නිතරම මුණ ගැහෙනවා. ඇත්තම කියනව නම් ඊයෙත් දැක්කා.

I am happy, indeed proud, to be here right now. මට සන්තෝසයි, ඇත්තෙන්ම ආඩම්බරයි, මේ මොහොතේ මෙතන ඉඳීම ගැන.

(c) විශේෂයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ, යම් ගූණයක් ඉතා වැඩි වශයෙන් ඇති බව දැක්වීම‍ට very පදය සහිත ප්‍රකාශයක 

He drives very fast indeed. එයා හරිම වේගෙන් වාහනය පදවනවා.

Thank you very much indeed. ඔයාට ගොඩක්ම ස්තුතියි.

(d) විශේෂයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ, අනිත් පුද්ගලයා කියූ දෙයක් ගැන පුදුමය හෝ අවිශ්වාසය පළ කිරීමට

They are going abroad next month. – Are they, indeed? / Indeed? ඒ අය ලබන මාසෙ රට යනවා. - ඇත්තටම යනවද? / ඇත්තට?

It was a misunderstanding. – Was it, indeed? / Indeed? ඒක වැරදි වැටහීමක් - ඇත්තටම එහෙමද? / ඇත්තට?

(e) අනිත් පුද්ගලයා නැගූ ප්‍රශ්නයකට තමන්ද දායක වීමට

Why did he ignore us? – Why, indeed? ඇයි එයා අපිව ගණන් නොගෙන හිටියේ (නොදැක්කා වගේ හිටියේ)? - හැබෑටම ඇයි?

සබැඳි ලිපි:

(සේයාරුවට ස්තුතිය: conbon33

2 comments:

  1. වැඩනිසා හැමදාම බලන්න වෙන්නෙ නැහැ. ඒත් ඔයා කරන මේ හොඳ වැඩේ දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  2. @indik
    ස්තූතියි, ඉන්දික මල්ලි. මටත් මේක ලියන්න තියන ප්‍රශ්නෙ තමයි ටිකක් වෙලාව මදිකම. ඒත් පුලුපුලුව්න් වෙලාවට ලියනවා.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails