Friday, March 19, 2010

Further or Farther - ඉංග්‍රීසි ටැපලිලි


ඉංග්‍රීසි භාෂාවෙ තියනවා සමහර වචන, ඒක දෙවෙනි භාෂාවක් හැටියට ඉගෙන ගන්න අපට විතරක් නෙමෙයි, මව් භාෂාව හැටියට කතා කරන සුද්දන්ටත් පැටලෙන. මේවා කීපයක් ගැන අද ටිකක් කතා කරන්න හිතුවා.

1. further / farther

මේ දෙකෙන් අපි කව්රුත් වැඩිපුර අහලා තියෙන්නෙ නම් further කියන එක, එහෙම නේද? ඒකට හේතුව further පදය අනිත් එක නොයෙදෙන ආකාරවලිනුත් පාවිච්චි වීම.

***ඒත් අපි මුලින් බලමු farther හි භාවිතය, ඒක වඩා පහසු නිසා.

"දුර, දුරින් පිහිටි" අර්ථය ඇති far වචනයේ comparative* ස්වරූපය ලෙස - එනම් “තවත් දුර, වඩා දුරින් පිහිටි” අර්ථයෙන් - farther භාවිතා වෙනවා. (එය adverb** එකක් ලෙසත්, adjective** එකක් ලෙස attributive** හා predicative** දෙආකාරයෙන්මත්, යෙදෙන බව නිරීක්ෂණය කරන්න.) මෙය යෙදෙන්නේ කිලෝමිටර්, සැතපුම් ආදී ඒකකවලින් මැනිය හැකි සැබෑ දුරවල් සම්බන්ධවයි.
*"As Good or Better? Or Is It Worse? - මොකද කියන්නෙ?” ලිපිය බලන්න.
**"How to Use a Dictionary - පද පෙරළි” ලිපිය බලන්න.

We have been on the way for two hours now. How farther is your home? (predicative comparative adjective) අපි දැන් පැය දෙකක් තිස්සෙ ගමනෙ. ඔයාගෙ ගෙදර තව කොච්චර දුරද?

Can you see those two houses over there? The farther one is ours. (attributive comparative adjective) ඔයාට පේනවද අර තියන ගෙවල් දෙක? එහායින් (වඩා දුරින්‍) තියන එක තමයි අපේ ගේ.

We have walked about five kilometres [බ්‍රි] / kilometers [ඇ] now. I can’t go any farther. (comparative adverb) අපි දැන් කිලෝමීටර් පහක් විතර පයින් ආවා. මට තවත් දුර යන්න බැහැ.

***අනිත් වචනය - ඒ කියන්නෙ further - බහුලව භාවිතා වෙනවා අපි සිතින් දකින, උපමාවාචික (metaphorical) දුරවල් සම්බන්ධයෙන්. එය මෙසේ යෙදෙන්නේ “තවත් දුර” අර්ථයෙන් ‍far හි comparative adverb එකක් ලෙසිනුයි.

I don’t want to take this argument further. මම කැමති නැහැ මේ වාදය තවත් දුර අරන් යන්න.

The police are investigating the matter further. පොලීසිය කාරණය ගැන තව දුරටත් හොයා ගෙන යනවා.

She tried to go further back in memory. එයා උත්සාහ කළා මතකයේ තවත් පස්සට යන්න.‍

***further වචනය comparative adjective එකක් වශයෙන් යෙදෙනවා “තවත්, අමතර” යන අර්ථය ඇතිව.

For further details, please call… වැඩි දුර විස්තර සඳහා ... අමතන්න.

Are there any further questions? තවත් මොනව හරි ප්‍රශ්න තියෙනවද?

We don’t want to take any further action. අපට ඕනැ නැහැ මීට එහා යම් පියවරක් ගන්න.

It is closed until further notice. එය පසුව දැනුම් දෙන තුරු (තව දැනුම් දීමක් එන තුරු) වසා ඇත.

***further පදය verb එකක් ලෙසත් ඇතැම් විට භාවිතා වෙනවා "වැඩි දියුණු කරනවා" අර්ථයෙන්.

He followed many courses to further his career. එයා පාඨමාලා ගොඩක් කෙ‍රුව එයාගෙ වෘත්තිය වැඩි දියුණු කර ගන්න.

I hope this meeting will help us to further our cause. මම බලාපොරොත්තු වෙනවා මේ රැස්වීම අපට අපේ අරමුණ තවත් දුර අරන් යන්න උදව් වෙයි කියලා.

*** වගේම බොහෝ අය, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය භාවිතයේ, further වචනය භාවිතා කරනවා (“තවත් දුරඅර්ථයෙන් comparative adverb එකක් ලෙස) සැබෑ දුරවල් -එනම් කිලෝමීටර්, සැතපුම් ආදියෙන් මැනිය හැකි දුරවල් - සම්බන්ධයෙනුත්.

I have to travel further to work now. = I have to travel farther to work now. මට දැන් වැඩ‍ට යන්න තවත් දුරයි.

The school is further down the road. = The school is farther down the road. ඉස්කෝලෙ තියෙන්නෙ පාරෙ තවත් එහා.

Can you move a little further? = Can you move a little farther? ඔයාට තව ටිකක් එහාට යන්න පුලුවන්ද? 


***නමුත් සැබෑ දුර ප්‍රමාණයන් දැක්වෙන මෙවැනි තැන්වල farther යොදා ගැනීම වඩාත් සුදුසු බව සමහරුන්ගේ අදහසයි.

2. between / among

මේ වචන දෙක භාවිතා වෙන්නෙ “අතර” යන අර්ථයෙන්. දෙකක් අතර නම් between ද, ඊට වැඩි සංඛ්‍යාවක් අතර නම් among ද, සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා.

She is standing between two friends. එයා හිටගෙන ඉන්නෙ යාළුවො දෙන්නෙක් අතරෙ.

She is standing among several friends. එයා හිටගෙන ඉන්නෙ යාළුවො කීප දෙනෙක් අතරෙ.

We divided the presents between the two children. අපි ළමයි දෙන්නා අත‍රෙ තෑගි බෙදල දුන්නා.

We divided the presents among the three children. අපි ළමයි තුන් දෙනා අත‍රෙ තෑගි බෙදල දුන්නා.

***නමුත් තවත් වැදගත් දෙයක් තියනවා දෙකකට වැ‍ඩි ගණනක් ගැන කතා කරද්දි. මේ කලින් බලපු තැන්වල වගේ නෙමේ, සමහර අවස්ථාවල‍ හැම කෙනෙක් සමගම වෙන් වෙන් වශයෙන් අදාළ සම්බන්ධතාවය පවතිනවා. එවැනි අවස්ථාවල දෙකකට වැඩි ගණනක් අතරත් between භාවිතා වෙනවා.

There is a cordial relationship between Sri Lanka, India and China. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය අතර සුහද සම්බන්ධතාවයක් තියනවා. (මෙවැනි සම්බන්ධතා එකිනෙක සමග පවතින නිසා ඒවා සඳහා between යොදා ගන්නවා.)

There are many differences between English, Chinese and Sinhala. ඉංග්‍රීසි, චීන සහ සිංහල භාෂා අතර වෙනස්කම් ගොඩක් තියනවා. (මෙවැනි වෙනස්කම් එකිනෙක අතර පවතින ඒවා නිසා ඒ සඳහා between යොදා ගන්නවා.)

Negotiations are going on between the Government, employers and trade unions [බ්‍රි]/ labor unions []. රජය, සේවා දායකයන්හා වෘත්තීය සමිති අතර සාකච්චා පැවැත්වෙනවා. (එකට වාඩිවී සිටියත් එකිනෙකා සමග වෙන් වෙන් වශයෙන් සාකච්චා කෙරෙන නිසා between යෙදෙනවා. නමුත් හැම දෙනාම එක්වී කතා කරන අවස්ථාවලදී among පාවිච්චි කරනවා - උදා: a conversation among three friends.)

The police searched the area between the post office, the railway station and the supermarket. පොලීසිය තැපැල් කාර්යාලය, දුම්රිය පොළ හා සුපිරි වෙළඳසැල අතර ප්‍රදේශය සෝදිසි කළා. (ස්ථාන කීපයකින් මායිම් වූ යම් ප්‍රදේශයක් - an area between several points - දැක්වීමේදී  between පාවිච්චි කරනවා, එහිදී එක් එක් ස්ථාන අතර සම්බන්ධය සැලකෙන නිසා.)

***අදාළ සම්බන්ධතාවය දෙකකට වැඩි ගණනක් අතරේ පොදුවේ පවතින එකක් නම් among පාවිච්චි කරනවා. මේ වෙනස පහත සඳහන් නිදසුන්වලින් වඩාත් පැහැදිලි වෙයි.

The children ran between trees in the park. ළමයි උද්‍යානයේ ගහෙන් ගහට දිව්වා.

The children ran among trees in the park. ළමයි උද්‍යානයේ ගස් අතර (ගස් තිබුන තැනක, ගහෙන් ගහට නෙමේ) දිව්වා.

It’s a book on wars between ancient Indian kingdoms. ඒක / මේක පැරණි ඉන්දියානු රාජධානි අතර යුද්ධ ගැන පොතක් (හැම යුද්ධයක්ම තිබී ඇත්තේ යම් රාජධානි දෙකක් අතරයි).

It’s a book on wars among ancient Indian kingdoms. ඒක / මේක පැරණි ඉන්දියානු රාජධානි අතර යුද්ධ ගැන පොතක් (අඩු වශයෙන් ඇතැම් යුද්ධවලට එක් වර රාජධානි කීපයක් සම්බන්ධ වී තිබෙනවා).

There were disagreements between the family members. පවුලේ සාමාජිකයන් අතර මතභේද තිබුනා (එකිනෙකා අතර විවිධ මත‍භේද තිබුනා).

There was disagreement about this matter among the family members. මේ කාරණය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් අතරේ (පොදුවේ) එකඟත්වයක් තිබුනෙ නැහැ.

***කෙසේ නමුත්, දෙකක් අතර නම් between ද, දෙකකට වැඩි ගණනක් අතර නම් among ද, යෙදෙන සංකල්පය නිසා ඉංග්‍රීසි මව් භාෂාව හැටියට පාවිච්චි කරන ඇතැම් අයත් මේවා ටිකක් පටලවා ගන්නවා.

3. alternate / alternative

මේ වචන දෙකම attributive adjectives වශයෙන් යෙදෙනවා. ඒ ආකාරයෙන් alternate භාවිතා වෙන විට එහි අර්ථය “එකක් හැර එකක්” යන්නයි; alternative හි අර්ථය “විකල්ප, යමක් වෙනුවට යෙදිය හැකි” යන්නයි.

The pattern had alternate red and yellow lines. මෝස්තරයේ රතුයි, කහයි ඉරි මාරුවෙන් මාරුවට තිබුනා.

The delivery van comes on alternate days. බඩු ‍බෙදා හරින වෑන් එක එන්නෙ දවසක් ඇර දවසක්. (මෙය මීට වඩා සරල භාෂාවෙන් කීමට every other day හෝ every second day යොදා ගත හැකියි. නමුත් ඇතැම් විදිමත් අවස්ථාවල alternate පදය ප්‍රයෝජනවත් වෙනවා.)

They are going to take alternative action. ඒ අය විකල්ප ක්‍රියාමාර්ග ගන්න යනවා.

We need to find an alternative plan. අපට විකල්ප සැලැස්මක් හොයා ගන්න වෙනවා.

(මෙයත් මීට වඩා සරල භාෂාවෙන් කීමට another plan හෝ some other plan යොදා ගත හැකියි. නමුත් ඇතැම් විදිමත් අවස්ථාවල alternative පදය ප්‍රයෝජනවත් වෙනවා.)

***ඇතැම් අය, විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ, “විකල්ප” යන තේරුම ඇතිවත් alternate පාවිච්චි කරනවා. සමහරුන් මෙය නුසුදුසු යැයි සලකනවා.

Is there an alternate solution? = Is there an alternative solution? ඒ වෙනුවට වෙන (විකල්ප) විසඳුමක් තියනවද?

***මීට අමතරව alternate පදය “එකිනෙක සමග නැවත නැවත මාරු වෙනවා / කරනවා” අර්ථයෙන් verb එකක් ලෙසත් භාවිතා වෙන අතර, alternative “විකල්පය” අර්ථයෙන් noun ‍එකක් ලෙසත් යෙදෙනවා.

Her mood alternated between happiness and sadness. එයාගෙ මානසික තත්වය සතුටයි, දුකයි අතරෙ මාරු වෙවී තිබුනා. 

Ask them to alternate red lines with yellow ones. ඒ අයට කියන්න රතු ඉරියි, කහ ඉරියි මාරුවෙන් මාරුවට දාන්න කියලා.

We have found an alternative. අපි විකල්පයක් (වෙනත් විදිහක්, වෙනත් විසඳුමක්) හොයා ගත්තා. 

4. effect / affect

මෙයින් effect පදය ප්‍රධාන වශයෙන් යෙදෙන්නේ බලපෑම / ප්‍රතිඵලය” යන අර්ථය ඇති noun එකක් ලෙසයි. නමුත් affect බොහෝ විට බලපානවා” අර්ථයෙන් verb එකක් ලෙස භාවිතා වෙනවා.

The high cost of living has an effect on all of us. ඉහළ ජීවන වියදමෙන් අපි ඔක්කොටම බලපෑමක් ඇති වෙනවා.

The high cost of living affects all of us. ඉහළ ජීවන වියදම අපි ඔක්කොටම බලපානවා.

***විධිමත් භාවිතයේ effect පදය “(යමකට) හේතු කාරක වෙනවා, ක්‍රියාත්මක කරනවා” යනුවෙන් verb එකක් වශයෙනුත් යොදා ගන්නවා.

The company will effect many changes in its structure next year. සමාගම ලබන අවුරුද්දේ තමන්ගේ ව්‍යුහයේ ගොඩක් වෙනස්කම් ඇති කරාවි.

***විධිමත් භාවිතයේ effects පදය තමන්ට අයිති දේ අදහස ඇති plural noun එකක් ලෙසත් ඇතැම් විට හමු වෙනවා.

The insurance policy covers all your household effects. රක්ෂණ ඔප්පුවෙන් ඔයාලගේ ගෙදර තියන දේවල් ඔක්කොම ආවරණය වෙනවා.

***විධිමත් භාවිතයේ affect පදය බොරුවට මවා පානවා” යන්න සඳහා verb එකක් ලෙසත් ගැනෙනවා.

They affected ignorance. ඒ අය නොදන්නා බව මවා පෑවා.

***විශේෂයෙන් මනෝ විද්‍යාවේදී (psychology) දක්නට ඇති හැඟීමක් අර්ථයෙන් affect පදය noun එකක් ලෙස ගැනෙන යෙදුම නම් සාමාන්‍ය භාවිතයේ විරලයි.

ටැපලෙන වචන තවත් ගොඩක් ඉංග්‍රිසියේ තියනවා. ඒක හරි අවුල් භාෂාවක්නෙ. තවත් ඒවගේ ඒවා අපි ඉදිරියට බලමු.

(සේයාරුවට ස්තුතිය: jimg944

6 comments:

  1. බොහොම ස්තුතියි, නොදන්නා දේවල්‍ වගේම දැනගෙන හිටපු දේවල්වල වැරදිත් ඉගෙනගත්තා

    ReplyDelete
  2. @තමීර | Thameera
    ප්‍රයෝජනවත් වුණා කියලා අහන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  3. Good one. Enjoy reading all your lessons. Keep up the good work.

    ReplyDelete
  4. @Desmond Samith
    Thanks for the encouragement.

    ReplyDelete
  5. ස්තූතියි සුජීව . . බොහෝම වැදගත් පාඩමක් මේ ලිපියෙන් ඉගෙන ගත්තා . . . ඇත්තෙන්ම"farther" කියන වචනේ ඉගෙන ගත්තේ අද . .ස්තූතියි ආයෙමත්

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් වුන බව අහන්න ලැබුනට සතුටුයි, දුකා.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails