ඉංගිරිසි Ingirisi

මෙම බ්ලොග් අඩවිය ආරම්භ කෙරුණේ නම් අහම්බෙන්. මීට කලින් විනෝදයට වගේ බිලොග් සටහන් ටිකක් (වෙනත් බ්ලොග් අඩවියක) ලියලා තිබුනත්, මේ මාධ්‍යය තුළින් ප්‍රයෝජනවත් වැඩක් කරන්න තරම් අවබෝධයක් මට තිබුනේ නැහැ.

කම්පියුටරයේ පහසුවෙන් සිංහල භාෂාවෙන් ලිවීමේ, කියවීමේ හැකියාව ගැන මම දැනුවත් වුණේ තරමක් මෑත කාලෙදි. අපේ භාෂාවෙන් පළ වෙන බ්ලොග් සටහන් පිළිබඳව අවබෝධයක් ඈති වුණේ ඉන් පස්සේ. විශේෂයෙන් "සිංහල බ්ලොග් කියවනය", "kottu" වෙබ් අඩවි දෙක ඔස්සේ බොහොමයක් ශ්‍රී ලාංකික බ්ලොග් අඩවි දැන හඳුනා ගැනීමට හැකි වුණා.

භාෂාවන් පිළිබඳව උනන්දුවක් දැක්වූවෙක් හැටියට මම කාලෙක ඉඳලා කල්පනා කරමින් හිටිය දෙයක් තමයි අපේ රටේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අයට අත දෙන්න ක්‍රමයක් ගැන. නමුත් එය කළ හැක්කේ කුමන මාධ්‍යයක් තුළින්දැයි හරි හැටි නිගමනය කර නොතිබූ නිසා වැඩේ දවසෙන් දවස කල් ගියා. හදිසියේම වගේ තමයි අදහසක් පහළ වුණේ සිංහල බසින් ලියා පළ කරන බිලොග් සටහන් පෙළක් ආශ්‍රයෙන් මේ සම්බන්ධයෙන් යමක් කළ හැකි බව.

කල් ඇරියොත් කවදාවත් නොකෙරෙන්න ඇති ඉඩ හොඳින් දන්නා නිසා පසු දිනම පළමු සටහන ලියා පළකළා. ඒ පිළිබඳව අනිත් අයට දැනුම් දීම සඳහා ඉහත වෙබ් අඩවි දෙකට එය ඇතුළත් කර ගැනීමට ඉතා ඉක්මනින් හැකි වුණා. එදා ඉඳන් අද දක්වා හැකි සෑම විටම මෙයට යමක් එක් කිරීමට පියවර ගත්තා. ඉදිරියටත් හැකි පමණින් එසේ කරන්න බලාපොරොත්තු වෙනවා.

පරිගණක හා අන්තර්ජාල පහසුකම් නගරබද පළාත්වලින් පිට තවමත් අඩු අපේ රටේ මේ මගින් ළඟා විය හැකි පිරිස තරමක් අඩු බව මම නොදත්තවා නෙවෙයි. නමුත් පාසැල් සහ වෙනත් ස්ථානවල ඇති පොදු පහසුකම් හරහා හෝ යම් පිරිසකට මෙයින් පලක් ගැනීමට හැකියාවක් ලැබේවි යන්නයි මගේ බලාපොරොත්තුව.
Related Posts with Thumbnails