Monday, June 25, 2012

Learn English in One Day! අපෙන්ම විතරයි


අපේ රටේ අය ඉස්කෝලේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එත් පාසැල් කාලය අවසානයේදීත් ඉංග්‍රීසියෙන් ප්‍රායෝගික වැඩක් ගන්න පුළුවන් හැකියාවක් බොහෝ දෙනෙකුට නැතිලු. එහෙනම් ඉතින් අපේ ඉංග්‍රීසි අධ්‍යාපන රටාවේ යම් වැරැද්දක් තියෙන බව පැහැදිලියි.

මේකට ප්‍රතිකර්මයක් හැටියට, ඉස්කෝලෙන් එළියට එන අය හොයනවා ඉක්මනින් හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබා ගත හැකි ක්‍රම. විශේෂයෙන්ම කතා කිරීමේ හැකියාව ලබා ගැනීම බොහෝ අය ඉලක්ක කරනවා.
ප්‍රායෝගික වැදගත්කම වගේම, කඩ්ඩෙන් කතාව දාලා අනිත් අයට පොඩි නයා පාරක් පෙන්නනත් පුළුවන්නේ. ඉතින් මේක ඉක්මනින්, ලේසියෙන් කර ගන්න පුළුවන් නම් කොච්චර හොඳද!

මේ සඳහා මුලින්ම අපේ රටේ තිබුනා මාස 6 න් ඉංග්‍රීසි උගන්වන පාඨමාලා. හැබැයි දැන් අපේ අය මාස 6 ක් මේකට නාස්ති කරන්න කැමතිත් නැහැ. ඒ නිසා එම කාල සීමාව මාස 3, මාස 2 ආදී වශයෙන් කෙටි වී ගෙන ගියා. දැන් නම් දින 5 න් ඕනෑම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්න උගන්නන තැනුත් තියනවලු (මොළේට ඉංගීසි microchip එකක් වගේ දෙයක් දානවද දන්නේ නැහැ). තව ටික දවසකින් මේක එක දවසෙන් කරන්නත් පටන් ගන්න ඉඩ තියෙනවා. ඔක්කොම දේවල් ක්ෂණිකව කරන්න හදන කාලෙනේ.

වරදවා  වටහාගන්න එපා. මම මෙයින් අදහස් කරන්නේ නැහැ නව අධ්‍යයන ක්‍රම භාවිතා නොකළ යුතුයි කියලා. ඒ වගේම හැම දෙනාටම ඉතා උසස් ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි කියලත් මම හිතන්නේ නැහැ. නමුත් තම අදහසක් තවත් කෙනෙකුට වැඩි අපහසුවකින් තොරව තේරුම් යන ලෙස ප්‍රකාශ කිරීමට සහ ඔවුන් පවසන දෙයක් වැඩි අපහසුවකින් තොරව තේරුම් ගැනීමට හැකි තත්වයකට ඒමට කොපමණ කාලයක් අවශ්‍යද යන්න වැදගත් ප්‍රශ්නයක්.

මේ පිළිබඳව අන්තර්ජාලයේ හොයලා බලද්දී හමු වුණා වෙබ් අඩවියක්: "Fluent in 3 Months". මෙය ඉදිරිපත් කරන අයිරිෂ් ජාතික Benny Lewis නැමැත්තා භාෂා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නෙක් බව පෙනෙනවා. ඔහු වරින් වර විවිධ භාෂා තොරා ගෙන, මාස 3 ක් ඇතුළත එම භාෂාවෙන් වැඩි අපහසුවකින් තොරව කතා කළ හැකි තත්වයට ඒමට ඉලක්ක කරනවා. මුලින් තමන්ට කිට්ටු යුරෝපීය භාෂා තෝරා ගත් ඔහු, පසුව චීන භාෂාව වැනි ඉගෙනීමට අපහසු යයි සැලකෙන භාෂාත් තෝරා ගත්තා. තම ක්‍රමවේදය ඉතා සාර්ථක බව පවසන ඔහු ඒ පිළිබඳ පාඨමාලාවකුත් අලවි කරනවා. නමුත් මෙතැනදී සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා.

Benny Lewis
භාෂා අධ්‍යයනය පිළිබඳ ඉතා ඉහළ හැකියාවක් ඇත්තෙක් බව පැහැදිලියි. එවැන්නෙකුට මෙවැනි දෙයක් කළ හැකි වුණත්, සාමාන්‍ය කෙනෙකුට එසේ කළ හැකි වෙයිද යන්න ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් අතින්, ඔහු යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන රටකට හෝ ප්‍රදේශයකට ගොස් එය අධ්‍යයනය කරන්නෙක්. එසේ කිරීම අත්‍යාවශ්‍ය නොවන බව ඔහු පවසතත්, අදාළ භාෂාව කතා කරන්නන් සමග සම්බන්ධ වීම සහ ඔවුන්ගෙන් උපදෙස් ගැනීම ඉතා වැදගත් ලෙස සලකනවා. එවැන්නකට අවස්ථාව ශ්‍රී ලාංකිකයන් බහුතරයකට නම් නොමැති බව පැහැදිලි කරුණක්.

ඔහු කියා සිටින්නේ ඉගෙනීම පටන් ගත් දිනයේ සිටම ඔහු එම අළුත් බසින් කතා කිරීම අරඹන බවයි; වෙනත් භාෂා භාවිතයෙන් හැකි තරම් වැළකෙන බවයි. මෙවැන්නක් කලකට ඉහත නම් ලංකාවේ ඇතැම් පාසල්වලත් ක්‍රියාත්මක වුණාලු. සිංහලෙන් කතා කළ විට දඩ ගෙවීමටත් සිදු වුණාලු. වර්තමානයේත් මෙම ක්‍රමය යම් තරමකින් උපයෝගී කර ගැනීමට ඇතැම් තැන්වල උත්සාහ කරනු පෙනෙනවා. නමුත් යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස ඇති රටකදී නම් මීට ලැබෙන අවකාශය බොහෝ සෙයින් වැඩියි.

මේ හා සම්බන්ධ තවත් වැදගත් කරුණක් වන්නේ ඉලක්ක කරනු ලබන භාෂා හසලත්වය කුමන පරාසයක් හරහා විහිදෙන්නක්ද යන්න. ඉංග්‍රීසියෙන් "fluency" යනුවෙන් හඳුන්වන ව්‍යක්තභාවය ළඟා කර ගැනීමට නම් සාමාන්‍ය ජීවිතයේ හමු වෙන ඕනෑම මාතෘකාවක් පිළිබඳ සාර්ථක සංවාදයක අපහසුවකින් තොරව යෙදීමට හැකි විය යුතු බවයි LingQ භාෂා අධ්‍යයන වෙබ් අඩවියේ නිර්මාතෘ Steve Kaufmann ගේ අදහස.

ආසන්න වශයෙන් මෙවැනි තත්වයක් තමා චෙක් (Czech) භාෂාවෙන් දින 5 ක් ඇතුළත ලබා ගැනීමට ඉලක්ක කරන බව ඔහු වරක් ප්‍රකාශ කළා. නමුත්  ඒ වන විට ඔහු මාස 8 ක පමණ සිට එම භාෂාව හදාරා ඇති බවත්, අදාළ දින 5 දී අදහස් කරන්නේ ප්‍රාග් (Prague) නගරයේදී සම්පුර්ණයෙන්ම එම භාෂාව භාවිතයට කැප වෙන්නට (total immersion) බවත් එතනදී පිළිගැනුණා. කෙසේ වෙතත් මොහුත් භාෂා අධ්‍යයනයේ අති දක්ෂයෙක් මිස සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ.

නමුත් ඔහු Benny Lewis ගේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන්නෙක්. ඔහුගේ මතය අනුව භාෂාවක් කතා කරන රටකට යාමට කලින් එම භාෂාව පිළිබඳ හොඳ මුලික දැනුමක් ලබා තිබීම වැදගත් වෙනවා. (ඇතැම් භාෂා පිලිබඳ මෙවන් හොඳ මුලික දැනුමක් ලැබීමට ඔහුගේ LingQ වෙබ් අඩවියද භාවිතා කළ හැකි බව ඔහුගේ අදහසයි.)

සාමාන්‍ය පුද්ගලයන් මේ "fluency" තත්වයට ළඟා වීම මාතෘකා කර ගත් වෙබ් පිටුවක නම් කියවෙන්නේ තරමක් බය හිතෙන කතාවක්. පර්යේෂණවලට අනුව ඒ සඳහා පැය 10, 000 ක් පමණ අධ්‍යයනය පිණිස කැප කළ යුතු බවත්, විවිධ අධ්‍යයන ක්‍රම ඔස්සේ ඒ සඳහා ගත වෙන වසර ගන්නත් එහි දැක්වෙනවා. නමුත් මෙහි අදහස් කෙරෙන හසලත්වය නම් ඉතා උසස් වුවක් බව සැලකිය යුතුයි.

ඉංග්‍රීසි භාෂාවේ හසලභාවය ලැබීම සඳහා අවශ්‍ය කාලය පිළිබඳ අදහස් විමසුමක ප්‍රතිඵලද හමු වුණා. මේ සම්බන්ධ මතවල ඇති විවිධත්වය එහි නිරූපනය වෙනවා. එයින් උපකල්පනය කළ හැකි එක් දෙයක් නම්, මෙවැන්නකට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට ඉඩ ඇති බවයි. බහුතර මතයක් වශයෙන් ගත හැක්කක් එහි දක්නට නැතත්, 26% කට මදක් වැඩි පිරිසක් අදහස් කරන්නේ අවුරුදු 5 කට වැඩි කාලයක් මීට උවමනා බවයි. (මෙහි ප්‍රතිඵල බැලීමට පෙර තමන්ගේ තේරීම ඉදිරිපත් කළ යුතු වෙනවා.)

කෙසේ නමුත් Benny Lewis මාස 3 කින් ළඟා වීමට බලාපොරොත්තු වන මට්ටම සහ මේ පැය 10, 000 ක් අවශ්‍ය මට්ටම අතර - මේ දෙතැනම "fluent" සහ "fluency" වචන යොදා ගෙන තිබුනත් - වෙනසක් තිබිය යුතු බව නම් හැඟෙනවා. භාෂා කුසලතාවය පිළිබඳ මිනුම් දණ්ඩක් ලෙස ගැනෙන  "Common European Framework" වර්ගීකරණය අනුව එම හැකියාව A1, A2, B1, B2, C1, C2  යනුවෙන් මට්ටම 6 කට බෙදෙනවා. Benny Lewis මාස 3 කින් C1 මට්ට්ටම ඉලක්ක කළත්, එය කළ නොහැක්කක් බවයි වෙනත් අයගේ අදහස. මේ ගැන ලියවුන ලිපියක ඉහත සඳහන් මට්ටම් පිළිබඳ Steve Kaufmann විස්තරාත්මකව අදහස් දක්වන වීඩියෝවක්ද අන්තර්ගතයි. එම  වීඩියෝවේ ඔහු පැහැදිලි කරන්නේ C1 හෝ C2 යන පුළුල් පරාසයක් හරහා විහිදෙන උසස් දැනුමක් ඇති මට්ටම්වලට ළඟා වීමට විශාල වශයෙන් කියවීම (සහ සවන් දීම) අවශ්‍ය බවයි.

නමුත් අපේ රටේ බහුතරයකට ඉංග්‍රීසි දැනුමේ එවන් මට්ටමක් කරා යාමට අවශ්‍යතාවයක් තිබේද යන්න සැලකිය යුතු කාරණයක්. බොහෝ දෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු සඳහා B1 හෝ B2 මට්ටමේ දැනුමක් ප්‍රමාණවත් වෙන නිසා එතනින් ඔබ්බට යාමට ඔවුන්ට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ක්‍රමවත් අධ්‍යයනයක යෙදෙන්නෙකුට අවුරුද්දකින් පමණ B1, B2 දැනුමක් ලබා ගැනීමට හැකි විය යුතු බවයි මගේ නම් පෞද්ගලික විශ්වාසය. ("Cambridge English Language Assessment" අනුව B1 මට්ටම සඳහා ගුරු මග පෙන්වීම යටතේ අධ්‍යයන පැය 350–400 පමණද, B2 සඳහා පැය 500–600 පමණද අවශ්‍ය බව කියවෙනවා.) මේ මට්ටමෙන් ඔබ්බට ඉගෙනීම පිළිබඳව Moving Beyond the Intermediate Plateau ලිපියේ වැඩි විස්තර දැක්වෙනවා.

විවිධ භාෂා අධ්‍යයන ක්‍රම පිළිබඳව මීට කලින් ලියවුන "How DoYou Learn a Language? – භාෂාවක් ඉ‍ගෙන ගැනීම ගැන ", "How DoYou Learn a Language II – විවිධ ක්‍රම ගැන", " How Do You Learn a Language III – තමන්ම ඉගෙනීම ගැන" ලිපිවලත් මේ සම්බන්ධ යම් යම් දේ සඳහන් වෙනවා.

හැබැයි ඉතින් අපේ රටේ තියනවයි කියන දින 5 න් මුලික දැනුමක් නැති කෙනෙකුට ඕනෑම දෙයක් ඉංග්‍රීසියෙන් කීමට හැකියාව ලබාදෙන ක්‍රමයක් ගැන නම් කොහෙන්වත් හොයා ගන්න බැරි වුණා. ඒක total immersion අවශ්‍ය වන ක්‍රමයකුත් නෙමේද කොහෙද? මේ වගේ දේවල් ගැන හොයලා බලලා ජාත්‍යන්තරයට අරන් ගියොත් කොහොමද රටට ලැබෙන විදේශ විනිමය?  

(Image credit:
Shane Global Language Centres)


16 comments:

  1. මම හිතන්නෙ නෑ ඔය විධියට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් කියල සති කීපෙකුන් වුණත්. අන්තිමේදි ක්ලාස් එක මැදදි 'ටොයිලට් ගිහින් එන්නද?' අහනව වගේ දෙක තුනක් පාඩම් වෙයි. ඔබතුමා කියපු විධියටම භෂා ඉගෙනීමේ හැකියාව ටිකක් වෙනස් එකක්. නියම විධියට භාෂාවක් ඉගෙනගන්න නම් අපි අඩු තරමෙ මව් භාෂාව හරියට දැනගන්න වෙනව. එතකොට භෂා දෙක සන්සන්දනය කරමින් ඉගෙනගන්න ලේසි වෙන්න පුළුවන්. එහෙම සන්සන්දනාත්මකව ඉංග්‍රීසි උගන්නපු පොතක් තමයි ඇන්ටනී ප්‍රනාන්දු මහත්තයගෙ 'ඉංග්‍රීසියට සරළ මග' (නම හරියට මතක නෑ) කියන පොත. ඒකෙ තියෙන සැසඳීම් ගැන ඒ දවස්වල මට පුදුම හිතුණ. වැඩේ කියන්නෙ මම සිංහලත් හරියට දන්නෙ නෑනෙ... :P

    කාලයක් වෙනත් භාෂාවකින් චිත්‍රපටි බලද්දි, වෙබ් අඩවි කියවද්දි වාක්‍යයක් ගොඩනැගෙන විධිය ගැන ඉබේම අදහසක් පහල වෙන්න පුළුවන්. නමුත් වචන දැනගන්න නම් ඒ භාෂාවෙන් කියවන්නම වෙනවා. කතා කරන්න අවශ්‍ය නම් තනියම හරි අභ්‍යාස කරන්නම වෙනවා. උදව්වට දන්න කෙනෙක් හෝ සමකාලීනයෙක් ඉන්නවනම් අගේ නිම කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මමත් එකඟ වෙනවා. ඉක්මකින් සීමිත දැනුමක් ලබා ගන්න පුළුවන් වුනත්, හොඳ දැනුමක් ලබා ගන්න නම් භාෂා ව්‍යවහාරය සමග සමීප වෙන්න කාලය කැප කිරීම අත්‍යවශ්‍යයි කියන එක තමයි මගේ මතයත්.

      Delete
    2. දෙවෙනි භාෂාවක් ඉගැන්වීමේදී මව් භාෂාව යොදා ගැනීම නුසුදුසු බව පහුගිය අවුරුදු 50 ක පමණ කාලයක් තුළ පැන නැගුන මතයක්. ඒ අනුව ඉගැන්වීමදී උගන්වනු ලබන භාෂාව පමණක් භාවිතා කළ යුතු යයි අදහස් කෙරුණා.

      නමුත් වර්තමනයේ මිට ප්‍රතිවිරුද්ධ මතයක්ද ගොඩ නැගී තියනවා. ඒ අනුව පැවසෙන්නේ, ගුරුවරයා ප්‍රධාන වශයෙන් උගන්වනු ලබන භාෂාව භාවිතා කළ යුතු නමුත් අවශ්‍ය තැන්වලදී - පැහැදිලි කිරීමක්, අර්ථ දැක්වීමක් වැන්නක් සඳහා - ශිෂ්‍යයන්ගේ මව් බස යොදා ගැනීම ප්‍රතිඵලදායක බවයි. (මෙය Sandwich Technique ලෙස හැඳින්වෙනවා.)

      මගේ පෞද්ගලික මතයත් මේ දෙවෙනි ක්‍රමය වඩා යෝග්‍ය බවයි. එය සාර්ථක බව මගේ අත්දැකීමයි.

      Delete
    3. අපේ ඉස්කෝල වලින් හරි දැනුමක් නොලැබෙන්නෙ මේ හේතුව නිසා. ගුරුවරුත් සිංහලෙන් කතාකරන අතරෙ පාඩම් පොතේ තියෙන ටිකම ඉංග්‍රීසියෙන් කියවනවා. එහෙම වෙද්දි අන්තිමේ පාඩම් පොතේ ප්‍රශ්ණ වලට උත්තර ලියන එක මිසක් හරියකට ඉංග්‍රීසියක් ඉගෙන ගැනෙන්නෙ නෑනෙ. මේකෙදි ඉතිං පන්තියෙ ඉන්න ළමයින්ගෙ දැනුම් මට්ටම වෙනස් වීමත් බලපානවා. මොකද ඉංග්‍රීසියෙන්ම කරන්න ගියොත් සමහරුන්ට පන්තිය බෝරිං වෙයි. ඔය ක්‍රම දෙකටම උගන්වන ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙන නිසා මමත් ඔය දෙවෙනි ක්‍රමේ හොඳයි කියලයි හිතන්නේ... :-)

      Delete
  2. "මගේ පෞද්ගලික මතයත් මේ දෙවෙනි ක්‍රමය වඩා යෝග්‍ය බවයි. එය සාර්ථක බව මගේ අත්දැකීමයි.".....
    I agree with you.

    ReplyDelete
  3. මේ උදවිය සොප්ට්වෙයා එකක්වත් හදලද දන්නෙ නෑ මොලේට භාෂාව ඉන්ස්ටෝල් කරන්න. නැත්නම් දවස් පහෙන් නම් අලුත් භාෂාවක් සාමාන්‍ය මට්ටමටවත් ඉගෙන ගන්නව කියන එක හිතාගන්නත් අමාරුයි. සිංහලයො වෙලා ඉපදිලාත් අපි තවම සිංහලවත් හරියට දන්නෙ නෑ දන්නෙ දවසෙ ඉඳන් භාවිතා කරලත්. ඉතින් වෙන භාෂාවක් ?

    ReplyDelete
    Replies
    1. හැමදේම ක්ෂණිකව ලබා ගන්න හදන කාලෙක ඕවත් විශ්වාස කරන අය ඉන්නවා ඇති.

      Delete
  4. ඉතා වැදගත් ලිපියක්. සුලු තාක්ෂණික කාරණාවක් කියන්න හිතුණා. B2 මට්ටමට වසරකින් යන්න පුළුවන් වන බව නම් සැක සහිතයි. ඒත් ලියවිල්ල නම් මරු

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි,

      B2 මට්ටමට වසරකින් යාම අමාරු වුණත්, ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ. උදාහරණයක් හැටියට German භාෂාව B2 දක්වා ගෙනියන crash course එකක් ඒ දවස්වල Geothe-Institut ආයතනයේ කෙරුණා මතකයි. ඒ වගේම ස්වඅධ්‍යයනය කරන අය අතර ජනප්‍රිය Assimil පාඨමාලාවලත් B2 ඉලක්ක කළ කොටස අවුරුදකට අඩු කාලයකින් සම්පුර්ණ කළ හැකියි.

      කොහොම වුණත් මේ සඳහා ඉගෙනගන්න කෙනාගේ කැපවීම, ඒ සඳහා යොදවන කාලය, ප්‍රයෝගික පුහුණුවට දක්වන සැලකිල්ල වගේ දේ ඉතා වැදගත් වෙනවා.

      Delete
  5. මගේ පුද්ගලික අදහසක් මේක. ඉතා හොද අධ්‍යනයකින් පස්සේ මේ විදිය ලියන්නේ.අපේ පාසල් වෙලා පොත් කවුරුන් හෝ හිතා මතාම අවුල් කරලා තියෙනව කියලයි මගේ මතය.මම භාෂා කීපයක් කථා කරන කෙනෙක්.අ වගේම නොයෙක් භාෂා කථා කරන ජාතිකයින් (රටවල් 12 විතර ) මම ආශ්‍රය කරලා තියෙනවා.එත් අපේ රටේ අය තරම් ඕනෑම භාෂාවක් ඒ ලෙසටම ඉක්මනින් අල්ල ගන්න පුළුවන් ජාතියක් මම තාම දැකල නැහැ.එහෙනම් අයි අපිට ඉංග්‍රීසි බැරි? අපේ ඉංග්‍රීසි පෙළ පොත වල් බූරු ක්‍රමයකට හදල තියෙන නිසයි.මේවට වග කියන්න ඕන කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.රටක නුගතුන් වැඩි වෙන තරමට නායකයින්ට ඒ රටවල් පාලනය කරන්න ලේසියි.පාසල් වල මෙතරම් සම්පත් තියෙද්දිත් අපිට ටියුෂන් පිහිට ලබන්න සිද්ධ වීම ජාතියේම අභාගයකි.මම නැවතත් කියනවා අපිට ඉංග්‍රීසි බැරි වෙන මොකවත් නිසා නෙමේ බැරි කරලා තියෙන නිසයි.

    ReplyDelete
  6. කෙටි කලකින් අවබොධ කරගන්න පුළුවන් උනත් ඉංග්‍රීසි හෝ වෙනත් ඕනැම භාෂාවක් භාවිතා කරන්න අමාරුයි කියලා හිතෙනවා. ප්‍රාෙයා්ගික භාවිතායට විවිධ අභ්‍යාස තුලින් අවුරුදු 3-5 අතර කාලයක් තුලින් හොද දැනුමක් ඇති පුද්ගලයකු බිහි කරන්න පුළුවන් කියලා තමයි මට නම් හිකෙන්නේ. ඉංග්‍රීසි කියන්නේ කුමක්ද නොදන්නා අයට නම් මාසෙනුත් පුළුවන් ඇති. මොකද නොදන්නා සාගරය මේය යැයි විලක් ලගට ගොස් පෙන්නුවොත් එය පිළිගන්න අධ්‍යාපනය ලබන්නන්ට සිදුවෙලා තියෙන නිසා. හේතුව වන්නේ ඉංග්‍රිසි ගැන කිසිවක් නොදන්න නිසා. මේ බව ඉංග්‍රීසි පිළිබදව හොදින් ඉගෙන ගත් කෙනෙකුගේන් ඇහුවොත් හොදට කියාලා දෙයි. එම නිසා අවබොධ කර ගැනීමට දිනයක් වුවද ප්‍රමාණවත් වුවත් එය ප්‍රාෙයා්ගික භාවිතායේ යොදවන්න අවුරුදු තුනකටත් වැඩි කාලයක් යන බව මගේ විස්වාසයයි. විශේෂයෙන් ඉංග්‍රිසියේ වචන ඛාණ්ඩ ගැන හොද අවබොධයක් තුලින් වාක්‍යවලට ඒවා යොදන්නේ කුමන ආකාරයෙන්ද යන්න දැනගැනීම තුලින් හොද ඉක්මන් දැනුමක් ලබා ගත හැකි බව මම ප්‍රාෙයා්ගිකව අත්හදා බලා ඇත්තෙමි. සුජීව මහත්මයා ගොඩාක් පිං ඔයා මේ කරන සේවාවට. මේ පෝසිට් එකෙන් මගෙන් වරදක් නොවුනා කියලා මම හිතනවා මොදක මට දැනෙන ඇත්ත මම කිවුවේ.

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ ලිපිය හොඳින් කියවා බැලුවා යයි සිතනවා. එසේ නම් මා එහි කර ඇත්තේ ලංකාවේ ඇතැයි කියනා ඉතා කෙටි ක්‍රම වර්ණනා කිරීම නොව, ඒවා සියුම් සමච්චලයකටද ලක් කිරීම බව පෙනෙන්නට ඇති. ඊට අමතරව, භාෂාවක් නියමාකාරයෙන් ඉගෙනීමේදී පවා විවිධ අය භාවිතා කරන ඉලක්කවල විවිධත්වය නිසා ඒ සඳහා ගතවන කාලය පිළිබඳ පිළිබඳව ඇති විය හැකි පැටලිලි ගැනද සාකච්ඡා කර තියෙනවා. ඔබ “විලක්” හා “සාගරය” උපමා කර පෙන්වීමට උත්සාහ කරන වෙනසද මම Benny Lewis ගේ මූලික ඉලක්කය හා පැය 10,000 මට්ටම අතර වෙනස මගින් පෙන්වා දී තිබෙනවා.

      මෙහිදී මගේ පෞද්ගලික අදහස ලෙස, B1 හෝ B2 මට්ටම අවුරුද්දකින් පමණ ළඟා කර ගැනීමේ ඉඩක් ඇති බව දක්වා ඇත්තේ මා එය මෙරට හා එතෙර අත් දැක ඇති නිසායි. (එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපුටා දක්වා ඇති දත්ත අනුවද මෙය කළ නොහැක්කක් බව පෙනෙනවා ඇති. නමුත් භාවිතා කරන අධ්‍යයන ක්‍රම, ශිෂ්‍යයාගේ කැපවීම හා දක්ෂතාවය වැනි දේ අනුව මේ කාල පරාසය වෙනස් විය හැකි බව සැලකිය යුතුයි.) කෙසේ නමුත් එය ඉතා උසස් දැනුම් මට්ටමක් නොවන බවත්, සාමාන්‍ය ජීවිතයේ යමක් කර ගැනීමට හැකි තත්වයක් බවත් තේරුම් ගත යුතුයි. එයින් ඔබ්බට ඉගෙනීම ඉතා වටිනා දෙයක් නමුත්, ලංකාවේ ඇති තත්වය බහුතර පිරිසක් මේ මට්ටමටවත් ළඟා නොවීම වන නිසයි මේ ගැන විශේෂයෙන් සඳහන් කර තියෙන්නේ.

      ඔබ “මේ බව ඉංග්‍රීසි පිළිබදව හොදින් ඉගෙන ගත් කෙනෙකුගේන් ඇහුවොත් හොදට කියාලා දෙයි” යන්නෙන් නම් කර ඇත්තේ මටත්, මේ ලිපියේ සඳහන් අනෙකුත් අයටත් අපහාසයකි. පම්පෝරි ගැසීමට ඉතා අකමැති නමුත්, මම යුරෝපයේ භාෂා ශාස්ත්‍ර හදාරා ඉංග්‍රීසි හා තවත් ඇතැම් භාෂා ප්‍රවීනත්වය ලැබුවෙක් බව ඔබේ දැන ගැනීම පිණිස සඳහන් කිරීමට අවශ්‍ය බව පෙනේ. එසේම මා මේ ලිපියේ උපුටා දැක්වූ අයද මූලික ඉලකක්යෙන් නොනැවතී ප්‍රවීනත්වය දක්වා භාෂා උගත්තෝ බව සැලකිය යුතුය. ඊට අමතරව, ලෝ පතල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය උපුටා ඉදිරිපත් කර ඇති දත්ත භාෂා විශාරදයන් විසින් අධ්‍යයන මගින් සොයා ගත් ඒවා බවට සැකයක් නැත. ඔබ මේ කිසිවෙක් “ඉංග්‍රීසි පිළිබදව හොදින් ඉගෙන ගත් කෙනෙකු” ලෙස නොසලකනේ නම් එය විමතියට කරුණක් බවද නොකියාම බැරිය.

      Delete
  7. ඉස්සෙල්ලාම කියන්නම් මෙක ඔබතුමා විසින් දාපු පෝස්ට් එකක් විදිහට හිතල නෙමෙයි මම මගෙ කතාව කිවුවේ. සාමාන්යස විදිහට කමෙන්ට් එකක් කලේ මොකද බ්ලොග් වල මම වැඩිය කමෙන්ට් දාල නැහැ.
    ඉතින් සුජීව මහත්තයා “මේ බව ඉංග්රී සි පිළිබදව හොදින් ඉගෙන ගත් කෙනෙකුගේන් ඇහුවොත් හොදට කියාලා දෙයි” යන වාක්ය“ ලියපු මගෙ හිතේ තියන මානසිකත්වය තමයි මෙතනදී වැදගත්ම වෙන්නේ. මම ඒක කිවුවේ ඇත්තටම ඔයා වගේ අයට තමයි. මොකද මට ආපු ගැටළු හැම එකම ඔබතුමා සාර්තකව විසදලා දුන්න නිසා මම කොහොමත් දැනගෙන හිටියා ඔයා උගත් කෙනෙක් කියලා.තවත් විදහකට කිවුවොත් FB එකේ මම දැකපු දක්ෂම කෙනා ඔයා තමයි සුජීම මහත්තයා.(ඔබ තුමා සතු ඔය දැනුම මාසයකින් දෙකකින් හෝ අවුරුද්දකින් ලබා ගත්තු දැනුමක් නොවන බවත් විශාල කැපකිරීම් කරල ගත්ත එකක් කියලා මම අනිවාර්යයෙන් දන්නවා.. දැනෙනවා. ඔබ තුමාගේ දැනුම ගැන පුදුම වෙලා තමයි දවසක් මම ඒක ඇහුවේ.) වචන ගැලපීමෙිදී එතන මම ටයිප් කරපු විදහ වැරදි ඇති. හැබැයි ඒ කතාව මම මෙහෙම කිවුවොත් "අහගන්න පුළුවන් වෙයි, දැනගන්න පුලුවන් වෙයි, අහගත හැකියි, ඒ සේරම අපහාසාත්මක නේද? මට එතනදී කරන්න තිබුන එකම දේ මම කරා. ඒ ඇරෙන්න අපහාසයකට නෙමෙයි එහෙම ටයිප් කලේ. අපහාස මානසිකත්වයක් තියෙන කෙනෙකුට තියෙන්නේ සාමාන්යෙනයන් තව කෙනෙකුගෙන් අහන එක මදි පුංචිකමක් හැටියට.. නමුත් මම නොදන්න දේ ඔබතුමාගෙන් ඇහුවේ මම එහෙම නොවන නිසා..
    අනෙක් අතර පොස්ට් එක දැකපු මට දැනුනේ ලංකාවේ තියෙන මාස 2 හෝ 3 පාඨමාලා ටික... ඒ අනුව මට හිතුනා මේ මොන බොරුවක්ද කියලා... ඉංග්රීෙසි භාෂාව පිළිබදව සිලබස් එකක් හැදුවොත් ඒ ගුරුවරු ටිකටත් ඉංග්රී සි මුල ඉදලා ඉගෙන ගන්න වෙයි කියලා මට හිතෙනවා...වැඩිය ඕන නෑ අපි ගණන් නොගන්න නිපාත පදවල හැසිරීම ඉගෙන ගන්නම අවුරුද්දක් යයි. ඒ විදිහට සම්පූර්ණ ඉංග්රි සි දැනුම මෙන්ම ඒක භාවිතා කරන්න මාස කීපයකින් පුළුවන් කියලා ලියලා තියනවා කියලා තමයි මම අදහස් කලේ.
    අනිත් අතට මගෙ පෝස්ට් එකෙන් එතනින් විතරක් කාටවත් අපහාසයක් කරන්නේ ඇයි. එහෙනම් මුල ඉදලම අපහාසෙ තියෙන්න ඔන නේද? FB එක පුරාවටම එහෙනම් මගේ අපහාස කතා තියෙන්න එපායැ..වචනයක් නොගැලපුනා කියලා එහෙම හිතන්න එපා.. කරුනාකරල....එහෙම හිතනවා නම් මටත් ලැජ්ජයි..
    ගොඩාක් දුරට මම කිවුවේ ලංකාවේ තියන තත්වය ගැන හිතලා.. අද නොරැවටුන ළමයෙක් නැති තරම් ඇති. කතා කරන්න පුළුවන් රචනාවක් ලියන්න බෑ. පාඨමාලාව ඉවරවෙලා ගෙදරදි තමයි දන්නේ ඉංග්රීඇසි අවබොධ කරගෙන නෑ කියලා. එයාල දන් නෑ මීට පස්සෙ ඉගෙන ගන්න ඕන කාගෙන්ද කියලා. ඒ අපේක්ෂා භංගත්වය. මෙතනදී කියන්න පුළුවන් හොද ගුරුවරයෙක් හොයා ගන්න තිබුන කියලා.. ඒක ප්රාලයෝගික නෑ..
    සුජීව මහත්තයා මම ඉංග්රීොසි මාතෘකාවක් යටතේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයනවා. පහුගිය දවස් ටිකේ ඔබතුමාගෙන් කීයක් විසද ගත්තද කියලා ඔබතුමා දන්නවා ඇති නේද? ඒ මගේ හැටි. සමහර විට ඒ මානසිකත්වයෙන් මම ඉංග්රි්සි ඉගෙන ගන්න බැරිි බව කියන්න ඇති. අනිත් අතට දවසට පැයක් විතර තමයි මම ඉගෙන ගන්න මිඩංගු කරන්නේ.. එතකොට මාසෙටම පැය 30යි.10000 ඉලක්කයට ඒනන කචේචර කාලයක් යයිද? ඉතින් ඇත්තටම මම කතා කරලා තියෙන්නේ මම ගැන විතරයි. දැන් තෙරෙනවා දුර දිය නොබලා කියපු කතාවක වැරැද්ද? අපිට රස්සා කර කර ඉගෙන ගන්න බැරි උනාට දවසට පැය 10 කටත් වඩා කැප කරන්න පුළුවන් ළමයි ඉන්නවා.. අපිට ප්රරශ්ණ වැඩියි. දරුවන්ට එහෙම සංකීර්ණ ප්ර ශ්ණ නෑ.. මම එතනදිත් වැරදි ඇති කියලා දැන් හිතෙනවා..
    ඉතින් අවසානේදිත් කියන්නම්...හදවතින්ම ඔබ තුමාගේ බ්ලොග් එක ගැන සතුටු වෙමින් මම ටයිප් කලේ ලංකාවේ දරුවන්ට හොද දැනුම ගන්න පුළුවන් තැනක් මේක කියලා හිතාගේන. ඒ බව මම මීට කලිනුත් කියලා තියනවා.. එහෙම නැතුව ලොකු ටෝක් දාගෙන පොරක් වෙන්න නම් නෙමෙයි. මම නිකන්ම නිකන් ලංකාවේ උසස් පෙල යන්තම් පාස් වුන කෙනෙක් විතරයි.ඉස්කොලෙන් අස්වෙනකොට මට ඉංග්රිකසි වලට තියෙන්නේ “F” එකක්. අපහාසය මම දන් නෑ. විශේෂයනේ උගතකුට අපහාස කරන නරුමයෙක් නෙමෙයි මම. යහපත් චෙතනාවෙන් ඔබතුමා වගේ අය කරන වැඩේට මල් දානවා මිසක් වෙන දේවල් මම දන්නෑ...මට නැතත් අතරමං වෙලා දගලන අපේ රටේ දරුවන්ට ඔබ තුමාගේ පෝස්ට් වටිනවා. එහෙම කෙනෙකුට ප්රවසිද්දියේ අපහාස කරන්න කිසිම අවස්තාවක පෙළබෙන් නෑ....වරදවා තේරුම් ගන්න එපා... (අනිත් අයගේ පෝස්ට් වලට රිප්ලයි කරල තිබුන නිසා මම නිකමට බලපුවහම තමයි ඔබ තුමාගේ පෝස්ට් එක දැක්කේ..නැත්නම් මේක නිවරදි කරන්නවත් මට සිදුවෙන් නෑ)....ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. එහෙම නම් වැරදි අදහසක් මම අරන් තියෙන්නේ. කණගාටුයි ඒ ගැන.

      භාෂාවක් ඉගෙන ගන්න ඔබ තුළ උනන්දුව නිසාම ඔබේ සාර්ථකත්වය සහතිකයි. දවසකට කෙටි කාලයක් ගත කලත් දිනපතාම පාහේ ඉගෙනීම තුළින් ලැබෙන ප්‍රතිඵල ඉහලයි. Intermediate මට්ටමෙන් ඔබ්බට යන අයට වැදගත් යයි සිතුනු කරුණු කීපයක් ගැන ඊයේ ලියූ ලිපියක සබැඳිය මේ ලිපියේ මැදට දැන් දමා තිබෙනවා. එය ඔබටත් ප්‍රයෝජනවත් විය හැකියි.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails