Friday, June 22, 2012

What AreYou Afraid Of? බයක්ද?



ඉංග්‍රීසියේ සමහර වචන එක්ක යොදන prepositions ඒ වචන පාවිච්චි වෙන ආකාරය අනුව වෙනස් වෙන අවස්ථා කීපයක් අපි "Do You Agree with Me? එකඟද, නැද්ද?" ලිපියෙන් බැලුවා. තවත් මෙවැනි තැන් තියෙනවා. ඇතැම් වචන එක් අර්ථයක preposition පදයක් සමගත්, වෙනත් අර්ථයක තනිවමත් භාවිතයේ යෙදෙනවා.

1. afraid of / afraid to / afraid for

බයක් , කණස්සල්ලක් වැනි හැඟීමක් ඇති බව දැක්වීමට ගැනෙන මෙ පදය බොහෝ විට භාවිතා වෙන්නේ "of" සමගයි.

What are you afraid of?
ඔයා මොකකටද බය (මොකක් ගැනද කණස්සල්ලෙන්)?

I'm not afraid of that guy.
මම ඒ මිනිහට (ඒ යකාට) බය නැහැ.

He's afraid of going out in the dark.*  
එයා කළුවරේ එළියට යන්න බයයි.
  
*යමෙක් යමක් කිරීමට බය (හෝ බයක් නැති) බව ප්‍රකාශ කිරීමට "of" වෙනුවට "to" ද යොදා ගත හැකියි. (නමුත් ක්‍රියා රූපය වෙනස් කළ යුතුයි.)

He's afraid to go out in the dark.  
එයා කළුවරේ එළියට යන්න බයයි.

යම් දෙයක්/කෙනෙක් වෙනුවෙන් බියක්, කණස්සල්ලක් ඇති බව දැක්වීමට "for" පාවිච්චි වෙනවා.

I’m afraid for my brother.
මට මගේ අයියා/මල්ලි ගැන බයයි. (ඔහුට කරදරයක් වේදැයි බයයි.)

His family is afraid for his job.
එයාගේ පවුලේ අය එයාගේ රස්සාව ගැන බයෙන් (රස්සාව නැති වෙයිදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

2. fear / fear for / fear to

යමකට/යමෙකුට  බියක් ඇති බව කීමට ක්‍රියා පදයක් වශයෙන් මෙය යෙදෙන විට preposition අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බිය ඇත්තේ යමක්/යමෙක් වෙනුවෙන් නම් (කලින් උදාහරණයේ මෙන්) "for" පාවිච්චි කෙරෙනවා. යමෙක් යමක් කිරීමට බය (හෝ බයක් නැති) බව ප්‍රකාශ කිරීමට විධිමත් භාවිතයේ “fear” හෝ “fear to” (වෙනස් ක්‍රියා රූප සමග) යොදා ගත හැකියි.   

We all fear our boss.
අපි ඔක්කොම අපේ ලොක්කට බයයි.

We fear for our children.
අපට අපේ ළමයි ගැන බයයි. (ඔවුන්ට කරදරයක් වේදැයි බයයි.)

We all fear for our jobs.
අපි ඔක්කොම අපේ රස්සා ගැන බයෙන් (රස්සා නැති වෙයිදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

She fears going out in the dark. (විධිමත්) / She fears to go out in the dark. (විධිමත්) 
එයා කළුවරේ එළියට යන්න බයයි.

3. guilty of / guilty about

යම් දෙයක් පිළිබඳ වරද යමෙක් සතු බව පැවසීමට "of" යොදා ගැනෙනවා. තමන් වැරදි දෙයක් කළේ යයි කෙනෙකුට ඇති වෙන හැඟීම (පසුතැවිල්ල) පිළිබඳව "about"** යෙදෙනවා.

He's guilty of many crimes.
එයා අපරාධ ගණනාවකට වග කියන්න ඕනැ.

That man was found guilty of fraud in court.
උසාවියේදී ඒ මිනිහා වංචාවකට වැරදිකාරයා වුණා.

I felt guilty about leaving so early.**
මම එච්චර කලින් පිටවෙලා ගිය එක වැරදියි කියලා මට හිතුනා (පසුතැවිල්ලක් ඇති වුණා).

**මෙම අර්ථයෙන් “about” වෙනුවට “for” ද යෙදෙනු පෙනෙනවා.

I felt guilty for leaving so early.

4. anxious about / anxious for

යමක් ගැන කණස්සල්ලක් ඇති බව කීමට "anxious about" භාවිතා වෙන අතර යමෙක් වෙනුවෙන් කණස්සල්ලක් ඇති බව කීමට "anxious for" යෙදෙනවා. එසේම යමෙක් යමක් ආසාවෙන් බලාපොරොත්තු වෙන බව දැක්වීමටත් "anxious for" යෙදෙන අතර යමක් කිරීමට ආසාවෙන් බලාපොරොත්තු වෙන බව කීමට “anxious to” ගැනෙනවා.

The parents are anxious about the children's test results.
දෙමව්පියෝ ළමයින්ගේ විභාග වාර්තා ගැන බයකින් (වාර්තා කෙසේ වේදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

The parents are anxious for the children.
දෙමව්පියෝ ළමයි ගැන බයකින් (ඔවුන්ට කරදරයක් වේදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

The children are anxious for the holidays[BrE]/vacation[AmE].
ළමයි නිවාඩුව එනකම් බලන් ඉන්නේ.

The children are anxious to go on the trip.
ළමයි ගමන යන්න බලන් ඉන්නේ.

5. attend / attend to

පාසැලකට, ආගමික ස්ථානයකට, උත්සවයකට වැන්නකට ගොස් සහභාගී වීම දැක්වීම සඳහා මෙය යෙදෙන්නේ preposition නොමැතිවයි. එමෙන්ම - විධිමත් ව්‍යවහාරයේ - වෙනත් කෙනෙක් සමග (පරිවාරිකයන් මෙන්) සිටීම පිළිබඳවත් එසේ ගැනෙනවා. නමුත් යම් දෙයක් හෝ කෙනෙක් පිළිබඳ අවශ්‍ය කටයුතුවල යෙදීම සම්බන්ධව නම් භාවිතා වෙන්නේ "to" සමගයි.

We attended school  in the morning.
අපි උදේ ඉස්කෝලේ ගියා (පාසලේ පන්තිවලට සහභාගී වුණා).

She wants to attend a wedding tomorrow.
එයා හෙට මගුල් ගෙදරක යන්න (විවාහ මංගල්‍යයකට සහභාගී වීමට) ඉන්නේ.

The chairman was attended by two assistants.(විධිමත්)
සහායකයක් දෙන්නෙක් සභාපතිතුමා සමග හිටියා.

We should attend to our homework now. අපි දැන් අපේ ගෙදර වැඩ කරන්න ඕනැ (පාසලේ ගෙදර වැඩවල යෙදිය යුතුයි).

Somebody has to attend to that gentleman who is sick.
කව්රුහරි අර අසනීප වෙච්ච මහත්තයා ගැන බලන්න ඕනැ (ඔහු සඳහා අවශ්‍ය කටයුතු සොයා බලා කළ යුතුයි).

6. enter / enter into

කාමරයකට, ගොඩනැගිල්ලකට, ක්ෂේත්‍රයකට හෝ සබඳතාවයකට ඇතුළු වීම සම්බන්ධව යෙදෙන්නේ preposition නැතිවයි. ගිවිසුමක් වැන්නකට ඇතුළුවීමේදී "into" යන්නත් සමග ගැනෙනවා. එමෙන්ම යම් මාතෘකාවකට පිවිසෙනවා, යමකට ඇතුළු වී එහි අනුගත වෙනවා වැනි අර්ථවලත් "into" සමග භාවිතා වෙනවා.

The director entered the room.
අධ්‍යක්ෂතුමා කාමරයට ඇතුල් වුණා.

She decided to enter politics. එයා දේශපාලනයට ඇතුල් වෙන්න තීරණය කළා.

They entered a relationship that led to marriage.විවාහයට මග පෑදුව සබඳකමක් ඒ දෙන්නා පටන් ගත්තා.

The company entered into a contract with the government.
සමාගම රජය සමග කොන්ත්‍රාත්තුවකට ඇතුල් වුණා.

Our personal feelings shouldn't enter into this matter.  අපේ පුද්ගලික හැඟීම මේ කාරණයට එකතු වෙන්න හොඳ නැහැ.

The speaker didn't want to enter into politics in that first speech. ඒ පළවෙනි කතාවේදී දේශපාලනයට පිවිසෙන්න කථිකයා කැමති වුනේ නැහැ.

7. meet / meet with

මුණ ගැහෙනවා යන අර්ථයෙන් බොහෝ විට preposition නැතිව හමු වෙතත්, සැලසුම් කර මුණ ගැහීම සඳහා - විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ - "with"  සමග යෙදෙනවා. මීට අමතරව, ඇතැම් දේ අත්විඳිනවා යන අර්ථයෙන් "with" භාවිතා වෙනවා.

I met an old friend yesterday.
ඊයේ මට පරණ යාළුවෙක් මුණ ගැහුනා.

The President met the foreign delegates in his office.
ජනාධිපතිතුමා ඔහුගේ කාර්යාලයේදී විදේශ නියෝජිතයන් හමු වුණා.

The President met with the foreign delegates in his office. (විශේෂයෙන් AmE)
ජනාධිපතිතුමා ඔහුගේ කාර්යාලයේදී විදේශ නියෝජිතයන් හමු වුණා.

His brother met with a lot of success in Europe.
එයාගේ  මල්ලි/අයියාගේ වැඩ යුරෝපයේදී ගොඩක් සාර්ථක වුණා (විශාල සාර්ථකත්වයක් අත්වින්දා).

He met with an accident.
එයා අනතුරකට භාජනය වුණා (අත්වින්දා, මුහුණ දුන්නා).

8. answer / answer for / answer to

ප්‍රශ්නයකට උත්තර  දෙනවා යන්නේහිදී preposition නැතිව පාවිච්චි වෙතත්, යමක් පිළිබඳ වග උත්තර බඳිනවා, යමෙක් වෙනුවෙන් උත්තරයක් දෙනවා ආදියෙහිදී "for" සමග හමු වෙනවා. යමෙක් යටතේ වැඩ කරනවා / යමෙකුට වග කිව යුතු වෙනවා හෝ (විශේෂයෙන් සතෙක් සම්බන්ධව) යම් නමකට ප්‍රතිචාර දක්වනවා ආදියට  සමග යෙදෙනවා.

You have to answer my question. ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනැ.

You have to answer for your mistake. ඔයාට ඔයාගෙන් වුණා වැරැද්දට වග උත්තර බඳින්න වෙනවා.

I can’t answer for my friend. මට මගේ යාළුවා වෙනුවෙන් උත්තරයක් දෙන්න බැහැ.

All the factory workers answer to the foreman. කර්මාන්ත ශාලාවේ වැඩ කරන ඔක්කොම වැඩ මූලිකයා (ෆෝමන්) යටතේ ඉන්නේ.

The dog answers to the name of Jimmy. බල්ලා ජිමී (කියන නම) කිව්වම එනවා.


***කලින් ලිපියෙන් ඉදිරිපත් කළ Ingirisi ඊ පොතේ දෙවෙනි සංස්කරණයට වෙනස්කම් කීපයක්‌ පසුව කරනු ලැබුවා. පළමු සංස්කරණයේ මෙන් ලිපි කාණ්ඩවලට බෙදීමක් නොකර, මෙවර බ්ලොග් අඩවියේ පළ වූ අනුපිළිවෙලටම ඉදිරිපත් කළ නිසා, භාවිතා කිරීමේ පහසුව පිණිස ලිපි වර්ගීකරණයක් එක්‌ කිරීමට තීරණය කළා. සාමාන්‍ය පටුනේදී මෙන්ම මෙම ලිපි වර්ගීකරණයේද ලිපි මාතෘකා මත කෙටීමෙන් අදාළ ලිපිවලට කෙලින්ම යා හැකියි. ඊට අමතරව ලිපි පෙළට කෙටි හැඳින්වීමක්ද එක කළා. එමෙන්ම මුල් පිටපතේ හරිහැටි ක්‍රියා නොකළ සබැඳි කීපයක්ද නිවැරදි ලෙස සකසා තියෙනවා. 

(Image credit: AndrewEick)

9 comments:

  1. Hello Sir,can you explain the "that"

    ReplyDelete
    Replies
    1. මේ වචනයේ සාමාන්‍ය අර්ථය ඔබ දන්නා බව පැහැදිලියි. එම නිසා ඒ සම්බන්ධව පැහැදිලි කර ගැනීමට අවශ්‍ය කුමන කරුණද යන්න සඳහන් කරන්න.

      Delete
  2. ඉකමන් ප්‍රතිචාරයට ස්තූතී ගුරුතුමනි,
    මට දැනගන්න අවශ්‍යයි "that" කියන වචනය දිග වාක්‍යවල මැද, තවත් දේවල් විස්තර කරමින් වාක්‍ය එකිනෙකට සම්බන්ද කරමින් හිතුමතේ යෙදෙන්නේ කොහොමද සහ එසේ යෙදීමේදී භාවිත වන නීති තියනවද? නැත්නම් ඕනෑම දෙයක් විස්තර කීරීමට යොදාගන්න පුලුවන්ද? මට ගුරුතුමා කියදුන්න පරිදි "that" යෙදිය හැකි නීති සදහන් කරමි.
    1. වාක්‍යක predicate එකෙහි superlative adjective එකක් ඇත්නම් ඔබගේ වාක්‍ය දෙක සම්බන්ද කිරීමේදී "that" භාවිතා කරනු ලැබේ.
    2. වාක්‍යක් නැත යන අර්ථයේ ඇත්නම් ඔබගේ වාක්‍ය දෙක සම්බන්ද කිරීම සදහා "that" යොදා ගත උතු යුතුය.
    3. එක වාක්‍යක හෝ "only" යන පදය ඇතිවිට ඔබගේ වාක්‍ය දෙක සම්බන්ද කිරීමේදී "that" " භාවිතා කරනු ලැබේ.
    4. වාක්‍යක නාමපදයක් ඉදිරියෙන් "same" යන පදය ඇතිවිට ඔබගේ වාක්‍ය දෙක සම්බන්ද කිරීමේදී "that" භාවිතා කරනු ලැබේ.
    5. වාක්‍යක නාමපදයක් ඉදිරියෙන් "all" යන පදය ඇතිවිට ඔබගේ වාක්‍ය දෙක සම්බන්ද කිරීමේදී "that" භාවිතා කරනු ලැබේ.
    6. වාක්‍යක නාමපදයක් ඉදිරියෙන් "any" යන පදය ඇතිවිට ඔබගේ වාක්‍ය දෙක සම්බන්ද කිරීමේදී "that" භාවිතා කරනු ලැබේ.
    7. යම් වාක්‍යක් " It + be" ෆෝරම් එකෙන් ආරම්භ වේ නම් වාක්‍ය දෙක "that" යොදා සම්බන්ද කල යුතුය.
    8. වාක්‍යක ප්‍රශ්නයක් පටන් ගන්නේ "Who" හෝ "What" වලින් නම් වාක්‍ය දෙක "that" යොදා සම්බන්ද කල යුතුය.
    9. වාක්‍යක පුද්ගලයෙක් සහ පණනැති දෙයක් "and" වලින් සම්බන්ද වී ඇති විට වාක්‍ය දෙක "that" යොදා සම්බන්ද කල යුතුය.
    10. මිනිසෙක් සහ සතෙක් "and වලින් සම්බන්ද වී ඇති විට වාක්‍ය දෙක "that" යොදා සම්බන්ද කල යුතුය.

    නමුත් " I am one of those that saw the incident " සහ " I saw that it had not been damaged too badly " වැනි වාක්‍ය වල "that යොදන්නේ මොන පදනමක් මතද? මේවා පැහැදිලි කරන්න හැකිද?

    ReplyDelete
    Replies
    1. "I am one of those that saw the incident."

      මෙම වාක්‍යයේ "that" පදය යෙදී තියෙන්නේ relative pronoun එකක් හැටියටයි. මෙතන එම පදය අත් හැරිය නොහැකියි. මෙවැනි relative pronouns යෙදෙන (හෝ නොයෙදෙන) ආකාරය ගැන පහත සඳහන් ලිපි දෙකේ විස්තර තියනවා.

      You Know Who I Am? - දන්නවද මම කවුද කියලා? (http://ingirisi.blogspot.com/2010/05/you-know-who-i-am.html)

      The Language That We Use - අපි භාවිතා කරන භාෂාව (http://ingirisi.blogspot.com/2010/06/language-that-we-use.html)

      "I saw (that) it had not been damaged too badly."

      මෙම වාක්‍යයේ "that" පදය යෙදී තියෙන්නේ වාක්‍ය දෙකක් එකතු කරන conjunction පදයක් හැටියටයි. බහුලව භාවිතා වෙන ඇතැම් ක්‍රියා පදවලට (හෝ නාම විශේෂණ පදවලට) පසුව මේ ආකාරයෙන් ඇති "that" පදය අවිධිමත් භාවිතයේදී අත් හැරිය හැකියි.
      උදා:
      We hope (that) she'll understand.
      I'm glad (that) he didn't come.

      එසේම "so that", "provided that", "assuming that" වැනි යෙදුම්වල ඇති "that" පදයත් අවිධිමත් භාවිතයේදී අත් හැරිය හැකියි.
      උදා:
      We went in quietly so (that) they wouldn't hear us.
      Assuming (that) they have an appointment, they'll be able to see the minister today.

      මිට අමතරව reported speech හි ඇතැම් බහුලව යෙදෙන ක්‍රියා පද සමග ඇති "that" පදය අවිධිමත් භාවිතයේදී අත් හැරිය හැකියි. පහත ලිපියේ reported speech ගැන කතා කර තියනවා.

      He Said She Told Him? - එයා කිව්වා කියලා මෙයා කිව්වද? (http://ingirisi.blogspot.com/2010/04/he-said-she-told-him.html)

      කෙසේ නමුත් තවත් එක් දෙයක් කිව යුතුයි. මෙම නීති රීතිවලට අමතරව භාෂාව මැනවින් හසුරුවන්නන්ගේ (දේශීය හෝ විදේශීය) ව්‍යවහාරය නිරීක්ෂණය කිරීම තුළින් මෙවැනි භාෂා රටාවලට හුරු පුරුදු වීම වැදගත්. විශේෂයෙන් කියවීම තුළින් ලැබෙන පිටුබලය විශාලයි.

      Delete
  3. Thank you Sir....

    ReplyDelete
  4. Sir, English class karanwada, wistara tikak kiyanawada?

    ReplyDelete
    Replies
    1. Apart from some private teaching, I don't have any classes open to the public right now.

      Delete
  5. can you please explain me sir, how to use "which" and when it use. (similar to previous comment)

    ReplyDelete
    Replies
    1. Go through the two posts linked below:

      http://ingirisi.blogspot.com/2010/06/what-do-you-want.html

      http://ingirisi.blogspot.com/2010/06/language-that-we-use.html

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails