Wednesday, June 30, 2010

You Gotta Be Crazy! - මොකක්ද මේ?



සමහර වෙලාවට අපට ඉංග්‍රීසි නවකතා, සිංදු ආදියේ, කතාබහේදි විතරක් පාවිච්චි වෙන යෙදුම් හම්බ වෙනවා. එවැනි ඇතැම් යෙදුම් උසස් ගණයේ ව්‍යවහාරය හැටියට නොසැලකෙන ඒවා වෙන්නත් පුලුවන්. නමුත් ස්වාභාවික ලෙස කතාවක් ඉදිරිපත් කරද්දි යම් පුද්ගලයෙක් කියූ දෙයක් එලෙසින්ම ඉදිරිපත් කිරීමට සිදු වෙන නිසා - විශේෂයෙන් නවකතා ආදියේ - ඒවා දකින්නට ලැබෙනවා.

මේ ආකාරයේ යෙදුම් අපි අපේ භාවිතයට නොගැනීම වඩා හොඳ වුණත්, ඒවා තේරුම් ගැනීමට හැකි වීම අවශ්‍යයි. එවැනි කීපයක් අපි බලමු.

1. gotta

අපි කලින් ලිපියක (WeHave to Learn English - කළ යුතු දේ ගැන) කතා කළා ‘have to’ සහ ‘have got to’ යෙදුම් පාවිච්චි  වෙන ආකාර ගැන. ‘have got to’ යන්න අවිධිමක් (informal) ව්‍යවහාරයේ ‘got to’ ලෙස කෙටියෙනුත් කියවෙනවා. මේ ‘got to’ කොටස ඇතැම් අය උච්චාරණය කරන අවිධිමත් ආකාරය (/ˈgɒtə/) නිසා එය ‘gotta’ ලෙසත් දකින්න ලැබෙනවා.

I’ve got to go now. / I’ve gotta go. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)] / I got to go now. [අවිධිමත්] / I gotta go now. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

මම දැන් යන්න ඕනැ (යා යුතුයි).

You’ve got to be wrong. / You’ve gotta be wrong. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)] / You got to be wrong. [අවිධිමත්] / You gotta be wrong. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

ඔයාට වැරදිලා වෙන්න ඕනැ (වැරදිලා වෙන්න ඇති).

*** ‘gotta’ යන්න ‘got a’ දෙපදය ඇතැම් අය අවිධිමත් ලෙස උච්චාරණය කරන ආකාරය දක්වන්නත් යෙදෙනවා.

Have you got a pen? / You got a pen? [අවිධිමත්] / You gotta pen? [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

ඔයා ළඟ පෑනක් තියනවද?

2. gonna  

සිදු වීමට යන දෙයක් සඳහා ‘going to’ යෙදෙන ආකාරය “Will or Shall? - අනාගතයේදී” ලිපියේ සාකච්ඡා කෙරුනා. ‘going to’ යන්න ඇතැම් අය අවිධිමත් ලෙස උසුරුවන ආකාරය (/ˈgɒnə/) දැක්වීමට ‘gonna’ යන්න යෙදෙනවා.

He’s going to call home. / He’s gonna call home. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

එයා ගෙදරට කතා කරන්න යන්නේ.

3. wanna

‘want to’ හා ‘want a’ දෙපදවලදී ඇතැම් අයගේ අවිධිමත් උච්චාරණය (/ˈwɒnə/) දැක්වීමට මෙය යෙදෙනවා.

I want to go. / I wanna go. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

මට යන්න ඕනැ.

Do you want a drink? / You want a drink? [අවිධිමත්] / You wanna drink? [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

ඔයාට බොන්න මුකුත් ඕනැද?

***මේ ආශ්‍රයෙන් (‘want to be’ යන්නෙන්) සෑදී ඇති ‘wannabe’ (/ˈwɒnəˌbiː/) පදය ‘යම් උසස් තත්වයකට ආසා කරන, එවැනි තත්වයක් තමන්ට ඇති ලෙස හැසිරෙන කෙනෙක්’ හැඳින්වීමට යෙදෙනවා.

She’s a wannabe singer. එයා ගායිකාවක් වෙන්න දඟලන කෙනෙක්.

4. helluva

යමක් අවධාරණය කිරීමට අවිධිමක් භාවිතයේ යෙදෙන ‘hell of a’ යන්නේ උච්චාරණය (/ˈhɛləvə/) ඇතැම් විට මෙසේ දැක්වෙනවා.

It took a hell of a long time. [අවිධිමත්] / It took a helluva long time. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

ඒකට මාර වෙලාවක් ගියා.

5. gimme, lemme…

ඇතැම් අය ‘give me’, ‘let me’ වැනි කොටස් උසුරුවන ආකාර (/ˈɡɪmiː/, /ˈlɛmiː/) දැක්වීම සඳහා ‘gimme’, ‘lemme’ වැනි රටා යෙදෙනවා.

Give me the book. / Gimme the book. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

මට පොත දෙන්න.

Let me ask a question. / Lemme ask a question. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

මට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න.

6. gotcha

‘I got you’ යන්න සඳහා කතාබහේදී කෙටියෙන් යෙදෙන ‘got you’ යන්නෙහි ඇතැම් අයගේ උච්චාරණය දැක්වීමට ‘gotcha’ (/ˈgɒtʃə/) යන්න යොදා ගැනෙනවා.

Got you. [අවිධිමත්] / Gotcha. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

ඔයා මට අහූ උනා. / මට ඔයා කියන දේ තේරෙනවා.

7. sorta, kinda, outta…

ඇතැම් අයගේ අවිධිමත් උච්චාරණය දැක්වීමට ‘sort of’ සඳහා ‘sorta’ (/ˈsɔːtə/ [බ්‍රි] - /ˈsɔrtə/ [ඇ]) යන්න, ‘kind of’ සඳහා ‘kinda’ (/ˈkaɪndə/) යන්න, ‘out of’ සඳහා ‘outta’ හෝ ‘outa’ (/ˈaʊtə/) යන්න ආදිය යොදා ගැනෙනවා.
(‘sort of’ හා ‘kind of’ හි අවිධිමත් භාවිත ගැන “IKind of Like Computers - කම්පියුටර් වර්ගයකටද කැමති?” ලිපියේ සඳහන් වෙනවා.)

I kinda / sorta like that guy. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

මට මිනිහ ගැන පොඩි (එක්තරා විදිහක) පැහැදීමක් තියනවා.

Get out of here. / Get outta here. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

මෙතනින් යන්න (පලයන්).

8. cuppa

බ්‍රිතාන්‍ය භාවිතයේ ‘cup of tea’ අදහසින් අවිධිමත් කතාබහේදී ‘cuppa’ (/ˈkʌpə/) යන්න ඇතැම් විට හමු වෙනවා.

How about a cuppa? [අවිධිමත් - බ්‍රි] 

තේ කෝප්පයක් බොමුද?

9. musta, shoulda…

‘must  have’, ‘should have’ ආදිය ඇතැම් අය අවිධිමත් ලෙස කියන අයුරු දැක්වීමට ‘musta’ (/ˈmʌstə/), ‘shoulda’ (/ˈʃʊdə/) ආදිය යෙදෙනවා.
(‘must have’ හා ‘should have’ ආදියේ භාවිතය ගැන “You Could Have Done It - ගිය දේගියාවේ කියලම බැහැ” ලිපියේ සඳහන් වෙනවා.)

They must have forgotten it. / They musta forgotten it. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

ඒ අයට එක අමතක වෙලා ඇති.

You should have come with us. / You shoulda come with us. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

ඔයාට අපි එක්ක එන්නයි තිබුනේ.

10. dunno

ඇතැම් අය ‘don’t know’ යන්න උසුරුවන අයුරු දැක්වීමට ‘dunno’ (/dəˈnəʊ/, /ˈdʌnəʊ/ [බ්‍රි] - /dəˈnoʊ/, /ˈdʌnoʊ/ [ඇ]) භාවිතා වෙනවා.

I don’t know. / I dunno. [අවිධිමත් (කෙනෙක් කී දෙයක් උපුටා ලිවීමේදී පමණයි)]

මම දන්නෙ නැහැ.

11. heck

කලින් සඳහන් කළ ආකාරයට අවිධිමත් ඉංග්‍රීසි භාෂාවේ යමක් අවධාරණයට යොදා ගන්නා ‘hell’ පදය සාමාන්‍යයෙන් නම් ‘අපාය’ අර්ථය ගන්නා නිසා ඇතැම් අය එය මගහැර ඒ වෙනුවට ‘heck’ පදය යොදා ගන්නවා.

It took a heck of a long time. ඒකට මාර වෙලාවක් ගියා.

Who the heck are you? කව්ද හැබෑට ඔහේ?

Why the heck did she go there? එයා අහවල් එකකටද එහෙ ගියේ? 

Oh heck, the bus has left. මළා, බස් එක ගිහින්.

***ඉහත උදාහරණ සියල්ලේම ‘heck’ වෙනුවට ‘hell’ යෙදුවහොත් වඩාත් සැර හැ‍‍‍ඟීමක් දැක්වෙනවා.

*** ‘heck’ පදය සහිත ‘for the heck of it’ යන යෙදුම ‘නිකම් විනෝදෙට’ අර්ථය දෙනවා.

They just did it for the heck of it. ඒ අය ඒක නිකම් විනෝදෙට කළේ.

12. darn / darned

යමක් ගැන තරහෙන්, පුදුමයෙන්... ආදී හැඟීමකින් කතා කිරීමේදී, අවිධිමත් අවස්ථාවල ඇතැම් අය අවධාරණයට‍ යොදා ගන්නා ‘damn’ හෝ ‘damned’ පද පාවිච්චියට ගැනීමට අකමැති අය (‘damn’ යන්න සාමාන්‍යයෙන් ‘අපායට නියම කරනවා’ අර්ථය ගන්නවා) එහි සැර බාල කිරීමට ඒ වෙනුවට ‘darn’ හෝ ‘darned’ සමහර තැන්වල යොදා ගන්නවා (‘darn’ පදයේ සාමාන්‍ය අර්ථය ‘(රෙද්දක සිදුරක් වැන්නක්) නූලින් මසා මූට්ටු කරනවා’ යන්නයි).

Darn it! I can’t find the keys. මොන බම්බුවක්ද! මට යතුරු හොයා ගන්න බැහැ.

I don’t know how to use this darn / darned phone. මම දන්නෙ නැහැ මේ ඉලව් ෆෝන් එන පාවිච්චි කරන විදිහ.

It’s darn / darned hot today. අද මාර රස්නෙයි.

It’s a darn / darned good idea. ඒක මරේ මරු (එළම එළ) අදහසක්. 

We did our darnedest to be there on time. අපි පුලුවන් හැම කෙහෙල්මලම කෙරුවා වෙලාවට එතන ඉන්න.

13. ain’t

මේ පදය ඇතැම් අයගේ ඉතා අවිධිමත් කතා බහේදී ‘am not’, ‘isn’t’ හා ‘aren’t’ මෙන්ම ‘hasn’t’ හා ‘haven’t’ යන පද වෙනුවටද යෙදෙනවා. එසේම සම්මත ව්‍යවහාරයේ නැත යන අර්ථයෙන් ‘anything’, ‘anybody’ ආදී පද යෙදෙන තැන්වල ‘ain’t’ සමග යෙදෙන්නේ ‘nothing’, ‘nobody’ ආදී පදයි.

They ain’t here. ඒ අය මෙහෙ නැහැ.

You ain’t seen nothing yet. ඔයා තාම මුකුත් දැක්කෙ නැහැ. 

(සේයාරුවට ස්තුතිය: Crystl)





Related Posts with Thumbnails