Monday, June 7, 2010

How to Break Free - සීමාවෙන් මිදීමට



ඉංග්‍රීසි භාෂාව - හෝ වෙනත් භාෂාවක් - මුලික බස් රටාවලින් ඔබ්බට ඉගෙන ගනිද්දි මතු වෙන ගැ‍‍ටළුවක් තමයි, එදිනෙදා භාවිතයේ යෙදෙන වචන, යෙදුම්, වාක්‍ය රටා ආදිය ප්‍රගුණ කිරීමට ඇති අපහසුව. භාෂාව ගැන ලියවුන යම් පොත් පත්වලින් මග පෙන්වීමක් ලැබෙතත්, ඉගෙනීමට විශාල ප්‍රමාණයක් ඇති නිසා මෙය ඉතා අසීරු දෙයක් ලෙස පෙනෙන්නට පුලුවන්.

ඕනැම භාෂාවක යෙදුම් විශාල ගණනක් භාවිතයේ තියෙනවා. ඒ සියල්ල දෙස එක වර බලද්දී ඒවා ඉගෙනීම කළ නොහැක්කක් මෙන් පෙනිය හැකි නමුත්, සාමාන්‍ය (පිළිගත්) ව්‍යවහාරය නිරීක්ෂණය කර එහි ඇති යෙදුම් කීපයක් හෝ දිනපතා උකහා ගන්නේ නම්, කාලයත් සමග හොඳ දැනුමක් ලබා ගැනීම එතරම් අපහසු වෙන්නේ නැහැ.

මේ සදහා අද ශ්‍රව්‍ය දෘශ්‍ය ජන මාධ්‍ය උපයෝගි කර ගත හැකියි. එවායේ එන යෙදුම් නිරීක්ෂණයෙන් හා ‍අධ්‍යයනයෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. උදාහරණ වශයෙන් වෙබ් පිටුවලම හමු වුණ වාක්‍ය කීපයක් සලකා බලමු. 

1. "How do you break free without breaking apart?" / “The two would break up.”

මේ වාක්‍ය දෙකේ ‘break’ ක්‍රියා පදය සහිත යෙදුම් තුනක් දකින්න ලැබෙනවා.

‘break free’ යන්නේ ‘ඇති වී තිබූ අයහපත් තත්වයකින් මිදෙනවා’ යන අර්ථය තියනවා. මෙහි ‘break’ පදයෙන් උත්සාහයෙන් එසේ කරන බව දැක්වෙනවා.

Some youngsters try to break free from tradition.  සමහර තරුණ අය සම්ප්‍රදායෙන් මිදෙන්න උත්සාහ කරනවා.

‘break apart’ යන්නෙන් ‘එකිනෙකින් / එකිනෙකාගෙන් වෙන් වී, දුරස් වෙනවා’ යන්න අදහස් වෙනවා.

It is sad that our circle of friends broke apart after leaving school. ඉස්කෝලෙන් අස් උනා‍ට පස්සෙ අපේ යාළුවො කට්ටිය කැඩිල ගිය එක කණගාටුවට කාරණයක්.

ඒ අනුව මුලින් ආ වාක්‍යයේ අර්ථය මෙසේ ගත හැකියි.

How do you break free without breaking apart? අන් අයගෙන් දුරස් නොවී අනවශ්‍ය බැඳීම්වලින් (හෝ ඇති වී තිබෙන වෙනත් අයහපත් තත්වයකින්) මිදෙන්නේ කෙසේද?

‘break up’ යන යෙදුම අර්ථ කීපයකින් යෙදුනත්, ඉහත වාක්‍යයේ එයින් අදහස් වෙන්නේ ‘දෙදෙනෙක් (හෝ ඇතැම් විට ඊට වැඩි ගණනක්) තමන් අතර තිබූ සම්බන්ධය නවත්වා වෙන් වෙනවා’ යන්නයි.

The family broke up. පවුල කැඩිල ගියා.

The two would break up. ඒ දෙන්නා වෙන් වේවි (එහෙම වෙයි කියලයි මට හිතෙන්නේ).

(‘would’ පද‍ය යෙදෙන ආකාර ගැන වැඩි විස්තර සඳහා "What Would You Like? - මොකක්ද මේ 'would'?" බලන්න.)

2. “On that score, at least, have we made as much progress as we'd like to believe?”

මෙහි ‘no that score’ යන්නෙන් අදහස් වෙන්නේ ‘ඒ සම්බන්ධව’ යන්නයි. (මේ වෙනුවට ‘in that regard’, ‘in that respect’ වැන්නක් යොදන්නටත් හැකියි.)

Everything is fine on that score. ඒ සම්බන්ධව හැම දේම හොඳින් කෙරෙනවා.

‘believe’ පදය ‘විශ්වාස කරනවා’ මෙන්ම ‘යමක් එසේ යැයි සිතනවා’ යන අර්ථයෙනුත් යෙදෙනවා.

I believe (that) she lives abroad now. මම හිතන්නෙ එයා දැන් පදිංචිය පිටරට.

‘as … as’ යෙදුම භාවිතා වෙන ‘ඒ තරමටම’ යන අර්ථය ගැන "As Someone JustLike Me... (මම වගේම කෙනෙක් හැටියට...) – 'as' හා 'like' ගැන" ලිපියේත් සඳහන් වුණා.

She makes as much money as her husband (does).  එයා එයාගෙ හස්බන්ඩ් (සැමියා) තරම්ම සල්ලි හම්බ කරනවා.

ඒ අනුව මුලින් ඇති වාක්‍යයේ අර්ථය මෙසේ ගත හැකියි.

On that score, at least, have we made as much progress as we'd like to believe? අඩු ගණනේ ඒ සම්බන්ධව අපි හිතන්න කැමති තරම් දියුණුවක් අපි ලබලා තියෙනවද?

3. “I suppose you could say he's an intellectual.”

මෙහි ‘you’ යන්න යෙදී තිබුනත් එයින් මෙහිදී ආමන්ත්‍රණය කරනු ලබන් පුද්ගලයා පමණක් අදහස් වෙන්නේ නැහැ. එහි ඇත්තේ ‘ඔබත් මමත් සියළු දෙනා', 'අපි ඕනැ කෙනෙක්’ වැනි තේරුමක්. මේ ගැන "Made in Sri Lanka- හැදුවෙ කව්රු වුණාම මොකද!" ලිපියේ අග කොටසේත් සඳහන් කෙරුනා.

You must have an appointment to see her. එයාව හම්බ වෙන්න කලින් වෙලාවක් වෙන් කර ගෙන තියෙන්න ඕනැ (එය අපි කාටත් එසේයි).

හැකියාවක් ගැන තම උපකල්පනයක් දැක්වීමට ‘could’ පදය යෙදෙන ආකාරය ගැන "I Can Speak English - හැකියාව ගැන" ලිපියේ සඳහන් වුණා.

Anybody could go there now, I think. මම හිතන්නෙ දැන් ඕනැ කෙනෙකුට එහෙ යන්න පුලුවන් (ඇති).

ඒ අනුව මුල් වාක්‍යයේ අර්ථයත් මෙසේ ගත හැකියි.

I suppose you could say he's an intellectual. මම හිතන්නෙ කෙනෙකුට පුලුවන් එයා බුද්ධිමතෙක් කියලා කියන්න.

4. "(They) don't get it."

මෙතනදී ‘get it’ ‍යන්නෙන් අදහස් වෙන්නෙ ‘අවබෝධ වෙනවා’ යන්න මිස යමක් ලැබීමක් නොවේ.

However hard I tried to explain, he didn’t get it. මම කොච්චර තේරුම් කරන්න උත්සාහ කළත් එයාට තේරුනේ නැහැ.

They don't get it. ඒ ගොල්ලන්ට ඒක තේරෙන්නෙ නැහැ. 

ඉංග්‍රීසි භාෂාවේ වැඩිපුරම භාවිතා වන වචනවලින් එකක් වන ‘get’ පදය යෙදෙන විවිධ ආකාර ගැන "You May Get 10 Years for That! You Get It? – Getting to Know 'Get'" ලිපිය බලන්න.

5. “…however hawkish we perceive it to be.”

මෙතන යෙදෙන ‘however’ පදය මම මීට කලින් කොටසේ උදාහරණයකටත් යොදා ගත්තා. මෙය මේ ආකාරයට නාම විශේෂණයකට (adjective) හෝ (කලින් උදාහරනයේ මෙන්) ක්‍රියා විශේෂණයකට (adverb) පෙර යෙදෙද්දී ‘කෙතරම් ... වුණත්’ වැනි අර්ථයක් දැක්වෙනවා.

However difficult it is, we have to do it. ඒක කොච්චර අමාරු උනත් අපි ඒක කරන්න ඕනැ.

‘hawkish’ පදයේ අර්ථය ‘යුදවාදී’ යන්නයි. මෙහි මූලය වන ‘hawk’ පදය උකුසු ගණයේ කුරුල්ලන් මෙන්ම යුදවාදී (එනම් සාමයට වඩා යුද්ධයට කැමති) පුද්ගලයන් හැඳින්වීමටත් යොදා ගන්නා නිසා, ඒ ආශ්‍රයෙන් hawkish යන adjective පදය සෑදී තියෙනවා.

perceive’ ක්‍රියා පදය මෙහි ‘යමක් එසේ යයි සිතනවා / එලෙස දකිනවා’ යන අර්ථය ගන්නවා.

Business people are perceived to be rich. ව්‍යාපාරිකයන් පෝසත් කියලා කව්රුත් හිතනවා.

මේ අනුව මුලින් ආ වාක්‍ය ඛණ්ඩයේ අර්ථය මෙසේ ගත හැකියි.

 …however hawkish we perceive it to be. අපි එය කෙතරම් යුදවාදී ලෙස දුටුවත්...

(සේහාරුවට ස්තුතිය: aussiegall)  

4 comments:

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails