Thursday, February 11, 2010

You Could Have Done It - ගිය දේ ගියාවේ කියලම බැහැ



සේයාරුවට ස්තුතිය: anna gutermuth

මීට කලින් ලිපි කීපයකම මම අවසානයේදී සඳහන් කළා අතීතයේ සිදු විය හැකිව තිබූ දේ  සම්බන්ධයෙන් may, might, could, would ආදී පදත්, සිදු විය යුතුව තිබූ දේ ගැන should පදයත්, අතීතයේ යම් දෙයක් ගැන අපේ නිගමන සඳහා must පදයත් භාවිතා වන ආකාරය ගැන පසුව සලකා බලනවා කියලා. ඒ මාතෘකාව එහෙම දිගින් දිගටම කල් දාද්දි ඔබට පහත සඳහන් දේවලින් එකක් සමහර විට හිතෙන්නට ඇති.

1. ඒවා වැදගත් නැතිව ඇති.
2. ඒවා හරි අමාරු ඇති.
3. මූට ඒවා බැරුව ඇති.

හැබැයි මේ උපකල්පන තුනම වැරදියි. ඇත්තෙන්ම ඒවා පසුවට තියන්න හේතුව, අර්ථයෙන් වෙනස් වුණත්, මේ සියල්ල සඳහා එකම ආකාරයේ රටා භාවිතා වීම. එනම් may / might / could / would / should / must have done (spoken, written, come, started, finished…) යන්න.

නමුත් ඉතින් මෙහෙම කිව්වයි කියලා හරි යන්නේ නම් නැහැ. මොකද, මේවාගේ ආසන්න අර්ථ මුලින් සරලව සඳහන් කළත්, ඒවා යෙදෙන ආකාරය අනුව එකිනෙකට තරමක් වෙනස් අර්ථ ගන්නවා. මේ විවිධ අර්ථ නිසා ඒවා ටිකක් පැටලිලි සහිත වෙන්නත් පුලුවන්.  ඒ නිසා ඒ ගැන අපි දැන් විස්තර ඇතිව සොයා බලමු.

1. may / might (not) have… - යමක් සිදු (නො)වී තිබීමට ඉඩ තිබෙනවා (නමුත් ස්ථිරව දන්නේ නැහැ.)    
It may / might have rained last night. ඊයෙ රෑ වැස්සා වෙන්න පුලුවන්. (හරියටම දන්නෙ නැහැ.)

She may / might not have met them yesterday. එයාට ඊයෙ ඒ අයව හම්බ නොඋනා වෙන්න පුලුවන්.

***‍මෙහි ඇත යන අර්ථයෙන් could ද භාවිතා වෙනවා.

They may / might / could have lied. ඒ අය බොරු කිව්වා වෙන්න පුලුවන්. (කිව්වෙ බොරු වෙන්න ඉඩ තියෙනවා.)

They may / might not have lied. ඒ අය බොරු නොකිව්වා වෙන්න පුලුවන්. (කිව්වෙ ඇත්ත වෙන්න ඉඩ තියෙනවා.)

He may / might / could have seen us there. එයා අපිව එහෙදි දැක්කා වෙන්න පුලුවන්.

He may / might not have seen us there. එයා අපිව එහෙදි නොදැක්කා වෙන්න පුලුවන්.

2. might (not)  have… - යමක් සිදු (නො)වෙන්න ඉඩ තිබුනා (නමුත් එසේ (නො)වුණේ නැහැ.)

***මෙහිදීද ඇත යන අර්ථයෙන් could ද භාවිතා වෙනවා. 

You might / could have died in that accident. ඒ අනතුරේදී ඔයා මැරෙන්න ඉඩ තිබුනා.

It might / could have rained last night. ඊයෙ රෑ වහින්න ඉඩ තිබුනා (ඒත් වැස්සෙ නැහැ).

She might not have met them yesterday. එයාට ඊයෙ ඒ අයව හම්බ නොවෙන්න ඉඩ තිබුනා (ඒත් හම්බ උනා).

They might / could have lied. ඒ අය බොරු කියන්න ඉඩ තිබුනා (ඒ අය සමහර වෙලාවට බොරු කියන අය වුණත් මෙතනදි බොරු කිව්වෙ නැහැ).

They might not have lied. ඒ අය බොරු නොකියන්න ඉඩ තිබුනා (ඒ අය සාමාන්‍යයෙන් බොරු කියන මිනිස්සු නෙමෙයි. ඒත් යම් හේතුවක් නිසා මෙතනදි ‍බොරු කිව්වා).

He might / could have seen us there. එයා අපිව එහෙදි දකින්න ඉඩ තිබුනා. (ඒත් දැක්කෙ නැහැ.)

He might not have seen us there. එයා අපිව එහෙදි නොදකින්න ඉඩ තිබුනා. (ඒත් දැක්කා.)

***මෙම අර්ථය ඇතිව may” යෙදීමත් භාවිතයේ හමුවෙන නමුත් ඇතැම් අය එය නුසුදුසු යයි සලකනවා. 

You may have died in that accident. ඒ අනතුරේදී ඔයා මැරෙන්න ඉඩ තිබුනා.

***මෙහි (1) හා (2) හි එකම රටාවට එන එකිනෙකට වෙනස් තේරුම්, යෙදෙන තැන (context) අනුව සාමාන්‍යයෙන් වටහා ගත හැකියි.

3. could have… -  උත්සාහ කළා නම් යමක් කරන්න හැකියාව තිබුනා (නමුත් කළේ නැහැ)

They could have lied. ඒ අය‍ට බොරු කියන්න තිබුනා (අවස්ථාව තිබිලත් කිව්වෙ නැහැ, අවංක මිනිස්දු).

You could have done better. ඔයාට මීට වඩා හොඳට කරන්න තිබුනා. (එහෙම අවස්ථාව තිබිලත් කළේ නැහැ.)

We could have finished the lesson last week. අපට ගිය සතියෙ පාඩම ඉවර කරන්න තිබුනා. (නමුත් එසේ කළේ නැහැ.)

They could have visited us when they were in Gampaha. ඒ ගොල්ලො ගම්පහ ඉන්දි (ගම්පහ ආව වෙලාවෙ) අපිව බලන්න එන්න තිබුනා. (ඒත් ආවෙ නැහැ.)

4. could not (couldn’t) have… - යමක් සිදු වීමට ඉඩක් තිබුනේ නැහැ, උත්සාහ කළත් හැකියාවක් / අවස්ථාවක් තිබුනේ නැහැ

They couldn’t have lied. ඒ අය‍ට බොරු කියන්න ඉඩක් තිබුනෙ නැහැ. (අනිත් අය ඇත්ත දැන ගෙන හිටියා.)

She couldn’t have come with us. එයාට අපිත් එක්ක එන්න විදිහක් තිබුනෙ නැහැ. (වෙනත් කටයුත්තක් නිසා එන්න ඉඩක් තිබුනෙ නැහැ.)

The outcome couldn’t have been better. ප්‍රතිථලය ආයෙ ඊ‍ට වඩා හොඳ වෙන්න විදිහක් තිබුනෙ නැහැ. (එය උපරිමයටම හොඳයි, ඊටත් වඩා හොඳ වෙන්න ඉඩක් තිබුනෙ නැහැ.)

5. should have... / should not (shouldn't) have... - කළ යුතුව තිබූ, එහෙත් නොකළ / නොකළ යුතුව තිබූ, එහෙත් කළ දෙයක් ගැන

They should have lied. ඒ අය‍ට බොරු කියන්න තිබුනේ (ඇත්ත කිව්ව එක මෝඩ කමක්).

They shouldn't have lied. ඒ අය‍ට බොරු නොකියා ඉන්න තිබුනේ (ඇත්ත කියන්නයි තිබුනේ).

They shouldn't have told her. ඒ ගොල්ලන්ට තිබුනේ මට කියන්න. (කිව යුතුව තිබුනත් කිව්වේ නැහැ.)

They should have told me. ඒ ගොල්ලන්ට තිබුනේ එයාට නොකියා ඉන්න. (නොකිව යුතුව තිබුනත් කිව්වා.)

He shouldn't have worked so hard. එයාට මීට වඩා මහන්සි වෙලා වැඩ කරන්න තිබුනේ. (එසේ කළ යුතුව තිබුනත් කළේ නැහැ.)

He should have worked harder. එයාට එච්චර මහන්සි වෙලා වැඩ නොකර ඉන්න තිබුනේ. (ඕනැවට වැඩියෙන් මහන්සි වුණා.)

6. would have… / would not (wouldn’t) have… - යමක් සිදු වුණ / නොවුණ බව අනුමාන කිරීමෙදී
    should have… / could not (couldn’t) have…  - යමක් සිදු වුණ / නොවුණ බව අපි සිතන විට
    must have… / cannot (can’t) have… -  යමක් සිදු වුණ / නොවුණ බව අපි (පෙනෙන්නට, දැන ගන්නට ඇති කරුණු අනුව) නිගමනය කරන විට

***මෙහි ඇත යන අර්ථයේ must යෙදෙන විට නැත යන අර්ථයේ cannot (can’t) ද යෙදීම අපි මේ සම්බන්ධ වර්තමාන කාලයේදිත් දැක්කා මතක ඇති. ඒ වගේම මෙතනදී ඇත යන අර්ථයේ should යෙදෙන විට නැත යන අර්ථයේ could not (couldn’t) යෙදීම උචිතයි.

They would have lied.  ඒ අය කිව්වෙ බොරු වෙන්න ඇති (කියලා මට හිතෙනවා).

They wouldn’t have lied. ඒ අය කිව්වෙ බොරු නෙමේ වෙන්න ඇති (කියලා මට හිතෙනවා).

They should have lied. ඒ අය බොරු කිව්වා වෙන්න ඕනැ (කියලා මම හිතනවා).

They couldn’t have lied. ඒ අය බොරු කිව්වා වෙන්න බැහැ (කියලා මම හිතනවා).

They must have lied. ඒ අය බොරු කිව්වා වෙන්න(ම) ඕනැ (ඒ අය බොරු කියන මිනිස්සු / කියූ දෙයෙහි බොරුවක ලක්ෂණ ‍පැහැදිලිව පෙනෙනවා).

They can‘t have lied. ඒ අය බොරු කිව්වා වෙන්න (කොහෙත්ම) බැහැ (ඒ අය බොරු කියන මිනිස්සු නෙමෙයි / කියූ දෙයෙහි බොරුවක් ලක්ෂණ නැහැ).

7. මෙහිදී මතක තියා ගන්න ඕනැ මේ රටා අනාගතයේ යම් අවස්ථාවක් වෙනකොට අවසන් වී තිබිය හැකි දේ සඳහාද උචිත තැන්වල යෙදෙන බව 

She may / might / could have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා තියෙන්න පුලුවන් (ඉඩ තියෙනවා). 

She may / might not have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා නොතියෙන්න පුලුවන් (ඉඩ තියෙනවා). 

She would have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා තියේවි (කියලා මට හිතෙනවා). 


She wouldn’t  have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා නොතියේවි (කියලා මට හිතෙනවා). 

She should have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා තියෙන්න ඕනැ (කියලා මම හිතනවා). 

She couldn’t  have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා තියෙන්න ඉඩක් නැහැ (කියලා මම හිතනවා). 

She must have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා තිබිය යුතුයි (එහෙම නොවෙන්න හේතුවක් නැහැ). 

She can’t  have received our letter by this time tomorrow. හෙට මේ වෙලාව වෙනකොට එයාට අපේ ලියුම ලැබිලා තියෙන්න (කොහෙත්ම) ඉඩක් නැහැ. 

8. would have… / would not (wouldn’t) have… වෙනත් දෙයක් සිදු වුණා / නොවුණා නම් යම් දෙයක් සිදු වෙන්න / නොවෙන්න තිබුණා අර්ථයෙන් 

With your support, the children would have passed the exam. ඔයාගෙ උදව්ව තිබුනා නම් ළමයින්ට විභාගෙ පාස් වෙන්න තිබුනා.

You helped the children a lot. Otherwise they wouldn’t have passed the exam. ඔයා ළමයින්ට ගොඩක් උදව් කළා. නැත්නම් ඒ අයට විභාගෙ පාස් වෙන්න ලැබෙන්නෙ නැහැ.

***මෙම ආකාරය‍ට might, might not, could, could not (couldn’t) වැනි පදත් උචිත තැන්වලදී භාවිතා වෙනවා.

We couldn’t have done all this without you. ඔයා නොහිටියා නම් අපට මේච්චර දේවල් කරන්න වෙන්නෙ නැහැ. 

***මෙම ආකාරයේ ‍වෙනත් දෙයක් මත පදනම් වී සිදු විය හැකිව තිබූ දේ සම්බන්ධයෙන් බහුලව යෙදෙනවා if, unless වචන. එවැනි යෙදුම් ගැන, එනම් conditional sentences ගැන, අපි වෙනත් ලිපියක බලමු (If You Went to the Moon… - ‘if’ සහිත වැකි ගැන බලන්න).

ඒවා මෙතනටත් ඇතුළත් කරන්න තිබුණා. ඒත් එහෙම කළා නම් ලිපිය සංකීර්ණ වැඩි වෙන්න තිබුනා කියලා හිතුනා. (We could have covered them here too, but I thought that it would have made the post too complicated.)


1 comment:

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails