Thursday, February 25, 2010

Would You Mind Reading This? - ඉල්ලීම් හා යෝජනා

 
සේයාරුවට ස්තුතිය: smoorenburg 


අපි කලින් ලිපියේ බැලුවා අපේ රුචි අරුචිකම් ගැන ඉංග්‍රීසියෙන් කතා කරද්දි ප්‍රයෝජනයට ගන්න පුලුවන් යෙදුම් කීපයක්. ඒ වගේම අපට අවශ්‍ය වෙන දෙයක් තමයි අපි කැමති අකමැති දේ සහ අපේ උවමනාවන් මත පදනම් වුණු නොයෙක් ඉල්ලීම්, යොජනා ආදිය ඉදිරිපත් කිරීම. කලින් ලිපියෙත් තිබුන මතක ඇති එවැනි අවස්ථාවලදී පාවිච්චි කරන්න පුලුවන් ඇතැම් රටා.

මෙතනදි හරිම වැදගත් අනිත් අයගේ ඕනැ එපාකම් අපට වඩා වෙනස් විය හැකි බව තේරුම් ගැනීම. එහෙම තේරුම් අරන් අපේ ඉල්ලීම් හෝ යෝජනා ඒ අයට හිත් රිදීමක් නොවන විදියට (අඩු ගානෙ එය අවම වන විදිහට) ආචාරශීලීව ප්‍රකාශ කිරීම. මේ සඳහා භාවිතා කළ හැකි යෙදුම් සෑහෙන ගණනක් Can I Start Now? - අවසර, අනවසර, ඉල්ලීම් හා යෝජනාගැන ලිපියේ ඉදිරිපත් කෙරුනා.

මීට අමතරව WhatWould You Like? - මොකක්ද මේ ‘would’? සහ ItShould Be OK – ‘should’ පදය ගැන ලිපිවල තමන්ගේ අදහස් ශිෂ්ටසම්පන්න ලෙස ඉදිරිපත් කිරීමේදී සහ අන් අයගේ අදහස් එසේ විමසීමේදී ප්‍රයෝජනවත් වෙන ඇතැම් රටා ගැන කතා කළා. අද බලමු ඉංග්‍රීසි භාෂාවේ මෙවැනි අවස්ථාවලදී යොදා ගැනෙන තවත් ආකාර කීපයක්.

1. Do / Would you mind doing this? - මෙය කරන්න ඔබට හැකිද (මෙය කිරීමට ඔබේ අකමැත්තක් තිබේද)?
(do වෙනුවට would යොදා ගැනීම වඩාත් අචාරශීලීයි.)

Do you mind moving forward a little? පොඩ්ඩක් ඉස්සරයට යන්න පුලුවන්ද? (එහෙම යන එක ඔයාට ප්‍රශ්නයක්ද?)

Would you mind posting this letter? ඔයාට මේ ලියුම තැපැල් කරන්න පුලුවන් වෙයිද? (තැපැල් කරන එක කරදරයක්ද?)

Would you mind not smoking here? ඔයාට මෙතන සිගරට් නොබී ඉන්න පුළුවන්ද?

***මෙයට උත්තර දීමේදී ඉල්ලීමට තමන්ගේ අකමැත්තක් නැති නම් No, not at all.” යනුවෙන් පිළීතුරු දිය හැකියි. (ඉංග්‍රීසි භාෂාවේ mind පදය යෙදෙන ආකාරය නිසා මෙයින් අදහස් වෙන්නේ කොහෙත්ම අකමැත්තක් නැති බවයි, එනම් එය කිරීමට තමන් කැමති බවයි. සිංහල භාෂාවේදී අපි මෙවැනි ඉල්ලීම් සදහා වෙනත් රටා පාවිච්චි කරන නිසා මෙයිදී පැටලීම් ඇති විය හැකියි.) මෙය ඉතා ආචාරශීලීව කෙරුනු ඉල්ලීමක් නිසා, තමන් අකමැති නම් එයද ආචාරශීලීව ප්‍රකාශ කළ යුතුයි.

Do /Would you mind helping me with this assignment? මේ පැවරුම කරන්න මට උදව් වෙන්න ඔයා‍ට පුලුවන් වෙයිද?
- No, not at all. / No, I can definitely do that. ඇත්තෙන්ම පුලුවන්.
- I am sorry I don’t have the time. අනේ මට වෙලාව නැහැනේ. / I’d like to help you, but I don’t have the time. උදව් වෙන්න නම් කැමතියි ඒත් වෙලාව නැහැනේ.

2. Do you mind if I do this? / Would you mind if I did this? මම මෙය කළහොත් එයට ඔබේ අකමැත්තක් තිබේද?
(do වෙනුවට would යොදා ගැනීම වඩාත් අචාරශීලීයි. වාක්‍ය රටා දෙක ගැන වැඩි විස්තර සඳහා If You went to the Moon… - ‘if’ සහිත වැකි ගැන ලිපි‍ය බලන්න.)

Do you mind if I open the window? මම ජනේලේ ඇරියට ඔයාට කමක් නැද්ද?

Do you mind if he doesn’t come? එය නාවට (නාවොත්) ඔයාට කමක් නැද්ද?

Would you mind if we had a break now? අපි දැන් පොඩි විවේකයක් ගත්තට කමක් නැද්ද (විවේකයක් ගන්නවට ඔයාගෙ අකමැත්තක් තියෙනවද)?

Would you mind if she joined you? එයා ඔයාට එකතු උනාට ඔයාට කමක් නැද්ද?

***මෙවැනි ප්‍රශ්න පහත දැක්වෙන ආකාරයටත් ප්‍රකාශ කළ හැකියි.

Do / Would you mind his /him taking this? එයා මේක ගත්තට ඔයාට කමක් නැද්ද?

Do / Would you mind my / me asking? මම ඇහුවට (ඔයාට) කමක් නැද්ද?

Do / Would you mind my / me not coming tomorrow? මම හෙට නාවට (ඔයාට) කමක් නැද්ද?

***උත්තර දීමේදී අකමැත්තක් නැති නම් කලින් ලෙසම පිළිතුරු දිය හැකියි. අකමැත්තක් තිබේ නම් එය ආචාරශීලීව ප්‍රකාශ කළ යුතුයි.

Do you mind if I smoke? / Would you mind if I smoked? මම සිගරට් එකක් බිව්වට කමක් නැද්ද?
- No, not at all. / No, go ahead. කිසි ප්‍රශ්නයක් නැහැ.
- Well, I’d prefer it if you didn’t / I’d rather you didn’t. හැබැයි සිගරට් නො‍බොනව නම් වැඩිය හොඳයි (මම වැඩිය කැමතියි).

***මේ සඳහා පහත සඳහන් ආකාරයේ රටාවක් යොදා ගන්නා විට අකමැත්තක් නැති බව පළ කරන (කැමැත්ත පළ කරන) ආකාරය වෙනස් වන බව නිරීක්ෂණය කරන්න. නමුත් අකමැති නම් කලින් ගත් රටාවම භාවිතා කළ හැකියි.

Is it OK (with you) if I leave now? / Would it be OK (with you) if I left now? දැන් මම ගියාට (ඔයාට) කමක් නැද්ද?
- Yes, it’s OK (, you can leave now). , කමක් නැහැ (, ඔයාට දැන් යන්න පුලුවන්).
- I’d prefer it if you stayed a bit longer. / I’d rather you stayed a bit longer. තව ටික වෙලාවක් ඉන්නවනම් වඩා හොඳයි (මම වඩා කැමතියි).

***පහත ආකාරයේ රටාත් බහුලව භාවිතා වෙනවා.

I’d like to start the lesson now, if you don’t mind. මම දැන් පාඩම පටන් ගන්න කැමතියි, ඔයාගේ / ඔයාලගේ අකමැත්තක් නැත්නම්.
- No problem, go ahead. ප්‍රශ්නයක් නැහැ, පටන් ගන්න (එහෙම කරන්න).
- Can you wait a bit longer? ඔයාට (පටන් ගන්න) තව ටිකක් ඉන්න පුළුවන්ද?

How old are you, if you don’t mind my / me asking? ඔයාගේ වයස කීයද, මම ඇහුවට කමක් නැත්නම්?
- Oh, I’m 40., මට හතළිහක්.
- I’d prefer not to tell you. / I’d rather not tell you. ඒක ඔයාට නොකියා ඉන්න මම වඩා කැමතියි. / Never you mind.* ඒක ඔයාට ඕනැ නැහැනේ.

*මෙය “never mind” යන්න සමග පටලවා නොගත යුතුයි.

Oh, I forgot to bring the book you asked for. අයියෝ, මට ඔයා ඉල්ලුව පොත ගේන්න අමතක උනා.   
- Never mind, I only need it next week. ඒකට කමක් නැහැ (ඒ ගැන වද වෙන්න එපා), මට ඒක ඕනැ වෙන්නේ ලබන සතියේ.

3. You had (You’d) better do it. - ඔබ එය කළොත් හොඳයි (නොකළොත් එය ප්‍රශ්නයක් විය හැකියි).
(කතා බහේදී  මෙය You better do it.” කියාද ඇතැම් විට යෙදෙනවා.) 

***මෙය භාවිතා කරන්නේ යමක් කිරීම හොඳ යැයි යොජනා කිරීමට ‍වුණත්, එය එසේ නොකළොත් ගැ‍ටළු මතු විය හැකි බවට වක්‍රාකාර අනතුරු හැඟවීමක්ද අන්තර්ගත වෙනවා. 

You had better call your boss immediately. ඔයා පරක්කු නොවී ඔයාගෙ ලොක්කට කතා කළොත් හොඳයි. (එහෙම නොක‍ළොත් ලෙඩක් වෙන්න පුලුවන්. )

He had better see me tomorrow. එයා හෙට මාව හම්බ වෙනව නම් හොඳයි. (එහෙම නොකළොත් කරදර වෙයි.)

They’d better not come here. ඒ ගොල්ලො මෙහෙ නොඑනව නම් හොදයි. (අවොත් ඒක ප්‍රශ්නයක් වෙයි.)

***තමන්ගේ ප්‍රාර්ථනාවක් ඇතැම් විට සිංහලෙන් මේ හා සමාන ආකාරයෙන් ප්‍රකාශ වන නිසා, ඉංග්‍රීසි ඉගෙන ගන්නා සමහර අය මෙම රටාව වැරදි ලෙස පාවිච්චි කරනවාත් පෙනෙනවා. මෙහි අර්ථයේ වෙනස පැහැදිලිව වටහා ගත යුතුයි.

He had better come with us. එයා අපිත් එක්ක ආවොත් හොඳයි. (නාවොත් එයාට ප්‍රශ්නයක් / පාඩුවක් වෙයි.) - මෙය එක්තරා අනතුරු හැඟවීමක්.

I wish he would come with us. / If only he would come with us. එයා අපිත් එක්ක ආවොත් හොඳයි. (එයා අපිත් එක්ක එනව නම් කොච්චර හොඳද) - මෙය තමන්ගේ කැමැත්තක්, ප්‍රාර්ථනාවක්. මේ රටා ගැන විස්තර I Wish I knew! - මේ අතීත කාලයද? ලිපියේ ඉදිරිපත් කෙරුනා.

4. I suggest (that) you do it. මම ඔබට එය කරන මෙන් යෝජනා කරනවා.

***මේ suggest පදය සමග යෙදෙන රටා කීපයක් තියෙනවා.

I suggest (that) you do it. / I suggest (that) you should do it. [BrE] මම ඔයාට ඒක කරන්න යෝජනා කරනවා.

I suggest doing it. මම ඒක කරන්න යෝජනා කරනවා.

(නමුත් “I suggest you to do it” රටාව නොයෙදෙන බව සැලකිය යුතුයි.)

***මුලින්ම සඳහන් රටාවේ do පදය එහිදී සාමාන්‍ය ලෙස පෙනුනත්, ඒක වචන නාම පදයකදී, විශේෂයෙන් ඇමරිකානු භාවිතයේ, එය එසේ නොවන බව පෙනෙනවා.

I suggest (that) he do it. / I suggest (that) he does it. [BrE] මම එයාට ඒක කරන්න යෝජනා කරනවා.

***විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ වුවත් ජාත්‍යන්තර ව්‍යවහාරයේද හමු වෙන, කිරීමට යෝජනා කරන දේ සඳහා මෙසේ ක්‍රියා පදයක මූලික ස්වරූපය (bare infinitive) යෙදීම එක්තරා subjunctive mood ස්වරූපයක් ලෙස සැලකෙනවා. (වෙනත් subjunctive mood ස්වරූප ගැන If You Went to the Moon… - ‘if’සහිත වැකි ගැන ලිපිය බලන්න.) මෙය අතීත හා අනාගත කාල ප්‍රකාශ වලත් මෙසේම යෙදෙන අතර, නැත යන අර්ථය දීමට එක් කරන්නේ not පදය පමණයි.

The teacher suggested (that) the student study the next chapter. / The teacher suggested (that) the student should study the next chapter. [BrE] / The teacher suggested (that) the student studied the next chapter. [BrE] ගුරුවරයා ශිෂ්‍යයාට ඊළඟ පරිච්ඡේදය පාඩම් කරන්න යෝජනා කළා.

The parents will suggest (that) the child get up earlier. / The parents will suggest (that) the child should get up earlier. [BrE] / The parents will suggest (that) the child gets up earlier. [BrE] දෙමව්පියෝ ළමයට කලින් නැගිටින්න යෝජනා කරාවි.

We suggested (that) he not go there. / We suggested (that) he shouldn’t go there. [BrE] / We suggested (that) he didn’t go there. [BrE] අපි එයාට එහේ නොයන්න යෝජනා කළා.

***මේ රටා insist / demand / propose / request / ask / recommend / it is necessary / it is important / it is essential that… ආදී තැන්වලත් යෙදෙනවා.

They insisted that we be punctual. / They insisted that we should be punctual. [BrE] / They insisted that we were punctual. [BrE] අපි වෙලාවට වැඩ කළ යුතු බව ඒ අය තදින්ම ඉල්ලා හිටියා.

It’s important that everyone arrive on time. / It’s important that everyone should arrive on time. [BrE] / It’s important that everyone arrives on time. [BrE] හැම කෙනෙක්ම වෙලාවට පැමිණීම වැදගත්.

***එසේම suggest that, insist that වැනි යෙදුම්වලට පසුව සාමාන්‍ය ක්‍රියා රටා යෙදෙන විට වෙනස් අර්ථයක්ද තිබිය හැකි නිසා පැටලිලි ඇති විය හැකියි.

The teacher suggested that the student studied the next chapter. ශිෂ්‍යයා ඊළඟ පරිච්ඡේදය පාඩම් කළා කියන අදහස ගුරුවරයා ඉදිරිපත් කළා.

They insisted that we were punctual. අපි වෙලාවට වැඩ කළ බව ඒ අය තදින්ම කියා සිටියා.

***කෙසේ වෙතත් ensure / make sure / see to it that… කෙසේ වෙතත් ensure / make sure / see to it that… වැනි යෙදුම්වලට පසුව නම් වර්තමානයේ බොහෝ විට ගැනෙන්නේ සාමාන්‍ය ක්‍රියා රටායි.
 
Please ensure / make sure / see to it that everyone arrives on time. කරුණාකරලා හැම කෙනෙක්ම වෙලාවට එන බවට වග බලා ගන්න (එන බව තහවුරු කර ගන්න).

5. May you have the courage to do it! ඔබට එය කිරීමට ධෛර්යය ලැබේවා!

***විධිමත් ප්‍රාර්ථනාවක් දැක්වීමට මෙම රටාව යොදා ගැනෙනවා.

May you live long! ඔබට දීර්ඝායුෂ ලැබේවා!

May God bless you! ඔබට දෙවි පිහිටයි! (ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!)

***ප්‍රාර්ථනාවක්, විය හැකි දෙයක් ආදිය සඳහා ඇතැම් සාම්ප්‍රදායික රටාවල ඉහත සඳහන් subjunctive mood ස්වරූපයත් භාවිතා වෙනවා.

Long live democracy! ප්‍රජාතන්ත්‍රවාදය දිගුකල් දිනේවා (දිගුකල් පවතීවා)!

God bless you! ඔබට දෙවි පිහිටයි!

Thy kingdom come, thy will* be done…! ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ඉටු වේවා...! (ක්‍රිස්තියානි යාඥාවක්)

If you don’t want to talk about the subject, so be it. ඔයාට ඒ මාතෘකාව ගැන කතා කරන්න ඕන නැත්නම්, ඔයාගේ කැමැත්තක් (එහෙමම වුණාවේ).

*මෙහි thy යනු ඔබගේ යන අර්ථය ඇති පැරණි possessive adjective පදයක් වන අතර will යනු කැමැත්ත යන අර්ථය ඇති නාම පදයක් (noun) මිස කෘත්‍යමය උපකාරක ක්‍රියා පදයක් (modal auxiliary verb) නොවේ.

***මේ පිළිබඳවIf She Found Out About it... ලිපියත් බලන්න.

මම දැන් තවත් දුර ගියොත් ප්‍රශ්නයක්ද? කොහොම වුණත් ඊළඟ ලිපියෙන්ම අනිත් දේවල් බැලුවොත් හොඳයි කියල මට දැනෙනවා. (Would you mind if I went further now? Anyway I feel that we had better deal with other things in the next post.)



0 comments:

Post a Comment

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails