Showing posts with label prepositions. Show all posts
Showing posts with label prepositions. Show all posts

Friday, June 22, 2012

What AreYou Afraid Of? බයක්ද?



ඉංග්‍රීසියේ සමහර වචන එක්ක යොදන prepositions ඒ වචන පාවිච්චි වෙන ආකාරය අනුව වෙනස් වෙන අවස්ථා කීපයක් අපි "Do You Agree with Me? එකඟද, නැද්ද?" ලිපියෙන් බැලුවා. තවත් මෙවැනි තැන් තියෙනවා. ඇතැම් වචන එක් අර්ථයක preposition පදයක් සමගත්, වෙනත් අර්ථයක තනිවමත් භාවිතයේ යෙදෙනවා.

1. afraid of / afraid to / afraid for

බයක් , කණස්සල්ලක් වැනි හැඟීමක් ඇති බව දැක්වීමට ගැනෙන මෙ පදය බොහෝ විට භාවිතා වෙන්නේ "of" සමගයි.

What are you afraid of?
ඔයා මොකකටද බය (මොකක් ගැනද කණස්සල්ලෙන්)?

I'm not afraid of that guy.
මම ඒ මිනිහට (ඒ යකාට) බය නැහැ.

He's afraid of going out in the dark.*  
එයා කළුවරේ එළියට යන්න බයයි.
  
*යමෙක් යමක් කිරීමට බය (හෝ බයක් නැති) බව ප්‍රකාශ කිරීමට "of" වෙනුවට "to" ද යොදා ගත හැකියි. (නමුත් ක්‍රියා රූපය වෙනස් කළ යුතුයි.)

He's afraid to go out in the dark.  
එයා කළුවරේ එළියට යන්න බයයි.

යම් දෙයක්/කෙනෙක් වෙනුවෙන් බියක්, කණස්සල්ලක් ඇති බව දැක්වීමට "for" පාවිච්චි වෙනවා.

I’m afraid for my brother.
මට මගේ අයියා/මල්ලි ගැන බයයි. (ඔහුට කරදරයක් වේදැයි බයයි.)

His family is afraid for his job.
එයාගේ පවුලේ අය එයාගේ රස්සාව ගැන බයෙන් (රස්සාව නැති වෙයිදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

2. fear / fear for / fear to

යමකට/යමෙකුට  බියක් ඇති බව කීමට ක්‍රියා පදයක් වශයෙන් මෙය යෙදෙන විට preposition අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බිය ඇත්තේ යමක්/යමෙක් වෙනුවෙන් නම් (කලින් උදාහරණයේ මෙන්) "for" පාවිච්චි කෙරෙනවා. යමෙක් යමක් කිරීමට බය (හෝ බයක් නැති) බව ප්‍රකාශ කිරීමට විධිමත් භාවිතයේ “fear” හෝ “fear to” (වෙනස් ක්‍රියා රූප සමග) යොදා ගත හැකියි.   

We all fear our boss.
අපි ඔක්කොම අපේ ලොක්කට බයයි.

We fear for our children.
අපට අපේ ළමයි ගැන බයයි. (ඔවුන්ට කරදරයක් වේදැයි බයයි.)

We all fear for our jobs.
අපි ඔක්කොම අපේ රස්සා ගැන බයෙන් (රස්සා නැති වෙයිදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

She fears going out in the dark. (විධිමත්) / She fears to go out in the dark. (විධිමත්) 
එයා කළුවරේ එළියට යන්න බයයි.

3. guilty of / guilty about

යම් දෙයක් පිළිබඳ වරද යමෙක් සතු බව පැවසීමට "of" යොදා ගැනෙනවා. තමන් වැරදි දෙයක් කළේ යයි කෙනෙකුට ඇති වෙන හැඟීම (පසුතැවිල්ල) පිළිබඳව "about"** යෙදෙනවා.

He's guilty of many crimes.
එයා අපරාධ ගණනාවකට වග කියන්න ඕනැ.

That man was found guilty of fraud in court.
උසාවියේදී ඒ මිනිහා වංචාවකට වැරදිකාරයා වුණා.

I felt guilty about leaving so early.**
මම එච්චර කලින් පිටවෙලා ගිය එක වැරදියි කියලා මට හිතුනා (පසුතැවිල්ලක් ඇති වුණා).

**මෙම අර්ථයෙන් “about” වෙනුවට “for” ද යෙදෙනු පෙනෙනවා.

I felt guilty for leaving so early.

4. anxious about / anxious for

යමක් ගැන කණස්සල්ලක් ඇති බව කීමට "anxious about" භාවිතා වෙන අතර යමෙක් වෙනුවෙන් කණස්සල්ලක් ඇති බව කීමට "anxious for" යෙදෙනවා. එසේම යමෙක් යමක් ආසාවෙන් බලාපොරොත්තු වෙන බව දැක්වීමටත් "anxious for" යෙදෙන අතර යමක් කිරීමට ආසාවෙන් බලාපොරොත්තු වෙන බව කීමට “anxious to” ගැනෙනවා.

The parents are anxious about the children's test results.
දෙමව්පියෝ ළමයින්ගේ විභාග වාර්තා ගැන බයකින් (වාර්තා කෙසේ වේදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

The parents are anxious for the children.
දෙමව්පියෝ ළමයි ගැන බයකින් (ඔවුන්ට කරදරයක් වේදැයි කණස්සල්ලෙන්) ඉන්නේ.

The children are anxious for the holidays[BrE]/vacation[AmE].
ළමයි නිවාඩුව එනකම් බලන් ඉන්නේ.

The children are anxious to go on the trip.
ළමයි ගමන යන්න බලන් ඉන්නේ.

5. attend / attend to

පාසැලකට, ආගමික ස්ථානයකට, උත්සවයකට වැන්නකට ගොස් සහභාගී වීම දැක්වීම සඳහා මෙය යෙදෙන්නේ preposition නොමැතිවයි. එමෙන්ම - විධිමත් ව්‍යවහාරයේ - වෙනත් කෙනෙක් සමග (පරිවාරිකයන් මෙන්) සිටීම පිළිබඳවත් එසේ ගැනෙනවා. නමුත් යම් දෙයක් හෝ කෙනෙක් පිළිබඳ අවශ්‍ය කටයුතුවල යෙදීම සම්බන්ධව නම් භාවිතා වෙන්නේ "to" සමගයි.

We attended school  in the morning.
අපි උදේ ඉස්කෝලේ ගියා (පාසලේ පන්තිවලට සහභාගී වුණා).

She wants to attend a wedding tomorrow.
එයා හෙට මගුල් ගෙදරක යන්න (විවාහ මංගල්‍යයකට සහභාගී වීමට) ඉන්නේ.

The chairman was attended by two assistants.(විධිමත්)
සහායකයක් දෙන්නෙක් සභාපතිතුමා සමග හිටියා.

We should attend to our homework now. අපි දැන් අපේ ගෙදර වැඩ කරන්න ඕනැ (පාසලේ ගෙදර වැඩවල යෙදිය යුතුයි).

Somebody has to attend to that gentleman who is sick.
කව්රුහරි අර අසනීප වෙච්ච මහත්තයා ගැන බලන්න ඕනැ (ඔහු සඳහා අවශ්‍ය කටයුතු සොයා බලා කළ යුතුයි).

6. enter / enter into

කාමරයකට, ගොඩනැගිල්ලකට, ක්ෂේත්‍රයකට හෝ සබඳතාවයකට ඇතුළු වීම සම්බන්ධව යෙදෙන්නේ preposition නැතිවයි. ගිවිසුමක් වැන්නකට ඇතුළුවීමේදී "into" යන්නත් සමග ගැනෙනවා. එමෙන්ම යම් මාතෘකාවකට පිවිසෙනවා, යමකට ඇතුළු වී එහි අනුගත වෙනවා වැනි අර්ථවලත් "into" සමග භාවිතා වෙනවා.

The director entered the room.
අධ්‍යක්ෂතුමා කාමරයට ඇතුල් වුණා.

She decided to enter politics. එයා දේශපාලනයට ඇතුල් වෙන්න තීරණය කළා.

They entered a relationship that led to marriage.විවාහයට මග පෑදුව සබඳකමක් ඒ දෙන්නා පටන් ගත්තා.

The company entered into a contract with the government.
සමාගම රජය සමග කොන්ත්‍රාත්තුවකට ඇතුල් වුණා.

Our personal feelings shouldn't enter into this matter.  අපේ පුද්ගලික හැඟීම මේ කාරණයට එකතු වෙන්න හොඳ නැහැ.

The speaker didn't want to enter into politics in that first speech. ඒ පළවෙනි කතාවේදී දේශපාලනයට පිවිසෙන්න කථිකයා කැමති වුනේ නැහැ.

7. meet / meet with

මුණ ගැහෙනවා යන අර්ථයෙන් බොහෝ විට preposition නැතිව හමු වෙතත්, සැලසුම් කර මුණ ගැහීම සඳහා - විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ - "with"  සමග යෙදෙනවා. මීට අමතරව, ඇතැම් දේ අත්විඳිනවා යන අර්ථයෙන් "with" භාවිතා වෙනවා.

I met an old friend yesterday.
ඊයේ මට පරණ යාළුවෙක් මුණ ගැහුනා.

The President met the foreign delegates in his office.
ජනාධිපතිතුමා ඔහුගේ කාර්යාලයේදී විදේශ නියෝජිතයන් හමු වුණා.

The President met with the foreign delegates in his office. (විශේෂයෙන් AmE)
ජනාධිපතිතුමා ඔහුගේ කාර්යාලයේදී විදේශ නියෝජිතයන් හමු වුණා.

His brother met with a lot of success in Europe.
එයාගේ  මල්ලි/අයියාගේ වැඩ යුරෝපයේදී ගොඩක් සාර්ථක වුණා (විශාල සාර්ථකත්වයක් අත්වින්දා).

He met with an accident.
එයා අනතුරකට භාජනය වුණා (අත්වින්දා, මුහුණ දුන්නා).

8. answer / answer for / answer to

ප්‍රශ්නයකට උත්තර  දෙනවා යන්නේහිදී preposition නැතිව පාවිච්චි වෙතත්, යමක් පිළිබඳ වග උත්තර බඳිනවා, යමෙක් වෙනුවෙන් උත්තරයක් දෙනවා ආදියෙහිදී "for" සමග හමු වෙනවා. යමෙක් යටතේ වැඩ කරනවා / යමෙකුට වග කිව යුතු වෙනවා හෝ (විශේෂයෙන් සතෙක් සම්බන්ධව) යම් නමකට ප්‍රතිචාර දක්වනවා ආදියට  සමග යෙදෙනවා.

You have to answer my question. ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනැ.

You have to answer for your mistake. ඔයාට ඔයාගෙන් වුණා වැරැද්දට වග උත්තර බඳින්න වෙනවා.

I can’t answer for my friend. මට මගේ යාළුවා වෙනුවෙන් උත්තරයක් දෙන්න බැහැ.

All the factory workers answer to the foreman. කර්මාන්ත ශාලාවේ වැඩ කරන ඔක්කොම වැඩ මූලිකයා (ෆෝමන්) යටතේ ඉන්නේ.

The dog answers to the name of Jimmy. බල්ලා “ජිමී” (කියන නම) කිව්වම එනවා.


***කලින් ලිපියෙන් ඉදිරිපත් කළ Ingirisi ඊ පොතේ දෙවෙනි සංස්කරණයට වෙනස්කම් කීපයක්‌ පසුව කරනු ලැබුවා. පළමු සංස්කරණයේ මෙන් ලිපි කාණ්ඩවලට බෙදීමක් නොකර, මෙවර බ්ලොග් අඩවියේ පළ වූ අනුපිළිවෙලටම ඉදිරිපත් කළ නිසා, භාවිතා කිරීමේ පහසුව පිණිස ලිපි වර්ගීකරණයක් එක්‌ කිරීමට තීරණය කළා. සාමාන්‍ය පටුනේදී මෙන්ම මෙම ලිපි වර්ගීකරණයේද ලිපි මාතෘකා මත කෙටීමෙන් අදාළ ලිපිවලට කෙලින්ම යා හැකියි. ඊට අමතරව ලිපි පෙළට කෙටි හැඳින්වීමක්ද එක කළා. එමෙන්ම මුල් පිටපතේ හරිහැටි ක්‍රියා නොකළ සබැඳි කීපයක්ද නිවැරදි ලෙස සකසා තියෙනවා. 

(Image credit: AndrewEick)

Saturday, June 9, 2012

Do You Agree With Me? එකඟද, නැද්ද?



සිංහල මව් භාෂාව හැටියට කතා කරන අයට ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී මතු වෙන ගැටළු ගැන අපි නිතරම අවධානය යොමු කළානේ. ඉංග්‍රීසියේ පද යෙදෙන පිළිවෙල (word order) සිංහල භාෂාවේ රටාවට වෙනස් වීම එවැනි එක ගැටළුවක්.

බොහෝ  විට ඉංග්‍රීසි භාෂාවේ වචන ඊට‍ පසුව එන වචනයට හෝ වාක්‍ය ඛණ්ඩයට සම්බන්ද වෙන්නේ යම් නිපාත පදයක් (preposition) හරහායි. සිංහල භාෂාවේත් නිපාත පද තිබුනට, ඉංග්‍රීසියේ prepositions යෙදෙන ආකාරය ඊට වෙනස් වීම අපට ප්‍රශ්න ඇති කරනවා. ඇතැම් වචන එක්ක පාවිච්චි වෙන prepositions භාවිතයෙන්ම ඉගෙන ගන්න වෙනවා.

ඒ වගේම තවත් දෙයක් තියෙනවා. සමහර වචන එක්ක යොදන prepositions වෙනස් වෙනවා ඒ වචන පාවිච්චි වෙන ආකාරය අනුව. මේ වගේ අවස්ථා කීපයක් ගැන අවධානය යොමු කරමු.

1. agree with/to/on/about

යම් කෙනෙක් සමග හෝ යම් අදහසක්, මතයක්, ප්‍රතිපත්තියක් වැන්නක් සමග එකඟ වෙන බව කීමට ‘agree with’ යොදා ගැනෙනවා. 

I don’t agree with you.
මම ඔය එක්ක එකඟ වෙන්නේ නැහැ.

My parents didn’t agree with my decision.
මගේ දෙමව්පියෝ මගේ තීරණයට එකඟ වුනේ නැහැ.

***මේ රටාව අනුව එන පහත ඇති ආකාරයේ ප්‍රකාශත් තියෙනවා.

Your report doesn’t agree with hers.
ඔයාගෙයි, එයාගෙයි වාර්තා ගැලපෙන්නේ නැහැ.

The food she ate there didn’t agree with her.
එහෙදි කාපු කෑම එයාට හරි ගියේ නැහැ (ඒවා කාලා එයා ලෙඩ වුනා / එයාට වමනෙ ගියා/…).

යම් කොන්දේසියකට හෝ යෝජනාවකට අනුකුලව කටයුතු කිරීමට එකඟ වෙන විට ‘agree to’ භාවිතා වෙනවා.

 None of his classmates agreed to his suggestion.
එයාගේ යෝජනාවට (අනුව කටයුතු කරන්න) පන්තියේ කව්රුවත් එකඟ වුනේ නැහැ.

They refused to agree to the second condition of the document.
ලියවිල්ලේ දෙවෙනි කොන්දේසියට ඒ අය එකඟ වුනේ නැහැ.

***මීට අමතරව ‘agree’ පදයට පසුව ක්‍රියාපදයක් (verb) එන විටත් ‘to’ පාවිච්චි වෙනවා.

He agreed to come with us.
අපිත් එක්ක එන්න එයා එකඟ වුනා.

යම් කරුණක් සම්බන්ධව එකඟ වීමේදී about හෝ on ගැනෙනවා. සාමූහිකව තීරණය කල යතු දෙයක් පිලිබඳ එකඟ වීමේදී on යොදා ගැනෙනවා.

I don’t agree with you about
/on this. මම මේ සම්බන්ධයෙන් ඔයා එක්ක එකඟ වෙන්නේ නැහැ.

They couldn’t agree on a date for the trip.
ඒ අයට ගමන යන දවස ගැන එකඟත්වයකට එන්න බැරි වුණා.

තවත් විස්තර සඳහා “Let’s Agree to Disagree” ලිපියත් බලන්න.

2. shout to/at

වෙනත් කෙනෙකුට ඇසෙන ලෙස  කෑ ගසා යමක් කීමේදී ‘shout to’ යන්නද, සැරෙන්  කෑ ගසා කතා කිරීමේදී  ‘shout at’ යන්නද යෙදෙනවා.

“You have to hurry up,” my friend shouted to me from a distance. “ඔයාට ඉක්මන් කරන්න වෙනවා,” මගේ යාලුවා දුර ඉඳලා හයියෙන් (ශබ්ද නගා) කිව්වා.

Don’t shout at me like that.
මට ඔහොම සැර දාන්න එපා.

***මේ ආකාරයෙන්ම ‘point’, ‘throw’ වැනි පදත් ‘to’ සමග අවශ්‍යතාවය මත පදනම් වී කරනු ලබන අවස්ථාවලදී යෙදෙන අතර  ‘at’ සමග ද්වේශසහගතව කරනු ලබන අවස්ථාවලදී යෙදෙනවා.

The teacher pointed to the student with the best results.
ගුරුවරයා/වරිය හොඳම ප්‍රතිඵල ගත්ත ශිෂ්‍යයාව/ශිෂ්‍යාවව පෙන්නුවා.

The other boys pointed at him and laughed.
අනිත් ළමයි එයාව පෙන්නලා හිනා වුණා.

She threw the ball to the other player.
එයා බෝලය  අනිත් ක්‍රීඩිකාවට වීසි කළා.

They threw stones at the cat.
ඒ අය බළලාට ගල්වලින් ගැහුවා.

3. angry with/at/about

කෙනෙකු සමග තරහ බව කීමේදී ‘angry with’ හෝ ‘angry at’ යෙදෙනවා.

My mother is angry with/at me for coming home late. පරක්කු වෙලා ගෙදර ආව එක ගැන අම්මා මාත් එක්ක තරහෙන් ඉන්නේ.

යමක් ගැන තරහ බව කීමට ‘angry about (හෝ ඇතැම් විට over)’ යොදා ගැනෙනවා.

My mother is angry about my coming home late. මම පරක්කු වෙලා ගෙදර ආව එක ගැන අම්මා තරහෙන් ඉන්නේ.

4. sorry about/for/to

සිදුවී  ඇති දෙයක් ගැන කණගාටුව පළ කිරීමීදී ‘sorry about’ භාවිතා වෙනවා.

I’m sorry about their situation.
ඒ අයගේ තත්වේ ගැන මට දුකයි.

තමන් අතින් සිදුවූ වරදක් හෝ අතපසුවීමක් ගැන කණගාටුව පළ කිරීමීදී ‘sorry about’ හෝ ‘sorry for’ භාවිතා වෙනවා.

I’m sorry about
/for my delay. මගේ පරක්කුව ගැන කණගාටුයි.

යම්  කෙනෙත් ගැන අනුකම්පාව ප්‍රකාශ කිරීමේදී ‘sorry for’ භාවිතා වෙනවා.

 I feel sorry for that poor guy.
ඒ අසරණ මනුස්සයා ගැන මට දුකයි.

යමක් කිරීමට සිදු වීම ගැන කණගාටුව ක්‍රියා පදයක් යොදා ගෙන පළ කිරීමීදී ‘sorry to’ භාවිතා වෙනවා.

I’m sorry to disappoint you. ඔයාගේ හිත නරක් කරන්න (බලාපොරොත්තු සුන් කරන්න) වීම ගැන කණගාටුයි.

We’re sorry to have kept you waiting. ඔයාට බලන් ඉන්න සිද්ධ කළාට කණගාටුයි.

5. happy about/with/for/to

යමක් ගැන සතුටු බව සඳහා ‘happy about’ භාවිතා වෙනවා.

We’re happy about winning the match. මැච් එක දිනපු එක ගැන අපට සතුටුයි.

තමන්ට අත් විඳින දෙයක් වැන්නක් ගැන සතුටු බව දැක්වීමට ‘happy with’ යෙදෙනවා.

She’s not happy with her exam results. එයාගේ විභාග ප්‍රතිඵල ගැන එයා සතුටු නැහැ.

යම්  කෙනෙත් ගැන සතුට ප්‍රකාශ කිරීමේදී 'happy for' භාවිතා වෙනවා.

I hear you have passed your exam. I’m happy for you. මට ආරංචි උනා ඔයා විභාගේ පාස් උනා කියලා. මට සන්තෝසයි ඔයා ගැන.

යමක් කිරීමට ලැබීම ගැන සතුට ක්‍රියා පදයක් යොදා ගෙන පළ කිරීමීදී ‘happy to’ භාවිතා වෙනවා.

I’m happy to see you again. ඔයාව ආයෙ දකින්න ලැබීම ගැන (මට) සතුටුයි.

නමුත් යමක් සතුටින් කරමින් ඉන්න බව පහත ආකාරයට දැක්වෙනවා.

He’s happy working here. එයා මෙහෙ වැඩ කරන්නේ සන්තෝසෙන්.

6. care about
/for/to

තමන් වැදගත් යයි සිතන යමක් ගැන ‘care about’ යනුවෙන් කියනවා.

I really care about the environment.
මම ඇත්තෙන්ම පරිසරය වැදගත් කියලා සලකනවා.

යම් කෙනෙත් බලා හදා ගැනීමේදී මෙන්ම, යමක් ගැන උනන්දුවක්/කැමැත්තක් ඇති බව දැක්වීමටද ‘care for’ යන්න ගැනෙනවා.

They have cared for these children for years.
ඒ අය අවුරුදු ගානක් තිස්සේ මේ ළමයි බලා හදා ගෙන තියනවා.

I don’t care for computer programming.
මගේ උනන්දුවක්/ආසාවක් නැහැ ‘computer programming’ ගැන.

Would you care for a cup of tea? ඔයා කැමතිද තේ එකක් බොන්න?

Maybe you don’t care much for grammar, but I hope you care about improving your English.
සමහර විට ව්‍යාකරණ ගැන ඔයාට එච්චර ආසාවක් නැතුව ඇති, ඒත් ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්න එක වැදගත් කියලා සලකනවා, මම හිතන්නේ.

යමක් කිරීමට උනන්දුවක්/කැමැත්තක් ඇති බව ක්‍රියා පදයක් යොදා ගෙන දැක්වීමට ‘care to’ භාවිතා වෙනවා.

I can give it to you if you care to come over here. ඔයාට මෙහාට එන්න කැමති නම් මට ඒක ඔයාට වෙන්න පුළුවන්.

7. made of/from

යමක් යම් ද්‍රව්‍යයකින් සදා ඇති බව දැක්වීමට ‘made of’ යොදා ගන්නවා. නමුත් එම ද්‍රව්‍යයේ ස්වභාවය එහිදී වෙනස් වී ඇත් නම් යෙදෙන්නේ  ‘made from’ යන්නයි.

This table is made of wood. මේ මේසෙ හදල තියෙන්නේ ලීවලින්. (එම ලී තවමත් ලී ලෙසම පවතිනවා.)

Arrack is made from toddy. අරක්කු හදන්නේ රාවලින්. (නමුත් එම රා දැන් එහි රා ලෙසම නැහැ.)

(Image credit: itia4u)

 


Related Posts with Thumbnails