Monday, June 25, 2012

Learn English in One Day! අපෙන්ම විතරයි


අපේ රටේ අය ඉස්කෝලේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එත් පාසැල් කාලය අවසානයේදීත් ඉංග්‍රීසියෙන් ප්‍රායෝගික වැඩක් ගන්න පුළුවන් හැකියාවක් බොහෝ දෙනෙකුට නැතිලු. එහෙනම් ඉතින් අපේ ඉංග්‍රීසි අධ්‍යාපන රටාවේ යම් වැරැද්දක් තියෙන බව පැහැදිලියි.

මේකට ප්‍රතිකර්මයක් හැටියට, ඉස්කෝලෙන් එළියට එන අය හොයනවා ඉක්මනින් හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබා ගත හැකි ක්‍රම. විශේෂයෙන්ම කතා කිරීමේ හැකියාව ලබා ගැනීම බොහෝ අය ඉලක්ක කරනවා.
ප්‍රායෝගික වැදගත්කම වගේම, කඩ්ඩෙන් කතාව දාලා අනිත් අයට පොඩි නයා පාරක් පෙන්නනත් පුළුවන්නේ. ඉතින් මේක ඉක්මනින්, ලේසියෙන් කර ගන්න පුළුවන් නම් කොච්චර හොඳද!

මේ සඳහා මුලින්ම අපේ රටේ තිබුනා මාස 6 න් ඉංග්‍රීසි උගන්වන පාඨමාලා. හැබැයි දැන් අපේ අය මාස 6 ක් මේකට නාස්ති කරන්න කැමතිත් නැහැ. ඒ නිසා එම කාල සීමාව මාස 3, මාස 2 ආදී වශයෙන් කෙටි වී ගෙන ගියා. දැන් නම් දින 5 න් ඕනෑම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්න උගන්නන තැනුත් තියනවලු (මොළේට ඉංගීසි microchip එකක් වගේ දෙයක් දානවද දන්නේ නැහැ). තව ටික දවසකින් මේක එක දවසෙන් කරන්නත් පටන් ගන්න ඉඩ තියෙනවා. ඔක්කොම දේවල් ක්ෂණිකව කරන්න හදන කාලෙනේ.

වරදවා  වටහාගන්න එපා. මම මෙයින් අදහස් කරන්නේ නැහැ නව අධ්‍යයන ක්‍රම භාවිතා නොකළ යුතුයි කියලා. ඒ වගේම හැම දෙනාටම ඉතා උසස් ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි කියලත් මම හිතන්නේ නැහැ. නමුත් තම අදහසක් තවත් කෙනෙකුට වැඩි අපහසුවකින් තොරව තේරුම් යන ලෙස ප්‍රකාශ කිරීමට සහ ඔවුන් පවසන දෙයක් වැඩි අපහසුවකින් තොරව තේරුම් ගැනීමට හැකි තත්වයකට ඒමට කොපමණ කාලයක් අවශ්‍යද යන්න වැදගත් ප්‍රශ්නයක්.

මේ පිළිබඳව අන්තර්ජාලයේ හොයලා බලද්දී හමු වුණා වෙබ් අඩවියක්: "Fluent in 3 Months". මෙය ඉදිරිපත් කරන අයිරිෂ් ජාතික Benny Lewis නැමැත්තා භාෂා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නෙක් බව පෙනෙනවා. ඔහු වරින් වර විවිධ භාෂා තොරා ගෙන, මාස 3 ක් ඇතුළත එම භාෂාවෙන් වැඩි අපහසුවකින් තොරව කතා කළ හැකි තත්වයට ඒමට ඉලක්ක කරනවා. මුලින් තමන්ට කිට්ටු යුරෝපීය භාෂා තෝරා ගත් ඔහු, පසුව චීන භාෂාව වැනි ඉගෙනීමට අපහසු යයි සැලකෙන භාෂාත් තෝරා ගත්තා. තම ක්‍රමවේදය ඉතා සාර්ථක බව පවසන ඔහු ඒ පිළිබඳ පාඨමාලාවකුත් අලවි කරනවා. නමුත් මෙතැනදී සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා.

Benny Lewis
භාෂා අධ්‍යයනය පිළිබඳ ඉතා ඉහළ හැකියාවක් ඇත්තෙක් බව පැහැදිලියි. එවැන්නෙකුට මෙවැනි දෙයක් කළ හැකි වුණත්, සාමාන්‍ය කෙනෙකුට එසේ කළ හැකි වෙයිද යන්න ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් අතින්, ඔහු යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන රටකට හෝ ප්‍රදේශයකට ගොස් එය අධ්‍යයනය කරන්නෙක්. එසේ කිරීම අත්‍යාවශ්‍ය නොවන බව ඔහු පවසතත්, අදාළ භාෂාව කතා කරන්නන් සමග සම්බන්ධ වීම සහ ඔවුන්ගෙන් උපදෙස් ගැනීම ඉතා වැදගත් ලෙස සලකනවා. එවැන්නකට අවස්ථාව ශ්‍රී ලාංකිකයන් බහුතරයකට නම් නොමැති බව පැහැදිලි කරුණක්.

ඔහු කියා සිටින්නේ ඉගෙනීම පටන් ගත් දිනයේ සිටම ඔහු එම අළුත් බසින් කතා කිරීම අරඹන බවයි; වෙනත් භාෂා භාවිතයෙන් හැකි තරම් වැළකෙන බවයි. මෙවැන්නක් කලකට ඉහත නම් ලංකාවේ ඇතැම් පාසල්වලත් ක්‍රියාත්මක වුණාලු. සිංහලෙන් කතා කළ විට දඩ ගෙවීමටත් සිදු වුණාලු. වර්තමානයේත් මෙම ක්‍රමය යම් තරමකින් උපයෝගී කර ගැනීමට ඇතැම් තැන්වල උත්සාහ කරනු පෙනෙනවා. නමුත් යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස ඇති රටකදී නම් මීට ලැබෙන අවකාශය බොහෝ සෙයින් වැඩියි.

මේ හා සම්බන්ධ තවත් වැදගත් කරුණක් වන්නේ ඉලක්ක කරනු ලබන භාෂා හසලත්වය කුමන පරාසයක් හරහා විහිදෙන්නක්ද යන්න. ඉංග්‍රීසියෙන් "fluency" යනුවෙන් හඳුන්වන ව්‍යක්තභාවය ළඟා කර ගැනීමට නම් සාමාන්‍ය ජීවිතයේ හමු වෙන ඕනෑම මාතෘකාවක් පිළිබඳ සාර්ථක සංවාදයක අපහසුවකින් තොරව යෙදීමට හැකි විය යුතු බවයි LingQ භාෂා අධ්‍යයන වෙබ් අඩවියේ නිර්මාතෘ Steve Kaufmann ගේ අදහස.

ආසන්න වශයෙන් මෙවැනි තත්වයක් තමා චෙක් (Czech) භාෂාවෙන් දින 5 ක් ඇතුළත ලබා ගැනීමට ඉලක්ක කරන බව ඔහු වරක් ප්‍රකාශ කළා. නමුත්  ඒ වන විට ඔහු මාස 8 ක පමණ සිට එම භාෂාව හදාරා ඇති බවත්, අදාළ දින 5 දී අදහස් කරන්නේ ප්‍රාග් (Prague) නගරයේදී සම්පුර්ණයෙන්ම එම භාෂාව භාවිතයට කැප වෙන්නට (total immersion) බවත් එතනදී පිළිගැනුණා. කෙසේ වෙතත් මොහුත් භාෂා අධ්‍යයනයේ අති දක්ෂයෙක් මිස සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ.

නමුත් ඔහු Benny Lewis ගේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන්නෙක්. ඔහුගේ මතය අනුව භාෂාවක් කතා කරන රටකට යාමට කලින් එම භාෂාව පිළිබඳ හොඳ මුලික දැනුමක් ලබා තිබීම වැදගත් වෙනවා. (ඇතැම් භාෂා පිලිබඳ මෙවන් හොඳ මුලික දැනුමක් ලැබීමට ඔහුගේ LingQ වෙබ් අඩවියද භාවිතා කළ හැකි බව ඔහුගේ අදහසයි.)

සාමාන්‍ය පුද්ගලයන් මේ "fluency" තත්වයට ළඟා වීම මාතෘකා කර ගත් වෙබ් පිටුවක නම් කියවෙන්නේ තරමක් බය හිතෙන කතාවක්. පර්යේෂණවලට අනුව ඒ සඳහා පැය 10, 000 ක් පමණ අධ්‍යයනය පිණිස කැප කළ යුතු බවත්, විවිධ අධ්‍යයන ක්‍රම ඔස්සේ ඒ සඳහා ගත වෙන වසර ගන්නත් එහි දැක්වෙනවා. නමුත් මෙහි අදහස් කෙරෙන හසලත්වය නම් ඉතා උසස් වුවක් බව සැලකිය යුතුයි.

ඉංග්‍රීසි භාෂාවේ හසලභාවය ලැබීම සඳහා අවශ්‍ය කාලය පිළිබඳ අදහස් විමසුමක ප්‍රතිඵලද හමු වුණා. මේ සම්බන්ධ මතවල ඇති විවිධත්වය එහි නිරූපනය වෙනවා. එයින් උපකල්පනය කළ හැකි එක් දෙයක් නම්, මෙවැන්නකට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට ඉඩ ඇති බවයි. බහුතර මතයක් වශයෙන් ගත හැක්කක් එහි දක්නට නැතත්, 26% කට මදක් වැඩි පිරිසක් අදහස් කරන්නේ අවුරුදු 5 කට වැඩි කාලයක් මීට උවමනා බවයි. (මෙහි ප්‍රතිඵල බැලීමට පෙර තමන්ගේ තේරීම ඉදිරිපත් කළ යුතු වෙනවා.)

කෙසේ නමුත් Benny Lewis මාස 3 කින් ළඟා වීමට බලාපොරොත්තු වන මට්ටම සහ මේ පැය 10, 000 ක් අවශ්‍ය මට්ටම අතර - මේ දෙතැනම "fluent" සහ "fluency" වචන යොදා ගෙන තිබුනත් - වෙනසක් තිබිය යුතු බව නම් හැඟෙනවා. භාෂා කුසලතාවය පිළිබඳ මිනුම් දණ්ඩක් ලෙස ගැනෙන  "Common European Framework" වර්ගීකරණය අනුව එම හැකියාව A1, A2, B1, B2, C1, C2  යනුවෙන් මට්ටම 6 කට බෙදෙනවා. Benny Lewis මාස 3 කින් C1 මට්ට්ටම ඉලක්ක කළත්, එය කළ නොහැක්කක් බවයි වෙනත් අයගේ අදහස. මේ ගැන ලියවුන ලිපියක ඉහත සඳහන් මට්ටම් පිළිබඳ Steve Kaufmann විස්තරාත්මකව අදහස් දක්වන වීඩියෝවක්ද අන්තර්ගතයි. එම  වීඩියෝවේ ඔහු පැහැදිලි කරන්නේ C1 හෝ C2 යන පුළුල් පරාසයක් හරහා විහිදෙන උසස් දැනුමක් ඇති මට්ටම්වලට ළඟා වීමට විශාල වශයෙන් කියවීම (සහ සවන් දීම) අවශ්‍ය බවයි.

නමුත් අපේ රටේ බහුතරයකට ඉංග්‍රීසි දැනුමේ එවන් මට්ටමක් කරා යාමට අවශ්‍යතාවයක් තිබේද යන්න සැලකිය යුතු කාරණයක්. බොහෝ දෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු සඳහා B1 හෝ B2 මට්ටමේ දැනුමක් ප්‍රමාණවත් වෙන නිසා එතනින් ඔබ්බට යාමට ඔවුන්ට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ක්‍රමවත් අධ්‍යයනයක යෙදෙන්නෙකුට අවුරුද්දකින් පමණ B1, B2 දැනුමක් ලබා ගැනීමට හැකි විය යුතු බවයි මගේ නම් පෞද්ගලික විශ්වාසය. ("Cambridge English Language Assessment" අනුව B1 මට්ටම සඳහා ගුරු මග පෙන්වීම යටතේ අධ්‍යයන පැය 350–400 පමණද, B2 සඳහා පැය 500–600 පමණද අවශ්‍ය බව කියවෙනවා.) මේ මට්ටමෙන් ඔබ්බට ඉගෙනීම පිළිබඳව Moving Beyond the Intermediate Plateau ලිපියේ වැඩි විස්තර දැක්වෙනවා.

විවිධ භාෂා අධ්‍යයන ක්‍රම පිළිබඳව මීට කලින් ලියවුන "How DoYou Learn a Language? – භාෂාවක් ඉ‍ගෙන ගැනීම ගැන ", "How DoYou Learn a Language II – විවිධ ක්‍රම ගැන", " How Do You Learn a Language III – තමන්ම ඉගෙනීම ගැන" ලිපිවලත් මේ සම්බන්ධ යම් යම් දේ සඳහන් වෙනවා.

හැබැයි ඉතින් අපේ රටේ තියනවයි කියන දින 5 න් මුලික දැනුමක් නැති කෙනෙකුට ඕනෑම දෙයක් ඉංග්‍රීසියෙන් කීමට හැකියාව ලබාදෙන ක්‍රමයක් ගැන නම් කොහෙන්වත් හොයා ගන්න බැරි වුණා. ඒක total immersion අවශ්‍ය වන ක්‍රමයකුත් නෙමේද කොහෙද? මේ වගේ දේවල් ගැන හොයලා බලලා ජාත්‍යන්තරයට අරන් ගියොත් කොහොමද රටට ලැබෙන විදේශ විනිමය?  

(Image credit:
Shane Global Language Centres)


12 comments:

  1. මම හිතන්නෙ නෑ ඔය විධියට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් කියල සති කීපෙකුන් වුණත්. අන්තිමේදි ක්ලාස් එක මැදදි 'ටොයිලට් ගිහින් එන්නද?' අහනව වගේ දෙක තුනක් පාඩම් වෙයි. ඔබතුමා කියපු විධියටම භෂා ඉගෙනීමේ හැකියාව ටිකක් වෙනස් එකක්. නියම විධියට භාෂාවක් ඉගෙනගන්න නම් අපි අඩු තරමෙ මව් භාෂාව හරියට දැනගන්න වෙනව. එතකොට භෂා දෙක සන්සන්දනය කරමින් ඉගෙනගන්න ලේසි වෙන්න පුළුවන්. එහෙම සන්සන්දනාත්මකව ඉංග්‍රීසි උගන්නපු පොතක් තමයි ඇන්ටනී ප්‍රනාන්දු මහත්තයගෙ 'ඉංග්‍රීසියට සරළ මග' (නම හරියට මතක නෑ) කියන පොත. ඒකෙ තියෙන සැසඳීම් ගැන ඒ දවස්වල මට පුදුම හිතුණ. වැඩේ කියන්නෙ මම සිංහලත් හරියට දන්නෙ නෑනෙ... :P

    කාලයක් වෙනත් භාෂාවකින් චිත්‍රපටි බලද්දි, වෙබ් අඩවි කියවද්දි වාක්‍යයක් ගොඩනැගෙන විධිය ගැන ඉබේම අදහසක් පහල වෙන්න පුළුවන්. නමුත් වචන දැනගන්න නම් ඒ භාෂාවෙන් කියවන්නම වෙනවා. කතා කරන්න අවශ්‍ය නම් තනියම හරි අභ්‍යාස කරන්නම වෙනවා. උදව්වට දන්න කෙනෙක් හෝ සමකාලීනයෙක් ඉන්නවනම් අගේ නිම කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මමත් එකඟ වෙනවා. ඉක්මකින් සීමිත දැනුමක් ලබා ගන්න පුළුවන් වුනත්, හොඳ දැනුමක් ලබා ගන්න නම් භාෂා ව්‍යවහාරය සමග සමීප වෙන්න කාලය කැප කිරීම අත්‍යවශ්‍යයි කියන එක තමයි මගේ මතයත්.

      Delete
    2. දෙවෙනි භාෂාවක් ඉගැන්වීමේදී මව් භාෂාව යොදා ගැනීම නුසුදුසු බව පහුගිය අවුරුදු 50 ක පමණ කාලයක් තුළ පැන නැගුන මතයක්. ඒ අනුව ඉගැන්වීමදී උගන්වනු ලබන භාෂාව පමණක් භාවිතා කළ යුතු යයි අදහස් කෙරුණා.

      නමුත් වර්තමනයේ මිට ප්‍රතිවිරුද්ධ මතයක්ද ගොඩ නැගී තියනවා. ඒ අනුව පැවසෙන්නේ, ගුරුවරයා ප්‍රධාන වශයෙන් උගන්වනු ලබන භාෂාව භාවිතා කළ යුතු නමුත් අවශ්‍ය තැන්වලදී - පැහැදිලි කිරීමක්, අර්ථ දැක්වීමක් වැන්නක් සඳහා - ශිෂ්‍යයන්ගේ මව් බස යොදා ගැනීම ප්‍රතිඵලදායක බවයි. (මෙය Sandwich Technique ලෙස හැඳින්වෙනවා.)

      මගේ පෞද්ගලික මතයත් මේ දෙවෙනි ක්‍රමය වඩා යෝග්‍ය බවයි. එය සාර්ථක බව මගේ අත්දැකීමයි.

      Delete
    3. අපේ ඉස්කෝල වලින් හරි දැනුමක් නොලැබෙන්නෙ මේ හේතුව නිසා. ගුරුවරුත් සිංහලෙන් කතාකරන අතරෙ පාඩම් පොතේ තියෙන ටිකම ඉංග්‍රීසියෙන් කියවනවා. එහෙම වෙද්දි අන්තිමේ පාඩම් පොතේ ප්‍රශ්ණ වලට උත්තර ලියන එක මිසක් හරියකට ඉංග්‍රීසියක් ඉගෙන ගැනෙන්නෙ නෑනෙ. මේකෙදි ඉතිං පන්තියෙ ඉන්න ළමයින්ගෙ දැනුම් මට්ටම වෙනස් වීමත් බලපානවා. මොකද ඉංග්‍රීසියෙන්ම කරන්න ගියොත් සමහරුන්ට පන්තිය බෝරිං වෙයි. ඔය ක්‍රම දෙකටම උගන්වන ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙන නිසා මමත් ඔය දෙවෙනි ක්‍රමේ හොඳයි කියලයි හිතන්නේ... :-)

      Delete
  2. "මගේ පෞද්ගලික මතයත් මේ දෙවෙනි ක්‍රමය වඩා යෝග්‍ය බවයි. එය සාර්ථක බව මගේ අත්දැකීමයි.".....
    I agree with you.

    ReplyDelete
  3. මේ උදවිය සොප්ට්වෙයා එකක්වත් හදලද දන්නෙ නෑ මොලේට භාෂාව ඉන්ස්ටෝල් කරන්න. නැත්නම් දවස් පහෙන් නම් අලුත් භාෂාවක් සාමාන්‍ය මට්ටමටවත් ඉගෙන ගන්නව කියන එක හිතාගන්නත් අමාරුයි. සිංහලයො වෙලා ඉපදිලාත් අපි තවම සිංහලවත් හරියට දන්නෙ නෑ දන්නෙ දවසෙ ඉඳන් භාවිතා කරලත්. ඉතින් වෙන භාෂාවක් ?

    ReplyDelete
    Replies
    1. හැමදේම ක්ෂණිකව ලබා ගන්න හදන කාලෙක ඕවත් විශ්වාස කරන අය ඉන්නවා ඇති.

      Delete
  4. ඉතා වැදගත් ලිපියක්. සුලු තාක්ෂණික කාරණාවක් කියන්න හිතුණා. B2 මට්ටමට වසරකින් යන්න පුළුවන් වන බව නම් සැක සහිතයි. ඒත් ලියවිල්ල නම් මරු

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි,

      B2 මට්ටමට වසරකින් යාම අමාරු වුණත්, ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ. උදාහරණයක් හැටියට German භාෂාව B2 දක්වා ගෙනියන crash course එකක් ඒ දවස්වල Geothe-Institut ආයතනයේ කෙරුණා මතකයි. ඒ වගේම ස්වඅධ්‍යයනය කරන අය අතර ජනප්‍රිය Assimil පාඨමාලාවලත් B2 ඉලක්ක කළ කොටස අවුරුදකට අඩු කාලයකින් සම්පුර්ණ කළ හැකියි.

      කොහොම වුණත් මේ සඳහා ඉගෙනගන්න කෙනාගේ කැපවීම, ඒ සඳහා යොදවන කාලය, ප්‍රයෝගික පුහුණුවට දක්වන සැලකිල්ල වගේ දේ ඉතා වැදගත් වෙනවා.

      Delete
  5. මගේ පුද්ගලික අදහසක් මේක. ඉතා හොද අධ්‍යනයකින් පස්සේ මේ විදිය ලියන්නේ.අපේ පාසල් වෙලා පොත් කවුරුන් හෝ හිතා මතාම අවුල් කරලා තියෙනව කියලයි මගේ මතය.මම භාෂා කීපයක් කථා කරන කෙනෙක්.අ වගේම නොයෙක් භාෂා කථා කරන ජාතිකයින් (රටවල් 12 විතර ) මම ආශ්‍රය කරලා තියෙනවා.එත් අපේ රටේ අය තරම් ඕනෑම භාෂාවක් ඒ ලෙසටම ඉක්මනින් අල්ල ගන්න පුළුවන් ජාතියක් මම තාම දැකල නැහැ.එහෙනම් අයි අපිට ඉංග්‍රීසි බැරි? අපේ ඉංග්‍රීසි පෙළ පොත වල් බූරු ක්‍රමයකට හදල තියෙන නිසයි.මේවට වග කියන්න ඕන කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.රටක නුගතුන් වැඩි වෙන තරමට නායකයින්ට ඒ රටවල් පාලනය කරන්න ලේසියි.පාසල් වල මෙතරම් සම්පත් තියෙද්දිත් අපිට ටියුෂන් පිහිට ලබන්න සිද්ධ වීම ජාතියේම අභාගයකි.මම නැවතත් කියනවා අපිට ඉංග්‍රීසි බැරි වෙන මොකවත් නිසා නෙමේ බැරි කරලා තියෙන නිසයි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails