Showing posts with label online resources. Show all posts
Showing posts with label online resources. Show all posts

Tuesday, July 10, 2012

Learn English Free Online - පොඩ්ඩක් මහන්සි වෙන්න නම් වෙයි


මීට කලින් ලිපිය (No More English Necessary - කියන තරම් වැදගත් නැහැ) නිසා සමහර අයගේ සිත් රිදීමක්‌ ඇති වුණා නම් කණගාටුයි. ඒත් ඉතින් යතාර්ථය - අඩු වශයෙන් යතාර්ථය විදිහට මට පෙනෙන දෙය - තමයි ඒ. කොහොම නමුත් ඒ ලිපියේ පසු භාගයේ කතා කළ හේතු පාදක කර ගෙන ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගන්න උවමනා අයත් ඉන්නවනේ. එවැනි අයට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි ප්‍රවීණයන්ගේ භාෂා ව්‍යවහාරය අත්දැකීම.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිසාවෙන් අද මේ සඳහා ඇති අවකාශ පෙරට වඩා වැඩි වුණත්, භාෂාව ඉගෙන ගන්නා අයට මග පෙන්වීමක් සහිතව බස් වහර හඳුනා ගැනීමට ඉඩ සලසන ක්‍රමවේදයන් එතරම්ම සුලභ නැහැ. මෙතනදී ප්‍රයෝජනයට ගත හැකි වෙබ් අඩවියක් හඳුන්වා දීමටයි මේ ලිපියේ බලාපොරොත්තුව. එහි ඇතැම් සේවා සඳහා ගෙවීමක් කළ යුතු වුණත්, කිසිම ගෙවීමකින් තොරව මූලික අංග බොහොමයක් උපයෝගී කර ගත හැකියි.

භාෂා ගණනාවක් හදාරා ඇති කැනේඩියානු ජාතික Steve Kaufmann විසින් ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවියේ නම වෙන්නේ LingQ. ඉංග්‍රීසි හැරුණ විට තවත් භාෂා කීපයක්ද අධ්‍යයනය සඳහා එහි පහසුකම් තියනවා.


(මෙම වෙබ් අඩවියේ වත්මන් ස්වරූපය වෙනස් නිසා පහත දැක්වෙන උපදෙස් එසේම අනුගමනය කිරීම දැන් කළ නොහැකි නමුත්, වැඩි අපහසුවකින් තොරව ඒ වෙනස්කම්වලට හුරු වීමට ඔබට හැකි වෙතැයි සිතනවා.)

(1) මුලින්ම, පහත රුපයේ පෙනෙනා පරිදි, නොමිළේ සැපයෙන ගිණුමක් ආරම්භ කිරීමට ඇරයුම් කෙරෙනු ඇති (A).


(2) ඒ සඳහා ලියා පදිංචි වෙන (පහතින් පෙනෙනා) පිටුවේ, සාමාන්‍ය මූලික විස්තරවලට අමතරව, "Learn" (B)  සහ "Native Language" (C) යනුවෙන් භාෂාවන් තෝරා ගත යුතු තැන් දෙකක් හමු වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නා අය පළමුවැන්නට "English" තෝරා ගත යුතු බව පැහැදිලියිනේ. දෙවන්නට "Sinhalese" තෝරා ගැනීමට හැකි නමුත් ඉදිරියට උපදෙස් ආදිය නම් ලැබෙන්නේ ඉංග්‍රීසියෙන්මයි.


(3) ඉන් පසුව එළඹෙන පිටුවේ මෙහි ක්‍රමවේදය පිළිබඳ වීඩියෝවක් නැරඹීමට (D) හෝ කෙළින්ම තමන්ගේ පළමු පාඩමට යාමට (E) අවකාශ ලැබෙනවා.


(4) ඉහත දැක්වූ ලෙස (E) මත කෙටීම පාඩම් තෝරා ගත හැකි "Library" පිටුව කරා ඔබ රැගෙන යනවා. එතනදී සුදුසු පාඩම් ඉදිරිපත් කිරීම සඳහා, තමන්ගේ භාෂා දැනුම් මට්ටම ("No Knowledge" සිට  "Advanced 1" දක්වා) තෝරා දීමට ඇරයුම් කෙරෙනවා (F). (මීට කලින් ලිපියේත් කී පරිදි, ලංකාවේ කෙනෙකුට "No Knowledge" තත්වය නම් අදාළ වෙන්න ඉඩ අඩුයි. කෙසේ වෙතත්, තමන්ට සුදුසු යයි සිතන ඕනෑම මට්ටමක් ගත හැකි අතර, ඉදිරි පාඩම් තේරීමේදී එය වෙනස් කිරීමටත් පුළුවන්. මේ උදාහරණ සඳහා මම මෙතනදී තෝරා දුන්නේ - බොහෝ දෙනෙකුට ගැලපීමට ඉඩ ඇති - "Intermediate 1" මට්ටමයි.)


(5) ඉන් පසුව ලැබෙන පාඩම් ලැයිස්තුවෙන් "Free" ලෙස ලකුණු කර ඇති ඕනෑම එකක් තෝරා තමන්ගේ (මෙතන සිට ගොඩ නැගෙන) පාඩම් තොගයට එකතු කර ගත හැකියි. (G)


(6) එවිට ලැබෙන පාඩමේ ඇති අළුත් වචන දිස්වෙන්නේ ලා නිල් පැහැති පසුබිමක් මතයි. (ආරම්භයේදී සියළුම වචන අළුත් වචන ලෙසයි සලකනු ලබන්නේ - ඔබ කුමන දැනුම් මට්ටමක් තෝරා ඇතත් එය එසේමයි.) පාඩමේ අන්තර්ගතයට සවන් දීමේ පහසුකම (H) ඉතා වැදගත් අතර, උච්චාරණයට හුරුවීමට එය මුලින්ම කිරීම සුදුසු යයි මම සිතනවා. නිල් පසුබිමක් ඇති වචනයක් මතට කර්සරය ගෙන ගිය විට එහි අර්ථය දැක්වෙන කොටුවක් දර්ශනය වෙනු ඇති (I). එහිදී එය තමන්ට සැබැවින්ම අළුත් වචනයක් ලෙස ලකුණු කළොත් (J) ඉදිරියේදීත් ඕනෑම තැනකදී එම අර්ථ දැක්වීම බලා ගත හැකි වෙනවා. (ඇතැම් අර්ථ දැක්වීම්වල අසම්පුර්ණකම් ඇතත් මෙම අංගය බොහෝ අයට පහසුවක් වේවි.)   


(7) අළුත් වචන ලෙස ලකුණු කළ ඒවා ඉන් පසුව (වෙනත් පාඩමකදීත්) දිස්වෙන්නේ පහත පෙනෙන  කහ පැහැති පසුබිමක් මතයි. එවැන්නක් මතට කර්සරය ගෙන ගිය විට කහ පැහැති අර්ථ දැක්දීම් කොටුවක් දැක ගත හැකියි (K). පාඩම මුද්‍රණ ස්වරූපයෙන් ලබා ගැනීමට මෙන්ම, නැවත සවන් දීම පිණිස ශබ්ද කොටස mp3 ස්වරුපයෙන් බාගත කර ගැනීමටද අවකාශ තියනවා (L). අවසානයේ පාඩමේ ඇති වචන සියල්ල තමන් දන්නා වචන ලෙස ලකුණු කළ හැකියි (M). පාඩම් මාලාව තුළ කෙනෙක්ගේ මට්ටම නිළ වශයෙන්  ඉහළ යන්නේ තමන් මෙලෙස ලකුණු කරන වචන සංඛ්‍යාව පදනම් කර ගෙනයි. 


(8) ඉදිරියේදී LingQ අඩවියට පිවිසෙන අවස්ථාවක දිස්වනු ඇත්තේ පහත ඇති ආකාරයේ දසුනක්. ඕනෑම අවස්ථාවක වෙබ් අඩවියේ "Lessons" (N) කොටසේ ඇති "Library" (O) තුළට පිවිස නව පාඩම් තෝරා එක් කර ගැනීමටත්, "My Lessons" (P) තුළින් මෙතෙක් එක් කර ගෙන ඇති පාඩම්වලට  නැවත එළඹීමටත් හැකි වෙනවා.


ඉතින්, උගතුන්ගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරය සමග සමීප වීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙනු ඇතැයි සිතනවා.
                                      
(Image credit: algogenius)

Monday, June 25, 2012

Learn English in One Day! අපෙන්ම විතරයි


අපේ රටේ අය ඉස්කෝලේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එත් පාසැල් කාලය අවසානයේදීත් ඉංග්‍රීසියෙන් ප්‍රායෝගික වැඩක් ගන්න පුළුවන් හැකියාවක් බොහෝ දෙනෙකුට නැතිලු. එහෙනම් ඉතින් අපේ ඉංග්‍රීසි අධ්‍යාපන රටාවේ යම් වැරැද්දක් තියෙන බව පැහැදිලියි.

මේකට ප්‍රතිකර්මයක් හැටියට, ඉස්කෝලෙන් එළියට එන අය හොයනවා ඉක්මනින් හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබා ගත හැකි ක්‍රම. විශේෂයෙන්ම කතා කිරීමේ හැකියාව ලබා ගැනීම බොහෝ අය ඉලක්ක කරනවා.
ප්‍රායෝගික වැදගත්කම වගේම, කඩ්ඩෙන් කතාව දාලා අනිත් අයට පොඩි නයා පාරක් පෙන්නනත් පුළුවන්නේ. ඉතින් මේක ඉක්මනින්, ලේසියෙන් කර ගන්න පුළුවන් නම් කොච්චර හොඳද!

මේ සඳහා මුලින්ම අපේ රටේ තිබුනා මාස 6 න් ඉංග්‍රීසි උගන්වන පාඨමාලා. හැබැයි දැන් අපේ අය මාස 6 ක් මේකට නාස්ති කරන්න කැමතිත් නැහැ. ඒ නිසා එම කාල සීමාව මාස 3, මාස 2 ආදී වශයෙන් කෙටි වී ගෙන ගියා. දැන් නම් දින 5 න් ඕනෑම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්න උගන්නන තැනුත් තියනවලු (මොළේට ඉංගීසි microchip එකක් වගේ දෙයක් දානවද දන්නේ නැහැ). තව ටික දවසකින් මේක එක දවසෙන් කරන්නත් පටන් ගන්න ඉඩ තියෙනවා. ඔක්කොම දේවල් ක්ෂණිකව කරන්න හදන කාලෙනේ.

වරදවා  වටහාගන්න එපා. මම මෙයින් අදහස් කරන්නේ නැහැ නව අධ්‍යයන ක්‍රම භාවිතා නොකළ යුතුයි කියලා. ඒ වගේම හැම දෙනාටම ඉතා උසස් ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි කියලත් මම හිතන්නේ නැහැ. නමුත් තම අදහසක් තවත් කෙනෙකුට වැඩි අපහසුවකින් තොරව තේරුම් යන ලෙස ප්‍රකාශ කිරීමට සහ ඔවුන් පවසන දෙයක් වැඩි අපහසුවකින් තොරව තේරුම් ගැනීමට හැකි තත්වයකට ඒමට කොපමණ කාලයක් අවශ්‍යද යන්න වැදගත් ප්‍රශ්නයක්.

මේ පිළිබඳව අන්තර්ජාලයේ හොයලා බලද්දී හමු වුණා වෙබ් අඩවියක්: "Fluent in 3 Months". මෙය ඉදිරිපත් කරන අයිරිෂ් ජාතික Benny Lewis නැමැත්තා භාෂා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නෙක් බව පෙනෙනවා. ඔහු වරින් වර විවිධ භාෂා තොරා ගෙන, මාස 3 ක් ඇතුළත එම භාෂාවෙන් වැඩි අපහසුවකින් තොරව කතා කළ හැකි තත්වයට ඒමට ඉලක්ක කරනවා. මුලින් තමන්ට කිට්ටු යුරෝපීය භාෂා තෝරා ගත් ඔහු, පසුව චීන භාෂාව වැනි ඉගෙනීමට අපහසු යයි සැලකෙන භාෂාත් තෝරා ගත්තා. තම ක්‍රමවේදය ඉතා සාර්ථක බව පවසන ඔහු ඒ පිළිබඳ පාඨමාලාවකුත් අලවි කරනවා. නමුත් මෙතැනදී සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා.

Benny Lewis
භාෂා අධ්‍යයනය පිළිබඳ ඉතා ඉහළ හැකියාවක් ඇත්තෙක් බව පැහැදිලියි. එවැන්නෙකුට මෙවැනි දෙයක් කළ හැකි වුණත්, සාමාන්‍ය කෙනෙකුට එසේ කළ හැකි වෙයිද යන්න ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් අතින්, ඔහු යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන රටකට හෝ ප්‍රදේශයකට ගොස් එය අධ්‍යයනය කරන්නෙක්. එසේ කිරීම අත්‍යාවශ්‍ය නොවන බව ඔහු පවසතත්, අදාළ භාෂාව කතා කරන්නන් සමග සම්බන්ධ වීම සහ ඔවුන්ගෙන් උපදෙස් ගැනීම ඉතා වැදගත් ලෙස සලකනවා. එවැන්නකට අවස්ථාව ශ්‍රී ලාංකිකයන් බහුතරයකට නම් නොමැති බව පැහැදිලි කරුණක්.

ඔහු කියා සිටින්නේ ඉගෙනීම පටන් ගත් දිනයේ සිටම ඔහු එම අළුත් බසින් කතා කිරීම අරඹන බවයි; වෙනත් භාෂා භාවිතයෙන් හැකි තරම් වැළකෙන බවයි. මෙවැන්නක් කලකට ඉහත නම් ලංකාවේ ඇතැම් පාසල්වලත් ක්‍රියාත්මක වුණාලු. සිංහලෙන් කතා කළ විට දඩ ගෙවීමටත් සිදු වුණාලු. වර්තමානයේත් මෙම ක්‍රමය යම් තරමකින් උපයෝගී කර ගැනීමට ඇතැම් තැන්වල උත්සාහ කරනු පෙනෙනවා. නමුත් යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස ඇති රටකදී නම් මීට ලැබෙන අවකාශය බොහෝ සෙයින් වැඩියි.

මේ හා සම්බන්ධ තවත් වැදගත් කරුණක් වන්නේ ඉලක්ක කරනු ලබන භාෂා හසලත්වය කුමන පරාසයක් හරහා විහිදෙන්නක්ද යන්න. ඉංග්‍රීසියෙන් "fluency" යනුවෙන් හඳුන්වන ව්‍යක්තභාවය ළඟා කර ගැනීමට නම් සාමාන්‍ය ජීවිතයේ හමු වෙන ඕනෑම මාතෘකාවක් පිළිබඳ සාර්ථක සංවාදයක අපහසුවකින් තොරව යෙදීමට හැකි විය යුතු බවයි LingQ භාෂා අධ්‍යයන වෙබ් අඩවියේ නිර්මාතෘ Steve Kaufmann ගේ අදහස.

ආසන්න වශයෙන් මෙවැනි තත්වයක් තමා චෙක් (Czech) භාෂාවෙන් දින 5 ක් ඇතුළත ලබා ගැනීමට ඉලක්ක කරන බව ඔහු වරක් ප්‍රකාශ කළා. නමුත්  ඒ වන විට ඔහු මාස 8 ක පමණ සිට එම භාෂාව හදාරා ඇති බවත්, අදාළ දින 5 දී අදහස් කරන්නේ ප්‍රාග් (Prague) නගරයේදී සම්පුර්ණයෙන්ම එම භාෂාව භාවිතයට කැප වෙන්නට (total immersion) බවත් එතනදී පිළිගැනුණා. කෙසේ වෙතත් මොහුත් භාෂා අධ්‍යයනයේ අති දක්ෂයෙක් මිස සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ.

නමුත් ඔහු Benny Lewis ගේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන්නෙක්. ඔහුගේ මතය අනුව භාෂාවක් කතා කරන රටකට යාමට කලින් එම භාෂාව පිළිබඳ හොඳ මුලික දැනුමක් ලබා තිබීම වැදගත් වෙනවා. (ඇතැම් භාෂා පිලිබඳ මෙවන් හොඳ මුලික දැනුමක් ලැබීමට ඔහුගේ LingQ වෙබ් අඩවියද භාවිතා කළ හැකි බව ඔහුගේ අදහසයි.)

සාමාන්‍ය පුද්ගලයන් මේ "fluency" තත්වයට ළඟා වීම මාතෘකා කර ගත් වෙබ් පිටුවක නම් කියවෙන්නේ තරමක් බය හිතෙන කතාවක්. පර්යේෂණවලට අනුව ඒ සඳහා පැය 10, 000 ක් පමණ අධ්‍යයනය පිණිස කැප කළ යුතු බවත්, විවිධ අධ්‍යයන ක්‍රම ඔස්සේ ඒ සඳහා ගත වෙන වසර ගන්නත් එහි දැක්වෙනවා. නමුත් මෙහි අදහස් කෙරෙන හසලත්වය නම් ඉතා උසස් වුවක් බව සැලකිය යුතුයි.

ඉංග්‍රීසි භාෂාවේ හසලභාවය ලැබීම සඳහා අවශ්‍ය කාලය පිළිබඳ අදහස් විමසුමක ප්‍රතිඵලද හමු වුණා. මේ සම්බන්ධ මතවල ඇති විවිධත්වය එහි නිරූපනය වෙනවා. එයින් උපකල්පනය කළ හැකි එක් දෙයක් නම්, මෙවැන්නකට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට ඉඩ ඇති බවයි. බහුතර මතයක් වශයෙන් ගත හැක්කක් එහි දක්නට නැතත්, 26% කට මදක් වැඩි පිරිසක් අදහස් කරන්නේ අවුරුදු 5 කට වැඩි කාලයක් මීට උවමනා බවයි. (මෙහි ප්‍රතිඵල බැලීමට පෙර තමන්ගේ තේරීම ඉදිරිපත් කළ යුතු වෙනවා.)

කෙසේ නමුත් Benny Lewis මාස 3 කින් ළඟා වීමට බලාපොරොත්තු වන මට්ටම සහ මේ පැය 10, 000 ක් අවශ්‍ය මට්ටම අතර - මේ දෙතැනම "fluent" සහ "fluency" වචන යොදා ගෙන තිබුනත් - වෙනසක් තිබිය යුතු බව නම් හැඟෙනවා. භාෂා කුසලතාවය පිළිබඳ මිනුම් දණ්ඩක් ලෙස ගැනෙන  "Common European Framework" වර්ගීකරණය අනුව එම හැකියාව A1, A2, B1, B2, C1, C2  යනුවෙන් මට්ටම 6 කට බෙදෙනවා. Benny Lewis මාස 3 කින් C1 මට්ට්ටම ඉලක්ක කළත්, එය කළ නොහැක්කක් බවයි වෙනත් අයගේ අදහස. මේ ගැන ලියවුන ලිපියක ඉහත සඳහන් මට්ටම් පිළිබඳ Steve Kaufmann විස්තරාත්මකව අදහස් දක්වන වීඩියෝවක්ද අන්තර්ගතයි. එම  වීඩියෝවේ ඔහු පැහැදිලි කරන්නේ C1 හෝ C2 යන පුළුල් පරාසයක් හරහා විහිදෙන උසස් දැනුමක් ඇති මට්ටම්වලට ළඟා වීමට විශාල වශයෙන් කියවීම (සහ සවන් දීම) අවශ්‍ය බවයි.

නමුත් අපේ රටේ බහුතරයකට ඉංග්‍රීසි දැනුමේ එවන් මට්ටමක් කරා යාමට අවශ්‍යතාවයක් තිබේද යන්න සැලකිය යුතු කාරණයක්. බොහෝ දෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු සඳහා B1 හෝ B2 මට්ටමේ දැනුමක් ප්‍රමාණවත් වෙන නිසා එතනින් ඔබ්බට යාමට ඔවුන්ට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ක්‍රමවත් අධ්‍යයනයක යෙදෙන්නෙකුට අවුරුද්දකින් පමණ B1, B2 දැනුමක් ලබා ගැනීමට හැකි විය යුතු බවයි මගේ නම් පෞද්ගලික විශ්වාසය. ("Cambridge English Language Assessment" අනුව B1 මට්ටම සඳහා ගුරු මග පෙන්වීම යටතේ අධ්‍යයන පැය 350–400 පමණද, B2 සඳහා පැය 500–600 පමණද අවශ්‍ය බව කියවෙනවා.) මේ මට්ටමෙන් ඔබ්බට ඉගෙනීම පිළිබඳව “Moving Beyond the Intermediate Plateau” ලිපියේ වැඩි විස්තර දැක්වෙනවා.

විවිධ භාෂා අධ්‍යයන ක්‍රම පිළිබඳව මීට කලින් ලියවුන "How DoYou Learn a Language? – භාෂාවක් ඉ‍ගෙන ගැනීම ගැන ", "How DoYou Learn a Language II – විවිධ ක්‍රම ගැන", " How Do You Learn a Language III – තමන්ම ඉගෙනීම ගැන" ලිපිවලත් මේ සම්බන්ධ යම් යම් දේ සඳහන් වෙනවා.

හැබැයි ඉතින් අපේ රටේ තියනවයි කියන දින 5 න් මුලික දැනුමක් නැති කෙනෙකුට ඕනෑම දෙයක් ඉංග්‍රීසියෙන් කීමට හැකියාව ලබාදෙන ක්‍රමයක් ගැන නම් කොහෙන්වත් හොයා ගන්න බැරි වුණා. ඒක total immersion අවශ්‍ය වන ක්‍රමයකුත් නෙමේද කොහෙද? මේ වගේ දේවල් ගැන හොයලා බලලා ජාත්‍යන්තරයට අරන් ගියොත් කොහොමද රටට ලැබෙන විදේශ විනිමය?  

(Image credit:
Shane Global Language Centres)


Tuesday, August 10, 2010

Want to Learn English on the Internet? - යම් තරමකට




ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් වෙන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලයේ තියනවා. භාෂාවක් ඉගෙන ගෙන තමන්ගෙ භාවිතයට ගැනීම මේවා මගින්ම කළ හැක්කක් නොවන නමුත්, ඉගෙන ගන්න අයට සෑහෙන පිටුබලයක් නම් ඒ ආශ්‍රයෙන් ලබා ගත හැකි බවට සැකයක් නැහැ.

එකම ගැටළුවකට තියෙන්නෙ මේ බොහොමයක් ඉංග්‍රීසි භාෂාවෙන්ම (හෝ ලෝකයේ වෙනත් ප්‍රමුඛ භාෂාවලින්) ලියවෙන ඒවා වීම නිසා ඒවායින් ප්‍රයෝජනයක් ගැනීමට ඉංග්‍රීසියෙන් යමක් කියවා තේරුම් ගැනීමට යම් හැකියාවක් තිබීම අවශ්‍ය වීම. නමුත් මෙයට ප්‍රමාණවත් දැනුමක් ඇති අය බොහොම දෙනෙක් අපි අතර සිටින නිසා මේ ආකාරයේ වෙබ් අඩවි කීපයක් සලකා බලමු.


මෙය ඉංග්‍රීසි ඉගෙන ගන්නන්ට ඉතා ප්‍රයෝජනවත් විය හැකි වෙබ් අඩවියක්. BBC ආයතනය මගින් පළ කෙරෙන ප්‍රවෘත්ති වාර්තා ආශ්‍රයෙන් ඊට අදාළ වචන, වාක්‍ය රටා, ඒවාගේ උච්චාරණය ආදිය හඳුනා ගැනීමට මේ තුළින් අවස්ථාව සැලසෙනවා. අන්තර් ජාලයේ ‍බොහෝ විට ඇමරිකානු ඉංග්‍රීසිය හමු වුණත් මෙහි බ්‍රිතාන්‍ය නැඹුරුවක් සහිත ඉංග්‍රීසි භාෂාව ඉදිරිපත් කෙරෙනවා.


මාතෘකාවෙන්ම පෙනෙන පරිදි, ඉංග්‍රීසි ලිවීමේදී - සහ කතා කිරීමේදීත් - වැදගත් වෙන යම් යම් කරුණු ගැන පැහැදිලි කෙරෙන බ්ලොග් අඩවියක් මෙය. සෑම ලිපියක්ම කියවීමට මෙන්ම සවන් දීමටද හැකියාව තියෙනවා. ‍බොහෝ විට ඇමරිකානු රටාවට මෙහි භාෂාව ඉදිරිපත් කෙරෙනවා.


නමින්ම පැහැදිලි ආකාරයට ඉංග්‍රීසි ව‍්‍යවහාරය‍ට අදාළ කරුණු මෙහි දිනපතාම සාකච්ඡා කෙරෙනවා. ඇමරිකානු මෙන්ම බ්‍රිතාන්‍ය ව්‍යවහාරයටද අවධානය යොමු කෙරෙනවා.


අද ලෝකයේ ඉංග්‍රීසි භාෂාව ඉතා ව්‍යාප්තව පාවිච්චි වෙන නිසා එහි භාවිතයේ විවිධ වෙනස්කම් පැන නැගිලා තියෙනවා. මෙයින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු රටාවල ආභාෂය, අඩු වැඩි වශයෙන්, අපට ඇතුළුව අනෙකුත් සියල්ලන්ටම බල පානවා. ඒ දෙරටාව අතර ඇති වෙනස්කම් පිළිබඳව මෙහි විස්තර කෙරෙනවා‍. (මේ දෙරටාව හා ශ්‍රී ලාංකික ව්‍යවහාරය අතර ඇති වෙනස්නම් පැහැදිලි කිරීමට ‘ඉංගිරිසි’ බ්ලොග් අඩවිය උචිත අවස්ථාවල උත්සාහ කරන බව ඔබ දන්නවා.)


YouTube channel එකක් වශයෙන් ඇති මෙහි ඉංග්‍රීසි භාෂාව දෙවන බසක් ලෙස ඉගෙන ගන්නන්ට වැදගත් වෙන නොයෙකුත් කරුණු වීඩියෝ මාර්ගයෙන් විස්තර කෙරෙනවා. මෙහි භාෂාව ඉදිරිපත් කෙරෙන්නේ ඇමරිකානු රටාවටයි.


සාමාන්‍ය ජීවිතයේ විවිධ අවස්ථා උපයෝගී කර ගනිමින් වීඩියෝ මාර්ගයෙන් නොයෙකුත් භාෂා රටා විවිධ මට්ටම්වලට උචිත ලෙස මෙහි ඉදිරිපත් කෙරෙනවා.


අනෙකුත් භාෂාවලින් ලද ආභාෂයෙන් පෝෂණය වී ඇති නිසා ඉංග්‍රීසි භාෂාවේ වචන අති මහත් සංඛ්‍යාවක් තිබෙනවා. ඒ සියල්ල ඉගෙනීම කළ හැක්කක් - හෝ කළ යුත්තක් - නොවුණත්, ඒවායින් භාවිතයට වැදගත්, ප්‍ර‍යෝජනවත් පද දැන සිටීම වාසි දායක වෙනවා. භාෂා හැකියාවේ විවිධ මට්ටම්වලට (කුඩා දරුවන්ට පවා) අදාළ වචන විනෝදාත්මක ක්‍රීඩා මගින් මෙම අඩවියේ ඉගෙනීමට අවස්ථා‍ව ලබා දෙනවා.


නොදන්න ඉංග්‍රීසි වචනයක් හමු වුණාම එහි තේරුම, උච්චාරණය (බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දෙආකාරයටම සවන් දිය හැකියි), භාවිතය, ඒවා සහිත විශේෂ යෙදුම්, ඊට යම් ආකාරයකින් සමාන වෙනත් වචන - එසේම අවශ්‍ය නම් වෙනත් භාෂාවලින් අර්ථය - මෙම අඩවියෙන් ලබා දෙනවා.

එමෙන්ම OxfordAdvanced Learner's Dictionary, Cambridge DictionariesOnline වැනි වෙබ් අඩවි වචනවල බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු භාවිතය වඩාත් හොඳින්, උදාහරණ සහිතව, පැහැදිලි කරන අතර ඒවායේ උච්චාරණයට බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දෙආකාරයටම සවන් දිය හැකි වෙනවා. වචන හා සම්බන්ධ යෙදුම්වල අර්ථය හා භාවිතයද දක්වා තිබෙනවා. The Longman Dictionary of ContemporaryEnglish වෙබ් අඩවියේ නම් උදාහරණ ලෙස ඇති වාක්‍යවල උච්චාරණයට පවා සවන් දීමට අවකාශ තියෙනවා.

Dictionary.com, Merriam-Webster Online ආදියත් එවැනි වෙබ් අඩවි වෙන අතර ඒවායේ ‍බොහෝ විට සවන් දිය හැක්කේ ඇමරිකානු උච්චාරණයටයි.

විකිපීඩියාවට සම්බන්ධ Wiktionary නම් භාෂා අතර සම්බන්ධතාද ලබා දෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙ හමු වෙනවා ඉංග්‍රීසි වගේම වෙනත් භාෂාවලින් එන විවිධ නම් ගම්. එම නිසා ඒවාගේ උච්චාරණය ඇතැම් විට ගැටළු සහගත වෙනවා. එම උච්චාරණයන් මෙන්ම ඒ නම් ගම් ගැන කෙටි විස්තරද මෙහි දැක්වෙනවා.

Forvo වෙබ් අඩවිය විවිධ නම් හා අනෙකුත් වචන විවිධ භාෂාවල උච්චාරණය කෙරෙන ආකාරය එම භාෂා කතා කරන්නන්ගේ හඬින් ඉදිරිපත් කරනවා.

10. The Phrase Finder

අනෙකුත් භාෂාවල වගේම ඉංග්‍රීසියෙත් තියනවා වචනවල සාමාන්‍ය අර්ථවලින් තේරුම් ගන්න බැරි සාම්ප්‍රදායික යෙදුම්. මෙම වෙබ් අඩවියේ එවැනි වාක්‍ය ඛණ්ඩ (phrases), සාම්ප්‍රදායික යෙදුම් (idioms), ප්‍රස්ථා පිරුළු (proverbs) ආදියේ අර්ථ හා ඒවායේ පසුබිම පිළිබඳ විස්තර සොයා ගත හැකියි.
(මෙවැනි දේ ගැන තරමක් දුරට ඉහත 8 කොටසේ ඇති අඩවිවලිනුත් සොයා ගත හැකියි.)

Your Dictionary තවත් මෙවැනි වෙබ් අඩවියක්.

Urban Dictionary වෙබ් අඩවියේ සම්මත ව්‍යවහාරයට එක් වී නැති යෙදුම් දැක්වෙනවා. (මෙහි ඇති ඇතැම් යෙදුම් ඉතා ග්‍රාම්‍ය හෝ අසභ්‍ය ඒවා විය හැකියි. ව්‍යවහාර මට්ටම සඳහන් වීම අඩු නිසා මෙම අඩවියේ එන යෙදුම් පාවිච්චියට ගැනීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුයි.)

11. LingQ

විවිධ භාෂා හැකියා මට්ටම්වලට සුදුසු ලෙස වර්ග කර ඇති පාඩම් ආශ්‍රයෙන් කියවීම හා සවන් දීම ප්‍රගුණ කිරීමට මෙම වෙබ් අඩවියේ පහසුකම් සලසා තියනවා. නොදන්නා වචනවල තේරුම සරල ඉංග්‍රීසියෙන් බලා ගැනීමටද හැකියි. (“Learn EnglishFree Online - පොඩ්ඩක් මහන්සි වෙන්නනම් වෙයි” ලිපියත් බලන්න.)



මේ වෙබ් අඩවිය දින දෙකකට වරක් කාලීන පුවතක් සම්බන්ධ ලිපියක් සරල කරන ලද ආකාර කිහිපයකින් (ඇතැම්වා 0, 1, 2, 3 යන ඉතාම සරල ආකාරවලිනුත්, අනෙක්වා 4, 5, 6 යන ඊට තරමක් සංකීර්ණ ආකාරවලිනුත්) ඉදිරිපත් කරනවා. ඒවාට බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු උච්චාරණයෙන් සවන් දීමටද හැකියි. ඊට අමතරව සැම ලිපියක්ම ආශ්‍රයෙන් විවිධ අභ්‍යාස ගණනාවකුත් සකස් කර තිබෙනවා.

 
(සේයාරුවට ස්තුතිය: striatic) 



Related Posts with Thumbnails