Showing posts with label learning methods. Show all posts
Showing posts with label learning methods. Show all posts

Tuesday, July 10, 2012

Learn English Free Online - පොඩ්ඩක් මහන්සි වෙන්න නම් වෙයි


මීට කලින් ලිපිය (No More English Necessary - කියන තරම් වැදගත් නැහැ) නිසා සමහර අයගේ සිත් රිදීමක්‌ ඇති වුණා නම් කණගාටුයි. ඒත් ඉතින් යතාර්ථය - අඩු වශයෙන් යතාර්ථය විදිහට මට පෙනෙන දෙය - තමයි ඒ. කොහොම නමුත් ඒ ලිපියේ පසු භාගයේ කතා කළ හේතු පාදක කර ගෙන ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගන්න උවමනා අයත් ඉන්නවනේ. එවැනි අයට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි ප්‍රවීණයන්ගේ භාෂා ව්‍යවහාරය අත්දැකීම.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිසාවෙන් අද මේ සඳහා ඇති අවකාශ පෙරට වඩා වැඩි වුණත්, භාෂාව ඉගෙන ගන්නා අයට මග පෙන්වීමක් සහිතව බස් වහර හඳුනා ගැනීමට ඉඩ සලසන ක්‍රමවේදයන් එතරම්ම සුලභ නැහැ. මෙතනදී ප්‍රයෝජනයට ගත හැකි වෙබ් අඩවියක් හඳුන්වා දීමටයි මේ ලිපියේ බලාපොරොත්තුව. එහි ඇතැම් සේවා සඳහා ගෙවීමක් කළ යුතු වුණත්, කිසිම ගෙවීමකින් තොරව මූලික අංග බොහොමයක් උපයෝගී කර ගත හැකියි.

භාෂා ගණනාවක් හදාරා ඇති කැනේඩියානු ජාතික Steve Kaufmann විසින් ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවියේ නම වෙන්නේ LingQ. ඉංග්‍රීසි හැරුණ විට තවත් භාෂා කීපයක්ද අධ්‍යයනය සඳහා එහි පහසුකම් තියනවා.


(මෙම වෙබ් අඩවියේ වත්මන් ස්වරූපය වෙනස් නිසා පහත දැක්වෙන උපදෙස් එසේම අනුගමනය කිරීම දැන් කළ නොහැකි නමුත්, වැඩි අපහසුවකින් තොරව ඒ වෙනස්කම්වලට හුරු වීමට ඔබට හැකි වෙතැයි සිතනවා.)

(1) මුලින්ම, පහත රුපයේ පෙනෙනා පරිදි, නොමිළේ සැපයෙන ගිණුමක් ආරම්භ කිරීමට ඇරයුම් කෙරෙනු ඇති (A).


(2) ඒ සඳහා ලියා පදිංචි වෙන (පහතින් පෙනෙනා) පිටුවේ, සාමාන්‍ය මූලික විස්තරවලට අමතරව, "Learn" (B)  සහ "Native Language" (C) යනුවෙන් භාෂාවන් තෝරා ගත යුතු තැන් දෙකක් හමු වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නා අය පළමුවැන්නට "English" තෝරා ගත යුතු බව පැහැදිලියිනේ. දෙවන්නට "Sinhalese" තෝරා ගැනීමට හැකි නමුත් ඉදිරියට උපදෙස් ආදිය නම් ලැබෙන්නේ ඉංග්‍රීසියෙන්මයි.


(3) ඉන් පසුව එළඹෙන පිටුවේ මෙහි ක්‍රමවේදය පිළිබඳ වීඩියෝවක් නැරඹීමට (D) හෝ කෙළින්ම තමන්ගේ පළමු පාඩමට යාමට (E) අවකාශ ලැබෙනවා.


(4) ඉහත දැක්වූ ලෙස (E) මත කෙටීම පාඩම් තෝරා ගත හැකි "Library" පිටුව කරා ඔබ රැගෙන යනවා. එතනදී සුදුසු පාඩම් ඉදිරිපත් කිරීම සඳහා, තමන්ගේ භාෂා දැනුම් මට්ටම ("No Knowledge" සිට  "Advanced 1" දක්වා) තෝරා දීමට ඇරයුම් කෙරෙනවා (F). (මීට කලින් ලිපියේත් කී පරිදි, ලංකාවේ කෙනෙකුට "No Knowledge" තත්වය නම් අදාළ වෙන්න ඉඩ අඩුයි. කෙසේ වෙතත්, තමන්ට සුදුසු යයි සිතන ඕනෑම මට්ටමක් ගත හැකි අතර, ඉදිරි පාඩම් තේරීමේදී එය වෙනස් කිරීමටත් පුළුවන්. මේ උදාහරණ සඳහා මම මෙතනදී තෝරා දුන්නේ - බොහෝ දෙනෙකුට ගැලපීමට ඉඩ ඇති - "Intermediate 1" මට්ටමයි.)


(5) ඉන් පසුව ලැබෙන පාඩම් ලැයිස්තුවෙන් "Free" ලෙස ලකුණු කර ඇති ඕනෑම එකක් තෝරා තමන්ගේ (මෙතන සිට ගොඩ නැගෙන) පාඩම් තොගයට එකතු කර ගත හැකියි. (G)


(6) එවිට ලැබෙන පාඩමේ ඇති අළුත් වචන දිස්වෙන්නේ ලා නිල් පැහැති පසුබිමක් මතයි. (ආරම්භයේදී සියළුම වචන අළුත් වචන ලෙසයි සලකනු ලබන්නේ - ඔබ කුමන දැනුම් මට්ටමක් තෝරා ඇතත් එය එසේමයි.) පාඩමේ අන්තර්ගතයට සවන් දීමේ පහසුකම (H) ඉතා වැදගත් අතර, උච්චාරණයට හුරුවීමට එය මුලින්ම කිරීම සුදුසු යයි මම සිතනවා. නිල් පසුබිමක් ඇති වචනයක් මතට කර්සරය ගෙන ගිය විට එහි අර්ථය දැක්වෙන කොටුවක් දර්ශනය වෙනු ඇති (I). එහිදී එය තමන්ට සැබැවින්ම අළුත් වචනයක් ලෙස ලකුණු කළොත් (J) ඉදිරියේදීත් ඕනෑම තැනකදී එම අර්ථ දැක්වීම බලා ගත හැකි වෙනවා. (ඇතැම් අර්ථ දැක්වීම්වල අසම්පුර්ණකම් ඇතත් මෙම අංගය බොහෝ අයට පහසුවක් වේවි.)   


(7) අළුත් වචන ලෙස ලකුණු කළ ඒවා ඉන් පසුව (වෙනත් පාඩමකදීත්) දිස්වෙන්නේ පහත පෙනෙන  කහ පැහැති පසුබිමක් මතයි. එවැන්නක් මතට කර්සරය ගෙන ගිය විට කහ පැහැති අර්ථ දැක්දීම් කොටුවක් දැක ගත හැකියි (K). පාඩම මුද්‍රණ ස්වරූපයෙන් ලබා ගැනීමට මෙන්ම, නැවත සවන් දීම පිණිස ශබ්ද කොටස mp3 ස්වරුපයෙන් බාගත කර ගැනීමටද අවකාශ තියනවා (L). අවසානයේ පාඩමේ ඇති වචන සියල්ල තමන් දන්නා වචන ලෙස ලකුණු කළ හැකියි (M). පාඩම් මාලාව තුළ කෙනෙක්ගේ මට්ටම නිළ වශයෙන්  ඉහළ යන්නේ තමන් මෙලෙස ලකුණු කරන වචන සංඛ්‍යාව පදනම් කර ගෙනයි. 


(8) ඉදිරියේදී LingQ අඩවියට පිවිසෙන අවස්ථාවක දිස්වනු ඇත්තේ පහත ඇති ආකාරයේ දසුනක්. ඕනෑම අවස්ථාවක වෙබ් අඩවියේ "Lessons" (N) කොටසේ ඇති "Library" (O) තුළට පිවිස නව පාඩම් තෝරා එක් කර ගැනීමටත්, "My Lessons" (P) තුළින් මෙතෙක් එක් කර ගෙන ඇති පාඩම්වලට  නැවත එළඹීමටත් හැකි වෙනවා.


ඉතින්, උගතුන්ගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරය සමග සමීප වීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙනු ඇතැයි සිතනවා.
                                      
(Image credit: algogenius)

Monday, July 9, 2012

No More English Necessary - කියන තරම් වැදගත් නැහැ


ඉංග්‍රීසි භාෂාව ගැන අපේ රටේ මිත්‍යා මත ගොඩක් තියනවා. ඉංග්‍රීසි දැනුම  වැදගත් යයි බොහෝ අය කීවත්, එසේ වැදගත් වන්නේ කාටද, කුමක් සඳහාද, කුමන මට්ටමකටද යන කරුණු ගැන සම්මුතියක් නැහැ. ඒ නිසා ඒ සඳහා - රාජ්‍ය මට්ටමෙන් හා පෞද්ගලිකව - කෙරෙන වියදම්වලින් එතරම් පලයක්‌ ලැබෙන අයුරක් පෙනෙන්නත් නැහැ.

මට හැඟෙන ආකාරයට නම් එවැනි වැරදි මතවලින් කීපයක් මෙහෙමයි.
 
ශ්‍රී ලාංකිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා දුර්වලයි.

ශ්‍රී  ලංකාවේ ඉංග්‍රීසි දැනුම පෙරට සාපේක්ෂව පිරිහී ඇති බව සත්‍යයක්. ඒ වගේම අසල්වැසි ඉන්දියාව වැනි රටවලට සාපේක්ෂව වර්තමානයේ ලංකාවේ ඉංග්‍රීසි මට්ටම පහල ගොස් ඇති බවත් ඇත්තක්. නමුත් පාසැල විෂයක් ලෙස අවුරුදු ගණනාවක් ඉංග්‍රීසිය - අඩුපාඩු රැසක් සහිතව වුවත් - උගන්වන නිසා බොහෝ අයට ඒ සම්බන්ධ සුළු දැනුමක් හෝ තියනවා. ඉංග්‍රීසි හෝඩියවත් බැරි අය අඩුයි; නමක් ගමක් කියවගන්නවත් බැරි අය අඩුයි; බොහෝ අයට "My name is...", "How are you?", "Where are you from?" වැනි මූලික වාක්‍ය ටිකක් කියා ගන්නත් බැරි කමක් නැහැ. ඇතැම් රටවල මෙහෙම තත්වයක්වත් නැහැ. (මෙය ප්‍රමාණවත්ද, නැද්ද යන්න වෙනම ප්‍රශ්නයක්.)

හොඳ රැකියාවක් සඳහා හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි.   

ඇතැම් හොඳ රැකියාවලට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වුණත්, පාසැලෙන් ලැබූ සුළු දැනුම ප්‍රමාණවත් වෙන - එසේත් නැත්නම් එම දැනුමත් අවශ්‍ය නොවෙන - රැකියා අවස්ථා අද ලංකාවේ තියනවා. ඒ අතර ඉහළ අදායම් ලබන ඒවාත් තියනවා. විශේෂයෙන් රාජ්‍ය අංශයේ රැකියා විශාල ප්‍රමාණයකට - වර්තමානයේ හොඳම ක්ෂේත්‍රය විය හැකි දේශපාලනය ඇතුළුව - එතරම් ඉංග්‍රීසියක් උවමනා වෙන්නේ නැහැ (ඇතැම් අවස්ථාවල භාෂාව සම්බන්ධ යම් විභාගයක් කෙසේ හෝ ගොඩ දමා ගැනීම අවශ්‍ය වුණොත් හැරුනකොට). ඊට අමතරව ලංකාව තුළ යම් ව්‍යාපාරයක් කරන්නේකුටත් එය එතරම් වැදගත් වෙන්නේ නැහැ (මෙයත් අද රටේ ඉතා සාර්ථක විය හැකි ක්ෂේත්‍රයක්).   

පෞද්ගලික අංශයේ රැකියාවකට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. 

පෞද්ගලික අංශයේ රැකියාවලදී ඉංග්‍රීසි දැනුම සමස්තයක් වශයෙන් රාජ්‍ය අංශයට වඩා වැදගත් වුණත්, ඉහළ මට්ටමේ රැකියාවලට හැරුන විට ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේදී ප්‍රධාන සාධකය වෙන්නේ ගෙවන පඩියට කෙතරම් සේවයක් ලබා ගත හැකිද යන්නයි.  

තැනකට ගිහින් යමක් කර ගන්න නම් ඉංග්‍රීසියෙන් කතා කළ යුතුයි.  

යම් තරමකට තවමත් ඇත්ත වුණත්, මීට වඩා වැදගත් කරුණු අද තියනවා. උපක්‍රමශීලීව කටයුතු කිරීම ඉන් එකක්. (කීයක්‌ හරි මිට මෙලවීමත් අද ඉතා සාර්ථක ක්‍රමයක්, එය සදාචාරාත්මක් නොවුණත්.) 

ඉහළ සමාජයට ඇතුළු වෙන්න ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. 

ඉහළ සමාජය යනු කුමක්ද යන්න ප්‍රශ්නයක්. එය මුදල් යහමින් ඇති අයගේ සමාජය නම්, ඊට අවශ්‍ය වෙන්නේ තමනුත් කෙසේ හෝ මුදල් ඇත්තෙකු වීමයි (කලින් සඳහන් කළ පරිදි මේ සඳහා අද ලංකාවේ ඉංග්‍රීසිය එතරම් වැදගත් නැහැ). ඇතුළු වීමට අවශ්‍ය ඉංග්‍රීසි කතා කරන සෝබන ඉහළ පැලැන්තියට නම්, භාෂාව කෙතරම් හුරු වුණත් අදාළ පවුල් හා පාසැල් පසුබිම නොමැතිව එය කිරීමට අපහසු විය හැකියි.

ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අද ලංකාවේ ලොකු උනන්දුවක් තියනවා.

කලින්  කතා කළ මත හේතුවෙන් ඉංග්‍රීසි ඉගෙනීම වැදගත් යයි මුලින් සිතුවත්, ප්‍රායෝගිකව එය තමන්ට කියනා තරම් අවශ්‍ය නොවන බව පසුව වටහා ගන්නා බොහෝ අය ටික කලකින් අධ්‍යයනය අත් හරිනවා පෙනෙනවා.  

ඉහත කරනා එසේ නම් හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ කාටද යන්න ගැන හිතන්න වෙනවා. 

(1) අධ්‍යාපනය ඉහළට කර ගෙන යාමට බලාපොරොත්තු වෙන අයට 

උසස් අධ්‍යාපනය සඳහා වූ පොත පත හා අනෙකුත් අධ්‍යයන මෙවලම් බොහෝ විට ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මෙවැන්නන්ට හොඳ ඉංග්‍රීසි දැනුමක් වැදගත් විය හැකියි. (ඉංගිසි භාෂාව අද ජාත්‍යන්තර උසස් අධ්‍යයන මාධ්‍යය බවට බොහෝ දුටට පත් වී ඇති නිසා මෙය අද අනෙකුත් රටවල අයටත් මෙසේමයි.)

(2)  විදේශගතව අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන අයට

විදේශගත අධ්‍යාපනය හැදෑරීම වෙනත් භාෂාවලින්ද කළ හැකි වුණත්, ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසිය ලබා ඇති තත්වය නිසා එම මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම වඩා ප්‍රයෝජනවත් විය හැකියි.

(3) විදේශගතව ඉහළ මට්ටමේ  රැකියා කිරීමට බලාපොරොත්තු වෙන අයට

එතරම් ඉංග්‍රීසි දැනුමක් නැතිව කළ හැකි පහල මට්ටමේ විදේශ රැකියා කොතෙකුත් ඇතත්, ඉහළ මට්ටමේ  රැකියා සඳහා බොහෝ විට ජාත්‍යන්තර භාෂාවෙන් සාර්ථක ලෙස වැඩ කිරීමේ හැකියාව පිටුබලයක් වෙනවා  (ඒ සඳහා තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ නිපුනත්වයක්ද අවශ්‍ය බව කීමට උවමනා නැහැ).

(4) ඇතැම් වෘත්තීන්වල ඉහළට යාමට බලාපොරොත්තු වෙන අයට 

දේශීය වශයෙන් හෝ ඇතැම් ක්ෂේත්‍රවල ඉහළ තත්වයකට යාම සඳහා මනා ඉංග්‍රීසි දැනුමක් උපකාරී විය හැකියි. විදේශිකයන් හා සම්බන්ධ විය යුතු හා ජාත්‍යන්තර මූලයන්ගෙන් එන දැනුම හා සම්බන්ධ ක්ෂේත්‍රවල ඉහළ තනතුරු සඳහා මෙය වඩාත් ඉවහල් වෙනවා.

(5)  සමස්ත ලෝකය සමග එකතු වීමට ජාත්‍යන්තර මාධ්‍යයක් අවශ්‍ය අයට  

ඉහත බලාපොරොත්තු කිසිවක් නැතත්, විශ්ව ගම්මානයේ පුරවැසියෙක් ලෙස බාහිර ලෝකය සමග අදහස් සාර්ථකව හුවමාරු කර ගැනීමට හා සමස්ත ලෝකයෙන් තොරතුරු ලබා ගැනීමට ලොව ප්‍රධාන ජාත්‍යන්තර භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබීම පාදක වෙනවා. 

මේ ආකාරයෙන් හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් අවශ්‍ය අයට ඒ සඳහා භාවිතා කළ හැකි අධ්‍යයන ක්‍රම සම්බන්ධයෙන් භාෂා අධ්‍යයනය පිළිබඳ විශාරදයෙකුගේ අදහස් ගැන අපි "How Do You Learn a Language II - විවිධ ක්‍රම ගැන" හා "How Do You Learn a Language III - තමන්ම ඉගෙනීම ගැන" ලිපිවල කතා කළා. එයින් පළමු ලිපියේ  විශේෂිතව සාකච්ඡා කෙරුනේ එම විවිධ ක්‍රමවේද අතරින් එකක් වන ගුරුවරයෙකුගෙන් පංතියකදී ඉගෙනීම ගැනයි. අනෙකුත් ක්‍රම ගැන දෙවන ලිපියේ කතා කළ අතර එහිදී ස්වඅධ්‍යයනය ගැන විශේෂිතව අවධානය යොමු කෙරුණා. මෙම කරුණු ගැන නැවත අවධානය යොමු කිරීම හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් අවශ්‍ය අයට වැදගත් විය හැකියි.

මේ සම්බන්ධයෙන් මෙම බ්ලොග් අඩවියේ අරමුණ වුණේ මෙවැනි අය සඳහා ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේ විවිධ අංග උදාහරණ සහිතව පැහැදිලි කර දීමයි. නමුත් මීට සමගාමීව ඉංග්‍රීසිය මැනවින් හසුරුවන්නන්ගේ භාවිතය සමග - කියවීම සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ - සමීප වීම අත්‍යවශ්‍ය වෙනවා. බ්ලොග් අඩවියේ පැහැදිලි කර ඇති භාෂා රටා හොඳින් ධාරණය කර ගැනීමට හැකි වන්නේ ඒවා ව්‍යවහාරය තුළ නැවත නැවත හමු වන විටයි.

එසේම මෙහි ලිපි විනෝදයට කියවන්නාක් මෙන් එක් වරක් කියවීම බොහෝ විට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවා ටික කලකට පසුව නැවත කියවූවොත්, ඒ අතරතුරදී ව්‍යවහාරයේ හමු වුණ ඊට අදාළ කරුණුද ඉවහල් කරගෙන අවබෝධය වඩාත් වර්ධනය වෙනු ඇති. මෙහි ලිපි ඇතුළත් කර ඉංගිරිසි ඊපොත සකස් කෙරුණේත් එම කාර්යය පහසු කිරීම සඳහායි. 

(Image credit: shehal)

      

Monday, June 25, 2012

Learn English in One Day! අපෙන්ම විතරයි


අපේ රටේ අය ඉස්කෝලේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එත් පාසැල් කාලය අවසානයේදීත් ඉංග්‍රීසියෙන් ප්‍රායෝගික වැඩක් ගන්න පුළුවන් හැකියාවක් බොහෝ දෙනෙකුට නැතිලු. එහෙනම් ඉතින් අපේ ඉංග්‍රීසි අධ්‍යාපන රටාවේ යම් වැරැද්දක් තියෙන බව පැහැදිලියි.

මේකට ප්‍රතිකර්මයක් හැටියට, ඉස්කෝලෙන් එළියට එන අය හොයනවා ඉක්මනින් හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබා ගත හැකි ක්‍රම. විශේෂයෙන්ම කතා කිරීමේ හැකියාව ලබා ගැනීම බොහෝ අය ඉලක්ක කරනවා.
ප්‍රායෝගික වැදගත්කම වගේම, කඩ්ඩෙන් කතාව දාලා අනිත් අයට පොඩි නයා පාරක් පෙන්නනත් පුළුවන්නේ. ඉතින් මේක ඉක්මනින්, ලේසියෙන් කර ගන්න පුළුවන් නම් කොච්චර හොඳද!

මේ සඳහා මුලින්ම අපේ රටේ තිබුනා මාස 6 න් ඉංග්‍රීසි උගන්වන පාඨමාලා. හැබැයි දැන් අපේ අය මාස 6 ක් මේකට නාස්ති කරන්න කැමතිත් නැහැ. ඒ නිසා එම කාල සීමාව මාස 3, මාස 2 ආදී වශයෙන් කෙටි වී ගෙන ගියා. දැන් නම් දින 5 න් ඕනෑම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්න උගන්නන තැනුත් තියනවලු (මොළේට ඉංගීසි microchip එකක් වගේ දෙයක් දානවද දන්නේ නැහැ). තව ටික දවසකින් මේක එක දවසෙන් කරන්නත් පටන් ගන්න ඉඩ තියෙනවා. ඔක්කොම දේවල් ක්ෂණිකව කරන්න හදන කාලෙනේ.

වරදවා  වටහාගන්න එපා. මම මෙයින් අදහස් කරන්නේ නැහැ නව අධ්‍යයන ක්‍රම භාවිතා නොකළ යුතුයි කියලා. ඒ වගේම හැම දෙනාටම ඉතා උසස් ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි කියලත් මම හිතන්නේ නැහැ. නමුත් තම අදහසක් තවත් කෙනෙකුට වැඩි අපහසුවකින් තොරව තේරුම් යන ලෙස ප්‍රකාශ කිරීමට සහ ඔවුන් පවසන දෙයක් වැඩි අපහසුවකින් තොරව තේරුම් ගැනීමට හැකි තත්වයකට ඒමට කොපමණ කාලයක් අවශ්‍යද යන්න වැදගත් ප්‍රශ්නයක්.

මේ පිළිබඳව අන්තර්ජාලයේ හොයලා බලද්දී හමු වුණා වෙබ් අඩවියක්: "Fluent in 3 Months". මෙය ඉදිරිපත් කරන අයිරිෂ් ජාතික Benny Lewis නැමැත්තා භාෂා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නෙක් බව පෙනෙනවා. ඔහු වරින් වර විවිධ භාෂා තොරා ගෙන, මාස 3 ක් ඇතුළත එම භාෂාවෙන් වැඩි අපහසුවකින් තොරව කතා කළ හැකි තත්වයට ඒමට ඉලක්ක කරනවා. මුලින් තමන්ට කිට්ටු යුරෝපීය භාෂා තෝරා ගත් ඔහු, පසුව චීන භාෂාව වැනි ඉගෙනීමට අපහසු යයි සැලකෙන භාෂාත් තෝරා ගත්තා. තම ක්‍රමවේදය ඉතා සාර්ථක බව පවසන ඔහු ඒ පිළිබඳ පාඨමාලාවකුත් අලවි කරනවා. නමුත් මෙතැනදී සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා.

Benny Lewis
භාෂා අධ්‍යයනය පිළිබඳ ඉතා ඉහළ හැකියාවක් ඇත්තෙක් බව පැහැදිලියි. එවැන්නෙකුට මෙවැනි දෙයක් කළ හැකි වුණත්, සාමාන්‍ය කෙනෙකුට එසේ කළ හැකි වෙයිද යන්න ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් අතින්, ඔහු යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන රටකට හෝ ප්‍රදේශයකට ගොස් එය අධ්‍යයනය කරන්නෙක්. එසේ කිරීම අත්‍යාවශ්‍ය නොවන බව ඔහු පවසතත්, අදාළ භාෂාව කතා කරන්නන් සමග සම්බන්ධ වීම සහ ඔවුන්ගෙන් උපදෙස් ගැනීම ඉතා වැදගත් ලෙස සලකනවා. එවැන්නකට අවස්ථාව ශ්‍රී ලාංකිකයන් බහුතරයකට නම් නොමැති බව පැහැදිලි කරුණක්.

ඔහු කියා සිටින්නේ ඉගෙනීම පටන් ගත් දිනයේ සිටම ඔහු එම අළුත් බසින් කතා කිරීම අරඹන බවයි; වෙනත් භාෂා භාවිතයෙන් හැකි තරම් වැළකෙන බවයි. මෙවැන්නක් කලකට ඉහත නම් ලංකාවේ ඇතැම් පාසල්වලත් ක්‍රියාත්මක වුණාලු. සිංහලෙන් කතා කළ විට දඩ ගෙවීමටත් සිදු වුණාලු. වර්තමානයේත් මෙම ක්‍රමය යම් තරමකින් උපයෝගී කර ගැනීමට ඇතැම් තැන්වල උත්සාහ කරනු පෙනෙනවා. නමුත් යම් භාෂාවක් ප්‍රධාන භාෂාව ලෙස ඇති රටකදී නම් මීට ලැබෙන අවකාශය බොහෝ සෙයින් වැඩියි.

මේ හා සම්බන්ධ තවත් වැදගත් කරුණක් වන්නේ ඉලක්ක කරනු ලබන භාෂා හසලත්වය කුමන පරාසයක් හරහා විහිදෙන්නක්ද යන්න. ඉංග්‍රීසියෙන් "fluency" යනුවෙන් හඳුන්වන ව්‍යක්තභාවය ළඟා කර ගැනීමට නම් සාමාන්‍ය ජීවිතයේ හමු වෙන ඕනෑම මාතෘකාවක් පිළිබඳ සාර්ථක සංවාදයක අපහසුවකින් තොරව යෙදීමට හැකි විය යුතු බවයි LingQ භාෂා අධ්‍යයන වෙබ් අඩවියේ නිර්මාතෘ Steve Kaufmann ගේ අදහස.

ආසන්න වශයෙන් මෙවැනි තත්වයක් තමා චෙක් (Czech) භාෂාවෙන් දින 5 ක් ඇතුළත ලබා ගැනීමට ඉලක්ක කරන බව ඔහු වරක් ප්‍රකාශ කළා. නමුත්  ඒ වන විට ඔහු මාස 8 ක පමණ සිට එම භාෂාව හදාරා ඇති බවත්, අදාළ දින 5 දී අදහස් කරන්නේ ප්‍රාග් (Prague) නගරයේදී සම්පුර්ණයෙන්ම එම භාෂාව භාවිතයට කැප වෙන්නට (total immersion) බවත් එතනදී පිළිගැනුණා. කෙසේ වෙතත් මොහුත් භාෂා අධ්‍යයනයේ අති දක්ෂයෙක් මිස සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ.

නමුත් ඔහු Benny Lewis ගේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන්නෙක්. ඔහුගේ මතය අනුව භාෂාවක් කතා කරන රටකට යාමට කලින් එම භාෂාව පිළිබඳ හොඳ මුලික දැනුමක් ලබා තිබීම වැදගත් වෙනවා. (ඇතැම් භාෂා පිලිබඳ මෙවන් හොඳ මුලික දැනුමක් ලැබීමට ඔහුගේ LingQ වෙබ් අඩවියද භාවිතා කළ හැකි බව ඔහුගේ අදහසයි.)

සාමාන්‍ය පුද්ගලයන් මේ "fluency" තත්වයට ළඟා වීම මාතෘකා කර ගත් වෙබ් පිටුවක නම් කියවෙන්නේ තරමක් බය හිතෙන කතාවක්. පර්යේෂණවලට අනුව ඒ සඳහා පැය 10, 000 ක් පමණ අධ්‍යයනය පිණිස කැප කළ යුතු බවත්, විවිධ අධ්‍යයන ක්‍රම ඔස්සේ ඒ සඳහා ගත වෙන වසර ගන්නත් එහි දැක්වෙනවා. නමුත් මෙහි අදහස් කෙරෙන හසලත්වය නම් ඉතා උසස් වුවක් බව සැලකිය යුතුයි.

ඉංග්‍රීසි භාෂාවේ හසලභාවය ලැබීම සඳහා අවශ්‍ය කාලය පිළිබඳ අදහස් විමසුමක ප්‍රතිඵලද හමු වුණා. මේ සම්බන්ධ මතවල ඇති විවිධත්වය එහි නිරූපනය වෙනවා. එයින් උපකල්පනය කළ හැකි එක් දෙයක් නම්, මෙවැන්නකට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට ඉඩ ඇති බවයි. බහුතර මතයක් වශයෙන් ගත හැක්කක් එහි දක්නට නැතත්, 26% කට මදක් වැඩි පිරිසක් අදහස් කරන්නේ අවුරුදු 5 කට වැඩි කාලයක් මීට උවමනා බවයි. (මෙහි ප්‍රතිඵල බැලීමට පෙර තමන්ගේ තේරීම ඉදිරිපත් කළ යුතු වෙනවා.)

කෙසේ නමුත් Benny Lewis මාස 3 කින් ළඟා වීමට බලාපොරොත්තු වන මට්ටම සහ මේ පැය 10, 000 ක් අවශ්‍ය මට්ටම අතර - මේ දෙතැනම "fluent" සහ "fluency" වචන යොදා ගෙන තිබුනත් - වෙනසක් තිබිය යුතු බව නම් හැඟෙනවා. භාෂා කුසලතාවය පිළිබඳ මිනුම් දණ්ඩක් ලෙස ගැනෙන  "Common European Framework" වර්ගීකරණය අනුව එම හැකියාව A1, A2, B1, B2, C1, C2  යනුවෙන් මට්ටම 6 කට බෙදෙනවා. Benny Lewis මාස 3 කින් C1 මට්ට්ටම ඉලක්ක කළත්, එය කළ නොහැක්කක් බවයි වෙනත් අයගේ අදහස. මේ ගැන ලියවුන ලිපියක ඉහත සඳහන් මට්ටම් පිළිබඳ Steve Kaufmann විස්තරාත්මකව අදහස් දක්වන වීඩියෝවක්ද අන්තර්ගතයි. එම  වීඩියෝවේ ඔහු පැහැදිලි කරන්නේ C1 හෝ C2 යන පුළුල් පරාසයක් හරහා විහිදෙන උසස් දැනුමක් ඇති මට්ටම්වලට ළඟා වීමට විශාල වශයෙන් කියවීම (සහ සවන් දීම) අවශ්‍ය බවයි.

නමුත් අපේ රටේ බහුතරයකට ඉංග්‍රීසි දැනුමේ එවන් මට්ටමක් කරා යාමට අවශ්‍යතාවයක් තිබේද යන්න සැලකිය යුතු කාරණයක්. බොහෝ දෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු සඳහා B1 හෝ B2 මට්ටමේ දැනුමක් ප්‍රමාණවත් වෙන නිසා එතනින් ඔබ්බට යාමට ඔවුන්ට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ක්‍රමවත් අධ්‍යයනයක යෙදෙන්නෙකුට අවුරුද්දකින් පමණ B1, B2 දැනුමක් ලබා ගැනීමට හැකි විය යුතු බවයි මගේ නම් පෞද්ගලික විශ්වාසය. ("Cambridge English Language Assessment" අනුව B1 මට්ටම සඳහා ගුරු මග පෙන්වීම යටතේ අධ්‍යයන පැය 350–400 පමණද, B2 සඳහා පැය 500–600 පමණද අවශ්‍ය බව කියවෙනවා.) මේ මට්ටමෙන් ඔබ්බට ඉගෙනීම පිළිබඳව “Moving Beyond the Intermediate Plateau” ලිපියේ වැඩි විස්තර දැක්වෙනවා.

විවිධ භාෂා අධ්‍යයන ක්‍රම පිළිබඳව මීට කලින් ලියවුන "How DoYou Learn a Language? – භාෂාවක් ඉ‍ගෙන ගැනීම ගැන ", "How DoYou Learn a Language II – විවිධ ක්‍රම ගැන", " How Do You Learn a Language III – තමන්ම ඉගෙනීම ගැන" ලිපිවලත් මේ සම්බන්ධ යම් යම් දේ සඳහන් වෙනවා.

හැබැයි ඉතින් අපේ රටේ තියනවයි කියන දින 5 න් මුලික දැනුමක් නැති කෙනෙකුට ඕනෑම දෙයක් ඉංග්‍රීසියෙන් කීමට හැකියාව ලබාදෙන ක්‍රමයක් ගැන නම් කොහෙන්වත් හොයා ගන්න බැරි වුණා. ඒක total immersion අවශ්‍ය වන ක්‍රමයකුත් නෙමේද කොහෙද? මේ වගේ දේවල් ගැන හොයලා බලලා ජාත්‍යන්තරයට අරන් ගියොත් කොහොමද රටට ලැබෙන විදේශ විනිමය?  

(Image credit:
Shane Global Language Centres)


Saturday, September 11, 2010

How Do You Learn a Language III - තමන්ම ඉගෙනීම ගැන



භාෂා අධ්‍යයනය පිළිබඳ විශාරදයෙකු වන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ආග්වෙයියස් එම ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරිපත් කරන වීඩියෝ දේශන මාලාවේ එන,  විවිධ අධ්‍යයන විධි සාකච්ඡා කෙරෙන දේශන දෙකක් වෙත අපි මීට කලින් ලිපියෙන් අවධානය යොමු කළා. එයින් පළමුවැන්නේ දැක්වුණ අධ්‍යයන විධි හතරෙන් එකක් - එනම් පංති කාමරයක ඉගෙනීම - ගැන දෙවැන්නේ කරුණු ඉදිරිපත් කෙරුනා.

ඒ දෙවෙනි වීඩියෝව නැරඹූ අයට පැහැදිලිව පෙනෙන්න ඇති ඔහු මේ ක්‍රමයෙන් යම් සාර්ථකත්වයක් ලැබීම සඳහා ඉදිරිපත් කරන නිර්දේශ සහ අපේ රටේ බහුලව දකින්නට ලැබෙන, එමෙන්ම බොහෝ දෙනෙක් අනුගමනය කරන, ආකාරයේ පංතිවල (පාසැලේ හෝ පෞද්ගලික) ඇති තත්වයන් අතර තිබෙන විෂමත්වය. ලංකාවේ භාෂා අධ්‍යයනය බොහෝ දුරට අසාර්ථක වීම ඒ අනුව අරුමයක් නෙමෙයි, නේද?

තමන්ටම පෞද්ගලිකව උගන්වන ගුරුවරයෙකුගෙන් ඉගෙනීම, අවිධිමත් ලෙස ඉගෙනීම (යම් ප්‍රජාවක් සමග ජීවත් වීමට සිදු වන්නෙක් එහි භාවිතා වන භාෂාව ඉබේම මෙන් හුරුවෙන්නක් මෙන්) සහ ස්වයංඅධ්‍යයනය  යන ප්‍රවේශ ගැනත් පසුව වීඩියෝ දේශන ඉදිරිපත් කෙරෙනවා. 

මෙයින් පළමුවැන්න පංතියක ඉගෙනීමට ව‍ඩා ප්‍රතිඵලදායක බව සම්මත මතය වුවත්, එය සැම විටම එසේ නොවන බවත්, මෙහිදී ශිෂ්‍යයා අධ්‍යයනය ගැන වගකීම (තමා වෙනුවෙන්ම කැප වී ඇති) ගුරුවරයාට පැවරීමේ ප්‍රවණතාවයක් ඇති බවත් පවසන මහාචාර්යවරයා, බස ගැන යම් දැනුමක් ඇත්තෙකුට ඒ දැනුම පදනම් කරගෙන එය වැඩි දියුණු කර ගැනීමට නම් මෙය වැඩ දායක විය හැකි බව ප්‍රකාශ කරනවා. එමෙන්ම සිසුවා ඉගෙන ගන්නා බස තම මව් බස වන, එහෙත් සිසුවාගේ මව් බස නොදන්නා ගුරුවරයෙක් භාෂා දෙක අතර වෙනස්කම් පැහැදිලි කිරීමට නොදන්නා නිසා, විශේෂයෙන් එවැනි ගුරුවරයෙකුගෙන් මෙලෙස ඉගෙනීම දැනටමත් සෑහෙන දැනුමක් ඇති සිසුවෙකුට මිස මූලික අවස්ථාවට නුසුදුසු බව දැක්වෙනවා.‍ 

දෙවැන්න අදාළ වන්නේ ඒ ප්‍රවේශය සඳහා අවස්ථා‍වක් ලද්දෙකුට පමණයි.

ඊළඟ ක්‍රමය - එනම් මහාචාරයවරයා පෞද්ගලිකව ඇලුම් කරන ක්‍රමය - වන්නේ ක්‍රමානුකූල ස්වයංඅධ්‍යයනයයි. නමුත් මෙය මනා ස්වයංවිනයක් හා ස්වයංපාලනයක් ඇතිව කළ යුත්තක් වෙනවා. කෙසේ වෙතත් ගුරුවරයෙක් ඇතිව ඉගෙන ගන්නෙකුට වුවත් මේ ක්‍රමය තුළින් අමතර පිටුබලයක් ලැබෙන නිසා මේ ගැන අපි අවධානය යොමු කරමු.

මහාචාර්යවරයා මෙහිදී යොදා ගත හැකි පාඩම් මාලා ඒවායේ යොදා ගන්නා ඉගැන්වීම් රටාව අනුව‍ කොටස් හතරකට බෙදනවා. 



1. සංවාද හා වෙනත් ලිපි ආධාරයෙන් ඉගැන්වෙන ක්‍රම 

මෙම පාඨමාලාවල ඉගෙන ගන්නා භාෂාවෙන් යම් සංවාදයක් වැන්නක් මුලින් ඉදිරිපත් කර එය ශිෂ්‍යයාගේ මව් බසින් පසුව දැක්වෙනවා. භාෂා ව්‍යවහාරය පිළිබඳ සටහන්ද ඉදිරිපත් කෙරෙනවා. මේ ආකාරයේ පාඩම් මාලා භාෂාව නිරීක්ෂණයෙන් ඉගෙනීමට කැමති, නිරීක්ෂණ තුළින් උපකල්පනවලට එළඹීමට ලැදි, එහෙත් පසුව එම උපකල්පන අවශ්‍ය නම් වෙනස් කර ගැනීමටද සූදානම් අයට ගැලපෙනවා.

(බොහෝ භාෂා ප්‍රවීනයන් මෙම ක්‍රමය අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙනවා. මහාචාර්ය ආග්වෙයියස් මෙන්ම අපි කලින් ලිපියක සඳහන් කළ ලූකාද අනුගමනය කරන්නේ මේ ප්‍රවේශයයි. ඔවුන් දෙදෙනාගේම - සහ භාෂා සාර්ථකව තනිවම ඉගෙන ගත් තවත් බොහෝ අයගේ - ප්‍රියතම පාඩම් මාලාවක් වන Assimil සිංහල හරහා ඉංග්‍රීසි ඉගෙනීම සඳහා නම් යොදා ගන්න බැහැ. Assimil පොත් පෙළ මුලින්ම බිහි වුනේ ප්‍රංශ ජාතිකයන්ට වෙනත් භාෂා ඉගැන්වීම සඳහායි. පසුව ශ්‍රව්‍ය උපාංගද සහිතව නිකුත් වූ මේවායින් සමහරක් දැන් ඉංග්‍රීසි හා වෙනත් මාධ්‍ය කීපයකටද හරවා තිබුනත් ඉංග්‍රීසි භාෂාව නම් ඉගැන්වෙන්නේ අනෙකුත් භාෂා මාධ්‍යවලිනුයි.)

2. මුලින් භාෂාවේ ස්වරූපය (ව්‍යාකරණය) පැහැදිලි කරන ක්‍රම

ව්‍යාකරණය තුළින් උගන්වන මෙම ක්‍රමය දෙආකාරයක් ගන්නවා. එනම්, වඩා වැදගක් ව්‍යාකරණ ර‍ටා මුලින් උගන්වන ආකාරය සහ ව්‍යාකරණය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මුලින් ඉදිරිපත් කරන ආකාරයයි. මේ ප්‍රවේශය භාෂා රීති විස්තරාත්මකව පැහැදිලි කිරීමක් තුළින් විශ්ලේෂණාත්මකව, තාර්කිකව හිතා බලා ඉගෙනීමට කැමති අයට යෝග්‍ය වෙනවා.

(නමුත් අනෙකුත් දේ ගැන තාර්කිකව සිතන සියළු දෙනා ඒ ආකාරයට භාෂාවක් ඉගෙනීම නොකරන බව සැලකිය යුතුයි. බසක් ඉගෙනීමේදී උගත් දේ උකහා ගෙන තමන්ගේ දෙයක් ලෙස භාවිතයට ගත යුතු නිසා, මතකය පමණක් අවශ්‍ය වන අනෙකුත් දේ ඉගෙනීම හා භාෂාවක් ඉගෙනීම වෙනස් වන බව මහාචාර්යවරයා අධ්‍යයන උපාංග තෝරා ගැනීම පිළිබඳ සිය දේශනයේ - එයත් අපි මෙහි පසුව සලකා බලනවා - සඳහන් කරනවා.)

3. උගත් යමක් එසැනින්ම ක්‍රියාවට නැගීම යොදා ගැනෙන ක්‍රම

යම් භාෂා රටාවක් ඉදිරිපත් කළ සැනෙන් ඒ සඳහා ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන මේ ප්‍රවේශය, උගත් භාෂා රටා ඉක්මනින් තමන්ම යම් ආකාරයකින් භාවිතයේ යෙදීමෙන් ඉගෙනීමට ලැදි අයට යෝග්‍ය වෙනවා.  

4. විවිධ අවස්ථාවලට අදාළ සංවාද ආදිය ආශ්‍රයෙන් භාෂාව ඉදිරිපත් කිරීම ("Checking into a Hotel Room", "Going Out to a Restaurant" වැනි මාතෘකා යටතේ) 

තමන් භාවිතා නොකරන නිසා, මෑත කාලයේ බිහි වූ මෙම ක්‍රමය කුමන ආකාරයේ සිසුන්ට සුදුසු දැයි කීමට තමන්ට අපහසු බව පවසන මහාචාර්යවරයා මෙම ක්‍රමයේ පැහැදිලි කිරීම් අඩුකම හා අභ්‍යාස ආදියේදී ඇතැම් විට අර්ථයන් නොදැක්වීම වැනි දේ ගැන එතරම් පැහැදීමක් දක්වනනේ නැහැ. ඒවා පිංතූර, ප්‍රෙහේළිකා අදිය ආශයෙන් රසවත්බව ඇතිකිරීම ගැන වැඩි අවධා‍නයක් දක්වන බවයි ඔහුගේ මතය.

අධ්‍යයන උපාංග තෝරා ගැනීම සම්බන්ධව වෙනත් වීඩියෝවක අදහස් දක්වන මහාචාර්යවරයා පවස්න්නේ මේ ආකාරයෙන් මධ්‍යම හෝ උසස් මධ්‍යම මට්ටම (Intermediate or Upper-Intermediate Level) දක්වා සාර්ථකව උගත හැකි බවයි. ඕනෑම ස්වරූපයක අධ්‍යයන පාඨමාලාවක් තුළින් ළඟා විය හැක්කේ මේ මට්ටමට බවත්, ඉන් ඔබ්බට ඉගෙනීම අදාළ භාෂාව භාවිතා කරන රටකට ගොස් හෝ අඩු වශයෙන් චිත්‍රපට, පොත් ආදිය බහුලව භාවිතා කිරීම තුළින් කළ යුතු බව සඳහන් වෙනවා.

ඉතින් මේ අනුව භාෂා අධ්‍යයනය සඳහා උපාංග තෝරා ගන්න පෙර තමන් ප්‍රධාන වශයෙන් කුමන ආකාරයට භාෂා අධ්‍යයනය කරන්නෙක්ද යන්න (තමන්ගේ ප්‍රධාන අධ්‍යයන රටාව) අපි හොයා ගන්න ඕනැ. කෙසේ වෙතත් මෙයින් අදහස් වෙන්නෙ නැහැ තමන්ට ගැලපෙන එක් පාඩම් මාලාවක් ආශ්‍රයෙන් පමණක් බසක් උගත හැකි බව. සියළු දෙනාම විවිධාකාරයේ පාඩම් මාලා කිහිපයක් - තමාගේ අධ්‍යයන රටාව අනුව වෙනස් අනුපිළිවෙලින් - යොදා ගැනීම අවශ්‍ය වන වෙනවා.




a. භාෂා රීති විස්තරාත්මකව පැහැදිලි කිරීමක් තුළින් විශ්ලේෂණාත්මකව, තාර්කිකව හිතා බලා ඉගෙනීමට කැමති අයට

i. සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ස‍ඳහා ඉහත (2) ආකාරයේ පාඩම් මාලා (දෙකක් වත්)

ii. භාවිතය ගැන වඩා හොඳින් දැන ගැනීමට (1) ආකාරයේ පාඩම් මාලාවක්

iii. දැනුම භාවිතයට නැගීම පුහුණු වීම අවශ්‍ය තැන් සඳහා (3) ආකාරයේ පාඩම් මාලාවක්

b. උගත් භාෂා රටා ඉක්මනින් තමන්ම යම් ආකාරයකින් භාවිතයේ යෙදීමෙන් ඉගෙනීමට ලැදි අයට

i. භාෂා රටා භාවිතය ගැනීමට (3) ආකාරයේ පාඩම් මාලවක්
(මෙහිදී භාෂාවේ ශබ්ද රටා හුරු වීම අඩු නම් හෝ ඒ ගැන චකිතයක් ඇත් නම් මුලින්ම ශබ්දය පදනම් වූ වෙනත් පාඩම් මාලාවක් යොදා ගැනීම වැදගත් බව සඳහන් වෙනවා. මෙය මෙතැනදී සඳහන් කෙරුණත් අනෙකුත් ක්‍රමවලටද අදාළ වෙන බව කියවෙනවා.)

ii. භාෂා රටා හා සම්බන්ධ රීති ගැන වඩා හොඳ අවබෝධක් සඳහා (2) ආකාරයේ පාඩම් මාලාවක්

iii. නැවතත් (3) ආකාරයේ කෙටි පාඩම් මාලාවක්

iv. භාවිතය උකහා ගැනීම සඳහා (1) ආකාරයේ පාඩම් මාලාවක්

c. නිරීක්ෂණයෙන් ඉගෙනීමට කැමති, නිරීක්ෂණ තුළින් උපකල්පනවලට එළඹීමට කැමති, එහෙත් පසුව එම උපකල්පන අවශ්‍ය නම් වෙනස් කර ගැනීමටද සූදානම් අයට

i. භාවිතය නිරක්ෂණයෙන් ඉගෙනීමට (1) ආකාරයේ පාඩම් මාලා (දෙකක් හෝ කීපයක්)

ii.‍ භාෂා රීති ගැන දැනුම වැඩි දුයුණුවට (2) ආ‍කාරයේ පාඩම් මාලාවක්

ii‍i. උගත් ඇතැම් දේ භාවිතයට ගැනීම පුහුණුවට (3) ආකාරයේ පාඩම් මාලාවක්

ඉතින් මේ තමයි භාෂා ස්වයංඅධ්‍යයනය ගැන ලොව සුපතල භාෂා විශාරදයෙකුගේ අදහස්. මේ කරුණු කාරණා ඉංග්‍රීසි ඉගෙන ගන්නා අපේ රටේ අයටත් යම් තරමකට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා.

(සේයාරුවට ස්තුතිය: Brenda Annerl) 
Related Posts with Thumbnails