Sunday, March 7, 2010

Of People, Equipment and Fish – කිසිම සමානකමක් නැද්ද?




ඉංග්‍රීසි භාෂාවෙ තියෙනවා සමහර වචන අපි සිංහලෙන් හිතන විදිහට භාවිතා නොවෙන. මේක සාමාන්‍ය දෙයක් මේ භාෂා දෙකේ වෙනස් වූ පසුබිම් නිසා. නමුත් මේ නිසා අපට සමහර වෙලාවට යම් යම් පැටලිලි ඇති වෙනවා. මෙවැනි අවස්ථා කීපයක් දිහා පොඩ්ඩක් බලමු.

1. fish - මාළුවා

මෙහි ඒක වචන (singular) මෙන්ම බහු වචන (plural) ස්වරූපයත් බොහෝ විට fish මයි. ආහාරයක් ලෙස සලකන විට නම් එය ගැනෙන්නේ ගණන් කළ නොහැකි නාම පදයක් (uncountable noun) වශයෙනුයි. ඉස්සර කාලෙ පාවිච්චි වෙලා තියෙන fishes බහු වචන ස්වරූපය අද ඇතැම් විට පාවිච්චි වෙන්නෙ විවිධ මාළු වර්ග යන අර්ථයෙදී පමණයි.

The fisherman caught a lot of fish. මාළු අල්ලන අය ගොඩක් මාළු ඇල්ලුවා.

There is only one fish in the tank. ටැංකියෙ ඉන්නෙ එක මාළුවෙක් විතරයි.

There are eight fish in the tank. ටැංකියෙ මාළු අට දෙනෙක් ඉන්නවා.

How many kinds of fish are there in this pond? මේ පොකුණේ මාළු වර්ග කීයක් ඉන්නවද?

Do they eat fish? ඒ අය මාළු කනවද? (ආහාරයක් ලෙස)

Fish is expensive these days. මේ දවස්වල මාළු ගණන් (මිළ වැඩියි). (ආහාරයක් ලෙස)

He is an expert on the freshwater fishes of Sri Lanka. එයා ලංකාවෙ මිරිදිය මාළු වර්ග ගැන විශේෂඥයෙක්. (විවිධ මාළු වර්ග ලෙස)

2. fruit - පළතුරු

එසේම පළතුරක් (එනම් පළතුරු වර්ගයක්) හා ගසක ඇති ගෙඩියක් යන අර්ථවල fruit පදය ගණන් කළ හැකි නාම පදයක් (countable noun) වශයෙන් යෙදෙනවා. ඊට අනුරූපව පළතුරු වර්ග හා ගසක ඇති ගෙඩි සඳහා fruits යන්න භාවිතා කරනවා. නමුත් ආහාරයක් ලෙසපළතුරුයන්න සඳහා පදය භාවිතා වෙන්නේ ගණන් කළ නොහැකි නාම පදයක් (uncountable noun) ලෙසයි. (ඇතැම් විට ආහාරයට ගන්නා එක් පළතුරු ගෙඩියක් සඳහා piece of fruit / pieces of fruit යෙදුම හමු වෙනවා - කපන ලද පළතුරු කෑල්ලක් නම් හැඳින්වෙන්නේ slice of fruit වශයෙනුයි.)

The mango is a delicious fruit. අඹ ගොඩක් රස පළතුරක්. (පළතුරු වර්ගයක් ලෙස)

Most people like eating fruit. බොහොමයක් අය පළතුරු කන්න කැමතියි. (ආහාරයක් ලෙස)

We want to buy some fruit and vegetables. අපට පළතුරුයි එළවලුයි ටිකක් ගන්න ඕනැ. (ආහාරයක් ලෙස)

How many fruits of Sri Lanka do you know? ඔයා ලංකාවේ පළතුරු වර්ග කීයක් දන්නවද? (පළතුරු වර්ග ලෙස)

There was a single red fruit on that tree. / There were a lot of red fruits on that tree. ඒ ගහේ එක රතු පාට ගෙඩියක් තිබුනා. / ඒ ගහේ රතු පාට ගෙඩි ගොඩක් තිබුනා. (ගසක ඇති ගෙඩියක් / ගෙඩි ලෙස)

3. equipment - උපකරණ , software - මෘදුකාංග, luggage [විශේෂයෙන් බ්‍රි] / baggage [විශේෂයෙන් ඇ] - ගමන් මලු, furniture - ගෘහභාණ්ඩ, information - තොරතුරු

මෙවැනි පද අපේ අයට පැටළුම් සහිතයි. ඒවා මගින් ඇත්තටම අදාළ දෙයින් එකක‍ට වැඩි ගණනක් හැඳින්වුණත්, මේ පද ඉංග්‍රීසියේ සැලකෙන්නේ ඒක වචන ලෙසයි. 

Is the equipment ready? උපකරණ ලෑස්තිද?

All the necessary software is already installed. අවශ්‍ය මෘදුකාංග ඔක්කොම දැනටමත් ස්ථාපනය කරල තියෙන්නෙ.

මේවා ගණන් කළ නොහැකි නාම පද (uncountable nouns) ලෙස සැලකෙන නිසා an equipment, a software, a baggage හෝ equipments, softwares, baggages ආදී වශයෙන් සම්මත ව්‍යවහාර‍යේ (standard usage) භාවිතා වෙන්නෙ නැහැ, සමහර අය එහෙම කියනව අහන්න ලැබුනට. මෙවැනි වචන ආශ්‍රයෙන් ගණන් කළ හැකි ලෙස එකක් හො කීපයක් නිරූපනයට a piece of … / pieces of … රටා භාවිතා වෙනවා.

The photocopier is an important piece of office equipment. ෆොටෝකොපි යන්ත්‍රය වැදගත් කාර්යාල උපකරණයක්.

We have found several pieces of very useful software. අපට හම්බ වෙලා තියෙනව ගොඩක් වැදගත් මෘදුකාංග කීපයක්.

4. family - පවුල, team - කණ්ඩායම, committee - කොමිටිය, parliament - පාර්ලිමේන්තුව...

පිරිසක් හඳුන්වන මේ වචන නම් අවස්ථවෙ හැටියට ඒක වචන (family, team…) හෝ බහු වචන (families, teams…) ස්වරූපයෙ‍න් පාවිච්චි කරන්න පුලුවන්.

බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේදී ඒවාගේ ඒක වචන ස්වරූපය සමග ඒක වචන මෙන්ම බහු වචන ක්‍රියා පදත් භාවිතා වෙනවා. පිරිස එක ඒකකයක් ලෙස දැක්වීමට අවශ්‍ය විට ඒක වචන ක්‍රියා පදත්, එහි පිරිසක් සිටින බව හුවා දැක්වීමට අවශ්‍ය විට බහු වචන ක්‍රියා පදත් ගැනෙනවා. ඇමරිකානු ව්‍යවහාරයේ නම් (family පදයේ හැර) ඒක වචන ස්වරූපය සමග බොහෝ විට යෙදෙන්නේ ඒක වචන ක්‍රියා පදයි. 

My family has / have come to see me. මගෙ පවුලෙ කට්ටිය ඇවිල්ල මාව බලන්න.

The team was / were [බ්‍රි] not happy about the decision. තීරණය ගැන කණ්ඩා‍යමේ සතුටක් තිබුනෙ නැහැ.

*** ‘ජනතාව’ යන අර්ථයෙන් භාවිතා වෙන public යන පදයේත් ඒක වචන ස්වරූපය මෙසේ ඒක වචන හෝ බහු වචන ක්‍රියා පද සමග යෙදෙනවා. නමුත් එම පදයේ බහු වචන ස්වරූපයක් නම් භාවිතයේ නැහැ.

The public was/were [බ්‍රි] mostly unaware of the risk. අවදානම ගැන ජනතාවගෙන් බොහෝ දෙනෙක් දැනුවත් වෙලා හිටියේ නැහැ.

5. people - මිනිස්සු, police - පොලීසිය, cattle - හරක්...

මේවා බහු වචන පද ලෙස සැලකෙනවා. නමුත් ඒක වචන පදයක් ලෙසත් people පාවිච්චි කරනවා ජාතියක්, ජන කොටසක් යන අර්ථය ඇතිව (මෙම අර්ථයේදී එහි බහු වචන ස්වරූපය peoples වෙනවා).

I had the chance to meet a lot of people I didn’t know. නොදන්න හුඟක් අය හම්බ වෙන්න මට අවස්ථාව ලැබුනා.

Two people have come to see you. දෙන්නෙක් ඇවිල්ල ඉන්නව ඔයාව හම්බ වෙන්න.

The police are looking for him. පොලීසියෙන් එයාව හොයනවා.

Cattle on the roads are a nuisance. පාරෙ ඉන්න හරක් හරි කරදරයක්.

The Italians are a fun-loving people. ඉතාලි ජාතිකයන් විනෝදකාමී ජාතියක්.

Most peoples of the world are represented at the United Nations. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකෙ ජන කොටස් බොහොමයක් නියොජනය වෙනවා.

6. data - දත්ත

මෙම පදය නියමාකාරයෙන් datum නැමති ඒක වචන පදයේ බහුවචන ස්වරූපයයි. වර්තමානයේ datum එතරම් දක්නට නොලැබුනක්, විධිමත් භාෂාවේ data තවමත් බහු වචනයක් ලෙස යෙදෙනවා. නමුත් තොරතුරු තාක්ෂණයේ data ඒක වචන ලෙස ගැනෙන නිසා එසේ සැලකීමේ ප්‍රවණතාවය වැඩි වී තියෙනවා.

These data were [විධිමත්] / This data was collected from several countries.මේ දත්ත එකතු කළේ රටවල් කීපයකින්.

The input data has to be accurate if the results are to be of any value. ප්‍රතිඵලවල වටිනාකමක් තියෙන්න නම් ඇතුල් කරන දත්ත නිවැරදි වෙන්න ඕනැ.

7. craft - ශිල්පය, යාත්‍රාව

ශිල්පය යන අර්ථයේදී බහු වචනය crafts වුණත්, යාත්‍රාව අර්ථයේදී  craft යන්නම බහු වචනයටද යොදා ගන්නවා (aircraft - ගුවන් යානය, space craft - අභ්‍යාවකාශ යානය, ආදියේදීත්).

Traditional crafts like pottery and mat-weaving are to be safeguarded. මැටි කර්මාන්තය, පැදුරු විවීම වැනි පාරම්පරික ශිල්ප රැක ගත යුතුයි.

Many fishing craft were missing after the storm. කුණාටුවෙන් පස්සෙ මාළු බෝට්ටු ගොඩක් අතුරුදහන් වෙලා තිබුනා.

Several aircraft were to be seen in the sky. අහසේ ගුවන් යානා කීපයක් පේන්න තිබුනා.

8. deer - මුවා, sheep - බැ‍ටළුවා, salmon - සැමන් මාළුවා, cod - කොඩ් මාළුවා, trout - ට්‍රවුට් මාළුවා

මෙවැනි වචනවල බහු වචනයද එයමයි. 

We saw more than fifty deer in the national park. ජාතික වනෝද්‍යානයෙදි අපි මුවෝ පනහකට වඩා දැක්කා.

Salmon are found in plenty in some areas. සමහර ප්‍රදේශවල සැමන් මාළු බහුලව ඉන්නවා.

***මීට අමතරව buffalo (මී හරකා),  shrimp (කුඩා ඉස්සා) වැනි වචනවලත් ඇතැම් විට එයම බහු වචනය ලෙස භාවිතා වෙනවා.

buffalo - buffaloes හෝ buffalo  

shrimp - shrimps හෝ shrimp

9. mathematics - ගණිතය, physics - භෞතික විද්‍යාව, civics - ප්‍රජාචාරය, news - ප්‍රවෘත්ති, measles - සරම්ප, mumps - කම්මුල් ගාය...

අගට -s තිබුනත් මේවා ඒක වචන පදයි.

Mathematics / Maths  [බ්‍රි, අවිධිමත්]/ Math [, අවිධිමත්] is an important subject.

The news is not so good. ආරංචි එච්චර හොඳ නැහැ.

10. trousers - දිග කලිසම, shorts - කොට කලිසම, jeans - ජීන්ස් කලිසම, spectacles (specs [අ]) - ඇස් කණ්ණාඩිය, scissors - කතුර, pliers - අඬුව...

මෙවැනි දේ කොටස් දෙකකින් සමන්විත වන නිසා ඒවා බහු වචන ලෙස සැලකෙකවා. මේවා ඒක වචන ලෙස ගැනීමට හෝ ගණන් කිරීමට සම්මත ව්‍යවහාරයේ a pair of …, pairs of … රටා භාවිතා වෙනවා. ඇතැම් අය පාවිච්චි කරන trouser, scissor වැනි වචන එතරම් පිළිගැනීමට ලක් වූ ඒවා නොවෙයි.

Your trousers are dirty. ඔයාගෙ කලිසම ජරා වෙලා.

The scissors are not there. කතුර නැහැ (හොයා ගන්න නැහැ).

I want to buy a new pair of jeans. මට අළුත් ජීන්ස් එකක් ගන්න ඕනැ.

She had two pairs of specs. එයාට කණ්නාඩි කුට්ටම් දෙකක් තිබුනා.

තවත් තියෙනවා ඒක වචන, බහු වචන වෙනස්කම්. ඒත් ඒවා පස්සෙ සලකල බලමු.

***ඉංග්‍රීසි භාෂාව ගැන සංවාදයක් සඳහා Ingirisi ඉංගිරිසි Google Group හා එක් වෙන්න.

(සේයාරුවට ස්තුතිය: chefranden)

2 comments:

  1. හරිම වැදගත්. මම මේ ලිපි ටික එකතු කරලා තියාගන්නවා. අද කියලා තියෙන්නෙ, මමත් බොහොම ලේසියෙන් වරද්දන දේවල් ටිකක් තමා.

    ReplyDelete
  2. @Siribiris
    ඉස්සරහට බලමු තවත් දේවල්.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails