Friday, March 5, 2010

Let Them Leave If They Want to, but Don’t Make Them Leave - ඉඩ දීම හා කරවීම




කරන්න තියන හැම දෙයක්ම අපට තනියම කරන්න බැහැ. අනිත් උදවිය ලවාත් යම් යම් දේවල් කරවා ගන්න වෙනවා ඒ නිසා. සමහර තැන්වලදි ඒ අය කැමැත්තෙන් අපට උවමනා දේ කරාවි. ඒත් එතරම් කැමැත්තක් නැතිව, එසේ කිරීම මග හැරිය නොහැකි නිසා කරන තැනුත් තියේවි. ඒක වෙනම කාරණයක්. කෙසේ නමුත් මෙවැන්නක් ප්‍රකාශ කිරීමට ඉංග්‍රීසියේ තියෙනවා ආකාර කීපයක්.

තවත් අවස්ථාවලදි අනිත් අය යම් යම් දේ කරනවා ඒ අයට එය අවශ්‍ය නිසා. අපට සිදු වෙනවා ඒ දේවලට ඇතැම් විට - කැමැත්තෙන් හෝ අකමැත්තෙන් - ඉඩ දෙන්නත්, ඇතැම් විට ඉඩ නොදෙන්නත් . එවැනි තැන්වලදි ‍එය කිව යුත්තේ වෙනම ආකාරවලින්.

ඉතින් මේ වගේ අවස්ථාවල ඒ සඳහා ඉංග්‍රීසි භාෂාවෙ උපයෝගි කර ගන්නා රටා ටිකක් බලමු.

1. make someone do something - යමෙක් ලවා යමක් කරවනවා, යමෙකුව යමක් කරන තත්වයට පත් කරනවා

You’ll have to make them finish the job today. ඔයාට ඒ අයට කියල වැඩේ අද ඉවර කරව ගන්න වෙනවා.

I don’t want to make anyone cry. මට ඕනැ නැහැ කාවවත් අඬවන්න.

***මෙය කර්ම කාරකයටත් (passive voice) යෙදෙනවා. එතනදී නම් දෙවෙනි ක්‍රියා පදයට පෙර to පදය භාවිතා වෙන බව මතක තබා ගන්න.

He was made to resign. එයාට අස්වෙන්න කිව්වා (අස් වීමට සලස්වනු ලැබුවා).

The runners were made to restart the race.  ධාවකයන්ට ධාවන තරඟය නැවත ආරම්භ කිරීමට සලස්වනු ලැබුවා.

***යම් තත්වයකට පත් කරනවා, යමක් හෝ යමෙක් බවට පත් කරනවා වැනි අර්ථවලින් make විවිධ ආකාරවල පද සමග යෙදෙනවා.

Something made her go away. යම් දෙයක් නිසා එයා යන්න ගියා (යම් දෙයක් එයාව යන තත්වයට පත් කළා).

It’ll make them happy. ඒකෙන් ඒ අය සතුටු වේවි (ඒක ඒ අයව සතුටු කරාවි).

We want to make this project a success. අපට ඕනැ මේ ව්‍යාපෘතිය සාර්ථක එකක් කරන්න.

Nothing can make him a good man. කිසි දෙකට බැහැ එයාව හොඳ මිනිහෙක් කරන්න.

2. get someone to do something - යමෙක් ලවා යමක් කරවනවා, යමෙකුට යමක් කරන්නට සලස්වන්වා

They are going to get me to deliver the parcel. ඒ ගොල්ලො මගෙ අතේ පාර්සලේ යවන්න හදන්නෙ.

She’ll get her son to apply for the job. එයා පුතාට කියල රස්සාවට අයදුම් කරවාවි.

3. have someone do something - යමෙක් ලවා යමක් කරවනවා, යමෙකුට යමක් කරන්නට සලස්වන්වා

We want to have the teacher explain the lesson again. අපට ඕනැ ගුරුතුමාට / ගුරුතුමියට කියල පාඩම ආයෙත් පැහැදිලි කරව ගන්න.

I am trying to have him stop drinking. මම උත්සාහ කරන්නෙ එයාගෙ බීම නවත්තන්න (එයා ලවා බීම නවත්වන්න).

*** මෙම රටාවට හා මීට ඉහත රටාවට අනුරූප වන පහත රටාවත් බහුලව යොදා ගැනෙනවා, කරවනු ලබන ක්‍රියාව එය කරන්නාට වඩා වැදගත් විට.

I got / had  my hair cut.  මම කොන්ඩේ කප්පවා ගත්තා. (මෙහි cut යෙදී ඇත්තේ past participle ස්වරුපයෙන්.)

We want to get / have this work done (by someone good). අපට මේ වැඩේ (හොඳ කෙනෙකුට කියලා) කරව ගන්න ඕනෑ.

4. get / have someone doing something - යමෙක් ලවා යමක් කරවනවා, යමෙකුට යමක් කරන්නට සලස්වන්වා  
(මෙම රටාව යෙදෙන්නේ යම් කාලයක් තුළ කරගෙන යා යුතු ක්‍රියාවකට මිස එක් මොහොතකදී කෙරෙන ක්‍රියාවක‍ට නොවෙයි.)

We are trying to get the people asking questions. අපි හදන්නෙ මිනිස්සුන්ට කියල ප්‍රශ්න අස්සවන්න.

They want to have her talking. ඒ ගොල්ලන්ට ඕනැ එයාව කතා කරවන්න (එනම් කතාවේ නිරත වන තත්වයට පත් කරන්න).

5. let someone do something - යමෙකුට යමක් කිරීමට ඉඩ හරිනවා හෝ අවසර දෙනවා

They agreed to let him leave.  අය එකඟ උනා එයාට යන්න දෙන්න.

Her family won’t let her go abroad. එයාගේ පවුලෙ අය එයාට රට යන්න දෙන එකක් නැහැ.

Please let us do this ourselves. කරුණා කරල මේක අපට() කරන්න ඉඩ දෙන්න.

***නමුත් යමක් වීමට සලස්වනවා යන අර්ථයෙන් පහත ආකාරයට ඇතැම් විට let භාවිතා වෙනවා.

Can you let me know about your decision by Monday. මට සඳුදා වෙනකොට ඔයාගේ තීරණය ගැන දැන ගන්න සලස්වන්න පුලුවන්ද?

Let her have your report as soon as possible. පුලුවන් ඉක්මනින් ඔයාගෙ වාර්තාව එයාට ලැබෙන්න සලස්වන්න.

***රැකියාවෙන් ඉවත් කරනවා (අස් කරනවා) වැන්නක් වක්‍රාකාරයෙන් කීමට let...go යන්න ඇතැම් විට පාවිච්චි කරනවා.

The company decided to let 50 employees go. සමාගම තීරණය කළා සේවකයන් 50 දෙනෙක් ඉවත් කරන්න. 

***යමක් වෙනතුරු බලා සිටින බව දැක්වීමටත් මේ රටාව ඇතැම් විට පාවිච්චි කරනවා.

Let him finish his lunch, then I’ll talk to him. එයා කෑම කාලා ඉවර වෙච්චදෙන්කො, එකකොට මම එයාට කතා කරන්නම්.

Let it start raining first. We can then lay out the garden. මුලින් වැස්ස පටන් ගත්තාවෙකො. එතකොට අපට පුලුවන් වත්ත සකස් කරන්න.

***තමන් යමක් කිරීමට ඉදිරිපත් වන විට let me යන්න යොදා ගත හැකියි.

Let me help you. මම ඔයාට උදව් කරන්නම්.

Let me come with you. මම ඔයත් එක්ක එන්නම්.

***සාමූහිකව යමක් කිරීමට යෝජනා කිරීමේදීද let us උපයෝගි කර ගන්නවා. කතා බහේදී මෙය බොහෝ විට let’s යනුවෙන් යෙදෙනවා.

Let’s go there tomorrow. අපි හෙට එහෙ යමු.

Let’s not talk about this now. අපි දැන් මේ ගැන කතා නොකර ඉමු.

***කර්ම කාරකයට සාමාන්‍යයෙන් නොයෙදුනත්, go පදය සමග ඇතැම් විට කර්ම කාරකයේ දකින්නට ලැබෙනවා.

He was let go. එයාට යන්න දුන්නා. (ඉහත දැක්වුණ පරිදි මෙය එයාව රස්සාවෙන් අස් කළා අර්ථයත් ගත හැකියි.)

6. allow / permit someone to do something - යමෙකුට යමක් කිරීමට  ඉඩ හරිනවා හෝ අවසර දෙනවා 
(කර්ම කාරකයෙන්ද යෙදිය හැකියි)

My parents won’t allow me to go with them. මගෙ දෙමව්පියො මට ඒ ගොල්ලො එක්ක යන්න දෙන එකක් නැහැ.

She was allowed to come in. එයාට ඇතුළට එන්න ඉඩ දුන්නා.

The police didn’t permit anyone to go further. පොලීසියෙන් කාටවත් ඊට වඩා දුර යන්න ඉඩ දුන්නෙ නැහැ.

I was not permitted to speak. මට කතා කරන්න ඉඩ ලැබුනෙ නැහැ.

***විධිමත් ලෙස (formally) යමක් කිරීමට ඉදිරිපත් වීමේදී යොදා ගැනෙනවා.

Allow me to assist you with this task. ඔබේ අකමැත්තක් නැති නම් මේ කාර්යය සම්බන්ධයෙන් මට ඔබට උදව් විය හැකියි.

Permit me to offer you some advice on this. ඔබේ අකමැත්තක් නැති නම් මේ ගැන මට ඔබට අදහස් (අවවාද) ටිකක් දිය හැකියි.

7. have someone do / doing something - යමෙකුට යමක් කිරීමට  ඉඩ හරිනවා හෝ අවසර දෙනවා, යමෙක් යමක් කිරීම අත්විඳිනවා

He won’t have people coming here late at night. ගොඩක් රෑ වෙලා මිනිස්සු මෙහෙ එනවට එයා ඉඩ දෙන එකක් නැහැ.

She didn’t like to have anybody else repair her car. එයා කැමති උනේ නැහැ වෙන කෙනෙක් එයාගේ කාරෙක හදනවට (වෙන කෙනෙකුට හදන්න ඉඩ දෙන්න).

They had someone steal their money at the market. වෙළඳපොළේදී කෙනෙක් ඒ අයගේ සල්ලි හොරකම් කළා (ඒ අය ඒ අත්දැකීමට ලක් වුණා).  

We had people coming here late at night. ගොඩක් රෑ වෙලා මිනිස්සු මෙහෙ එන කරදරේ අපට තිබුනා.

***ඇතුල්වීමට හෝ පිටවීමට ඉඩ / අවසර දුන් බව කීමට  let, allow, permit පද වෙනත් ක්‍රියා පදයක් නැතිව in හෝ out සමග ඇතැම් විට යෙදෙනවා. මෙහිදී let පදය සමගත් කර්ම කාරකය භාවිතා වෙනවා.

The security people didn’t let / allow / permit us in. ආරක්ෂක නිළධාරි අපට ඇතුළට යන්න දුන්නෙ නැහැ.

The students will be let / allowed / permitted out only after the end of the examination / exam(අවිධිමත්). ශිෂ්‍යයන්ට එළියට එන්න ලැබෙන්නෙ විභාගෙ ඉවර උනාට පස්සෙයි.

8. keep someone doing something – යමෙකුට යමක් දිගටම කිරීමට සලස්වනවා

The audience tried to keep her singing. නරඹන්නෝ එයාව (එයා ලවා) දිගටම ගායනා කරවන්න හැදුවා (උත්සාහ කළා).

The management wants to keep the customers coming back. පරිපාලනයට ඕනැ පාරිභෝගිකයෝ නැවත නැවත ගෙන්න ගන්න.

***තමන්ම යමක් දිගටම කරනවා යන්නට පහත රටාව යොදා ගැනෙනවා.

The child kept (on) crying. ළමයා දිගටම ඇඬුවා.

***යම් තත්වයකට පත් වෙනවා/කරනවා, යමක් හෝ යමෙක් බවට පත් වෙනවා/කරනවා, එම තත්වයේ දිගටම සිටිනවා/සිටීමට සලස්වනවා වැනි අර්ථවලින් පහත රටා භාවිතා වෙනවා.

The actor became/got rich. නළුවා පෝසත් වුණා.

The actor became a rich man. නළුවා පෝසත් මිනිහෙක් වුණා.

The actor’s new income made him rich. නළුවාගේ අළුත් ආදායම එයාව පෝසත් කළා.

The actor’s new income made him a rich man. නළුවාගේ අළුත් ආදායම එයාව පෝසත් මිනිහෙක් කළා.

The actor remained (to be)/stayed rich. නළුවා දිගටම පෝසත්ව හිටියා.

The actor remained (to be) a rich man. නළුවා දිගටම පෝසත් මිනිහෙක් හැටියට හිටියා.

The actor’s new income kept him rich. නළුවාගේ අළුත් ආදායම එයාව දිගටම පෝසත්ව තිබ්බා.

The actor’s new income kept him a rich man. නළුවාගේ අළුත් ආදායම එයාව දිගටම පෝසත් මිනිහෙක් හැටියට තිබ්බා.

***ඉහත කීප වතාවක් භාවිතයට ගැනුන get පදය ඉංග්‍රීසි භාෂාවේ ඉතාම බහුලව භාවිතා වන්නක්. එහි අනෙකුත් අර්ථ ගැන විස්තර සඳහා You May Get 10 Years for That!You Get It? – Getting to Know ‘Get’ ලිපිය බලන්න.

***ලිපිවල සඳහන් දේ ගැන යම් ගැටළුවක් ඇත්නම් පහතින් සටහනක් දමා ඒ ගැන විමසන්න.

***ලිපිවලට අදාළ නැති යම් ගැටළුවක් ඉංග්‍රීසි භාෂාව ගැන ඇත්නම්  ඉංගිරිසි Ingirisi Google Group වෙත එක් වී ඒවා යොමු කරන්න.

(සේයාරුවට ස්තුතිය: Tatters:)) 






6 comments:

  1. thanks. i learnt them for the first time.

    ReplyDelete
  2. @නිශාන්ත
    You're welcome. Nice to hear that it was useful.

    ReplyDelete
  3. @This blog owner
    හැමදම Comment එකක් දන්න බැරි උනත් හැමදම බලනවා ඉතින් දිගටම ලියන්න.

    ReplyDelete
  4. @Dayan Senavirathna
    හැමදාම නැතත් ඉඳල හිටල හරි comment එකක් දාන එක නම් හොඳයි.

    ReplyDelete
  5. i am very keen to listen to you.thank you for your effort.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails