Thursday, March 11, 2010

How to Use a Dictionary - පද පෙරළි



ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට අපට සිද්ද වෙනවා නොදන්න වචනවල තේරුම හොයා ගන්න ශබ්දකෝෂයක පිහිට පතන්න. හැබැයි ඉතින් අළුත් වචනයක් ඉගෙන ගනිද්දි ඒකෙ අර්ථයක් විතරක් යන්තම් අල්ල ගත්තට ප්‍රමාණවත් නැහැ. ඒ වචනය භාවිතා කරන ආකාරයත් දැන ගන්න ඕනැ. හොඳ ශබ්දකෝෂයක වචනයක තිබිය හැකි විවිධ අර්ථ වගේම, ඒ වචනය පාවිච්චියට ගැනීමේදී වැදගත් වෙන තවත් තොරතුරු ගණනාවක් අන්තර්ගත වෙනවා.

මුලින්ම දැක්වෙනවා ඒ වචනය අයත් වෙන්නෙ මොන කාණ්ඩයටද කියන එක. ඊට පස්සෙ ඒ ගැන තවත් විස්තර ඉදිරිපත් කෙරෙනවා. මේ ඔක්කොම අපට ප්‍රයෝජනවත් වෙනවා අදාළ පදයේ ව්‍යවහාර රටා ගැන දැනුවත් වෙන්න. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ තොරතුරු තේරුම් ගන්න ආකාරය ගැන.

Nouns and Verbs

ඕනැම භාෂාවක වගේ ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවනේ යම් දෙයක් හෝ කෙනෙක් හඳුන්වන nouns (නාම පද) - ඒ කියන්නෙ man, dog, cat, book, bus ‍වැනි ඒවා. ඒ වගේම යම් කෙනෙක් කරන හෝ සිදු වෙන යම් දෙයක් - ඒ කියන්නෙ යම් ක්‍රියාවක්, look, eat, go, happen, rain වගේ - හඳුන්වන verbs (ක්‍රියා පද). 

Adjectives and Adverbs

එතකොට ඒ මුලින් කියපු යම් දෙයක හෝ යම් කෙනෙකුගේ කිසියම් ගුණයක්, ස්වරූපයක් දක්වන පද තියෙනවා good, bad, fast, slow වගේ. මේවට කියන්නෙ adjectives (නාම විශේෂණ) කියල බව ඉස්කෝලෙ කියල දුන්නත් මතක ඇති. 

He is a good boy. එයා හොඳ ළමයෙක්. 

The boy is good. ළමයා හොඳයි.

It’s a fast car. ඒක වේගවත් කාරෙකක්. 

The car is fast. කාරෙක වේගවත්.

එතනින් ගියහම, අර මුලින් දෙවෙනියට කියපු, යම් කෙනෙක් කරන ‍හෝ සිදු වෙන යම් දෙයක් - ඒ කිව්වෙ ක්‍රියාවක් - සිද්ද වෙන ආකාරය දක්වන පදත් තියෙනවා well, badly, fast, slowly වගේ. මේව‍ට adverbs (ක්‍රියා විශේෂණ) කියන බවත් සමහර විට මතක ඇති.

She wrote the letter well. එයා හොඳින් ලියුම ලිව්වා.

They did the job badly. ඒ ගොල්ලො වැඩේ හොඳට කළේ නැහැ (රකට කළේ).

The child ran fast. ළමයා වේගෙන් දුව්වා.

The bus came slowly. බස් එක හෙමින් ආවා.

මේ adjectives සහ adverbs අතර තරමක සම්බන්ධයක් තියෙනවා. මොකද, මේ දෙගොල්ලොම කරන්නෙ වෙන දෙයක ස්වරූපයක් විස්තර කරන එකනේ. නමුත් එකිනෙකට සම්බන්ධ අර්ථ ඇති adjectives හා adverbs අතර වෙනස්කම් විවිධාකාරයි. ඇතැම් විට adjective එකක අගට -ly යෙදීමෙන් එයට අනුරූප adverb එක සාදා ගන්න පුලුවන් වුණත්, හැම විටම එහෙම බැහැ‍. උදාහරණයක් වශයෙන් good ට අනුරූපව සාමාන්‍යයෙන් යොදා ගන්නේ well. එතකොට fast වගේ ඒවා අවස්ථා දෙකේදීම එක ලෙස පාවිච්චියට ගන්නවා.

එසේම now, then, here, there ආදී පද සහ ප්‍රශ්නයකදී when, how, where වැනි පදත් යෙදෙන්නේ adverbs ලෙසයි.

Please don’t come here. කරුණාකරලා මෙහෙ එන්න එපා.

When will they leave? ඒ අය කොයි වෙලාවේ / කවදා යයිද?

Pronouns

මුලින් කතා කළ nouns වෙනුවට ඇතැම් විට පොදුවේ යොදා ගන්නා he, she, it, they, I, we පද හැඳින්වෙනවා pronouns (සර්වනාම) ලෙස.  එසේම what, which, who, whose වැනි පදත් ප්‍රශ්නයකදී තනිව යෙදෙන විට මේ ගණයට වැටෙනවා.

He is coming tomorrow. එයා හෙට එනවා.

What is the matter? මොකක්ද ප්‍රශ්නේ?

Determiners

යම් noun පදයකින් අදහස් කෙරෙන්නේ කුමන දෙය හෝ කෙනාද යන්න දැක්වීම සඳහා ඊට පෙර යොදන a, the, this, that, these, those, any, some, other, another, my, your ආදී පද determiners යනුවෙන් හැඳින්වෙනවා. එසේම what, which, whose වැනි පදත් ප්‍රශ්නයකදී noun පදයකට පෙර යෙදෙන විට මේ ගණයට වැටෙනවා.

Take another book. තව පොතක් ගන්න.

Which pen do you want?  ඔයාට කොයි පෑනද ඕනැ?

Singular or Plural

ඔය nouns ඒක වචන (singular) සහ බහු වචන (plural) ස්වරූපයෙන් භාවිතා වෙනවනේ අවස්ථාවෙ හැටියට. බොහෝ විට අගට -s එකතු කිරීමෙන් singular noun එකක plural ආකාරය සාදා ගත හැකි වුණත්, හැම විටම එසේ වෙන්නෙ නැහැ. එක උදාහරණයක් හැටියට අපි කවුරුත් දන්න child හා children වචන දෙක ගන්න පුලුවන්. එතකොට deer, series වගේ වචනවල එයම plural ලෙසත් භාවිතා වෙනවා.

Countable or Uncountable

සමහර nouns ගණන් කළ හැකි (countable) ලෙසත්, අනිත්වා ගණන් කළ නොහැකි (uncountable) ලෙසත් ඉංග්‍රීසි භාෂාවේ යෙදෙනවා. මෙතනදී ඉංග්‍රීසියෙ ගණන් කළ නොහැකි ලෙස සැලකෙන්නෙ air, water වගේ ඇත්තටම ගණන් කැන්න බැරි ද්‍රව්‍ය නාම විතරක් නෙමෙයි. උදාහරණයක් ලෙස equipment වැනි පදත් ඒ ගණයට වැටෙනවා (Of People, Equipment and Fish – කිසිම සමානකමක්නැද්ද? බලන්න). එවැනි පදවල plural ස්වරූපයක්ද නැහැ. මෙය නිවැරදි භාවිතයේදී වැදගත් වෙනවා.

Verb Conjugation

වර නැගීම (conjugation) අසම්මත ලෙස සිදු වන ක්‍රියා පද (irregular verbs) වර නැගෙන ආකාරය දැන ගැනීම භාවිතයට අත්‍යාවශ්‍ය වෙනවා (You Have AlwaysLiked It? – එහෙනම් තවමත් එහෙමයි හා They Were Singing When They Came Here – අතීත කාල කීයක්ද? ලිපි බලන්න). 

Transitive or Intransitive

යම් ක්‍රියාවක් හඳුන්වන verb එකක් එක්ක සමහර තැන්වල ඒ ක්‍රියාවට භාජනය වෙන කෙනෙක් හෝ දෙයක් (object) දැක්වෙනවා. ඒ කියන්නේ I see a picture.වාක්‍යයේ see ක්‍රියාවට ලක් වෙන picture වගේ. නමුත් He yawned. - එයාට ඈනුමක් ගියා., “The dog barked. - බල්ලා බිරුවා. වගේ තැන්වල ඒ ක්‍රියාවට බඳුන් වෙන දෙයක් හෝ කෙනෙක් නැහැ.

මේ කලින් විදියට verbs තමන්ගේ ක්‍රියාවට ලක් වෙන දෙයක් හෝ කෙනෙක් සමග යෙදෙන විට එවා transitive ආකාරයෙන් භාවිතා වෙනවා යයි කියනවා. එසේ නැති විට intransitive ලෙස හැඳින්වෙනවා. ඇතැම් verbs මේ දෙආකාරයෙන්ම භාවිතා වෙනවා.

Attributive or Predicative

කලින් කතා කළ adjectives බොහෝ විට අදාළ noun එකට කලින් හෝ is, am, are (seem, look, get වැන්නක්ද විය හැකියි.) වැනි පදයකට පසුව යෙදෙනවා. He is a good boy.සහ The boy is good.වගේ. පළමු ආකාරය attributive ලෙසත්, දෙවන ආකාරය predicative ලෙසත් හඳුන්වනවා. මෙය වැදගත් වෙන්නේ මෙම ගණයේ ඇතැම් වචන මෙයින් එක් ආකාරයකට පමණක් භාවිතා වෙන නිසා. උදාහරණ වශයෙන් alone, awake වැනි පද යෙදෙන්නේ දෙවෙනි ආකාරය‍‍ට පමණයි.

Exclamations / Interjections

ක්ෂණික හැඟීමක් නිසා, අවධානය ලබා ගැනීමට, යමක් අවධාරණය කිරීමට, වැනි දෙයකට ක්ෂණිකව කියන ouch (ක්ෂණික වේදනාවක් නිසා), hey (අවධානය ලබා ගැනීමට, උනන්දුව පෙන්වීමට), wow (ප්‍රීතිය දැක්වීමට) වැනි යෙදුම් exclamations හෝ interjections ලෙස දැක්වෙනවා.

Prepositions

ඉංග්‍රීසි භාෂාවේ nouns හා pronouns ඉදිරියෙන් යෙදෙන, ඒවායෙන් නිරූපනය වන පුද්ගලයන්ට හෝ දේවලට අදාළ පිහිටීමක්, සම්බන්ධයක්, කාලයක්, ක්‍රමයක් වැන්නක් දැක්වීමට උපකාරී වෙන තනි පදයක් හෝ පද කීපයක් prepositions (නිපාත) නමින් හැඳින්වෙනවා. උදාහරණ වශයෙන් in, on, at, from, out of, according to, because of ගත හැකියි.  

Conjunctions

වචන, වාක්‍ය ඛණ්ඩ හෝ අන්තර්වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමට යොදා ගන්නා පද conjunctions නමින් හැඳින්වෙනවා. මේ ගණයට වැටෙන පද අතරින් කීපයක් තමයි and, because, though, if ආදිය. එසේම when, where වැනි පදත් අන්තර්වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමට යොදා ගන්නා විට යෙදෙන්නේ මේ ලෙසයි.

I didn’t come because it rained. මම ආවේ නැත්තේ වැස්ස නිසා.

They will call us when they finish the job. ඒ අය වැඩේ ඉවර කළාම අපට කෝල් කරයි.

***ඉහත ඇතැම් තැන්වලත් සඳහන් වුණාක් මෙන්, ඇතැම් පද යෙදෙන එක් තැනකදී එක් කාණ්ඩයකටත්, තවත් තැනකදී වෙනත් කාණ්ඩයකටත් වැටෙනවා. (හොඳ ශබ්දකෝෂවල මේ විස්තර වෙන වෙනම, උදාහරණ සහිතව දැක්වෙනවා.) උදාහරණ ලෙස බහුලව භාවිතා වෙන but හා only පද ගනිමු.

I tried to call her, but (conjunction) she was not at home. මම එයාට කතා කරන්න (කෝල් කරන්න) උත්සාහ කළා. ඒත් එයා ගෙදර හිටියෙ නැහැ.

You bring us nothing but (preposition) bad news. ඔයා අපට ගේන්නෙ නරක ආරංචිමයි.

Let’s take “but” and “only”, to name but (adverb) two of this kind. මේ කාණ්ඩයෙ දෙකක් විතරක් නම් කරන්න, “but” හා only” ගනිමු.

We need only (adverb) three people. අපට අවශ්‍ය තුන් දෙනෙක් විතරයි.

She is their only (adjective - attributive) child. එයා ඒ ගොල්ලන්ගෙ එකම ළමයා. (මෙහිදී only ‍යන adjective පදය යෙදෙන්නේ attributive ලෙස පමණයි.)

Her daughter looks like her, only (conjunction) a little taller. එයාගෙ දුවගෙ පෙනුම එයා වගේ, ටිකක් උස වැඩි විතරයි.

යම් වචනයක් යම් අවස්ථාවකදී වැටෙන්නේ ‍කුමන ගණයටද යන්න හරියටම දැන සිටීම එය සාමාන්‍යයෙන් භාවිතා කිරීමට අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණ තුළින් එය පාවිච්චි වෙන ආකාර ඉගෙනීමට හැකි නම් එයත් ප්‍රමාණවත්. නමුත් භාෂාව ක්‍රමවත් ලෙස ඉගෙනීමට උවමනා අයට මේ දැනුම වැදගත් වෙනවා.

Literal or Figurative

යම් පදයක් එහි සාමාන්‍ය වචනාර්ථයෙන් පාවිච්චි වෙන විට එය literal usage ලෙසත් (උදා: The bomb exploded. - බෝම්බය පිපිරුණා.), උපමා අලංකාර සහිත අර්ථයකින් යෙදෙන විට එය figurative usage ලෙසත් (උදා: He exploded with rage. - එයා තරහෙන් පිපිරුණා.) හඳුන්වනවා. 

Formal, Informal, Colloquial, Slang, Old-Fashioned or Archaic

යම් යෙදුමක් භාවිතා වන්නේ යම්කිසි තත්වයක් යටතේ පමණක් නම් එය මෙසේ දැක්වෙනවා. නිවැරදි භාවිතයේදී මෙම දැනුම වැදගත් වෙනවා.

formal - විධිමත් කතාවේ හා ලියකියවිලිවල පමණක් යෙදෙන
informal - විධිමත් අවස්ථාවල නොයෙදුනත්, සාමාන්‍ය ජීවිතයේ අවිධිමත් කතාබහේදී මෙන්ම ලිවීමේදීත් යෙ‍දෙන
colloquial - අවිධිමත් කතාබහේදී පමණක් යෙදෙන
slang - ඉතා අවිධිමත් කතාබහේදී හෝ යම් පිරිසක් අතර පමණක් යෙදෙන
vulgar - අසභ්‍ය 
old-fashioned - තරමක් දුරට භාවිතයේ ඇතත් යල් පැණ ගිය
archaic - පැරණි භාවිතයේ තිබූ

Etymology

ඇතැම් ශබ්දකෝෂවල ඇති, වචනයක සම්භවය හා ඉතිහාසය පිළිබඳ විස්තර ඇතුළත් මෙම කොටස භාවිතයට එතරම් වැදගත් වන්නේ නැහැ.

මේ තොරතුරු වගේම, හැම දෙයක් සඳහාම උදාහරණත් දක්වන ශබ්දකෝෂයක් භාවිතයට ගැනීම වාසිදායකයි.

(සේයාරුයට ස්තුතිය: plentyofants)


17 comments:

  1. Good work, I really learned a lot.

    ReplyDelete
  2. මේ උත්සාහය උතුම් ක්‍රියාවක්. ගොඩක් පින්.

    ReplyDelete
  3. @``` පිටස්තරයා```
    අහන්නත් සතුටුයි.

    ReplyDelete
  4. හොද වැඩක් දිගටම ලියන්න. අපි කියවනවා..

    ReplyDelete
  5. @#චමිල#
    ඉඩක් ලැබුන ගමන් ලියනවා.

    ReplyDelete
  6. good work as usual. keep it up brother...

    ReplyDelete
  7. what a great work....keep it up Sujeewa

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මට කියල දෙන්න පුලුවන්ද ලුහුඬු යෙදුම ගැන
    උදා:-(adj.)-adjective-විශේෂන පදය
    (adv.)-adverb-ක්‍රියා විශේෂණය
    (conj.)-conjunction-සම්භණ්ධිත පද
    (det.)-determiner-නිර්ණයකය
    (n.)-noun-නාම පදය
    (prep.)-perposition-නිපාතය
    (pron.)-pronoun-සර්වනාම
    (v.)verb-ක්‍රියා පදය

    බොහොම ස්තුතියි මෙක මගේ Email එක :-mithun9115@gmail.com

    ReplyDelete
    Replies
    1. විවිධ ක්ෂේත්‍රවල යෙදෙන මෙවැනි abbreviations ගොඩක් තියනවා. පහත සබැඳියෙන් ඒවා බොහොමයක තේරුම හොයාගන්න පුළුවන් වෙයි.
      http://public.oed.com/how-to-use-the-oed/abbreviations/

      Delete
  11. වචනයක තේරුම හා අනෙකුත් විස්තර වගේම ඒ වචනෙ භාවිතා වෙන ආකාර දක්වන උදාහරණත් සහිත ශබ්දකෝෂයක් පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ඉතා වැඩියි.

    ReplyDelete
  12. මේ සිදුකරන මෙහෙවර නම් විශිෂ්ඨයි සර්... මම පුලුවන් තරම් පරිහරණය කරනවා මේ ලිපි

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි ඒ ගැන.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails