Saturday, February 27, 2010

ඉංග්‍රීසි භාෂාව ගැන උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන් වෙත ලියා දන්වන වග නම්

 
සේයාරුවට ස්තුතිය: adrigu 

ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. එය ඉගෙන ගැනීමෙන් කිසිවෙකුට කප්රුක් පහල වෙන්නෙ නැහැ. එය දැන ගත් පමණින් යමෙක් සර්ව සම්පූර්ණ වෙන්නෙත් නැහැ. ඒ මදිවට ඒක ඉගෙන ගන්න එක වෙනත් භාෂා රටාවලින් සමන්විත සිංහල කතා කරන අපට එතරම් ලේසිත් නැහැ.

මේ කරුණු කාරණා ඔක්කොම සත්‍ය වුණත් ඉංග්‍රීසි භාෂාව අපට නැතුවත් බැහැ. කලින් ලිපි කීපයකත් කතා කළා වගේ ඒක අද ලෝකයේ වැදගත්ම සම්බන්ධීකරණ භාෂාව වෙලා. ඒ වෙනුවට සිංහල භාෂාව ඒ තත්වයේ තිබුණ නම් කොච්චර හොඳද කියලා අපට හිතෙන්න පුලුවන්. ඒත් ඉතින් එහෙම නැහැනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යතාර්ථයට මුහුණ දෙන්න අපට සිදු වෙනවා.

මව් භාෂාව හැරෙන්න තවත් බසක් ඉගෙන ගන්න අපි අකමැතිමත් නෙමෙයි. නමුත් අපට සමහර විට ගැටළුවකට තියෙන්නෙ මේක අපිව අවුරුදු ගණනාවක් යටත් කරගෙන හිටපු සුද්දගේ භාෂාව වෙන එකයි. ඒ වෙනුවට අඩු ගණනේ අපට එතරම් සම්බන්ධයක් නැති ස්පාඤ්ඤ වගේ එකක් වත් තිබුණ නම් අපට මෙච්චර හිතේ අමාරුවක් නැතිව වැඩේට බහින්න තිබුණා.

කොහොම නමුත් දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවර නිසා අපට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙනවා. එතනදී අමතක නොකළ යුතු දෙයක් තමයි අද ලෝක වාසීන් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ එය එංගලන්තෙ භාෂාව ලෙස සලකලා නම් නොවන බව. ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීම, ඉගැන්වීම තමයි කෙරෙන්නෙ.

මේකෙන් අදහස් වෙන්නෙ නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් එංගලන්ත සම්ප්‍රදායන් සි‍යල්ලම ඉවත් කරල ඒක ඉගෙන ගන්න හැකියි කියලා. එංගලන්ත සම්භවය නිසා එහි ප්‍රබල බලපෑම ඉංග්‍රීසි භාෂාවෙ අන්තර්ගත වෙලා තියෙනවා. හරියට ක්‍රිකට් ක්‍රීඩාවෙ වගේ. 

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙදි වගේම ඉංග්‍රීසි භාෂාවෙත් ලෝකයේ අනිත් ර‍ටවලින් එන ආභාෂය අද හොඳාකාරව දකින්නට ලැබෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රමිතිය දක්වන්නා ලෙස බොහෝ එංගලන්ත වාසීන්ම (ඉංග්‍රීසි ජාතිකයන්) සලකන ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (Oxford English Dictionary) පවා කලකට ඉහතදී ප්‍රකාශ කළා ඉංග්‍රීසි භාෂාවේ කේත්ද්‍රස්ථානය (centre of gravity of the English language) දැන් තිබෙන්නේ ඇමරිකාවේ බව. (මෙතනදී මතු වෙන ගැ‍ටළුව තමයි එංගලන්තය පෙන්නන්න බැරි අපේ අයට ඇමරිකාව ඊටත් වඩා‍ අරහං වීම. අපේම කරුමෙ තමයි.)

කොහොමින් කොහොමින් හරි අපි යතාර්ථය මෙසේ පිළිගනිමු. ඉංග්‍රීසි භාෂාවෙ පැහැදිලිවම තියෙනවා එංගලන්ත ආභාෂය, එය එහි පටන් ගැන්ම නිසා. ඊට අමතරව අද එන්න එන්නම ඇමරිකානු ආභාෂය වැඩි වශයෙන් එය‍ට ඇතුළු වෙනවා ඇමරිකානු මාධ්‍යවල ප්‍රබලත්වය නිසා. ලෝකයේ අනිත් රටවලත් ප්‍රමිතිය ලෙස අනුගමනය කරන්නේ එක්කෝ ඇමරිකානු ව්‍යවහාරය, එහෙම නැතිනම් ඇමරිකානු ආභාෂය සහිත බ්‍රිතාන්‍ය ව්‍යවහාරය. මීට අමතරව ඉංග්‍රීසි භාවිතා කරන අනිත් රටවල බලපෑමත් ජාත්‍යන්තර තලයේ අඩු වැඩි වශයෙන් තියෙනවා. මෙන්න මේ ආකාරයෙනුයි අද ජාත්‍යන්තර ඉංග්‍රීසිය හැඩ ගැහිලා තියෙන්නේ. (ජාත්‍යන්තර ඉංග්‍රීසි භාවිතය පිළිබඳ වැඩි විස්තර ඒ සම්බන්ධ විකිපීඩියා පිටුවෙන් කියවන්න.)

මම කලින් ලිපිවලත් කිව්වා වගේ අපි ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙන් අපේ ශ්‍රී ලාංකික භාවයට හානියක් සිදු කර ගත යුතු නැහැ. ඒ වගේම අපි අනිත් ජාතීන්ට වඩා ඉහළයි කියා හිතන මනෝ රාජ්‍යවල අපි ජීවත් විය යුතුත් නැහැ. අනිත් හැම දේකදිම වගේ මෙතනදිත් මැද පිළිවෙතක් අනුගමනය කිරීම තමයි සුදුසු.

සංස්කෘතික බලපෑම ගැනත් විවිධ අදහස් පළ වෙනවා පෙනෙනවා. අපේ සංස්කෘතියෙ වගේම අනිත් සංස්කෘතීන්වලත් හොඳ දේ වගේම නරක දේත් තියෙනවා. විවිධ සංස්කෘතීන් ගැන දැනුවත් වීමෙන් ලැබෙන වාසියක් තමයි ඒවා සංසන්දනය කර හොඳ දේ උකහා ගෙන නරක දේ අත හැරීමට හැකි වීම. තමන්ගෙ සංස්කෘතියේද යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවාද සකසා ගැනීමේ අවස්ථාව මෙයින් උදා වෙනවා. මේ සඳහා අවශ්‍ය පරිණතභාවය (maturity) අනාගත ලෝකයේ ජීවත් වෙන්නන්ට අත්‍යාවශ්‍ය ජීවන කුසලතාවයක් වෙනවා.

කෙසේ නමුත් ඉංග්‍රීසි ඉගෙනීමේදී ශ්‍රී ලාංකික අපට විවිධ ගැටළු මතු වෙනවා. ඒවාට විසඳුම් සොයා ගන්න සමහර විට අපහසු වෙන්නන් පුලුවන්. මේ හේතුව නිසා මේ සඳහාම වෙන් වුණ Google Group එකක් ආරම්භ කිරීමට මම අදහස් කළා. ඉංගිරිසි Ingirisi | Google Groups වෙත පැමිණ, එයට එක්වී, කැමති මාතෘකාවක් යටතේ සංවාදයක් ආරම්භ කිරීමට ඔබට ආරාධනා කරනවා. ඇරඹී ඇති සංවාදයකට සහභාගි වී තමන්ගේ අදහස් හා ගැටළු ගැන සාකච්ඡා කිරීමටත් හැකියි. එමෙන්ම අන් අයගේ ගැටළුවලට තමන්ගේ දැනුම උපයෝගී කරගෙන විසඳුම් ලබා දීමටත් හැකියි. එම නිසා මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ යැයි සිතනවා. මෙම බ්ලොග් අඩවියේ දකුණු පසින් ඇති side bar කොටසේත්, ඉහළ menu bar කොටසේ දකුණු කෙළවරේත් මෙය සඳහන් කර තිබෙනවා.

සබැඳි ලිපි:
අපට මොකටද බං සුද්දගෙ ඉංග්‍රීසි?  
English period එක cut කරමුද?
සුද්දගේ කඩ්ඩද ‍අපේ කඩ්ඩද?
ලෝකෙන් උතුම් රට ලංකාවද, එංගලන්තෙද?
Whither English in Sri Lanka? - ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසිය කොයිබටද?

12 comments:

  1. වැඩිපුර comment නොලිව්වාට බොහොම ආසාවෙන් කියවන බ්ලොග් අඩවියක් මේ. ඔන්න මමත් එකතුවුනා ගූගල් ගෲප් එකට.

    ReplyDelete
  2. කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ...

    ReplyDelete
  3. @Supun Sudaraka
    ස්තුතියි. ඉංග්‍රීසි භාෂාව ගැන, ඉංග්‍රීසි අධ්‍යපනය ගැන කියන්න යම් අදහසක් හෝ ගැටළුවක් තියෙනව නම් Google group එකේ ඒ ගැන discussion එකක් පටන් ගන්න පුලුවන්.

    ReplyDelete
  4. @wath
    Google group පිටුවේ දකුණු පැත්තෙ තීරුවෙ තියෙන "Join this group" මත ‍කෙ‍ටීමෙන් එයට සම්බන්ධ විය හැකියි.

    ReplyDelete
  5. ela wade hodata karagena yanawa

    ReplyDelete
  6. සාගත මල්ලත් අරගෙන මාත් ඕං මාත් ගොඩ උනා ගුගල් ගෘප් එකට ආයිබෝං.

    ReplyDelete
  7. @Siribiris
    එහෙමයි ආයිබෝං.

    ReplyDelete
  8. ඔය හැරෙන තෑපෑලෙන් මගේ පුරස්න සැට් එකට උත්තර ඇවිත් තියන්නෙ.මම හිතපු ආකාරෙටම, ටක්කෙටම උත්තරේ දීලා තියනවා. ඒ කර ගත්තා වූ හා මේ කරන්නාවූ වූ සත් මෙහෙයේ ආණුභාවයෙන්,මහත් පල, මහත් ආනිසංසයන් ලැබේවා.

    ReplyDelete
  9. @Siribiris
    අදහස් ප්‍රයෝජන බව අහන්නත් සංතෝසයි.

    ReplyDelete
  10. පට්ටම ගුරුවරයෙක් ඔබ තුමා.. පොඩි කාලේ අපි ඉංග්‍රීසි වලට පොඩ්ඩක් ආස උනත් ඉගෙන ගන්න තියෙන ආසව නැති උනේ ඇතැම් ගුරුවරු නිසා.. මගේ පොඩි කාලේ ඉදලම හරියාකාර ඉංග්‍රීස් අධ්‍යාපනයක් ලැබුනේ නෑ.දෙමව්පියො 4 5 වසරේ ඉදලම ඉංගග්‍රීසි පංති වලට දැම්මත් වැඩක් උනේ නෑ. ගමේ සමහර ඉස්කෝල වල ලමයින්ට හරියට ඉංග්‍රීසි උගන්නන නෙ නෑ..මම 1-5 වෙනකම් ගියේ ගමේ ඉස්කෝලෙට. අපිට ඉංග්‍රීසි කියන්නේ ඒ දවස්වල නුහුරු බාෂාවල් ඒත් ගුරුවරු නිසාම තවත් අපිට ඒක එපාම උනා.මේ පෝස්ට් එක 2010 එකක්..මම 2010 දී ගොඩක් පොඩියි.ඒ දවස්වල මමමයි මගේ යාලුවෙයි ඉංග්‍රීසි වලට බැන්න එක තමයි කරේ.පර සුද්දගේ භාෂාව කියලා.මොකද ගුරුවරු නිසාම ඉංග්‍රීසි නීරස වෙච්ච නිසා.. මම 5හේ ශිෂ්ශත්වෙ පාස් වෙලා ලොකු නගරේ ඉස්කෝලෙකට ගියත් තත්වය එහෙම්මයි.. ඒ ගුරුවරු උගන්න දේවල් මට තේරෙන්නේ නෑ.. ඉංග්‍රීසි මිස් කරන්නේ හැමදාම පොතේ ඇක්ටිවිටි එකක් දෙන එක විතරයි.මිස් පොත කරනවා විනා අපි ඉංග්‍රීසි දන්නවද වත් කියල හොයන්නේ නෑ.. වෙන ලමයි පංති ගිහින් ඉගෙන ගත්තත් මට එහෙම යන්න ආර්ථික තත්වයක් තිබ්බෙ නෑ.ඒ වගේම උමනාවක් තිබ්බෙත් නෑ.මොකද අපිට ඉංග්‍රීසි පොත දැක්කත් එපාවෙනවා..මට 9 වසරට යනකම් හොද ඉංග්‍රීසි ගුරුවරයෙකු ලැබුනේ නෑ.. සමහර ඉංග්‍රීසි ගුරුවරු අපිට ඇක්ටිවිටි එකක් කරන්න දීලා පංතියේ නිදි.අපි ඉංග්‍රීසි පීරියඩ් එකේ කලේම බයිල ගහපු එක. ඒක නිසාම මගේ ඉංග්‍රීසි මට්ටම හොදටම අඩූනා.විගාගෙට ලකුනු තිබ්බෙ 15,16 වගේ.. ගුරුවරු අපි ගැන සැලකිලිමත් වෙලා හරියාකාරව ඉගැන්නුවන්ම් අපිට මේම වෙන්නේ නෑ.. ඒත් අපේ වාසනාවට 9 වසරෙදි වසයක මිස්ලා වෙනුවට තරුන ඉංග්‍රීස් ගුරුවරියක් ආවා..එයා තෙරෙන සිංහලේන් ඉංග්‍රීසි ගැන පැහැදිලි කරලා දුන්නා..ඉංග්‍රීසි ව්‍යාකරන කියල දුන්නා.. අපිට ඉංග්‍රීසි තේරුම් කරල දුන්නා.. ඩික්ටේෂන් ගත්තා.. ලෙටර්ස් වගේ හැමදේම කියල දුන්නා.ටීචගේ ඉගෙනීම් ක්‍රම්මේට මට ඉබේම ඉංග්‍රීසි වලට ආසවක් ඇති වුනා.මගේ වාසනාවට ඒ ටීච මගේ සාමාන්‍ය පෙල විබාගේ දක්වාම මගේ ඉංග්‍රීසි ගුරුවරිය උනා..මම අමාරුවෙන් C PASS එකක් දාගත්තා..B එකක් සුවර් කරත් මට C එකක් ආවෙ.. ඒ C එකටත් මම එතුමියට ස්තූති කරා.. මම හිටිය තැනේ හැටියට C එකත් වටින නිසා.. අපේ රටේ ලමයි ඉංග්‍රීසි වලින් ඈත් වෙන්නේ සමහර ගුරුවරු නිසා..එයාලට ගුරු හොරු කියන්නත් පුලුවන්.ඒය නිසා තමයි අද ගොඩක් අයට ඉංග්‍රීසි නීරස වෙලා තියෙන්නෙ..ඒත් අර ගුරුතුමියට පිංසිද්ද වෙන්න මම අද ART වලින් ප්‍රංෂ භාෂාවත් හදාරනවා... ඔබ තුමාත් ඒ වගේ ගුරුවරයෙක්,ඉංග්‍රීසි භාෂාව පිලිබදව මේ විදියට බ්ලොග් ලියන අය බෝම අඩුයි.මේකෙන් මගේ තිබුන අඩුපාඩු වගේම තව වැදගත් කරුනු දැනගත්තා.. ගොඩක් ස්තූතියි.තවත් මේක ඉදිරියටම කරගෙන යන්න වාසනාව ලැබේව!!

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ තමයි රටේ බොහෝ තැන්වල වෙන්නේ. බොහොමයක් ඉස්කෝලවලින් සහ පන්තිවලින් කෙරෙන්නේ ළමයින්ට ඉංග්‍රීසි එපා කරවන එක. ඔබට මේ ලිපි පෙළ ප්‍රයෝජනවත් වුන බව ඇසීම සතුටට කාරණයක්.
      (ඔබේ කොමෙන්ටුව බොහෝ කල් ගතවී මගේ ඇස ගැටීම ගැන කණගාටුයි.)

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails