Sunday, May 30, 2010

A Problem With the Entrepreneurs? - ඒ මොකද එහෙම?




අපි කව්රුත් සෑහෙන කාලයක් ඉස්කෝලෙ ඉංග්‍රීසි ඉගෙන ගත්ත නිසා, ඉංග්‍රීසි වචන ලියවෙන කියවෙන ආකාරය ගැන අපි කාටත් යම් දැනීමක් තියනවා. හැබැයි මේ ඉංග්‍රීසිය - අපි කලින් ලිපිවලත් කතා කළා වගේ - විවිධ වෙනත් භාෂාවලිනුත් වචන හා යෙදුම් උකහා ගෙන තියනවා. ඒ සමහරක තවමත් ඒවගේ මුල් භාෂාවල යම් යම් අංග දකින්න ලැබෙනවා. ඒ නිසා ඒවගේ උච්චාරණ හා අක්ෂර රටා සාමාන්‍ය ඉංග්‍රීසි රටාවලින් වෙනස් වෙනවා.

ඉන්දු-යුරෝපීය (Indo-European) සම්භවයක් ඇති බටහිර ජර්මැනික (West Germanic) භාෂා ගණයට වැටෙන ඉංග්‍රීසියට මුලින්ම බාහිර ආභාෂය ලැබුණේ, ක්‍රිස්තියානිකරණයෙන් පසුව ලතින් හා ග්‍රීක භාෂාවලිනුයි. ඒත් ඒවායින් එකතු වුණ වචන බොහොමයක් අද සාමාන්‍ය ඉංග්‍රීසි වචන බවට පත් වෙලා.

1066 දී ප්‍රංශයේ සිට පැමිණි නෝමන්වරුන් එංගලන්තය අල්ලා ගැනීමෙන්‍ (Norman Conquest) පස්සේ, ඔවුන් භාවිතා කළ - වර්තමාන ප්‍රංශ බසට නෑකම් කියන - බස් වහරෙනුත් ඉංග්‍රීසියට බොහෝ වචන එකතු වුණා. එහි බලපෑම කොතෙක් වුණාද කිවහොත්, එතෙක් පැවති පැරණි ඉංග්‍රීසිය (Old English)ඒ ‍තුළින් මධ්‍යතන ඉංග්‍රීසිය (Middle English)යනුවෙන් හැඳින්වෙන තත්වයට පත් වුණා. කෙසේ වෙතත් එසේ එකතු වූ වචනත් කාලයත් සමග ඉංග්‍රීසි රටාවට හැරවුණා. 

නමුත් එංගලන්තය හා ප්‍රංශය අතර ඇති භූගෝලීය සමීපත්වයත්, ප්‍රංශ බස එක්තරා කාලයක යුරෝපයේ ලබා තිබූ ප්‍රමුඛත්වයත් නිසා ඉංග්‍රීසියට පසු කාලීනවත් ප්‍රංශ භාෂාවෙන් ඇතැම් යෙදුම් එක් වුණා. ඒවායින් සමහරක් නම් තවමත් තරමක් දුරට හෝ ප්‍රංශ රටාවලින් උච්චාරණය කෙරෙනවා. අද ඉතා බහුලව පාවිච්චි වෙන (15 වැනි සියවසේ අග කාලයේ ප්‍රංශ බස හරහා ඉංග්‍රීසියට එකතු වූ) police /pəˈliːs/ පදයේ දෙවන මාත්‍රාවේ (syllable) උච්චාරණය, ඊට සමාන රටාවකින් ලියවෙන (ප්‍රංශ බස හරහාම ඊට කලින් වකවානුවකදී එක් වුණ) slice /slaɪs/ හි උච්චාරණයෙන් වෙනස් වන්නේ ඒ නිසායි.

මේ තත්වය ඉංග්‍රීසිය දෙවන බසක් ලෙස ඉගෙන ගන්නා අයට අපහසුතා ඇති කරනවා. එයට හේතුව ප්‍රංශ භාෂාවේ උච්චාරණ රටා ඉංග්‍රීසියේ සාමාන්‍යයෙන් යෙදෙන රටාවලින් වෙනස් වීම. එවැනි යෙදුම් කීපයක් අපි බලමු. (සෑම යෙදුමක්ම ඊට අදාළ TheFreeDictionary වෙබ් පිටුවට සබඳා ඇති අතර ඊට පිවිසීමෙන් ඒවායේ ඉංග්‍රීසියේ යෙදෙන උච්චාරණයට සවන් දිය හැකියි.)

1. entrepreneur /ˌɒntrəprəˈnɜː(r)/, /ˌɒntrəprəˈn(j)ʊr/ [AmE (also)]

ව්‍යවසායකයා, එනම් (අවදානම් සහිත) අළුත් ව්‍යපාරයකට අවතීර්ණ වෙන්නා යන අර්ථයෙන් බහුලව යෙදෙන මෙය ශබ්ද කෙරෙන්නේ ප්‍රංශ රටාවට සමීපවයි.

young entrepreneurs of Sri Lanka’ ශ්‍රී ලංකා‍වේ තරුණ ව්‍යාපාරිකයන් (ව්‍යවසායකයන්)

2. reservoir /ˈrɛzəˌvwɑː(r)/, /ˈrɛzərˌvwɑːr/ [AmE]

(මිනිසාගේ ප්‍රයෝජනයට ගැනෙන) ජලාශය යන අර්ථය ඇති මෙම පදයේ අවසාන මාත්‍රාව, එනම් -voir’ යන්න,coir /ˈkɔɪə(r)/වැනි පදවල ආකාරයට ලංකාවේ ඇතැමුන් උච්චාරණය කළත්, ජාත්‍යන්තරව නම් එය කිය වෙන්නේ ප්‍රංශ ආභාෂය ඇතිවයි.

the Bowatenna Reservoir’ බෝවතැන්න ජලාශය

3. ensemble /ɒnˈsɒmbəl/

සංගීත හෝ නැටුම් කණ්‍ඩායමක්, විශේෂ ඇඳුම් කට්ටලයක් වැන්නක් සඳහා මෙය යෙදෙනවා.

‘an ensemble of musicians’ ‘සංගීත කණ්ඩායමක්

4. connoisseur / kɒnəˈsɜː(r)/, / ˌkɒnəˈsʊr/ [AmE (also)]

කලාවට හෝ සංස්කෘතියට සම්බන්ධ යම් දෙයක් පිළිබඳව උසස් දැනුමක් හා රසයක් ඇත්තෙකු හැඳින්වීමට යොදා ගැනෙනවා.

a connoisseur of classical music / a connoisseur of wine ශාස්ත්‍රීය සංගීතය / වයින් පිළිබඳ උසස් මට්ටමේ රසිකයා

5. renaissance /rəˈneɪsəns/ [BrE], /ˈrɛnəˌsɑːns/ [AmE]

පුනරුදය යන අරුත ගත් මෙම පදය, 14 වැනි සියවසේ ඉතාලියෙන් ආරම්භ වී පසුව අනෙකුත් යුරෝපා රටවලට ව්‍යාප්ත වූ යුරෝපීය පුනරුදය හැඳින්වීමට බොහෝ විට යෙදෙන අතර අනෙකුත් අවස්ථාවලද භාවිතා කෙරෙනවා.

‘the European Renaissance’ යුරෝපීය පුනරුදය

6. impasse /ˈæmpɑːs/ [BrE], /ˈɪmpæs/ [AmE]

පරස්පර විරෝධී මත නිසා ඉදිරි ගමන ඇණ හිටින අවස්ථාවක් සඳහා යෙදෙන මෙම පදය බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ ප්‍රංශ ආභාෂය ඇතිව කියවුණත්, ඇමරිකානු ව්‍යවහාරයේ නම් කියවෙන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි රටාවටයි.

The negotiations have reached an impasse. උග්‍ර මතභේද නිසා සාකච්චා ඇණ හිට තිබෙනවා.

7. argot /ˈɑːgəʊ/ [BrE], /ˈɑrgət/ [AmE], /ˈɑrgoʊ/ [AmE (also)]

සමාජයේ යම් කොටසක් (වෘත්තිකයන් කොටසක් විට හැකියි) භාවිතා කරන, අනිත් අයට නොතේරෙන බස් වහර හැඳින්වීමට යෙදෙන මෙය ඇමරිකානු ව්‍යවහාරයේ බොහෝ විට සාමාන්‍ය ඉංග්‍රීසි රටාවට කියවෙනවා.

‘university argot’ ‘කැම්පස් බාසාව

8. en masse /ˌɒ̃ ˈmæs/, /ˌɒn ˈmæs/

විශාල පිරිසක් එක වර, ‘රංචු පිටින් වැනි අර්ථවලින් භාවිතා වෙනවා.

Educated people have left the country en masse. උගතුන් විශාල වශයෙන් රට හැර ගිහින් තියනවා.

9. en bloc /ˌɒ̃ ˈblɔk/, /ˌɒn ˈblɒk/

සමූහයක් වශයෙන් අර්ථයෙන් යෙදෙනවා.

Their community voted en bloc for that party. ඒ අයගෙ ජන කොටසෙ සියල්ලන්ම ඒ පක්ෂයට ඡන්දෙ දුන්නා.

10. laissez faire / laisser faire  /ˌlɛseɪ ˈfɛə(r)/ [BrE], /ˌlɛseɪ ˈfɛr/ [AmE]

පෞද්ගලික ව්‍යාපාර කටයුතුවලට රජය මැදිහත් නොවී, ඒවාට කැමති පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන ආර්ථික ක්‍රම හැඳින්වීමට මෙය යෙදෙනවා.

‘a laissez-faire economy’ ‘පෞද්ගලික අංශයට ඉතා ලැදි ආර්ථිකයක්

11. fait accompli /ˌfeɪt əˈkɒmpli:/

දැනටමත් කර අවසාන, වෙනස් කළ නොහැකි දෙයක් දැක්වීමට භාවිතා කරනවා.

It’s a fait accompli. Nothing can be changed now. ඒක කරල ඉවර දෙයක්. දැන් මුකුත් වෙනස් කරන්න බැහැ.

12. joie de vivre /ˌʒwɑː də ˈvi:vrə/

ජීවිතයෙන් ලබන රසය යන අදහස මෙයින් දැක්වෙනවා.

‘a life full of joie de vivre’ ‘රසයෙන් පිරි ජීවිතයක්

13. bon vivant /ˌbɔ̃ ˈvi:vɒ̃/, /ˌbɒn ˈvi:vɑːnt/ [AmE (also)]

ජීවිතය රස විඳින්නෙක්, ‘ජොලි ජීවිතයක් ගත කරන්නෙක් යන්න මෙහි අදහසයි. 

He is a bon vivant who loves music, dance and good food. එයා සංගීතය, නැටුම්, හොඳ කෑම බීමට කැමති ‍ජොලියෙ ජීවත් වෙන කෙනෙක්.

14. bon voyage /bɔ̃ vwajaʒ/, /ˌbɒn vɔɪˈɑːʒ/

සුබ ගමන් යන අර්ථය ඇති මෙම ප්‍රංශ යෙදුම ගමනක් පිටත් වන්නෙකුට සුභ පැතීමට ඉංග්‍රීසියේත් භාවිතා වෙනවා.

Bon voyage! සුභ ගමන්!

15. bon mot  /ˌbɔ̃ ˈməʊ/ [BrE], /ˌbɒn ˈməʊ/ [BrE], /ˌbɔ̃ ˈmoʊ/ [AmE], /ˌbɒn ˈmoʊ/ [AmE]

තැනට උචිත විනෝදාත්මක කියමනක් දැක්වීමට පාවිච්චි වෙනවා.

He always comes up with a bon mot that makes everybody laugh. එයා හැම වෙලාවෙම කාටත් හිනා යන කියමනක් කියනවා.

16. par excellence /ˌpɑːr ˈɛksəˌlɑːns/ [BrE], /ˌpɑːr ˌɛksəˈlɑːns/ [AmE]

විශිෂ්ටත්වයෙන් යුතු යන අර්ථයෙන් මෙය යෙදෙනවා.

He is a scientist par excellence. එයා විශිෂ්ට ගණයේ විද්‍යාඥයෙක්.

***පහත සඳහන් යෙදුම් භාවිතා වෙන්නේ ප්‍රංශ කතා කරන රටක කෙනෙකුට ගෞරව සම්පන්නව ආමන්ත්‍රණය කරද්දීයි.

Monsieur /məsˈjɜː(r)/ මහත්මයා

Madame /məˈdɑːm/, /məˈdæm/, /ˈmædəm/ නෝනා මහත්මයා

Mademoiselle /ˌmædmwəˈzɛl/ නෝනා (තරුණ යුවතියකට)

එවැන්නෙකු ගෙන් සමු ගනිද්දී පාවිච්චි කරන යෙදුම සමගින් අපිත් අද සමු ගනිමු.

Au revoir! /ˌəʊ rəˈvwɑː(r)/ [BrE], /ˌoʊ rəˈvwɑːr/ [AmE] (නැවත හමු වෙන තුරු)

සේයාරුවට ස්තුතිය: Eustaquio Santimano 


4 comments:

  1. ෂහ් කොච්චර හොඳ සමාජ මෙහෙවරක් ද මේ කරන්නේ... මෙය අගයන්න මම පමා වුනා බොහොම වැඩියි... මගේ බ්ලොග් මිතුරන් කිහිප දෙනෙක්ම මේ අඩවිය භාවිතා කරන බව පැවසුවා...
    බ්ලොග් පි‍ටු ගනන් රට කරවන හැටි ගැන උපදෙස් දෙන පණ්ඩිතයන්ට වඩා සමාජයට මේ වගේ මෙහෙවර කරන ඔබ මටනම් බොහෝ උතුම්...
    හැකිනම් තවත් පි‍ටුවක දරුවන්ට කලහැකි විනෝදාත්මක ඉංගිරිසි අභ්‍යාස (හරස් පද ප්‍රෙහෙලිකා වැනි..) දමන්නට පිලිවන්ද...? අදහසක් පමනයි...
    ඔබට නිදුක් නිරෝගී සුව...

    ReplyDelete
  2. @තිස්ස දොඩන්ගොඩ
    බොහොම ස්තුතියි. ඔබේ අදහසත් ඉදිරියේදී ක්‍රියාවට නගන්න බලන්නම්.

    ReplyDelete
  3. u was missing in wiki these days.

    ReplyDelete
  4. @බිඟුවා...!
    After helping to edit those few Wikipedia pages on English and Sri Lankan English, I couldn't find the time to do anything else there. Let's see what we can do in the future.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails