Wednesday, May 26, 2010

Ever Lost Face? - එහෙම වෙන්නෙ කොහොමද?


ඉංග්‍රීසි භාෂාවෙ තියන, සාමාන්‍යයෙන් වැටහෙන ආකාරයට වඩා වෙනස් අර්ථ තියන යෙදුම් (idiomatic expressions) කීපයක් අපි Taken for a Ride? How Nice! - රවුමක් ගියා නම්කොච්චර හොඳද! ලිපියෙ බැලුවා මතක ඇති. තවත් එවැනි බහුලව හමු වෙන කීපයක් අද බලමු.

හැම කෙනෙක්ම  ව‍ගේ - විශේෂයෙන් කාන්තා පක්ෂය - වැඩි සැලකිල්ලක් දක්වන දෙයක්නෙ තමන්ගෙ මුහුණ (face). ඉතින් මේ අද තෝර ගත් ඔක්කොම අපේ මුහුණ‍ට යම් ආකාරයකින් සම්බන්ධ ‍යෙදුම්.

1. lose face

මේකෙ සම්ප්‍රදායානුකූල අර්ථය නොදන්න කෙනෙකුට නම් හිතෙන්නෙ හරිම ජංජාලයක් වෙලා කියලයි. තමන්ගෙ මුහුණ නැති වෙනවා කියන්නෙ එසේ මෙසේ දෙයක්ද, නේද? ඒත් මේ යෙදුම භාවිතා වෙන්නෙ ‘ලැජ්ජාවට පත් වෙනවා’, ‘අනිත් අයගේ (කලින් හිමිව තිබූ) ගෞරවය අහිමි වෙනවා’ යන අර්ථයෙන්.

I lost face when my friends came to know my silly mistake. මගෙ මෝඩ වැරදීම ගැන යාළුවො දැන ගත්තහම මට හරි ලැජ්ජාවක් උනේ.

We don’t want to lose face with our neighbours [BrE] / neighbors [AmE]. අපි කැමති නැහැ අසල්වැසියො ඉස්සරහ ලැජ්ජ විඳින්න.

***මේකෙම අනිත් පැත්ත කියවෙනවා ‘save face’ යන්නෙන්. එයින් අදහස් වෙන්නේ ‘ලැජ්ජාවෙන් බේරෙනවා’, ‘ලැජ්ජාවට පත්වීම වළක්වා ගන්නවා’ යන්නයි.

They managed to save face by telling a lie. ඒ ගොල්ලන්ට පුලුවන් උනා බොරුවක් කියලා ලැජ්ජාවෙන් බේරෙන්න.

2. put on a brave face, put a brave face on (something)

මෙතන කියවෙන්නෙ වෙස් මුහුණක් දා ගැනීමක් ගැන එහෙම නෙමෙයි. මේවාගෙන් අදහස් කෙරෙන්නෙ ‘(යමක් ඉදිරියේ) හිතට දැනෙන බය නොපෙන්වා ඉන්නවා’ යන්නයි.

In difficult situations, my parents always tried to put on a brave face. / My parents always tried to put a brave face on difficult situations. අමාරු අවස්ථාවලදි, මගෙ දෙමව්පියො හැම වෙලාවෙම උත්සාහ කළේ බයක් නොපෙන්වා ඉන්න.

3. pull / make a face (at someone), pull / make faces (at someone)

මේක මුහුණෙන් ඇදීමක් නම් නොමෙයි. ‘(සරදම් කිරීමට හෝ අසතුට පෙන්වීමට) මුහුණ ඇද කරනවා’ යන අර්ථය මෙහි තිබෙනවා.

I knew they were making faces at me behind my back. මම දැනගෙන හිටියා ඒ ගොල්ලො පිටි පස්සෙ ඉඳන් මට (සරදමට) මූණු ඇද කෙරුවා කියලා.

Why did she pull such a face? ඇයි එයා එහෙම මූණ ඇද කර ගත්තෙ (මූණ නරක් කර ගත්තෙ)?

***මෙයට සම්බන්ධ ’(pull, wear…) a long face’ යන්නෙන් අදහස් වෙන්නේ ‘මුහුණ නරක් කර ගන්නවා, මුහුණෙන් අසතුට පළ කරනවා’ යන්නයි.

I knew something was wrong when I saw her long face. එයා මූණ එල්ලගෙන ඉන්නව දැක්කම මම දැන ගත්තා ප්‍රශ්නයක් තියන බව.

4. keep a straight face

මේකෙන් කියවෙන්නෙ ‘(සිනාව උපදවන අවස්ථාවක වුණත්) සිනාවෙන් තොරව සිටිනවා’ යන්නයි.

However much she tried, it was difficult to keep a straight face when her friend cracked jokes.
එයා කොච්චර උත්සාහ කළත්, එයාගෙ යාළුවා විහිළු කරනකොට හිනා නොවී ඉන්න අමාරු උනා.   

5. in the face of (something)

මෙයින් මූලිකව අදහස් වෙන්නේ ‘යමක් ඉදිරියේ’ යන්නයි. එහෙත් ඊට සම්බන්ධ ‘යමක‍ට මුහුණ දුන් විට’, ‘යමක් බාධාවක් ලෙස තිබුනත්’, ‘යමක් හේතුවෙන්’ආදී අර්ථ කීපයකින් ‍පාවිච්චි වෙනවා.

My parents showed great courage in the face of difficult situations. අමාරු අවස්ථාවලට මුහුණ දීමෙදි මගෙ දෙමව්පියො ලොකු ධෛර්යයක් පෙන්නුවා.

The project went on in the face of strong opposition. තදබල විරෝධයක් ආවත් ව්‍යාපෘතිය දිලටම කෙරීගෙන ගියා.

The project failed in the face of strong opposition. තදබල විරෝධයක් ආ නිසා ව්‍යාපෘතිය අසාර්ථක උනා.

6. to (someone’s) face

‘කෙනෙකුගේ මුහුණටම (නැති තැන නොවේ)’ යන අර්ථය මෙහි තියෙනවා. 

Why don’t say so to his face? ඇයි ඔයා ඒක එයාගෙ මූණටම කියන්නෙ නැත්තෙ?

***මෙහි විරුද්ධාර්ථය, එනම් ‘නැති තැන’ හෝ ‘නොපෙනෙන ලෙස’ යන්න, සඳහා මීට කලින් උදාහරණයකත් ‍යෙදුන ‘behind (someone’s) back’ භාවිතා වෙනවා.

You shouldn’t (should not) say such things behind his back. ඔයා ඔය වගේ දේවල් එයා නැති තැන කියන එක හරි නැහැ.

7. have egg on / all over (one’s) face

පොඩි ළමයි බිත්තර බොන්න ගියාම නම් ඇත්තටම ඔහොම වෙනවා අපි දැකලා තියනවා. ඒත් ලොකු අය සම්බන්ධවත් ඔහොම කියනවා මෝඩ වැඩක් කරල අහු වුණාම.

After the project failed, its organizers had egg on their faces. ව්‍යාපෘතිය අසාර්ථක උනාම ඒකෙ සංවිධායකයෝ මෝඩයො උනා (මෝඩයො විදිහට සමාජයට පෙනුනා).

8. fly in the face of (something)

මේ කියන්නෙත් කුරුල්ලන් ගැනවත්, ගුවන් නියමුවන් ගැනවත් නෙමෙයි. යම් දෙයක් තවත් දෙයක‍‍ට (බොහෝ විට සත්‍ය යයි පිළිගත් යමකට) සම්පූර්ණයෙන් විරුද්ධව යන වි‍ට මෙසේ කියවෙනවා.

Her ideas fly in the face of tradition.  එයාගෙ අදහස් සම්ප්‍රදායට සම්පූර්ණයෙන් පටහැනියි.

9.fall flat on (one’s) face

මේක ඇහෙනකොට මතක් වෙන්නෙ සිංහල ‘හොම්බ බිම ඇනෙනවා’ කියමන. ඉංග්‍රීසි යෙදුමෙත් තියෙන්නෙ ඒවගේ අදහසක් තමයි. ‘සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා’ අර්ථයෙන් යෙදෙන මෙය අසාර්ථක වෙන සැලසුම්, ව්‍යාපෘති ආදිය සම්බන්ධව බොහෝ විට යෙදෙනවා.

The TV show fell flat on its face. රූපවාහිනී වැඩ සටහන සම්පූර්ණ‍යෙන්ම අසාර්ථක උනා.

10. on the face of (something)

‘(යමක්) බැලූ බැල්මට පෙනෙන ආකාරයට’ යන අදහසින් මෙම යෙදුම භාවිතා වෙනවා.

On the face of it, it seems like a good job.  But you never know how much work is involved.  පේන විදිහට නම් ඒක හොඳ රස්සාවක් වගේ. ඒත් කව්ද දන්නෙ කොච්චර වැඩ තියනවද කියල.

11. (something) is staring (someone) in the face

මෙතන තියෙන්නෙ ඇත්තටම මුහුණ දිහා බලාගෙන ඉඳීමක් නෙමෙයි. මෙහි එක් අදහසක් වෙන්නේ ‘(යමක්) (යම් කෙනෙකුට) පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා හෝ ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකිවෙනවා’ යන්නයි.

The solution was staring them in the face. විසඳුම ඒ අයට පේන්න තිබුනා වගේ (‍බොහො‍ම ලේසියෙන් හොයා ගන්න පුලුවන් උනා).

ඒ වගේම ‘(යම් කෙනෙකුට) (යමක්) වැළැක්විය නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා’ යන අදහසිනුත් මෙම යෙදුම භාවිතා වෙනවා. මෙම අර්ථ‍යෙන් ‍නම් යෙදුම අනිත් පැත්තටත් - එනම් (someone) is staring (something) in the face ලෙසත් - පාවිච්චි වෙනවා.

They were staring defeat in the face. / Defeat was staring them in the face. පරාජය ඒ අයගෙ අත ළඟටම ඇවිල්ල තිබුනා.

12. written all over (someone’s) face

කෙනෙකුගේ මුහුණෙ අකුරු ලිවීමක් නොවුණත්, ‘මුහුණෙ ලියවිලා තිබුනා’ කියලා අපි සිංහලෙනුත් කියනවා යම් හැඟීමක් කෙනෙකුගේ මුහුණෙන් හොඳින් පිළිබිඹු වෙන‍ අවස්ථාවල.

Shame was written all over her face. එයා ලැජ්ජාවට පත් වෙලා ඉන්න බව එයාගෙ මූණෙ හොඳට පේන්න තිබුනා.

13. slap in (someone’s) face

මේකටත් සිංහලෙන් කියනවා ‘මූණට ගැහුවා වගේ’ කියලා.

Her remark was a slap in my face. එයා කියපු දේ මගෙ මූණට ගැහුව වගේ.

14. blow up in ( someone’s) face

මේ බෝම්බ පිපිරීමක් නම් නොවෙයි. යම් දෙයක් කෙනෙකුට පාඩු වන ලෙස හෝ ලැජ්ජා වන ලෙස අසාර්ථක වෙන විට මෙසේ කියවෙනවා.

The plan blew up in their face. (ඒ අයට පාඩු / ලැජ්ජා වෙන විදිහට) සැලැස්ම අසාර්ථක උනා.

15. laugh in (someone’s) face

එළිපිටම (යම් කෙනෙක්) අ‍‍ගෞරවයට ලක් කිරීමක් දැක්වීමට යෙදෙන මෙය, සිංහල ‘එළිපිටම හිනා වෙනවා’ යෙදුමට සමාන වෙනවා.

If other people find out about this, they’ll (they will) laugh in our face. අනිත්  මිනිස්සු මේ ගැන දැන ගත්තොත් අපට එළිපිටම හිනා වෙයි.

16. shut / slam the door in (someone’s) face

මෙතන කතා කරන්නෙ මුහුණෙ තියන දොරක් ගැන නෙමෙයි. කෙනෙක් ඇතුළට එන්න උවමනාවෙන් ඉඳිද්දි දොර වසා දැමීම හෝ කෙනෙක් හමුවීම කෙලින්ම ප්‍රතික්ෂේප කිරීම මෙයින් අදහස් කෙරෙනවා.

She slammed the door in my face. එයා මගෙ මූණටම දොර වහල දැම්මා.

17. look (someone) in the face

‘ලැජ්ජාවක් නැතිව කෙනෙකුගෙ මුහුණ බලනවා’ යන අර්ථයෙන් මෙය කියවෙනවා. මෙහි ‘face’ වෙනුවට ‘eye(s)’ ද යෙදෙනවා.

If you do this, you’ll (you will) never be able to look him in the face again. ඔයා මේක කළොත් ආයෙ කවදාවත් (ලැජ්ජාවක් නැතිව) එයාගෙ මූණ බලන්න බැරි වෙනවා.

18. till (someone) is blue in the face

ඉතා වෙහෙසීමෙන් යමක් කළත් ප්‍රතිඵලයක් නොලැබෙන බව දැක්වීමට මෙය යෙදෙනවා.

You can explain it till you’re (you are) blue in the face, but none of them will understand. ඔයා ඒක මොන තරම් මැරීගෙන පැහැදිලි කළත් ඒ එකෙකුටවත් තේරෙන එකක් නැහැ.

19. show (one’s) face

මේ කියන්නෙ ‍ලස්සනම මුහුණ තෝරන තරඟයක් ගැන නෙමේ. ‘පිරිසක් රැස්වෙන අවස්ථාවකට සහභාගි වෙනවා’ යන අදහසින් මෙය යෙදෙනවා.

I didn’t feel like showing my face at their party. මට ඒ ගොල්ලන්ගෙ සාදයට (පාටියට) සහභාගි වෙන්න හිතුනෙ නැහැ.

20. have the face to (do something) [BrE - බ්‍රිතාන්‍ය භාවිතය]

මේකත් මේ ගැලපෙන මුහුණක් ගැන නෙමෙයි. ‘(යමක් කරන්න තරම්) ලැජ්ජා බය නැතිකම, නැහැදිච්චකම තියනවා’ යන අදහසෙන් මෙය යෙදෙනවා.

The beggar had the face to ask for more when I gave him ten rupees. මම හිඟන්නට රුපියල් දහයක් දුන්නම ඌ ලැජ්ජ නැතිව තවත් ඉල්ලුවා.

21. face to face (with someone / something)

‘යම් කෙනෙක් මුහුණට මුහුණ හමු වෙනවා’ හෝ ‘යම් දෙයක් කෙලින්ම අත්දැකීමට ලැබෙනවා’ යන අර්ථවලින් මෙය යෙදෙනවා.

She had never met him face to face before.  ඇයට ඔහුව ඊට කලින් කවදාවත් මූණට හම්බ වෙලා තිබුනෙ නැහැ.

Many Sri Lankans came face to face with the horrors of war in the past few decades. පහුගිය දශක කීපයෙ හුඟක් ශ්‍රී ලාංකිකයො යුද්ධයෙ බිහිසුණුකම කෙලින්ම අත් වින්දා.

22. face the music

සංගීතය අහන්න අපි කව්රුත් වගේ කැමතියි. නමුත් මේ යෙදුමේ තියෙන්නෙ එහෙම ප්‍රිය ජනක අත්දැකීමක් නෙමෙයි. මෙයින් අදයස් වෙන්නෙ ‘දොස් අහනවා’ යන්නයි. (මෙතනදී ‘face’ යන්න ක්‍රියා පදයක් ලෙස යෙදී තිබෙනවා.)

I had to face the music for everybody’s mistakes. ඔක්කොගෙම වැරදිවලට මටයි දොස් අහන්න උනේ.

23. cut off your nose to spite your face

මේක ආප්තෝපදේශයක් (proverb). අපි සිංහලෙන් කියන්නෙත් ‘මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා’ කියලා නිසා තේරුම් ගන්න ලේසියි.

24. (as) plain as the nose on your face

මේක ඉංග්‍රීසි භාෂාවෙ උපමා (simile) ගණයට වැටෙනවා. යම් දෙයක් ඉතාම පැහැදිලි නම් එය මෙසේ උපමාවට ලක් කරනවා.

වචනෙ පොඩි වූණා‍ට ‍ඒක යෙදෙන ආකාර ගණන පොඩි නැහැ නේද? 

(සේයාරුවට ස්තුතිය: Juliana Coutinho)

0 comments:

Post a Comment

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails