Monday, November 29, 2010

Would You Rather Read Something Else? - 'rather' පදය ගැන


ඉංග්‍රීසි භාෂාවේ බහුලව යෙදෙන පදයක් තමයි 'rather'. නමුත් මේ පදය අර්ථ කීපයක යෙදෙන නිසා ටිකක් පැටලිලි සහිත වෙන්න පුලුවන්. මෙහි වෙනස් භාවිත පිළිබඳ වෙන් වෙන් වශයෙන් විවිධ ලිපිවල සඳහන් වුණත් එක තැනක කතා කලේ ‍නැති නිසා ඒ ගැන පොඩ්ඩක් බැලුවොත් හොඳයි කියලා හිතුනා.

1. rather difficult/short/good...

මේ තමයි මම හිතන විදිහට මේ වචනෙ පහසුම අර්ථය. නමුත් මේකෙත් පොඩි අවුලක් නැතුවම නෙමෙයි. මෙතන මේ වචනෙ තේරුම 'තරමක් (දුරට)' වැන්නක් වුණත්, එය යෙදෙන අවස්ථා ගැන සැලකිලිමත් වෙන්න ඕනැ. 'තරමක් (දුරට)' අර්ථය ඇතිව 'rather' පදය භාවිතා කෙරෙන්නේ  'අපි අසතුටට ලක් වෙන ආකාරය‍‍ට' හෝ 'අපි නොසිතූ, බලාපොරොත්තු නොවූ ආකාරයට' යමක යම් ගුණයක් තරමක් දුරට ගැබ් වෙලා තියන විටයි. 

My friend is rather short. මගෙ යාළුවා තරමක් මිටියි. (මම හිතන විදියට ටිකක් මිටි වැඩියි.)

His answer was rather good. එයාගෙ උත්තරය තරමක් හොඳයි. (මම හිතුවෙ නැහැ එච්චර හොඳ වෙයි කියලා.)

(වැඩි විස්තර සඳහා 'Fairly Good? Rather Good? - මොනවද මේ කතා?' බලන්න.) 

2. rather than

යමක් වෙනුවට වෙනත් දෙයක් ඊට වඩා යෝග්‍ය හෝ අදාළ බව දැක්වීමට මෙම රටාව යොදා ගැනෙනවා.

Though he had failed the exam, he looked happy rather than sad. එයා විභාගෙ අසමත් වෙලා තිබුනත් එයා දුකෙන් නෙමෙයි සතුටෙන් ඉන්නවා වගේ පෙනුනා.

She should have called her parents, rather than waiting/wait for them to call her. එයාට තිබුනේ එයාගෙ දෙමව්පියන්ට කෝල් කරන්න, ඒ අය කෝල් කරනනම් ඉන්නෙ නැතිව.

(වැඩි විස්තර සඳයා 'Can You Help Me Learn It? - එහෙමද?' බලන්න.)

3. would rather

යමක් කිරීමට වෙනත් දෙයක් කිරීමට වඩා වැඩි කැමැත්තක් දක්වන බව ප්‍රකාශ කිරීමට මෙම රටාව යොදා ගැනෙනවා.

I'd rather read a book than watch TV. මම ටීවී බලනවට වඩා පොතක් කියවන්න කැමතියි.

I think he'd rather not go there. මම හිතන්නෙ එයා එහෙ නොයා ඉන්න වැඩිය කැමතියි.

***වෙනත් කෙනෙක් යමක් කරනවාට යමෙක් වඩා කැමති බව දැක්වීමට මෙය පහත ආකාරයට භාවිතා වෙනවා.

I'd rather you didn't smoke. ඔයා දුම් නොබොනවා නම් මම වැඩිය කැමතියි.

She'd rather her teacher gave her more details. එයාගෙ ගුරුතුමා/තුමිය ඊට වඩා විස්තර දෙනවා නම් එයා වඩා කැමතියි.


4. rather like/suspect/enjoy...

යම් ක්‍රියා පදයකින් දැක්වෙන ක්‍රියාවේ සැර තරමක් බාල කිරීම සඳහා මෙම රටාව පාවිච්චි කෙරෙනවා.

I rather like the way she speaks. එයා කතා කරන විදිහට මගෙ යම් කැමැත්තක් තියනවා.

I think they rather doubt that we'll be there on time. මම හිතන්නෙ එයාලට තරමක සැකයක් තියනවා අපි වෙලාවට එහෙ නොඉඳීද කියලා.

5. or rather

යම් දෙයක් ඊට අනුරූප වෙනත් දෙයක් මගින් වඩා නිවැරදි ලෙස දැක්වීමේදී

He's good at swimming, or rather, diving. එයාට හොඳට පීනන්න, වඩාත් නිවැරදිව කිව්වොත් කිමිදෙන්න, පුලුවන්. 

They were talking - or rather shouting. ඒ අය කතා කර කර හිටියා - කෑ ගගහා හිටියා කිව්වොත් වඩා නිවැරදියි.

6. but rather

යම් දෙයක් යම් ආකාරයකින් නොව වෙනස් ආකාරයකින් කීවොත් වඩා නිවැරදි බව දැක්වීමේදී

My friend isn't dumb, but rather absent-minded. මගෙ යාළුවා මෝඩ නැහැ, එයාට ටිකක් අමතක වෙනවා විතරයි.

The shirt isn't white, but rather very light grey[BrE]/gray[AmE].  කමිසෙ සුදු නෙමෙයි, බොහොම ලා අළු පාටයි (කිව්වොත් තමයි වඩා හරි).

(සේයාරුවට ස්තුතිය: bsabarnowl)

4 comments:

  1. මේ කරගෙන යන වැඩේ ගොඩක් වැදගත්.
    ගොඩක් ස්තුතියි.
    දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  2. @Anonymous 1
    Thanks for the encouragement.

    ReplyDelete
  3. @Anonymous 2
    දිරි ගැන්වීමට ස්තුතියි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails