Wednesday, October 27, 2010

Just Say No! කොහොමද කියන්නේ?


අපි හැමෝම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම වගේ දන්න වචනයක් තමයි ‘no’. මේක බොහොම සරල, අකුරු දෙකේ පදයක් වුණාට ඒක පාවිච්චියට ගැනෙනවා විවිධ අදහස් ප්‍රකාශ කරන්න.

1. No, I’m not. (ප්‍රශ්නයකට ‘නැහැ’, ‘බැහැ’ හෝ ‘එපා’ යනුවෙන් උත්තර දීමේදී)

Are you Nimal? – No, I’m not. ඔයා නිමල්ද? - නැහැ (, මම නිමල් නෙමෙයි).

Can she come tomorrow? – No, she can’t. හෙට එයාට එන්න පුලුවන්ද? – (හෙට එයාට එන්න) බැහැ.

Shall/Should I call them now? – No, not yet. මම දැන් ඒ අයට කෝල් කරන්නද? – දැන්ම එපා.

Would you like something to drink? – No, thanks. ඔයා මොනව හරි බොන්න කැමතිද? - එපා, ස්තුතියි.

(මෙවැනි ප්‍රශ්නවලට උත්තර දීම ගැන තවත් විස්තර සඳහා ‘This Isn’t So Difficult. – Yes or No?’ බලන්න.)

2. She said no. (‘නැහැ’, ‘බැහැ’ හෝ ‘එපා’ උත්තරය වශයෙන් දීම දැක්වීම සඳහා)

We asked her to come with us, but she said no. අපි එයාට අපිත් එක්ක එන්න කිව්වා, ඒත් එයා බැහැ කිව්වා.

They said no to our request/offer. එයා අපේ ඉල්ලීමට බැහැ කිව්වා/අපි දුන්න දේ (ප්‍රදානය කළ දේ) එපා කිව්වා.

The answer was no. උත්තරය උනේ නැහැ/බැහැ/එපා කියන එකයි.

Is it a yes or no? උත්තරය ඔව්/පුලුවන්/හා ද, නැහැ/බැහැ/එපා ද?   

3. Oh no! (දැන ගත් දෙයකින් මවිතයට හෝ තිගැස්සීමකට පත් වූ විට)

Your friend is going to leave the country. – Oh no! ඔයාගෙ යාළුවා රටින් පිටවෙලා යන්නයි යන්නේ. - නෑ!/අයියෝ!

I quit my job. – No!  මම රස්සාවෙන් අස් උනා. - නෑ!/අයියෝ!  

4. He’s no fool. (නැත යන අර්ථයේ ප්‍රකාශයක ‘not a/an’ හෝ ‘not any’ වෙනුවට ඊට වඩා වැඩි අවධාරණයක් යෙදීමට)

(‘a’ සහ ‘an’ යෙදෙන ආකාරය මතක් කර ගැනීමට අවශ්‍ය නම් ‘A Herb ද, An Herb ද? සුද්දන්ටත් හොල්මන්ද?’ ලිපියත්, ‘any’ යෙදෙන ආකාරය මතක් කර ගැනීමට අවශ්‍ය නම් ‘Some Uses of “Some” – එහි භාවිතයේ වෙනස්කම් ගැන’ ලිපියේ අග කොටසත් බලන්න.)

He’s no fool. එයා මෝඩයෙක් (එහෙම) නෙමෙයි. (‘He isn’t a fool.’ කීවා‍ට වඩා මෙම රටාවේදී අදාළ පුද්ගලයා මෝඩයෙක් නොවන බව යම් තරමකින් අවධාරණය වෙනවා.)

I had no friends there. මට එහෙ කිසි යාළුවෙක් හිටියෙ නැහැ. (‘I didn’t have any friends there.’ යන්නට වඩා මෙම රටාවේදී තමන්ට කිසිම මිතුරෙක් නොසිටි බව යම් තරමකින් අවධාරණය කෙරෙනවා‍.)

***වාක්‍යයක කතෘ (subject) ලෙස සාමාන්‍යයෙන් ‘not any’ යෙදෙන්නේ නැහැ. එහිදී ගැනෙන්නේ ‘no’ රටාවයි.

No newspaper gives you completely unbiased information. කිසිම පත්තරයකින් සම්පූර්ණයෙන්ම අපක්ෂපාතී තොරතුරු ලැබෙන්නේ නැහැ.

No outsiders are allowed in the examination hall. විභාග ශාලාවට කිසිම පිටස්තර කෙනෙකුට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. 

(Do You SpeakEnglish? ප්‍රශ්න ගැනලිපියත් බලන්න.)

***‘යම් පිරිසක් අතරින් කිසිම කෙ‍නෙක් ... නැහැ’ වැනි අර්ථයක් දීමට ගැනෙනා ‘not any of ...’ යන්න අවධාරණයෙන් කීමට නම් යොදා ගැනෙන්නේ ‘none of ...’ යන්නයි. එවැනි අවස්ථාවල එය subject ලෙස යෙදෙන්නේ නම් ගැනෙන්නේත් ‘none of ...’ යන්නයි.

I’ve met none of them before. මට ඒ අයගෙන් කව්රුවත්ම මීට කලින් මුණ ගැහිලා නැහැ. (මෙහිදී ‘I haven’t met any of them before.’ යන්නට වඩා අවධාරණයක් කෙරෙනවා.)  

None of our children wanted to go there. අපේ ළමයි කාටවත් එහෙ යන්න ඕනැ කමක් තිබුනෙ නැහැ.

මෙතනදී සැලකිය යුතු තවත් දෙයක් තමයි ‘යම් පිරිසක් අතරින්‍ ඕනෑම කෙ‍නෙක්’ යන්න සඳහා ‘any of ...’ යොදා ගැනුනත්, ‘දෙදෙනෙක් අතරින් ඕනෑම කෙනෙක්’ සඳහා ගැනෙන්නේ ‘either of ...’ යෙදුම බව. එහිදී ‘දෙන්නාගෙන් එක් කෙනෙක් වත් ... නැහැ’ අර්ථය දෙන ‘not either of ...’ වෙනුවට කලින් ආකාරයට යොදා ගැනෙන්නේ ‘neither of ...’ යන්නයි.

Either of our (two) children can do it. අපේ ළමයි දෙන්නගෙන් ඕනැ කෙනෙකුට ඒක කරන්න පුලුවන්.
Neither of our (two) children can do it. අපේ ළමයි දෙන්නගෙන් එක් කෙනෙකුටවත් ඒක කරන්න බැහැ.

Either of them will come. ඒ දෙන්නගෙන් කව්රු හරි ඒවි.
Neither of them will come. ඒ දෙන්නගෙන් කව්රුවත් එන එකක් නැහැ.

I know neither of those (two) people. මම ඒ දෙන්නගෙන් එක් කෙනෙක් වත් දන්නෙ නැහැ.

***නාම විශේෂණවල (adjectives) හෝ ක්‍රියා විශේෂණවල (adverbs) ‘යම් ගුණයක් වැඩියෙන් ඇති’ බව දැක්වීමට ගන්නා comparative ස්වරූපය සමග,  ප්‍රශ්න හා නැත යන අර්ථයේ ප්‍රකාශවල, ‘අදාළ ගුණය යම් තරමකින් හෝ වැඩි’ යන අර්ථය දීමට ‘any’ පදය භාවිතා වෙනවා. එවැනි ප්‍රකාශයක ‘එම ගූණය කිසි ආකාරයකින් නොවැඩි’ බව වැඩි අවධාරණයකින් කීමට ‘not any’ වෙනුවට ‘no’ යොදා ගැනෙනවා.

Is it any better? – No, it’s no better. ඒක (අනෙකට/අනෙක්වාට වඩා) ටිකක් හරි හොඳද? - නැහැ, කොහෙත්ම නැහැ. (මෙය ‘It isn’t any better.’ යන්නට වඩා වැඩි අවධා‍රණයක් කරනවා.)

He drives no faster than you. එයා කොහෙත්ම ඔයාට වඩා වේගෙන් වාහන එලවන්නේ නැහැ. (මෙය ‘He doesn’t drive any faster than you.’ යන්නට වඩා වැඩි අවධාරණයක් කරනවා.)

***’good’ හා ‘different’ නාම විශේෂණ දෙකේදී නම් ඒවායේ මූලික ස්වරූපය සමගත් ‘no’ පදය මේ ආකාරයට පාවිච්චි කෙරෙනවා.

This pen is no good. මේ පෑන කිසි වැඩක් නැහැ (කිසිම හොඳක් නැහැ).

That man is no different. ඒ මිනිහගෙත් කිසි වෙනසක් නැහැ (එයාත් අනිත් අය වගේමයි).

5. There’s no denying that. (යමක් කෙසේවත් කළ නොහැකි බව දැක්වීමට)

There’s no denying the fact that they work hard. ඒ අය මහන්සි වෙලා වැඩ කරනවා කියන එක කාටවත් නැහැ කියන්න බැහැ.

There’s no telling when he’ll return. එයා කීයට ආපහු එයිද කියන එක කියන්න නම් කොහොමවත් බැහැ.  

(සේයාරුවට ස්තුතිය: striatic)
  

6 comments:

  1. ඔබගේ මෙම ලිපි පෙල අගය කරමි. ස්තූතියි.

    ReplyDelete
  2. @මහසෙන් /
    දිරි ගැන්වීමට ස්තුතියි.

    ReplyDelete
  3. නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත.බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. @tharanga
    ප්‍රයෝජනවත් වුණ බව අහන්න ලැබුනට සතුටුයි.

    ReplyDelete
  5. බෙදාගෙන කන ඔබ ගැන සතුටුයි දිගටම ලියන්න අපේ ලාංකිකයින් වෙනුවෙන්

    ReplyDelete
  6. @තිසර ප්‍රියංකර
    දන්න දෙයක් බෙදා ගැනීම සතුටක්.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails