Monday, September 27, 2010

They Are at a Ceremony on a Farm in Kandy - විවිධ තැන්වලදී


ඉල්ලීමක් ඉදිරිපත් වුණා in, at, on පදවල භාවිතය ගැන යමක් ලියන්න කියලා. මේවා නොයෙක් පසුබිම්වල යෙදුනත්, යමක පිහිටීම හෝ සිදු වන ස්ථානය සම්බන්ධයෙන් ඒවා පාවිච්චි වෙන ආකාර කීපයක් අද බලමු. 

සාමාන්‍යයෙන් මේ පද යෙදෙන ‍ආකාරය අපි බොහොම දෙනෙක් දන්නවා.

The cat is at the box. බළලා පෙට්ටිය ළඟ ඉන්නවා. [මෙහිදී ‘near’ ‍යෙදුවොත් එයින් අදහස් වෙන්නේ පෙට්ටියට කිට්ටු තැනක ඉන්නා බවයි. නමුත් ’at’ මගින් පෙට්ටිය ඇති තැනට යාබදවම (පෙට්ටිය ගාව) ඉන්නා බව දැක්වෙනවා.]

The cat is in the box. බළලා පෙට්ටිය ඇතුළෙ ඉන්නවා.

The cat is on the box. බළලා පෙට්ටිය උඩ ඉන්නවා.

මීට අමතරව තේරුම් ගත යුතු තවත් වෙනස්කම් ගණනාවක් ති‍යනවා.

1. in Kandy, at Kandy

මෙවැනි යම් නගරයක යන්නට සාමාන්‍යයෙන් යෙදෙන්නේ ‘in’ පදයයි. නමුත් එම නගරය යම් ගමනක් වැන්නක එක් තැනක්/ලක්ෂයක් ලෙස සලකන විට නම් ‘in’ හෝ ‘at’ යොදා ගත හැකියි.

My brother is in Matara. මගෙ අයියා/මල්ලි මාතර (මේ වෙලාවෙ ඉන්නෙ හෝ පදිංචිය මාතර).

We stopped for lunch in/at Kalutara on our way to Galle. ගාල්ලෙ යන ගමන් අපි දවල් කෑමට කළුතර නැවැත්තුවා.

2. in the post office, at the post office

මෙවැනි යම් ස්ථානයකදී සමස්තයක් ලෙස එම ස්ථානයේ  යන අර්ථයෙන් ‘at’ පදයත්, එම ස්ථානය/ගොඩනැගිල්ල තුළ යන අර්ථය ඇතිව ‘in’ පදයත් සාමාන්‍යයෙන් යෙදෙනවා.

I met him at the bank. මට එයාව බැංකුවෙදි මුණ ගැහුණා (සමස්තයක් ලෙස එම ස්ථානයේදී, ගොඩනැගිල්ල තුළදී හො එය ඉදිරිපිටදී විට හැකියි).

My sister is in the bank. I’m waiting for her to come out. මගෙ අක්කා/නංගි බැංකුවෙ (බැංකුව ඇතුළෙ). මම ඉන්නෙ එයා එළියට එනකම්.

We had dinner at a restaurant. අපි අවන්හලක රෑ කෑම කෑවා.

He works in/at a restaurant. එයා වැඩ කරන්නෙ අවන්හලක.*
*මෙවැනි තැන්වල නම් මේ පද දෙක අතර වෙනසක් ඇත්‍‍තේ‍‍ නැහැ.

3. at a party, at a conference

පුද්ගලයන් සමූහයක් සහභාගි වෙන මෙවැනි අවස්ථා (party, conference, meeting, event, ceremony, wedding, festival, funeral...) සඳහා බොහෝ විට යෙදෙන්නේ ‘at’ පදයයි.

All of them are at a conference. ඒ අය ඔක්කොම සම්මන්ත්‍රණයක.

This was decided at a board meeting. මේක තීරණය උනේ පාලක මණ්ඩල රැස්වීමක.

නමුත් යම් කෙනෙක් ක්‍රියාකාරී ලෙස සහභාගි වන ඇතැම් අවස්ථාවල ‘in’ යන්නද යෙදෙනවා. 

She’s in a meeting right now. එයා මේ වෙලාවෙ රැස්වීමක (රැස්වීමකට සහභාගි වෙමින් ඉන්නවා).

මෙසේ යෙදෙන ‘occasion’ පදය සමග නම් භාවිතා වෙන්නේ ‘on’ යන්නයි.

He always makes a speech on an occasion like this. එයා හැමදාම (හැම විටම) මේ වගේ අවස්ථාවක කතාවක් පවත්වනවා.

4. on a farm, on an estate

මෙවැනි විශාල බිම් ප්‍රමාණයක් සහිත ස්ථාන (farm, estate, premises, site, land, plain, plateau, beach, seashore, riverbank...) සඳහා ‘on’ යෙදෙනවා. නමුත් beach වැනි ඇතැම් වචන ‘at’ සමගත් භාවිතා වෙනවා. එ‍මෙන්ම plain වැන්නක් ප්‍රදේශයක් ලෙස සලකා ඒ සමග 'in' ‍භාවිතයද දක්නට ලැබෙනවා (මීළඟ කොටස බලන්න).

We spent some time on a tea estate. අපි තේ වත්තක ටික වෙලාවක්/තරමක් වෙලා හිටියා.

The religious ceremony will take place on the school premises. ආගමික උත්සවය පාසැල් පරිශ්‍රයේ පැවැත්වේවි.

The whole family had fun on/at the beach. මුළු පවුලම මූදු වෙරළෙ විනෝද උනා.

5. in a region, in a country

මෙවැනි ප්‍රදේශ (district, province, country, region, area...) සඳහා ‘in’ යොදා ගැනෙනවා.

It’s the biggest company in the region. ඒක මේ ප්‍රදේශයෙ ලොකුම සමාගම.

මහාද්වීපයක නම සමග ‘in’ යෙදුනත්, ‘continent’ පදය සමග යෙදෙන්නේ ‘on’ පදයයි.

China is situated in Asia / on the Asian continent. චීනය පිහිටලා තියෙන්නෙ ආසියාවෙ / ආසියානු මහාද්වීපයේ.

6. in the back, at the back

පසුපස කෙළවරේ යන අර්ථයෙන් ‘at’ යන්නත්, පසුපස කොටසේ යන අර්ථයෙන් ‘in’ යන්නත් යෙ‍දෙනවා.  ’front’ පදයත් මේ ආකාරයෙන්ම යෙදෙන අතර, පිහිටීම සම්බන්ධයෙන් ‘end’, ‘edge’ වැනි පද සමග සාමාන්‍යයෙන් ගැනෙන්නේ ‘at’ යන්නයි.

He’s in the back of the car. එයා ඉන්නෙ කාරෙකේ පස්සෙ සීට් එකේ.

She sat at the back of the hall. එයා වාඩි වෙලා හිටියෙ ශාලාවෙ පිටිපස්සෙ කෙළවරේ.

They’re at the end of the line. ඒ අය ඉන්නෙ පෝලිමේ අග.

7. in the photo, on the page

යමක් ඇති තැන දැ‍ක්වීමේදී photo, picture, paragraph, chapter,  paper (newspaper - පුවත්පතක යන අර්ථයෙන්), book... වැනි පද සමග ‘in’ යන්නත්, page, notice board, blackboard, wall, paper (piece or sheet of paper - කඩදාසි කෑල්ලක හො එක් කඩදාසි කොලයක යන අර්ථයෙන්)... වැනි පද සමග ‘on’ යන්නත් යෙදෙනවා.

We’re all in the photo. අපි ඔක්කොම පින්තූරෙ (ඡායාරූපයේ) ඉන්නවා.

It’s in Chapter 2, on Page 38. ඒක තියෙන්නෙ දෙවෙනි පරිච්ඡේදයෙ, 38 වෙනි පිටුවෙ.

It’s on the notice board. ඒක දැන්වීම් පුවරුවෙ තියනවා.

The picture is on the wall. පිංතූ‍රෙ බිත්තියෙ (අලවලා/එල්ලලා) තියනවා.

8. on the list, on the website

list, website, blog... වැනි පද සමග බොහෝ විට ‘on’ යෙදෙනවා. නමුත් ඇතැම් විට අන්තර්ගතබව හුවා දැක්වීමට ‘in’ යන්නත් පාවිච්චි වෙනවා.

Check whether all these things are on the shopping list. බලන්න මේ ඔක්කොම දේවල් (මිළදී ගත යුතු) බඩු ලැයිස්තුවෙ තියනවද කියලා.

Include that in the list. ඒක ලැයිස්තුවට ඇතුළත් කරන්න.
 
The prices are to be found on their website. මිළ ගණන් ඒ අයගෙ වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්.

9. on the committee, on the board

කීප දෙනෙකුගෙන් සමන්විත මෙවැනි කණ්ඩායමක් (committee, board, panel...) සඳහා සාමාන්‍යයෙන් ‘on’ යෙදෙනවා. නමුත් ‘team’ සඳහා මේ දෙකමත්, ‘group’ සඳහා නම් ‘in’ යන්නත් භාවිතා වෙනවා.

She‘s on the organizing committee. එයා සංවිධා‍යක කමිටුවෙ ඉන්නවා.

He’s in[විශේෂයෙන් බ්‍රිතාන්‍ය]/on[විශේෂයෙන් ඇමරිකානු] the team. එයා කණ්ඩායමේ ඉන්නවා.

10. in the car, on the bus

වාහන සම්බන්ධව car, van, taxi, jeep, three-wheeler වැනි පෞද්ගලිකව පාවිච්චියට ගන්නා වාහන සඳහා ‘in’භාවිතා වෙනවා. නමුත් bus, train, plane, ship වැනි පොදුවේ පාවිච්චියට ගැනෙන වාහන සඳහා සාමාන්‍යයෙන් ‘on’ද, එවැන්නක් ඇතුළත යන්න විශේෂයෙන් දැක්වීම සඳහා නම් ‘in’ද යෙදෙනවා.

They listened to the radio in the car. ඒ අය කාරෙකේ යන ගමන් රේඩියෝ ඇහුවා..

We were on a bus to Kandy. අපි හිටියේ නුවර යන බස් එකක.

She's in the bus. That’s why you don’t see her. එයා බස් එක ඇතුළේ. ඒකයි ඔයා‍ට එයාව පේන්නෙ නැත්තෙ.

11. at No. 160B, on Kurunegala Road

යම් ලිපිනයක සිටින/තිබෙන බව දැක්වීමට ‘at’ පාවිච්චි වෙනවා. නමුත් යම් පාරක සිටින/තිබෙන බව දැක්වීමට බොහෝ විට ‘on’යොදා ගැනෙන අතර ඇතැම් විට ‘in’ ද (විශේෂයෙන් street, lane වැනි පද සමග) මේ සඳහා භාවිතා වෙනවා.   

They live at No.160B, Kurunegala Road. ඒ ගොල්ලො ඉන්නෙ කුරුණෑගල පාරෙ අංක 160B.

They live on Kurunegala Road. ඒ ගොල්ලො ඉන්නෙ කුරුණෑගල පාරෙ.

They were singing in/on the street. ඒ අය පාරෙ සිංදු කිය කිය හිටියා.

12. in the queue, in (the) line

පෝලිමක් (queue, line) වැන්නක් සඳහා ‘in’ භාවිතා කෙරෙනවා.

He stood in the queue (විශේෂයෙන් බ්‍රිතාන්‍ය) / in line (විශේෂයෙන් ඇමරිකානු) for a long time. එයා ගොඩක් වෙලා පෝලිමේ හිටියා.

13. on the river, on the lake

ගඟක් හෝ විලක් වැන්නක් අසල යන්නට ‘on’ (හෝ ‘by’) භාවිතා වෙනවා. එහි ජලය මත යන්නටද ‘on’ යෙදෙනවා.

The hotel is located on/by the river. හෝටලේ (පිහිටලා) තියෙන්නෙ ගඟ අයිනේ.
 
There is a boat on the lake. විලේ බෝට්ටුවක් තියනවා/යනවා. 

14. on the right, on the left

වම් පැත්තේ, දකුණු පැත්තේ යන අදහස්වලට මෙසේ ‘on’ යෙදෙනවා.

When you take the bend, you’ll see the temple on the/your right. ඔයා වංගුව හැරෙනකොට ඔයාගෙ දකුණු පැත්තෙ පංසල පෙනෙයි.

15. at the seaside, in the countryside

යමක් අද්දර යන අර්ථය ඇති seaside, roadside... වැනි වචන සමග ‘at’ (හෝ ‘by’) යෙදුනත්, ගම්බද ප්‍රදේශවල යන අර්ථය දෙන countryside පදය සමග යෙදෙන්නේ ‘in’ යන්නයි.

The van stopped at/by the roadside. වෑන් එක පාර අයිනෙ නැවැත්තුවා.

We spent the weekend in the countryside. අපි ගම්බද ප්‍රදේශයක සතිඅන්තය ගත කළා.

(සේයාරුවට ස්තුතිය: Nicholas_T

6 comments:

  1. බොහොමත්ම ස්තුතියි අයියේ, මේ තරම් ඉක්මනට මේ ලිපිය පල කලාට

    ReplyDelete
  2. @mier
    ප්‍රයෝජනවත් දෙයක් ලියන්න ලැබීම ගැන සතුටුයි.

    ReplyDelete
  3. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.වෙනද වගේම., ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  4. @dinesh
    අහන්නත් සතුටුයි.

    ReplyDelete
  5. නියමයි. නිතරම පැටලෙන තැනක්. ස්තූතියි.

    ReplyDelete
  6. @Siribiris
    දිරිගැන්වීමට ස්තුතියි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails