Saturday, September 11, 2010

How Do You Learn a Language III - තමන්ම ඉගෙනීම ගැන



භාෂා අධ්‍යයනය පිළිබඳ විශාරදයෙකු වන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ආග්වෙයියස් එම ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරිපත් කරන වීඩියෝ දේශන මාලාවේ එන,  විවිධ අධ්‍යයන විධි සාකච්ඡා කෙරෙන දේශන දෙකක් වෙත අපි මීට කලින් ලිපියෙන් අවධානය යොමු කළා. එයින් පළමුවැන්නේ දැක්වුණ අධ්‍යයන විධි හතරෙන් එකක් - එනම් පංති කාමරයක ඉගෙනීම - ගැන දෙවැන්නේ කරුණු ඉදිරිපත් කෙරුනා.

ඒ දෙවෙනි වීඩියෝව නැරඹූ අයට පැහැදිලිව පෙනෙන්න ඇති ඔහු මේ ක්‍රමයෙන් යම් සාර්ථකත්වයක් ලැබීම සඳහා ඉදිරිපත් කරන නිර්දේශ සහ අපේ රටේ බහුලව දකින්නට ලැබෙන, එමෙන්ම බොහෝ දෙනෙක් අනුගමනය කරන, ආකාරයේ පංතිවල (පාසැලේ හෝ පෞද්ගලික) ඇති තත්වයන් අතර තිබෙන විෂමත්වය. ලංකාවේ භාෂා අධ්‍යයනය බොහෝ දුරට අසාර්ථක වීම ඒ අනුව අරුමයක් නෙමෙයි, නේද?

තමන්ටම පෞද්ගලිකව උගන්වන ගුරුවරයෙකුගෙන් ඉගෙනීම, අවිධිමත් ලෙස ඉගෙනීම (යම් ප්‍රජාවක් සමග ජීවත් වීමට සිදු වන්නෙක් එහි භාවිතා වන භාෂාව ඉබේම මෙන් හුරුවෙන්නක් මෙන්) සහ ස්වයංඅධ්‍යයනය  යන ප්‍රවේශ ගැනත් පසුව වීඩියෝ දේශන ඉදිරිපත් කෙරෙනවා. 

මෙයින් පළමුවැන්න පංතියක ඉගෙනීමට ව‍ඩා ප්‍රතිඵලදායක බව සම්මත මතය වුවත්, එය සැම විටම එසේ නොවන බවත්, මෙහිදී ශිෂ්‍යයා අධ්‍යයනය ගැන වගකීම (තමා වෙනුවෙන්ම කැප වී ඇති) ගුරුවරයාට පැවරීමේ ප්‍රවණතාවයක් ඇති බවත් පවසන මහාචාර්යවරයා, බස ගැන යම් දැනුමක් ඇත්තෙකුට ඒ දැනුම පදනම් කරගෙන එය වැඩි දියුණු කර ගැනීමට නම් මෙය වැඩ දායක විය හැකි බව ප්‍රකාශ කරනවා. එමෙන්ම සිසුවා ඉගෙන ගන්නා බස තම මව් බස වන, එහෙත් සිසුවාගේ මව් බස නොදන්නා ගුරුවරයෙක් භාෂා දෙක අතර වෙනස්කම් පැහැදිලි කිරීමට නොදන්නා නිසා, විශේෂයෙන් එවැනි ගුරුවරයෙකුගෙන් මෙලෙස ඉගෙනීම දැනටමත් සෑහෙන දැනුමක් ඇති සිසුවෙකුට මිස මූලික අවස්ථාවට නුසුදුසු බව දැක්වෙනවා.‍ 

දෙවැන්න අදාළ වන්නේ ඒ ප්‍රවේශය සඳහා අවස්ථා‍වක් ලද්දෙකුට පමණයි.

ඊළඟ ක්‍රමය - එනම් මහාචාරයවරයා පෞද්ගලිකව ඇලුම් කරන ක්‍රමය - වන්නේ ක්‍රමානුකූල ස්වයංඅධ්‍යයනයයි. නමුත් මෙය මනා ස්වයංවිනයක් හා ස්වයංපාලනයක් ඇතිව කළ යුත්තක් වෙනවා. කෙසේ වෙතත් ගුරුවරයෙක් ඇතිව ඉගෙන ගන්නෙකුට වුවත් මේ ක්‍රමය තුළින් අමතර පිටුබලයක් ලැබෙන නිසා මේ ගැන අපි අවධානය යොමු කරමු.

මහාචාර්යවරයා මෙහිදී යොදා ගත හැකි පාඩම් මාලා ඒවායේ යොදා ගන්නා ඉගැන්වීම් රටාව අනුව‍ කොටස් හතරකට බෙදනවා. 



1. සංවාද හා වෙනත් ලිපි ආධාරයෙන් ඉගැන්වෙන ක්‍රම 

මෙම පාඨමාලාවල ඉගෙන ගන්නා භාෂාවෙන් යම් සංවාදයක් වැන්නක් මුලින් ඉදිරිපත් කර එය ශිෂ්‍යයාගේ මව් බසින් පසුව දැක්වෙනවා. භාෂා ව්‍යවහාරය පිළිබඳ සටහන්ද ඉදිරිපත් කෙරෙනවා. මේ ආකාරයේ පාඩම් මාලා භාෂාව නිරීක්ෂණයෙන් ඉගෙනීමට කැමති, නිරීක්ෂණ තුළින් උපකල්පනවලට එළඹීමට ලැදි, එහෙත් පසුව එම උපකල්පන අවශ්‍ය නම් වෙනස් කර ගැනීමටද සූදානම් අයට ගැලපෙනවා.

(බොහෝ භාෂා ප්‍රවීනයන් මෙම ක්‍රමය අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙනවා. මහාචාර්ය ආග්වෙයියස් මෙන්ම අපි කලින් ලිපියක සඳහන් කළ ලූකාද අනුගමනය කරන්නේ මේ ප්‍රවේශයයි. ඔවුන් දෙදෙනාගේම - සහ භාෂා සාර්ථකව තනිවම ඉගෙන ගත් තවත් බොහෝ අයගේ - ප්‍රියතම පාඩම් මාලාවක් වන Assimil සිංහල හරහා ඉංග්‍රීසි ඉගෙනීම සඳහා නම් යොදා ගන්න බැහැ. Assimil පොත් පෙළ මුලින්ම බිහි වුනේ ප්‍රංශ ජාතිකයන්ට වෙනත් භාෂා ඉගැන්වීම සඳහායි. පසුව ශ්‍රව්‍ය උපාංගද සහිතව නිකුත් වූ මේවායින් සමහරක් දැන් ඉංග්‍රීසි හා වෙනත් මාධ්‍ය කීපයකටද හරවා තිබුනත් ඉංග්‍රීසි භාෂාව නම් ඉගැන්වෙන්නේ අනෙකුත් භාෂා මාධ්‍යවලිනුයි.)

2. මුලින් භාෂාවේ ස්වරූපය (ව්‍යාකරණය) පැහැදිලි කරන ක්‍රම

ව්‍යාකරණය තුළින් උගන්වන මෙම ක්‍රමය දෙආකාරයක් ගන්නවා. එනම්, වඩා වැදගක් ව්‍යාකරණ ර‍ටා මුලින් උගන්වන ආකාරය සහ ව්‍යාකරණය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මුලින් ඉදිරිපත් කරන ආකාරයයි. මේ ප්‍රවේශය භාෂා රීති විස්තරාත්මකව පැහැදිලි කිරීමක් තුළින් විශ්ලේෂණාත්මකව, තාර්කිකව හිතා බලා ඉගෙනීමට කැමති අයට යෝග්‍ය වෙනවා.

(නමුත් අනෙකුත් දේ ගැන තාර්කිකව සිතන සියළු දෙනා ඒ ආකාරයට භාෂාවක් ඉගෙනීම නොකරන බව සැලකිය යුතුයි. බසක් ඉගෙනීමේදී උගත් දේ උකහා ගෙන තමන්ගේ දෙයක් ලෙස භාවිතයට ගත යුතු නිසා, මතකය පමණක් අවශ්‍ය වන අනෙකුත් දේ ඉගෙනීම හා භාෂාවක් ඉගෙනීම වෙනස් වන බව මහාචාර්යවරයා අධ්‍යයන උපාංග තෝරා ගැනීම පිළිබඳ සිය දේශනයේ - එයත් අපි මෙහි පසුව සලකා බලනවා - සඳහන් කරනවා.)

3. උගත් යමක් එසැනින්ම ක්‍රියාවට නැගීම යොදා ගැනෙන ක්‍රම

යම් භාෂා රටාවක් ඉදිරිපත් කළ සැනෙන් ඒ සඳහා ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන මේ ප්‍රවේශය, උගත් භාෂා රටා ඉක්මනින් තමන්ම යම් ආකාරයකින් භාවිතයේ යෙදීමෙන් ඉගෙනීමට ලැදි අයට යෝග්‍ය වෙනවා.  

4. විවිධ අවස්ථාවලට අදාළ සංවාද ආදිය ආශ්‍රයෙන් භාෂාව ඉදිරිපත් කිරීම ("Checking into a Hotel Room", "Going Out to a Restaurant" වැනි මාතෘකා යටතේ) 

තමන් භාවිතා නොකරන නිසා, මෑත කාලයේ බිහි වූ මෙම ක්‍රමය කුමන ආකාරයේ සිසුන්ට සුදුසු දැයි කීමට තමන්ට අපහසු බව පවසන මහාචාර්යවරයා මෙම ක්‍රමයේ පැහැදිලි කිරීම් අඩුකම හා අභ්‍යාස ආදියේදී ඇතැම් විට අර්ථයන් නොදැක්වීම වැනි දේ ගැන එතරම් පැහැදීමක් දක්වනනේ නැහැ. ඒවා පිංතූර, ප්‍රෙහේළිකා අදිය ආශයෙන් රසවත්බව ඇතිකිරීම ගැන වැඩි අවධා‍නයක් දක්වන බවයි ඔහුගේ මතය.

අධ්‍යයන උපාංග තෝරා ගැනීම සම්බන්ධව වෙනත් වීඩියෝවක අදහස් දක්වන මහාචාර්යවරයා පවස්න්නේ මේ ආකාරයෙන් මධ්‍යම හෝ උසස් මධ්‍යම මට්ටම (Intermediate or Upper-Intermediate Level) දක්වා සාර්ථකව උගත හැකි බවයි. ඕනෑම ස්වරූපයක අධ්‍යයන පාඨමාලාවක් තුළින් ළඟා විය හැක්කේ මේ මට්ටමට බවත්, ඉන් ඔබ්බට ඉගෙනීම අදාළ භාෂාව භාවිතා කරන රටකට ගොස් හෝ අඩු වශයෙන් චිත්‍රපට, පොත් ආදිය බහුලව භාවිතා කිරීම තුළින් කළ යුතු බව සඳහන් වෙනවා.

ඉතින් මේ අනුව භාෂා අධ්‍යයනය සඳහා උපාංග තෝරා ගන්න පෙර තමන් ප්‍රධාන වශයෙන් කුමන ආකාරයට භාෂා අධ්‍යයනය කරන්නෙක්ද යන්න (තමන්ගේ ප්‍රධාන අධ්‍යයන රටාව) අපි හොයා ගන්න ඕනැ. කෙසේ වෙතත් මෙයින් අදහස් වෙන්නෙ නැහැ තමන්ට ගැලපෙන එක් පාඩම් මාලාවක් ආශ්‍රයෙන් පමණක් බසක් උගත හැකි බව. සියළු දෙනාම විවිධාකාරයේ පාඩම් මාලා කිහිපයක් - තමාගේ අධ්‍යයන රටාව අනුව වෙනස් අනුපිළිවෙලින් - යොදා ගැනීම අවශ්‍ය වන වෙනවා.




a. භාෂා රීති විස්තරාත්මකව පැහැදිලි කිරීමක් තුළින් විශ්ලේෂණාත්මකව, තාර්කිකව හිතා බලා ඉගෙනීමට කැමති අයට

i. සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ස‍ඳහා ඉහත (2) ආකාරයේ පාඩම් මාලා (දෙකක් වත්)

ii. භාවිතය ගැන වඩා හොඳින් දැන ගැනීමට (1) ආකාරයේ පාඩම් මාලාවක්

iii. දැනුම භාවිතයට නැගීම පුහුණු වීම අවශ්‍ය තැන් සඳහා (3) ආකාරයේ පාඩම් මාලාවක්

b. උගත් භාෂා රටා ඉක්මනින් තමන්ම යම් ආකාරයකින් භාවිතයේ යෙදීමෙන් ඉගෙනීමට ලැදි අයට

i. භාෂා රටා භාවිතය ගැනීමට (3) ආකාරයේ පාඩම් මාලවක්
(මෙහිදී භාෂාවේ ශබ්ද රටා හුරු වීම අඩු නම් හෝ ඒ ගැන චකිතයක් ඇත් නම් මුලින්ම ශබ්දය පදනම් වූ වෙනත් පාඩම් මාලාවක් යොදා ගැනීම වැදගත් බව සඳහන් වෙනවා. මෙය මෙතැනදී සඳහන් කෙරුණත් අනෙකුත් ක්‍රමවලටද අදාළ වෙන බව කියවෙනවා.)

ii. භාෂා රටා හා සම්බන්ධ රීති ගැන වඩා හොඳ අවබෝධක් සඳහා (2) ආකාරයේ පාඩම් මාලාවක්

iii. නැවතත් (3) ආකාරයේ කෙටි පාඩම් මාලාවක්

iv. භාවිතය උකහා ගැනීම සඳහා (1) ආකාරයේ පාඩම් මාලාවක්

c. නිරීක්ෂණයෙන් ඉගෙනීමට කැමති, නිරීක්ෂණ තුළින් උපකල්පනවලට එළඹීමට කැමති, එහෙත් පසුව එම උපකල්පන අවශ්‍ය නම් වෙනස් කර ගැනීමටද සූදානම් අයට

i. භාවිතය නිරක්ෂණයෙන් ඉගෙනීමට (1) ආකාරයේ පාඩම් මාලා (දෙකක් හෝ කීපයක්)

ii.‍ භාෂා රීති ගැන දැනුම වැඩි දුයුණුවට (2) ආ‍කාරයේ පාඩම් මාලාවක්

ii‍i. උගත් ඇතැම් දේ භාවිතයට ගැනීම පුහුණුවට (3) ආකාරයේ පාඩම් මාලාවක්

ඉතින් මේ තමයි භාෂා ස්වයංඅධ්‍යයනය ගැන ලොව සුපතල භාෂා විශාරදයෙකුගේ අදහස්. මේ කරුණු කාරණා ඉංග්‍රීසි ඉගෙන ගන්නා අපේ රටේ අයටත් යම් තරමකට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා.

(සේයාරුවට ස්තුතිය: Brenda Annerl

4 comments:

  1. කොමෙන්ට් නොදැම්මට post එක එනකන් බලාන ඉන්නෙ.සර්ට ජය.....

    ReplyDelete
  2. @dinesh

    කොමෙන්ට් නොදැම්මත් ලිපිවලින් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක තමයි වැදගත්. ඔයාටත් ජය!

    ReplyDelete
  3. ගොඩක්ම හොද වැඩක්.ඔබට ජය............................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අවශ්‍ය අනිත් අයටත් දැන ගන්න සලස්වන්න.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails