Thursday, September 9, 2010

How Do You Learn a Language II - විවිධ ක්‍රම ගැන


අපි දන්නවා ලෝකයේ ජීවත් වෙන මිනිස්සු භාෂා ගණනාවක් කතා කරනවා කියලා. මේවා අතර යම් යම් වෙනස්කම් - සමහර විට විශාල වෙනස්කම් - තියනවා. මේවා දෙවෙනි බසක් හැටියට ඉගෙන ගන්න අයට පොදුවේ අනුගමනය කරන්න හැකි ක්‍රමවේද තියනවද?

විවිධාකාර භාෂා විශාල සංඛ්‍යාවක් හදාරා ඇති ඇමරිකානු විශාරදයෙකු වන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ආග්වෙයියස් (Prof. Alexander Arguelles) මේ ගැන වැදගත් අදහස් සමූහයක් ඔහුගේ වීඩියෝ දේශය මාලාවේ සඳහන් කරනවා.

මහාචාර්ය ආග්වෙයියස් - මීට කලින් ලිපියේ සඳහන් කළ ඉතාලි ජාතික ලූකා මෙන් - ඔහුගේ භාෂා වැඩි ගණනක් අධ්‍යයනය කර ඇත්තේ තනිවමයි. ඔහුගේ මතය අනුව බසක් හැදෑරීමට ඇති සාර්ථකම ක්‍රමය වන්නේ ස්වයංඅධ්‍යයනයයි (පෞද්ගලිකව ඔහු අනුගමනය කරන්නේ - නැවතත් ලූකා මෙන්ම - පොත් සහ හඬ සහිත පාඩම් මාලා බව ප්‍රකාශ වෙනවා). මේ සම්බන්ධව ඔහු වීඩියෝ දේශන ගණනාවක් පළ කර තියනවා. නමුත් මේ ක්‍රමය සියළු දෙනාටම නොගැලපෙන බව ඔහු පිළිගන්නවා. 

ඒ නිසා ඔහු භාෂා අධ්‍යයනය සම්බන්ධ විවිධ කල්පිතයන් (paradigms) පිළිබඳව නව වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරනවා. එහි ආරම්භක වීඩියෝවේ භාෂා අධ්‍යයනය පිළිබඳ ප්‍රධාන සංකල්පයන් දෙක ලෙස

1. ස්වඅධ්‍යයනය

2. ගුරුවරයෙකු මාර්ගයෙන් ඉගෙනීම

සඳහන් කෙරෙනවා.

මෙයින් පළමුවැන්න

a. නිශ්චිත ක්‍රමවේදයක් අනුව ඉගෙනීම

b. එවැනි ක්‍රමයක් නොමැතිව (අවිධිමත් ලෙස) ඉගෙනීම

යන දෙආකාරයකට ‍කෙරෙන බවත්, දෙවැන්න

a. සාම්ප්‍රදායික පංති කාමරයක ඉගෙනීම

b. පෞද්ගලික ගුරුවරයෙකු මාර්ගයෙන් ඉගෙනීම

යන දෙආකාරය ගන්නා බවත් එහි ප්‍රකාශ වෙනවා. මේ විවිධ ක්‍රමවේදයන් සුදුසු වන අවස්ථා හා ඒ සඳහා යොදා ගත හැකි උපාංග පිළිබඳව පසුව වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු එහිදී පවසනවා.



මේ විවිධ සංකල්පයන් පිළිබඳව පසුව වෙන වෙනම වීඩියෝ දේශන ඉදිරිපත් කෙරෙනවා. මෙයින් සාම්ප්‍රදායිකව පිළිගැනෙන ක්‍රමය වන (අපේ රටේත් බොහෝ අය අනුගමනය කරන) පංති කාමරයක ඉගෙනීම සම්බන්ධ වීඩියෝවේ ම‍හාචාර්යවරයා පවසන්නේ මේ ක්‍රමයට බසක් ඉගෙනීම කළ හැකි වුවත් වීශාල පිරිසක් එහිදී අසාර්ථක ප්‍රතිඵල ලබන බවයි. එවැනි ප්‍රතිඵල නොලැබීම පිණිස, මෙම ක්‍රමයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි බලපාන සාධක ගැන සැලකිලිමත් විය යුතු බව ප්‍රකාශ කරන ඔහු එම සාධක - ඒ සියල්ලම වැදගත් නමුත් - ඒවායේ වැදගත්කම වැඩිවන අනුපිළිවෙළට (අඩුම සිට වැඩිම දක්වා) මෙසේ දක්වනවා:

1. අධ්‍යයනය කරන පොත (විෂය නිර්දේෂය)

මෙය බොහෝ විට අධ්‍යාපන බලධාරීන් විසින් නියම කරන්නක් නිසා එහි වෙනසක් කිරීම අපහසු වෙනවා. එහෙත් එතරම් හොඳ නැති පොතක් නියම වී ඇති විටදීත් සාර්ථක ලෙස ඉගැන්වීමට අමතර දේ යොදා ගැනීමට හොඳ ගුරුවරයෙකුට හැකියාව තියෙනවා.

2. ගුරුවරයා

සිසුන්ට සාධනීය අත්දැකීමක් ලබා දීමේදී, මෙම ක්‍රමයේ කේන්ද්‍රගතව සිටින ගුරුවරයා දක්ෂයෙකු වීම වැදගත් වෙනවා. (සියල්ලේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳ වගකීමද යොමු වන්නේ ගුරුවරයා වෙතයි.)

3. ශිෂ්‍යයන්

හොඳ ගුරුවරයෙකු සිටීම වැදගත් නමුත් ශිෂ්‍යයන්ගේ භූමිකාව ඊටත් වඩා වැදගත් වෙනවා. මෙහිදී සිසුන්ගේ සාමාන්‍ය අධ්‍යයන කටයුතු සම්බන්ධ බුද්ධි මට්ටමට වඩා ඔවුන් භාෂා ඉගෙනුමට දක්වන උනන්දුවත්, ඒ සඳහා කාලය හා ශක්තිය වැය කිරීමට ඔවුන්ට ඇති අ‍වකාශයත් ප්‍රමුඛස්ථානය ගන්නවා (මේ තත්වයන් ඇති කිරීම සඳහා ඊළඟ සාධකය ඉතා වීශාල මෙහෙවරක් ඉටු කරනවා).

4. අධ්‍යයන වාතාවරණය

වැදගත්ම සාධකය වන්නේ මෙයයි. භාෂා අධ්‍යයන පංතියක සිසුන් 10 දෙනෙක්, හෝ උපරිම වශයෙන් 12 දෙනෙක්, සිටිය යුතු අතර ඉගෙනීම දිනපතා ක්‍රමානුකූලව සිදු විය යුතුයි. අනිකුත් විෂයයන් මෙන් විශාල පංතිවල, සතියකට කීප වරක් පමණක් ඉගැන්වීම භාෂාවක් අධ්‍යයනයට ගැලපෙන්නේ නැහැ.

බොහෝ පාසැල්වල වැඩි සැලකිල්ලක් ලබන්නේ සාපේක්ෂව අඩු වැදගත්කමක් ඇති පළමු දෙඅංගය බව මහාචාර්යවරයා සඳහන් කරනවා. හො‍ඳ පොතක් නියම කිරීම හා ගුරු පුහුණුව ලබා දීම ඒ තැන්වල ඉතා වැදගත් සේ සැලකෙන බව ඔහු පවසනවා. මහාචාර්යවරයාගේ අදහස අනුව හොඳ ගුරුවරයෙකුට තම සිසුන්ට ගැලපෙන පොත්පත් ආදී දේ තෝරා ගැනීමට ඉඩ දෙන්නේ නම් එය වඩා සාර්ථක ක්‍රමයක් වෙනවා. ගුරු පුහුණුව සම්බන්ධව ඔහුගේ මතය වන්නේ, ගුරුවරයා විදේශ භා‍ෂා කිහිපයක් උගත් කෙනෙක් නම් ඒ තුළින් භාෂාවන් ඉගෙනීම පිළිබඳව ඔහු හෝ ඇය ලබා ඇති පරිචය වෙනත් ගුරු පුහුණු වැඩ සටහන්වලට වඩා වැඩදායක බවයි.

මේ කරුණු කෙරෙහි නිවැරදිව අවධානය යොමු කරන විශේෂිත භාෂා අධ්‍යයන ආයතනයක පාඨමාලාවක් තෝරා ගැනීමට හැකි නම් එවැන්නක් වැඩදායක විය හැකි බව අවසාන වශයෙන් කියවෙනවා. ස්වයංපාලනය අඩු අයට බාහිරව ලැබෙන පාලනය යටතේ ක්‍රමානුකූලව ඉගෙනීමට ලැබීම මෙම ක්‍රමයේ වාසියක් ලෙස පෙන්වා දෙනු ලබනවා.   




***අපේ රටේ බොහෝ අය අනුගමනය කරන මේ අධ්‍යයන ප්‍රවේශය ගැන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ආග්වෙයියස් පවසන කරුණුයි ඒ. මේවා අපේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපනයටත් අදාළයි නේද?

(සේයාරුවට ස්තුතිය: Rex Pe

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. @Dayan Senavirathna

    It seems to be a very useful site for English learners indeed. Thanks for sharing the information.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails