Wednesday, June 16, 2010

The Language That We Use - අපි භාවිතා කරන භාෂාව



භාෂාවක තියනවා සරල වාක්‍ය රටාවන්. මම පොත කියවනවා. - I am reading the book.’, ‘මිනිහා ඊයෙ මෙහෙ ආවා. - The man came here yesterday.වගේ සරල වාක්‍ය ඉංග්‍රීසි භාෂාවට නගන්න එතරම් අපහසු නැහැ.

නමුත් ඇතැම් වෙලාවට මෙහෙම සරල වාක්‍යවලින් අපට උවමනා දේ සම්පූර්ණයෙන් කියන්න අපහසුයි. ඒකට හේතුව අපේ බොහොමයක් අදහස් මීට වඩා සංකීර්ණ වීම. ඔයා ඊයෙ මට දුන්න පොත මම කියවනවා., ‘අපට ඒ ලියුම එව්ව මිනිහා අද උදේ මෙහෙ ආවා. වගේ තරමක් සංකීර්ණ අදහස් ඉංග්‍රීසියෙන් කීමේදි යෙදෙන්නෙ සිංහලට වෙනස් ආකාරයක්.

I am reading the book (that / which) you gave me yesterday. ඔයා ඊයෙ මට දුන්න පොත මම කියවනවා.

The man who sent us that letter came here this morning. අපට ඒ ලියුම එව්ව මිනිහා අද උදේ මෙහෙ ආවා.

මේ වාක්‍යවල යටින් ඉරි ගසා ඇති කොටස relative clause එකක් ලෙස හැඳින්වෙනවා. (එවාගේ අඩංගු that, which, who… වැනි පද relative pronouns ලෙස හඳුන්වනු ලබනවා.)

මෙවැනි තැන්වලදී මනුෂ්‍යයන් සම්බන්ධයෙන් යෙදෙන who සහ whom පද (එසේම ඇතැම් විට මනුෂ්‍යයන් සම්බන්ධවද යෙදෙන that පදය) භාවිතා වෙන ආකාර අපි who පදයේ විවිධ යෙදුම් සලකා බැලුන You Know Who I Am? - දන්නවද මම කවුද කියලා? ලිපියේ සාකච්චා කළා, ඒ ලිපිය relative clauses සම්බන්ධවම නොවුණත්.

1. relative pronoun එකක් defining relative clause එකක subject (එනම් එහි එන ක්‍රියාව කරන්නා) ලෙස යෙදෙන අවස්ථා

මේ සම්බන්ධව කලින් කියූ ලිපියේ තිබුනා පහත සඳහන් විස්තරය:


The girl who / that plays chess has won the championship. චෙස් ගහන (ගෑණු) ළමයා ශූරතාවය දිනලා.

***මෙහි who / that plays chess වාක්‍ය ඛණ්ඩය defining relative clause යනුවෙන් හඳුන්වනවා. එයින් කෙරෙන්නේ girl යන නාම පදය (noun) හඳුන්වා දීමයි - එනම් ‍කුමන ගෑණු ළමයාද යන්න හඳුන්වා දීමයි. මෙතනදී plays ක්‍රියා පදයේ subject එක වන who (හෝ that), කලින් එන girl පදයට සම්බන්ධ relative pronoun එකක් ලෙස හැඳින්වෙනවා. මෙහි who වෙනුවට that ද යෙදිය හැකි වුණත් වැඩි වශයෙන් ගැනෙන්නේ who පදයයි (මෙය අදාළ subject ලෙස යෙදෙන relative pronoun වලටයි). මෙවැනි වාක්‍යවල girls වැනි බහු වචනයක් ඇත් නම් ක්‍රියා පදද ඒ අනුව යෙදෙනවා.

The girls who / that play chess have won the championship. චෙස් ගහන (ගෑණු) ළමයි ශූරතාවය දිනලා.


***මෙවැනි relative clause එකක් මනුෂ්‍ය නොවන (non-human) යමක් - එනම් සතෙක් හෝ දෙයක් - සම්බන්ධව යෙදෙන විට, who වෙනුවට ‍භාවිතා වෙන්නේ that හෝ which පදයි. නූතන භාවිතයේ that යන්න which ට වඩා බහුලව මෙවැනි තැන්වල පාවිච්චි වෙනවා. (ඇමරිකානු භාවිතයේ මෙවැනි තැන්වල which යෙදීම වඩාත් විරලයි.)

The dog that / which bit the man ran away. මිනිහව කෑව (හැපුව) බල්ලා පැනල දිව්වා.

The leaves that / which fell from the tree lay all over the road. ගහෙන් හැලුන කොල පාර පුරා වැටිල තිබුනා.

2. relative pronoun එකක් defining relative clause එකක object (එනම් එහි එන ක්‍රියාවට භාජනය වෙන්නා) ලෙස යෙදෙන අවස්ථා

මේ සම්බන්ධව කලින් කියූ ලිපියේ තිබුනා පහත සඳහන් විස්තරය:


The woman (that / whom [වි] / who [අ]) I saw yesterday has come again. මම ඊයෙ දැක්ක ගෑණු කෙනා ආයෙ ඇවිල්ලා.

***මෙතන ඇත්තේ woman යන නාම පදය හඳුන්වා දෙන defining relative clause එකක්. මෙහි saw ක්‍රියා පදයේ object එක වන relative pronoun එක වශයෙන් විධිමත් භාවිතයේදී whom , අවිධිමත් භාවිතයේදී who , පාවිච්චි කළ හැකි අතර, මෙවැනි තැන්වල ඒ වෙනුවට that යෙදීම හෝ කිසිම පදයක් නොයෙදීමත් බොහෝ විට දකින්න ලැබෙනවා (මෙය අදාළ object ලෙස යෙදෙන relative pronoun වලටයි). subject වශයෙන් relative pronouns පැවති මීට කලින් තිබූ වාක්‍යවල මෙසේ කිසිම පදයක් නොයෙදීම නම් කෙසේවත් කළ නොහැකියි.


***මෙවැනි relative clause එකක් මනුෂ්‍ය නොවන යමක් සම්බන්ධව යෙදෙන විට, who හෝ whom වෙනුවට that හෝ which පද භාවිතා වෙනවා. නූතන භාවිතයේ that යන්න which ට වඩා බහුලව මෙවැනි තැන්වලත් පාවිච්චි වෙන අතර, කිසිම පදයක් නෙයෙදීමත් කෙරෙනවා.

The bird (that / which) I saw yesterday has come again. මම ඊයෙ දැක්ක කුරුල්ලා ආයෙ ඇවිල්ලා.

The vegetables (that / which) we bought on Monday are still there. අපි සඳුදා ගත්ත එළවළු තවම තියනවා.

***object එකක් වශයෙන් භාවිතා වෙන relative pronoun එකක් ඇතැම් විට preposition (in, at, about, for, with… ආදී) එකක් සමග සම්බන්ධව යෙදෙනවා. එවැනි තැන්වල පහත එන රටා සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙනවා.

I met the boy with whom she is in love. [formal] / I met the boy (whom / who / that) she is in love with. එයා යාළු වෙලා ඉන්න (පෙමින් බැඳී ඉන්න) පිරිමි ළමයා මට මුණ ගැහුනා.

We saw the house in which he was born. [formal] / We saw the house (that) he was born in. එයා ඉපදුන ගේ අපි දැක්කා.

I liked the way in which she talked. [formal] / I liked the way (that) she talked. එයා කතා කරපු විදිහට මම කැමතියි.

3. යමක් සිදු වෙන / වුණ තැනක් සම්බන්ධව

යමක් සිදු වෙන / වුණ තැනක් සම්බන්ධව where පදය බොහෝ විට භාවිතා වෙනවා. (මෙය relative adverb එකක් ලෙස හඳුන්වනවා.)

We saw the house where he was born. එයා ඉපදුන ගේ අපි දැක්කා.

I don’t know the place where they work. මම ඒ ගොල්ලො වැඩ කරන තැන දන්නෙ නැහැ.

4. යමක් සිදු වෙන / වුණ වෙලාවක්, දිනයක් ආදිය සඳහා

යමක් සිදු වෙන / වුණ වෙලාවක්, දිනයක් ආදිය සඳහා when පදය ඇතැම් විට යෙදෙනවා. (මෙයත් relative adverb එකක් ලෙස හඳුන්වනවා.) ඒ වෙනුවට that පදය යෙදීම හෝ කිසිම පදයක් නොයෙදීමත් කෙරෙනවා.

There are times (when / that) I feel really lazy. මට හරිය‍ට කම්මැළි හිතෙන වෙ‍ලාවල් තියනවා.

I still remember the day (when / that) I met her. මට එයාව මුණ ගැහුන දවස මට තාම මතකයි.

5.  අයිතිය දැක්වෙන තැන්වල

අයිතිය දැක්වෙන තැන්වල  whose යන පදය මනුෂ්‍ය හා මනුෂ්‍ය නොවන දේ සඳහා යෙදෙනවා (who පදය නම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මනුෂ්‍යයන් සඳහා නමුත් මෙය මෙසේ වෙනවා.) මනුෂ්‍ය නොවන දේ සඳහා of which යන්නද භාවිතා වෙනවා.

The children whose mother went abroad are sad. අම්මා රට ගිය ළමයි දුකෙන් ඉන්නෙ.

The house whose roof was damaged has to be repaired soon. / The house the roof of which was damaged has to be repaired soon. [formal] වහල කැඩුන (හානි වුණ) ගෙදර වැඩි කල් නොයවා හදන්න (අළුත්වැඩියා කරන්න) වෙනවා.

6. සාමාන්‍යයෙන් that පදය යෙදෙන අවස්ථා

කලින් සඳහන් වුණ ලිපියේ මේ සම්බන්ධව මෙසේ දැක්වුණා:


Who is the man that came here? / Who are the men that came here? කවුද මෙහෙ ආව මිනිහා / මිනිස්සු?

Who is the man (that) you know? / Who are the men (that) you know? කවුද ඔයා දන්න (අඳුරන) මිනිහා / මිනිස්සු?

***ඉහත වාක්‍ය දෙකේ මුලින් who පදයක් යෙදෙන නිසා relative pronoun එක වශයෙන් whom හෝ who සාමාන්‍යයෙන් යොදන්නෙ නැහැ. ඒ ව‍ගේම යම් ගුණයක් උපරිමයෙන් දක්වන superlative adjective (best, most beautiful වැනි) එකක් හෝ යමෙක් යම් ගණයකට අයත් කර දක්වන any, every, all, only, first, last වැනි පදයක් සම්බන්ධ object එකක් ලෙස who හෝ whom යෙදෙන්නේ නැහැ.

She was the best teacher who / that taught us English. එයා තමයි අපට ඉංග්‍රීසි උගන්නපු හොඳම ගුරුතුමිය.

She is the best teacher (that) I know. එයා තමයි මම දන්න හොඳම ගුරුතුමිය.

He was the only friend who / that came to see me when I was sick. මම අසනීප උන වෙලාවෙ මාව බලන්න ආව එකම යාළුවා එයා.

He was the only friend (that) I had. එයා තමයි මට හිටපු එකම යාළුවා.


***මනුෂ්‍ය නොවන දේ සම්බන්ධයෙන් මෙවැනි අවස්ථාවල subject එකක් ලෙස සාමාන්‍යයෙන් යෙදෙන්නේත් that පදයයි.

What is the subject that was discussed earlier? මොකක්ද මීට කලින් සාකච්චා කළ මාතෘකාව? 

Anything that happened there doesn’t matter. එහෙ වෙච්ච කිසි දෙයක් වැදගත් නැහැ.

I lost all the money (that) I had. මට තිබුන සල්ලි ඔක්කොම නැති වුණා.

It was the last time (that) I saw him. ඒ තමයි මම එයාව දැක්ක අවසාන වතාව.

7. relative pronoun එකක් non-defining relative clause එකක යෙදෙන අවස්ථා

සමහර අවස්ථාවල relative clause එකක් ආධාරයෙන් අත්‍යවශ්‍ය නොවන අමතර කරුණක් ප්‍රකාශයට එකතු කරනවා. කලින් කියූ ලිපියේ මේ සම්බන්ධව තිබුනා පහත සඳහන් විස්තරය:


***තවත් එක දෙයක් තියනවා කිව යුතුම. relative pronouns උපයෝගි කරගෙන යම් කෙනෙක් ගැන අමතර, අත්‍යවශ්‍ය නොවන, විස්තරයක් එකතු කරන තැන්වල that යෙදීම හෝ කිසිම පදයක් නොයෙදීම කිසිම අවස්ථාවක කළ නො‍හැකියි. non-defining relative clauses ලෙස නම් කරන මෙවැනි වාක්‍ය ඛණ්ඩ එක් කරන්නේත් මුලට හා අගට කොමා යොදායි.

His daughter, who is ten (years old), can speak three languages. එයාගෙ දුවට භාෂා තුනක් කතා කරන්න පුලුවන්, එයාගෙ වයස අවුරුදු දහයයි.

His daughter, whom he spoke about yesterday, can speak three languages. එයාගෙ දුවට, ඒ කියන්නෙ එයා ඊයෙ කියපු දුවට, භාෂා තුනක් කතා කරන්න පුලුවන්.

My friends, many of whom work abroad, have a get-together next week.
මගෙ යාළුවන්ගේ හමුවීමක් ලබන සතියෙ තියනවා, ඒ ගොඩක් අය වැඩ කරන්නෙ පිටරට.

***මෙවැනි තැන්වල කොමා යෙදීම (හෝ කතා බහේදී ඒ වෙනුවට මදක් නැවතීම) නොකළහොත් ඇතැම් විට වැරදි අවබෝධද ඇති විය හැකි බව මතක තියා ගත යුතුයි. පහත උදාහරණය බලන්න.

Her husband, who works in Kandy, will come here with her tomorrow. එයාගෙ හස්බන්ඩ් (ස්වාමි පුරුෂයා) හෙට එයත් එක්ක මෙහෙ එනවා, හස්බන්ඩ් වැඩ කරන්නෙ මහනුවර.

Her husband who works in Kandy will come here with her tomorrow. එයාගෙ මහනුවර වැඩ කරන හස්බන්ඩ් හෙට එයත් එක්ක මෙහෙ එනවා (එයාට තව හස්බන්ඩ්ලා ඉන්නවා).
 

***non-defining relative clause එකක් මනුෂ්‍ය නොවන යමක් සම්බන්ධව යෙදෙන විට එහි භාවිතා වෙන්නේ which පදයයි.

My car, which is very old, is still in good condition. මගෙ කාරෙක තවමත් හොඳ තත්වයෙ තියනවා, ඒක හරි පරණයි.

His book, which we saw yesterday, is quite boring. එයාගෙ පොත, ඒ කියන්නෙ අපි ඊයෙ දැක්ක එක, හරි නීරසයි.

Her paintings, some of which are very famous, can be seen at the exhibition. ප්‍රදර්ශනේදි එයාගෙ චිත්‍ර බලන්න පුලුවන්, එවයින් සමහරක් හරි ප්‍රසිද්ධයි.

***where, when ආදී පද සහිතවත් non-defining relative clauses තිබෙනවා.

We visited the Eiffel Tower, where I had already been. අපි අයිෆල් කුළුණ බලන්න ගියා, මම කලිනුත් එතනට ගිහින් තිබුනා.

They are going to Europe in winter, when it’s really cold there. ඒ අය යුරෝපයට යන්නෙ සීත කාලෙ, එතකෙට එහෙ හරි සීතයි.

***non-defining relative clause එකකින් ඊට කලින් ඇති මුළු වාක්‍ය ඛණ්ඩයම අදහස් කරන තැන්වලදී එය which පදය සමග යෙදෙනවා.

She is a clever girl, which we all know. එයා දක්ෂ (ගෑණු) ළමයෙක්, ඒක අපි ඔක්කොම දන්නවා. (මෙතනදී which පදයෙන් අදහස් වෙන්නේ she is a clever girl’ යන කරුණයි.)

‘Ingirisi’ is a blog that teaches good English, which you probably know. ඉංගිරිසි හොඳ ඉංග්‍රීසි උගන්වන වෙබ් අඩවියක්, ඒ බව ඔබ සමහර විට දන්නවා ඇති.

***කලින් කියූ ලිපියේ සඳහන් උදාහරණ මෙන්, පහත ඇති ආකාරයේ රටාත් මෙසේ කෙටි ස්වරූපවලින් දැක්විය හැකියි.

Most important(ly), we need to find effective solutions to the problems affecting our country. (We need to find effective solutions to the problems that affect our country, which is most important.) වඩාත්ම වැදගත් කාරණය වෙන්නේ අපි අපේ රටට බලපාන ගැටළුවලට සාධනීය විසඳුම් සොයා ගත යුතු වීමයි.

Even more challenging, there were people speaking different languages. (There were people who spoke different languages, which was even more challenging.) ඊටත් වඩා අභියෝගාත්මක දේ වුණේ විවිධ භාෂා කතා කළ අය සිටීමයි.

***කෙසේ වෙතත්, මේ that, when, where ආදී පද relative clauses නොවන වෙනත් වාක්‍ය ඛණ්ඩවලත් යෙදෙන බව සැලකිය යුතුයි. (අවිධිමත් භාවිතයේදී, බහුලව භාවිතා වෙන එවැනි ඇතැම් තැන්වල that පදය අත් හැරීමත් කෙරෙනවා.)

I’m happy (that) you came. ඔයා ආව එක ගැන මට සන්තෝසයි.

We knew (that) he wanted to leave the country. එයාට රටින් පිට වෙන්න ඕනැකම තිබුන බව අපි දැන ගෙන හිටියා.

It’s surprising (that) he talked to me. එයා මාත් එක්ක කතා කරපු ඒක පුදුමයි.

She was of the view that we had to sell the house. එයාගේ අදහස වුණේ අපි ගේ විකිණිය යුතුයි කියන එක.

We were aware of the fact that he was dishonest. එයා අවංක නැහැ කියන කාරණය අපි දැන ගෙන හිටියා.

He told the truth when (he was) questioned. (එයාගෙන්) ප්‍රශ්න කළාම එයා ඇත්ත කිව්වා.

We had no idea where we were. අපිට අදහසක් තිබුනෙ නැහැ අපි කොහෙද හිටියෙ කියලා.


(සේයාරුවට ස්තුතිය: stevendepolo) 





4 comments:

  1. චෙස් ගහන්නෙ නෑනේ? චෙස් අදිනවා නේද? :)

    ReplyDelete
  2. @Anonymous
    ඒක නම් ඇත්ත තමයි. ඒත් ඔය දෙවිදිහම මම නම් සාමාන්‍ය සිංහල කතා බහේ අහල තියනවා. ඉංග්‍රීසියෙන් කියන්නෙ 'play chess' කියලයි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails