Saturday, July 3, 2010

Please Tell Me What to Do - මොනවද කරන්නෙ?


සිංහලෙන් අපි කොතෙකුත් කියනවනෙ කියන්න මොකක්ද කරන්න ඕනැ කියලා, දන්නවද එයා කව්ද කියලා? ආදී දේවල්. මේ වගේ මොකක්ද/කව්ද/කොහෙද/කවදද/කොහොමද/ ඇයි... කියලා ආදිය සහිත කියමන් ඉංග්‍රීසියට හැරවෙන අවස්ථාවල යෙදෙන රටා කීපයක් බලමු.

1. what

මොකක්ද/මො‍නවද කියලා යන්න ඇති මෙවැනි කියමන් සඳහා ‘what’ යොදා ගැනෙනවා. මේ අර්ථයෙදි what අඩංගු වාක්‍ය ඛණ්ඩයෙ යෙදෙන්නෙ සාමාන්‍ය ප්‍රකාශයක යෙදෙන වාක්‍ය රටාව මිස ප්‍රශ්නයක් ඇසීමේදී ගැනෙන වාක්‍ය රටාව නොවන බව සැලකිය යුතුයි.

We know what they want. අපි දන්නවා ඒ අයට ඕනැ මොකක්ද/මොනවද කියලා.

Tell me what she said. මට කියන්න එයා කිව්වෙ මොකක්ද/මොනවද කියලා.

He knows what they’ll do. එයා දන්නව ඒ අය මොනව කරාවිද කියලා.

Do you know what it is? (a) ඔයා දන්නවද ඒක මොකක්ද කියල?

(a) මෙතනදීත් what අඩංගු වාක්‍ය ඛණ්ඩයෙ යෙදෙන්නෙ ප්‍රකාශයක ‍භාවිතා වෙන රටාවමයි. මෙහි ඇති ප්‍රශ්නය නැගෙන්නෙ ‘Do you know...?’ කොටසිනුයි.

I know what she should do. මම දන්නව මොනවද එයා කරන්න ඕනැ කියලා.

She knows what to do. (b) එයා දන්නවා මොනවද කරන්න ඕනැ කියලා.

(b) මෙතනදී ‘She knows what she should do.’ කියාත් කිව හැකි වුණත්, අදාළ පුද්ගලයාම කළ/කිව/කෑ... යුතු දේ සම්බන්ධව මේ රටාවෙදි ‘what to do/say/eat...’ ආකාරය බහුලව භාවිතා වෙනවා.

Tell me what to say. මට කියන්න මොනවද කියන්න ඕනැ කියලා (මොනවද මම කියන්න ඕනැ කියලා).

***අතීත කාලය සමගත් මෙවැනි ර‍ටා සුදුසු අකාරයෙන් යෙදෙනවා. ප්‍රධාන වාක්‍ය ඛණ්ඩය අතීත කාලයෙන් තිබෙන විට ’what’ අඩංගු වාක්‍ය ඛණ්ඩයත් බොහෝ විට ඒ අනුව වෙනස් වුණත්, ‘what to do’ අකාරයේ වාක්‍ය ඛණ්ඩ නම් එලෙසම යෙදෙනවා.

My father told me what to read. මගෙ තාත්තා මට කිව්ව මොනවද කියවන්න ඕනැ කියලා.

They knew what we wanted. ඒ අය දැනගෙන හිටියා අපට ඕනැ උනේ මොකක්ද කියලා.

He knew what his friend had done. (c) එයා දැනගෙන හිටියා එයාගෙ යාළුවා කරලා තිබුන දේ (‍කරලා තිබුනෙ මොකක්ද කියලා).

(c) මෙතන ‘what’ සහිත කොටසේ යෙදෙන ක්‍රියාව ප්‍රකාශයේ ප්‍රධාන ක්‍රියාවට - එනම් ‘knew’ - කලින් සිදු වූවක් බව දැක්වීම සඳහා එය ‘had done’ ලෙස යෙදෙනවා. (මේ ක්‍රියා රටාව ගැන ‘The Prices Have Gone Up - අතීතයේ තවත් පැත්තක්’ ලිපියෙත් සඳහන් වුණා.) එසේ දැක්වීම වැදගත් නැති නම් ‘He knew what his friend did. එයා දැන ගෙන හිටියා එයාගෙ යාළුවා කරපු දේ (කළේ මොකක්ද කියලා).යනුවෙනුත් කිව හැකියි.

***අනාගත කාලයටත් මේ රටාව යෙදුනත්, එහිදී ‘what’ සහිත කොටසේ එන්නේ අනාගත කාලයට අයත් යමක් නම් සාමාන්‍යයෙන් එය යෙදෙන්නේ වර්තමාන කාලයෙන් බව සැලකිය යුතුයි. ‘what to do’ රටාව මෙහිදීත් කලින් ලෙසම භාවිතා වෙනවා.

He’ll know what to do. කරන්න ඕනැ මොනවද කියලා එයා දැන ගනීවි.

I’ll tell you what I hear. (d) මට ආරංචි වෙන දේවල් (ආරංචි වෙන්නෙ මොනවද කියලා) මම ඔයාට කියන්නම්.

They won’t tell us what they study. (d) ඒ ගොල්ලො ඉගෙන ගන්නෙ මොනවද කියලා (ඒ ගොල්ලො) අපට කියන එක්ක නැහැ.

(d) මේ තැන්වල ‘what’ සහිත කොටසෙන් දැක්වෙන්නේ වර්තමානයේ සිදු වන දෙයක් වුණත්, අනාගත කාලයේ සිදුවන දෙයක් වුණත්, එහි සාමාන්‍යයෙන් යෙදෙන්නේ වර්තමාන කාල ක්‍රියා පදයි.

She’ll find out what happened. (e) එයා දැන ගනීවි මොනවද උනේ කියලා.

She’ll find out what you’ve done. (e) එයා දැන ගනීවි ඔයා කරලා තියන දේ (කරලා තියෙන්නෙ මොකක්ද කියලා).

(e) මේ තැන්වල ‘what’ කොටසේ එන්නේ දනටමත් සිදු වී ඇති දේ නිසා ඒවා ඊට අදාළ ස්වරූපවලින්ම යෙදෙනවා.

***‘මොකෙන්ද කියලා’ වැනි අර්ථ සඳහා what පදය සුදුසු නිපාත පදයක් (preposition) සමගත් යෙදෙනවා.

I don’t know what he has written it with. / I don’t know with what he has written it. මම දන්නෙ නැහැ එයා මොකෙන්ද ඒක/මේක ලියලා තියෙන්නෙ කියලා.

2. who

‘කව්ද/කාවද කියලා’ යන්න යෙදෙන අවස්ථාවල මෙය පාවිච්චි වෙනවා. එය අනුක්ත (object) ලෙස යෙදෙන අවස්ථාවල විධිමත් (formal) භාවිතයේ ‘who’ වෙනුවට ‘whom’ ගැනෙනවා. මෙය ‘කාගෙන්ද, කව්රු එක්කද... කියලා’ වැනි අර්ථ සඳහා from, with... ආදී නිපාත පද (prepositions) සමගද බොහෝ විට යෙදෙනවා. (who පදයේ භාවිතය ගැන වැඩි විස්තර ‘You Know Who I Am? - දන්නවද මම කවුද කියලා?’ ලිපියේ කියවුණා.)

Do you know who he is? ඔයා දන්නවද එයා කව්ද කියලා?

Tell me who you saw. [අවිධිමත්] / Tell me whom you saw. [විධිමත්]  කියන්න කාවද ඔයා දැක්කෙ කියලා.

I didn’t know who she had come with. [අවිධිමත්] / I didn’t know with whom she had come. [විධිමත්] මම දැන ගෙන හිටියෙ නැහැ එයා කව්රු එක්කද ඇවිත් හිටියෙ කියලා.

3. where

‘කොහෙද/කොහෙන්ද කියලා’ අර්ථවලින් මෙය සුදුසු ලෙස භාවිතා වෙනවා. 

They had no idea where to look for it. ඒක කොහෙ හොයන්නද කියලා ඒ අයට අදහසක් තිබුනෙ නැහැ.

Let him know where our office is. අපේ කාර්යාලය (ඔෆිස් එක) තියන තැන (තියෙන්නෙ කොහෙද කියලා) එයාට දන්වන්න (දැන ගන්න සලස්වන්න).

Do you know where the letter came from? / Do you know from where the letter came? ඔයා දන්නවද ලියුම කොහෙන්ද ආවෙ කියලා?

4. when

‘කවදද/කොයි වෙලාවටද කියලා’ අර්ථයෙන් මෙය පාවිච්චියට ගැනෙනවා.

Did they know when the guests would come? අමුත්තො කොයි වෙලාවෙද/කවදද එන්නෙ ‍කියලා ඒ අය දැන ගෙන හිටියද?

Tell her when to stop. එයාට කියන්න කොයි වෙලාවටද නවත්තන්න ඕනැ කියලා.

5. how

‘කොහොමද/මොන විදියටද කියලා’ සඳහා මෙය යොදා ගැනෙනවා.

We’re trying to figure out how this software works. මේ මෘදුකාංගය වැඩ කරන්නෙ කොහොමද කියලා හොයා ගන්න අපි උත්සාහ කරන්නෙ.

I know how to do it. මම දන්නව ඒක කරන්නෙ කොහොමද කියලා (ඒක කොහොමද කළ යුත්තේ කියලා).

6. why 

'ඇයි/මොකද කියලා' වෙනුවෙන් මෙය යොදා ගන්නවා.

Did you ask why she wanted to go home early? ඔයා ඇහුවද ඇයි එයාට කලින් ගෙදර යන්න ඕනැ උනේ කියලා?

I don't understand why they won't come. මට තේරෙන්නෙ නැහැ ඇයි ඒ අය එන්නෙ නැත්තෙ කියලා. 

(සේයාරුවට ස්තුතිය: thejonoakley

0 comments:

Post a Comment

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails