Thursday, January 28, 2010

Whither English in Sri Lanka? - ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසිය කොයිබටද?

 
සේයාරුවට ස්තුතිය: Dano

මීට කලින් ලිපිවල අපි වර්තමාන හා අතීත කාලවල සිදු වෙන ක්‍රියා ගැන කතා කළා මතක ඇති. ඉතින් අද බලන්න හිටියේ අනාගත කාලය ගැන. නමුත් අද උදේ දැක්ක බ්ලොග් ලිපියක් හා එහි ඇති ප්‍රතිචාරයක් දැකීමෙන් පස්සෙ මම කල්පනා කරන්න ගත්තා අපේ ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙ අනාගතය මොන වගේ වෙයිද කියන එක ගැන.

මෙම ලිපියේ (ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය) කෙටියෙන් සඳහන් වෙනවා තම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේදී අද මධ්‍යම පාංතික දෙමව්පියන් බොහෝ විට මුහුණ පාන ගැටළුවක් පිළිබඳව. එනම් ඔවුන්ට පාසැලේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දිය යුතුද යන්න ගැන.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම නම් අත්‍යවශ්‍ය බව මම හිතන්නෙ අද අපි සියළු දෙනාම වගේ පිළි අරන් ඉවරයි. ඒත්  මුල සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම ගැන නම් තරමක් වෙනස් මත තිබෙන බව පෙනෙනවා.

ඉහත සඳහන් ලිපියේ කතුවරිය පවසන්නේ, ඉංග්‍රීසියේ වැදගත්කම තමන් පිළිගන්නා නමුත් තම මව් බසින් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව පැහැර හැරීම ගැන තමන්ට එතරම් පැහැදීමක් නැති බවයි. ඇතැම් දෙමව්පියන් මීට තරමක් වෙනස් අදහස් දරනවා. ඔවුන‍්ගේ මතය වෙන්නේ තම දරුවන්ට ආරම්භයේ පටන් ජාත්‍යන්තර භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම මගින් ඔවුන්ගේ අනාගතයට බ‍‍ලවත් පිටුබලයක් ඇතිවන බවයි.

නමුත් මේ දෙවෙනි මතය දරණ අයත් බහුලව මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ තුළ ළමයා අතරමං වේද යන්න. මේ සැකයට හේතුව වෙන්නේ, ඉහත ලිපියේත් සඳහන් වන පරිදි, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසැල් අධ්‍යාපනය ලබා දීමට අපේ රටේ පහසුකම් ඉතා අඩු වීම. පහළ වයස්වලදී කෙසේ වෙතත්, ඉහළ පංතිවලදී ඉංග්‍රීසි භාෂාවෙන් හොඳින් ඉගැන්වීමට හැකි ගුරුවරුන්ගේ උග්‍ර හිඟයක් නගරබද ප්‍රදේශවල පවා දකින්නට ලැබෙනවා.

ඉංග්‍රීසි බස කෙසේ හෝ කතා කිරීමට හැකි වීම සහ ඒ බසින් උසස් පංතිවලදී ඉගැන්වෙන සංකීර්ණ විෂයක් ශිෂ්‍යයන්ට හොඳින් අවබෝධ වන ලෙස කියා දීම අතර වීශාල වෙනසක් තියෙනවා. මේ දෙවෙනි කර්තව්‍යයට ගුරුවරයාට විෂය දැනුම මෙන්ම මනා ඉංග්‍රීසි දැනුමක්ද තිබීම වැදගත් වෙනවා.

මේ හේතුව නිසා ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් අධ්‍යාපනයට කැමති ඇතැම් මව්පියන්ද දරුවන් සිංහල මාධ්‍යයට යොමු කර, ඉංග්‍රීසි බස වෙනම ඉගැන්වීමට පියවර ගන්නවා පෙනෙනවා.

මේ කොයි හැටි වෙතත් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය ගැන නම් එතරම් විවාදයක් අද නැහැනේ. ඒත් ඉගෙන ගත යුත්තේ කුමන ප්‍රමිතියක් ඇතිවද, කුමන තත්වයක් දක්වාද, වැනි කරුණු ගැන නම් සමහරුන්ට පැහැදිලි අදහසක් නැති බවක් පෙනෙනවා.

ඉහත දැක්වූ ලිපියට ප්‍රතිචාරයක් සැපයූ කෙනෙක් පෙන්වා දෙනවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ ඇති වැදගත්කම. ඉංග්‍රීසි භාෂාව තුළින් බාහිර ලෝකයට විවෘත වීමට බලාපොරොත්තු වන අයට මෙය ප්‍රයෝජනවත් වෙනවා. ඉංග්‍රීසි මව් බස ලෙස භාවිතා කරන රටවල අයට පවා අද ජාත්‍යන්තර තලයෙදී තම තමන්ට ආවේනික යෙදුම් හා උච්චාරණ රටාවලින් මිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීමට සිදු වෙනවා.

නමුත් මෙයින් අදහස් වෙන්නෙ නැහැ අපි අපේ සමහර අය කරන්නට උත්සාහ කරන ආකාරයට බොරු උච්චාරණ ඌරුවකට (foreign accent) හුරු විය යුතු බව නම්. එහෙත් සම්මත ශබ්ද රටා සහ ව්‍යාකරණ රීති හරි හැටි ප්‍රගුණ කිරීම නම් ජාත්‍යන්තර තලයේදී වගේම මේ රටේදිත් වැදගත් වෙනවා.

කෙසේ නමුත් මේ කරුණු රඳා පවතින්නේ යම් කෙනෙක් ඉංග්‍රීසි ඉගෙනීමට බලාපොරොත්තු  වන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න මතයි. අපි අතරේ විවිධ අයගේ ඉලක්ක එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්. මේ ගැන යම් අදහසක් ලබා ගැනීමට මේ බ්ලොග් අඩවියේ දකුණු පැත්තේ ඇති තීරුවේ අළුත් අදහස් විමසුමක් ඇතුලත් කළා. එතුළින් ඉංග්‍රීසි ඉගෙනීමේදී ඔබේ ඇති අරමුණ තෝරා ඉදිරිපත් කිරීමට මොහොතක් වැය කරන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා.

සබැඳි ලිපි:
අපට මොකටද බං සුද්දගෙ ඉංග්‍රීසි? 
English period එක cut කරමුද? 
සුද්දගේ කඩ්ඩද ‍අපේ කඩ්ඩද? 

5 comments:

  1. මෙහෙම එකක් මං දකිනවා....

    අපි ඉංග්‍රීසියෙන් වැඩ කරනකොට කරන්නේ සින්හලෙන් හිතලා. ඒ කියන්නේ අපේ මොලේ ක්‍රියාකරන්නේ සින්හලෙන්. ඒ කියන්නේ මව් භාෂාවෙන්. ඒ හින්දා ළමයකුට මව් භාෂාව හරියට උගන්වන්න ඕනෑ. නැතුව දෙකම කෙල උනාම ලමයා ලොස්.

    මම කියන්නේ ඉස්සරලා ලමයට සිංහල හරියට දීලා පස්සේ ඕන බම්බුවක් දෙන්න පුලුවන් කියලා.

    /බිඟුවා...!

    ReplyDelete
  2. @බිඟුවා...!

    මෙය මතභේදයට තුඩු දී ඇති කාරණයක්‍. ළමයෙක් එක් භාෂාවක් සෑහෙන දුරකට ඉගෙන ගත් පසුව දෙවෙනි බසක් ඉගෙනීම වඩා හොඳ බව ඇතැම් මනෝ විද්‍යාඥයන් අදහස් කරතත්, බොහෝ දෙනා අද පිළිගන්නේ කුඩා කාලයේදී ඔවුන්ට වඩා පහසුවෙන් ‍දෙවෙනි බසක් උකහා ගත හැකි බවයි.

    ඒ තුළින් ඔවුන්ට භාෂා දෙකම අඩු වැඩි වශයෙන් එකිනෙකට සමාන්තරව ඉගෙනීමට හැකි බව පැවසෙනවා. ඉගැන්වීමේ යෙදෙන පුද්ගලයාගේ භාෂා හැකියාව හොඳ තත්වයක ඇත් නම් ළමයාට ඒවා පැටලීමට එතරම් ඉඩකඩක් නැති බවයි කියවෙන්නේ. නමුත් ඉගෙන ගන්නා එක් භාෂාවකට හැදෙන වැඩෙන පරිසරයෙන් පිටුබලයක් නොලැබේ නම්, එය ළමයා තුළ වර්ධනය කිරීමට වැඩි වෙහෙසක් දැරිය යුතු බව පිළිගැනෙනවා.

    මෙතනදී අපට මතු වන ප්‍රධාන ගැටළුව තමයි ඉංග්‍රීසි බස ගැන මනා දැනුමක් ඇති අයගේ හිඟය. භාෂාව හරි හැටි නොදත් කෙනෙකුගෙන් ඉගෙනීම නිසා පසුවටද බලපාන අඩුපාඩු ඇති විය හැකි බවයි විශේෂඥයන්ගේ අදහස.

    මේ ගැන වැඩි විස්තර පහත ඇති සබැඳිවලද සඳහන් වෙනවා.
    http://linguistlist.org/ask-ling/biling.html
    http://www.cal.org/resources/Digest/earlychild.html

    ReplyDelete
  3. බිඟුවාගෙ කතාවට මම එකඟ නැහැ. මොකද අපි සිංහලෙන් කතා කරනකොට ගොඩක් වෙලාවට හිතල කතා කරන්නෙ නෑනෙ. ඉබේටම වචන එනවනෙ. ඒ වගේ ඉංග්‍රීසිත් එදිනෙදා භාවිත කරන කොට නිකන්ම යම් තත්වයකට එනව හිතන්නෙ නැතුව ඉබේම වචන ගලාගෙන එන අවස්ථාවක්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මේක මගෙ අත්දැකීමෙන් කියන්නෙ.

    ReplyDelete
  4. i,m a old man, in my young age i coudnt improve my english knoledge well but now i,m trying to my knoledge pl help mr sujeewa for it i like your pattern
    thank u
    bandara

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails