Monday, January 18, 2010

This Isn’t So Difficult. – Yes or No?

සේයාරුවට ස්තුතිය: pheezy
මනුෂ්‍යයන් කියන්නේ සිතන්න, කල්පනා කරන්න හැකි පිරිසක්. නමුත් අපි හිතන පතන ආකාරය එකිනෙකාගෙන් වෙනස් වෙනවා සමහර වෙලාවට. මේකට එක් එක් පුද්ගලයාගේ උපතින් ලද ස්වභාවය (innate temperament) වගේම තමන් හැදුනු වැඩුනු පරිසරය (environment), ලැබූ අත්දැකීම් (experiences) ආදියත් සාධක වෙනවා කියනවනේ.

ඉතින් ඒ අනුව යම් යම් දේ ගැන අපි දරණ අදහස්, මති මතාන්තර (ideas, views) ආදියත් විවිධාකාර වෙනවා. (නිකමට මේ දවස්වල ඇහෙන දේශපාලන මතවාද ගැන හිතල බලන්න.) මේ නිසා අපි කතාබහ කරනකොට කොතෙකුත් වෙනවා අනිත් අය කියන දේවලට එකඟත්වය පෙන්වන්න හෝ ඒ සමග එකඟ ‍නොවන බව දක්වන්න.

මුල් ප්‍රකාශය හුඟක් බරපතල, විසංවාදී (controversial) එකක් නොවේ නම් එකඟ වීම එච්චර අමාරු වැඩක් නෙමෙයි. මොකද, එකඟ වෙන බව පෙන්වන්න ඕනැ නම් “ඔව්” කියන්න විතරයිනෙ තියෙන්නේ. එකඟ නොවෙනවා නම් ඉතින් එකඟ නැහැයි කියලා පෙන්වන්න “නැහැ” කියන්නත්, ඒකට හේතුවක් දෙන්නත් වෙයි. (සමහර අවස්ථා තියෙනවා තමයි මොකක්වත් නොකියා කට පිහාගෙන ඉන්න එක ඇඟට ගුණ.)

ඒත් ඉංග්‍රීසියෙන් මෙහෙම කරන්න ගිහාම නම් සමහර තැන්වලදී අපට පොඩි පටලැවිල්ලක් (confusion) වෙනවා. මේක ‍සිද්ද වෙන්නෙ වෙන කෙනෙක්ගේ නැත යන අර්ථයේ ප්‍රකාශයක් (negative statement) සමග අපි එකඟ වීම හෝ නොවීම පෙන්වන්න හදනකොට. නිකමට හිතමු කෙනෙක් කිව්වා කියලා මෙහෙම:

This is not important / This isn’t important. මේක වැදගත් නැහැ.

දැන් අපි මොකද කියන්නේ. අපට පුලුවන් සද්ද නැතිව අහගෙන ඉන්නත්. ඒත් එකඟත්වය දක්වන්න ඕනැ නම් ඉංග්‍රීසියෙන් කියන්නේ:

No, it’s not / it isn’t. සාමාන්‍යයෙන් සිංහලෙන් නම් “ඔව්, ඒක වැදගත් නැහැ.”

එතකොට එකඟ වෙනවා නම්:

Yes, it is. - මෙහි is තරමක් බර කර (stress) කියවෙනවා. - සාමාන්‍යයෙන් සිංහලෙන් නම් “නැහැ, ඒක වැදගත්.”

හොඳින් පෙනෙනවා ඇති වෙනස. සිංහලෙන් “ඔව්” හෝ “නැහැ” තීරණය වෙන්නෙ අපේ එකඟ වීම හෝ නොවීම මත. ඉංග්‍රීසියේ “yes” හෝ “no” රඳා පවතින්නේ අපේ උත්තරය තියෙන්නේ ඇත යන අර්ථයෙන්ද (positive), නැත යන අර්ථයෙන්ද (negative) යන්න මත.

That guy didn’t come yesterday. ඒ මිනිහා ඊයෙ ආවෙ නැහැ.  
- No, he didn’t. ඔව්, එයා ආවෙ නැහැ.
- Yes, he did. නැහැ, එයා ආවා.

She hasn’t been to France. එයා ප්‍රංශෙට ගිහිල්ලා නැහැ.   
- No, she hasn’t. ඔව්, ගිහිල්ලා නැහැ.
- Yes, she has. නැහැ, ගිහිල්ලා තියෙනවා.

They never visit us. ඒ ගොල්ලො කවදාවත් අපිව බලන්න එන්නෙ නැහැ.
- No, they don’t. ඔව්, එන්නෙ නැහැ.
- Yes, they do, once in a while. නැහැ, එනවා, කලාතුරකින්.

No politician is honest. දේශපාලනඥයො එකෙක්වත් අවංක නැහැ.
- No, none of them is / are. ඔව්, එකෙක්වත් නැහැ.
- Yes, some are / some of them are. නැහැ, සමහරු අවංකයි.

සිංහල පුරුද්ද නිසා අපේ සමහර අයට මේක පැටලෙනවා. “This is not important.” වැනි කියමන්වලට එකඟ වීමට Yes.” / “Yes, it’s not important. ආදිය කියවෙනවා. මෙය වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. විශේෂයෙන් බටහිර ජාතික විදේශිකයින්‍ට මෙවැනි ප්‍රතිචාරයකින් වැරදි අවබෝධ, පටලැවිලි ඇති විය හැකියි.

ඇත ‍යන අර්ථයෙ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වද්දි නම් මෙහෙම අවුලක් වෙන්නෙ නැහැ.

Their answers are good. ඒ අයගෙ උත්තර හොඳයි.
- Yes. / Yes, they are. ඔව්. / ඔව්, ඒව හොඳයි.
- No, they are not. නැහැ, ඒව හොඳ නැහැ.

පැටලිලි නැතිව එකඟත්වය දැක්වීමට “That’s right / correct.” (ඒක හරි), නැත්නම් I agree.” (මම එකඟයි) වැනි දෙයක් කීමටත් හැකියි. නමුත් ඕනැවට වැඩිය මෙහෙම කියන්න යන එක නම් ස්වාභාවික නැහැ.

නැත යන අර්ථයේ ප්‍රකාශනයකට තවත් සමාන දෙයක් දැක්වීමේදී පහත ඇති රටා යොදා ගැනෙනවා.

I’m not interested in it. – Nether am I./I’m not interested in it either. මට ඒ ගැන උනන්දුවක් නැහැ. – මටත් නැහැ./මටත් ඒ ගැන උනන්දුවක් නැහැ.

She doesn’t like our new boss. – Neither do the others./The others don’t like him either. එයා අපේ අලුත් ලොක්කට කැමති නැහැ. – අනිත් අයත් කැමති නැහැ./අනිත් අයත් එයාට කැමති නැහැ.

ඇත යන අර්ථයේ ප්‍රකාශනයකට තවත් සමාන දෙයක් දැක්වීමේදී යොදා ගැනෙන්නේ පහත රටායි.

I’m interested in it. – So am I./I’m interested in it too. මට ඒ ගැන උනන්දුවක් තියනවා. – මටත්./මටත් ඒ ගැන උනන්දුවක් තියනවා.

She likes our new boss. – So do the others./The others like him too. එයා අපේ අලුත් ලොක්කට කැමතියි. – අනිත් අයත් කැමතියි./අනිත් අයත් එයාට කැමතියි.

මෙවැනි ප්‍රකාශවලට අසමාන දෙයක් දැක්වීමේදී පහත ආකාරවලින් එය කළ හැකියි.

I’m not interested in it. – But I am. මට ඒ ගැන උනන්දුවක් නැහැ. – ඒත් මම උනන්දුයි.

She doesn’t like our new boss. – But the others do. එයා අපේ අලුත් ලොක්කට කැමති නැහැ. – ඒත් අනිත් අය කැමතියි.

I’m interested in it. – But I’m not. මට ඒ ගැන උනන්දුවක් තියනවා. – ඒත් මට නැහැ.

She likes our new boss. – But the others don’t. එයා අපේ අලුත් ලොක්කට කැමතියි. – ඒත් අනිත් අය කැමති නැහැ.

(“Do You Speak English? ප්‍රශ්න ගැන” ලිපියත් බලන්න.)

තවත් බටහිර ර‍ටවල අයට නුහුරු දෙයක් තමයි අපි ප්‍රතිචාර දැක්වීමෙදි කරන ඔළුව දෙපැත්තට කරකැවීම (head wobble, head bobble). මේක අපි සාමාන්‍යයෙන් කරන්නේ සුහදව එකඟත්වය දැක්වීමටනේ. නමුත් බොහෝ බටහිර වැසියන්ට මෙය නුපුරුදුයි.

ඔවුන්ගේ පුරුද්ද “yes” කීමේදී ඔළුව ඉහළට පහළට සෙලවීමත් (nodding the head), “no” කීමේදී ඔළුව පැත්තෙන් පැත්තට සෙලවීමත්(shaking the head). ඉංග්‍රීසි කතාවේදී මෙයට හුරු වීම යෝග්‍යයි. මෙම ආකාරයට පුරුදු වූ විට ඉංග්‍රීසි කතාවත් සමග එය ඉ‍බේටම සිදු වෙන්න ගන්නවා.  

මම මේ ඔළුව හෙලවීමෙ වෙනස්කම් ගැන මුලින්ම දැන ගත්ත හැටිත් නිකමට කියන්නම්. අවුරුදු ගණනකට කලින් ශිෂ්‍යයෙක් හැටිහට පළමු වතාවට විදේශගත වීමට අවස්ථාවක් ලැබුන කාලෙ මේ දේවල් ගැන මට වැඩි අවබෝධයක් තිබුනෙ නැහැ.

අපි ගියේ ඕලන්ද KLM ගුවන් සේවයේ යානයකින්. ගුවන් ගතවී ටික වෙලාවකින් ගුවන් සේවිකාවන් මගීන්ට බීම වර්ග ලබා දෙන්න ගත්තා. මා අසළට ආ යුරෝපීය ගුවන් සේවිකාව මගෙන් “Would you like something to drink?” කියලා ඇහුවම, මම ඉතින් අපේ විදිහට ඔව් කියන්න ඔළුව කැරකුවා.

ඇය තරමක් අන්ද මන්ද වූ බවක් පෙනුනා. “Is that a yes or no? කියලා ටිකක් හෙමින් ඇහුවා. මමත් ටිකක් අන්ද මන්ද වෙලා නැවතත් ඔළුව කරකවන ගමන් හොඳ වෙලාවට “Yes, please. කියලත් කිව් නිසා බීමට යමක් නම් ලැබුනා.

මේ සංවාදය අහගෙන හිටිය මට යාබද ආසනේ හිටපු ඉංග්‍රීසි ජාතිකයා ශ්‍රී ලාංකික කාන්තාවක් සමග විවාහ වුණ කෙනෙක්. ගුවන් සේවිකාව ගියාට පස්සෙ ඒ මහත්මයා තමයි ම‍ට කාරුණිකව කියල දුන්නේ අපට, එතකොට ඉන්දියානුවන්ට, එහෙම හොඳට හුරු මේ ඔළුව කරකැවිල්ලේ තේරුම බටහිර වැසියන්ට නොතේරෙන බව. සංස්කෘතික වෙනස්කම් පිළිබඳ ඔහුගෙන් හා ඔහුට යාබදව වාඩිවී සිටි ඔහුගේ ලාංකික බිරිඳගෙන් එම ගමනේදී දැනගත් තවත් බොහෝ කරුණු මට පසුව ඉතා ප්‍රයෝජනවත් වුණා. 

සබැඳි ලිපි:
අපේ කඩිඩේ වගතුග - You Know, No? 
'ඉස්' ගෑවොත් නම් ලෙඩක් - අපේ කඩ්ඩේ වගතුග 
You Wont Lawcal English? - අපේ කඩ්ඩේ වගතුග 

8 comments:

  1. හොද ලිපියක්.
    Get හා Got යෙදෙන විදිය ගැන ලිපියක් ලියනවද. කලින් ලියල තියනව නම් Link එක දාන්න

    ReplyDelete
  2. අද කියල තියෙන දේ ගැනනම් මට පුදුමත් හිතුනා. මම හිතන් හිටියෙ අනිත් පැත්තට... ස්තුතියි මේක දැම්මට!

    ReplyDelete
  3. @Anonymous
    හොඳ මතක් කිරීමක්. මොකද, get කියන්නෙ ඉංග්‍රීසි භාෂාවෙ ඉතාම ව්ව්ධාකාර විදිහට පාවිච්චි වෙන වචනයක්. මේ ගැන එක ලිපියකින් කියනවද, නැතුව ලිපි කීපයකට බෙදනව නමි කොයි ආකාරයටද, කියලා ටිකක් හිතල බලලා ලියන්නම්.

    ReplyDelete
  4. @indik
    ඒ මම හිතන්නෙ අපේ මව් භාෂාවෙ ප්‍රබල බලපෑම. මේ වගේ වෙනස්කම් ගැන දැනුවත් වෙන්න මට නම් පාර පෙන්නුවෙ අපේ තාත්තා. එයා ඒ දවස්වල ඉතාම දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්. (ඒ කියන්නෙ ටියුෂන් සක්විත්තෙක් නම් නෙමෙයි.) භාෂා දෙක සංසන්දනය කරමින් තමන්ගෙම ක්‍රමයකට තමයි ඉගැන්වීම කෙරුවෙ.

    ReplyDelete
  5. This is not important, is it? කිව්වොත් කොහොමද කියන්නෙ කියල පොඩ්ඩ්ක් පැහැදිලි කරනවද?

    ReplyDelete
  6. @mier

    This is not important, is it? මේක වැදගත් නැහැ නේද?

    - No, it is not. ඔව්, ඒක වැදගත් නැහැ.

    - Yes, it is. ඇයි නැත්තෙ, ඒක වැදගත්.

    මෙතනදිත් උත්තරයෙ යෙදෙන්නෙ yes ද,no ද කියන එක රඳා පවතින්නෙ උත්තරය තියෙන්නෙ ඇත යන අර්ථයෙන්ද, නැත යන අර්ථයෙන්ද යන්න මතමයි.

    ReplyDelete
  7. Thanks a bundle Sir !

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails