Sunday, January 24, 2010

Some Uses of 'Some' – එහි භාවිතයේ වෙනස්කම් ගැන



සේයාරුවට ස්තුතිය: urban_data 


ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වෙන තවත් වචනයක් තමයි some”. මේකෙ තේරුම සාමාන්‍යයෙන් අපේ රටේ උගන්වන්නෙ සමහර කියලා. මෙයින් ඇතැම් විට නිවැරදි අර්ථය නිරූපනය වුණත් someයෙදෙන හැම තැනම එහි තේරුම මෙය නොවෙයි. මේ ආකාරයෙන් ඉතා සරලව ඉංග්‍රීසි වචන අර්ථ දක්වන්න යාමෙන් බොහෝ වැරදි වැටහීම් ඇති වෙනවා.‍

මේ නිසා තමයි මම මේ සටහන්වල හැකි හැම විටම උදාහරණ මගින් පැහැදිලි කරන්නේ. යම් භාෂාවක එක් වචනයක් යෙදෙන හැම තැනකදිම වෙනත් භාෂාවකත් ඒ සඳහා එක් පදයක්ම පාවිච්චි කිරීම කළ නොහැක්කක්. එසේ වෙන්නේ භාෂා විවිධාකාර නිසා. 

එක් භාෂාවක යම් විදිහකට කියවෙන අදහසක් වෙනත් භාෂාවකින් හැම විටම ඒ ආකාරයෙන්ම නොකියවෙන නිසා, සම්පූර්ණ අදහසක් අනිත් බසෙන් කියවෙන ආකාරය ඉගෙන ගැනීම වැදගත් බව මගේ අදහසයි. වචනයක් ඉගෙන ගනිද්දී හැකි හැම විටම එය යෙදෙන ආකාරය සහ එතනදී එම ප්‍රකාශයේ සමස්ත අර්ථය සලකා බැලීම වැදගත් වෙනවා. එක් පදයක පමණක් තේරුම සොයන්නට යාමෙන් වෙන්නෙ අවැඩක්.

හොඳයි, අපි දැන් බලමු someපදය යෙදෙන ආකාර කීපයක් උදාහරණත් සමග. මේවා අර්ථය අනුව කොටස් කීපයකට බෙදන්න පුලුවන්.

1. යම්කිසි (සඳහන් නොවන) ප්‍රමාණයක් / ගණනක් - ගණන් කළ හැකි හෝ නොහැකි දේ සමග

Give him some water. එයාට වතුර ටිකක් දෙන්න.

Give him some more water. එයාට තව වතුර ටිකක් දෙන්න.

There were some people in the office. කාර්යාලෙ කට්ටියක් (මිනිස්සු වගයක්) හිටියා.

Some (more) villagers talked to me today. (තවත්) ගමේ අය වගයක් අද මාත් එක්ක කතා කළා.

Tighten the screw some more. ඉස්කුරුප්පු ඇණේ තව ටිකක් තද කරන්න.

2. යම් පිරිසකගෙන් / ගොඩකින් ‍යම් කොටසක්, යම් දෙයකින් යම් කොටසක් (සියල්ල නොවෙයි) - ගණන් කළ හැකි හෝ නොහැකි දේ සමග

Some words are difficult to remember. සමහර වචන (ඔක්කොම නෙවෙයි) මතක තියා ගන්න අමාරුයි.

Some students / Some of the students didn’t like the new teacher. සමහර ශිෂ්‍යයො (ඔක්කොම නෙවෙයි) අළුත් ගුරුවරයාට / ගුරුවරියට කැමති උනේ නැහැ.

The crow ate some food / some of the food on the plate. පිඟානෙ තිබුන කෑම ටිකක් (ඔක්කොම නෙවෙයි) කාක්කා කෑවා.

The crow ate some more food / some more of the food on the plate. පිඟානෙ තිබුන කෑම තව ටිකක් (ඔක්කොම නෙවෙයි) කාක්කා කෑවා.

I can only do some work / some of the work today. වැඩවලින් කොටසක් විතරයි මට අද කරන්න පුලුවන්.

Some (more) friends / Some (more) of the friends came to see me today. (තවත්) සමහර යාළුවෝ අද මාව බලන්න ආවා.

Some (more) of those people talked to me today. ඒ අයගෙන් (තවත්) සමහරක් අද මාත් එක්ක කතා කළා.

Some of my friends will help you. මගේ සමහර යාළුවෝ ඔයාට උදව් කරයි.

We need only some of them, not all. අපට ඕනැ එයින් කීපයක් / කීප දෙනෙක් විතරයි, ඔක්කොම නෙමේ.

He has plenty of money; he might lend us some. එයාට සල්ලි ඕනැ තරම් ති‍යනවා. අපට ටිකක් ණයට දෙන්න ඉඩ ති‍යනවා.

Lots of kids come to this class; some come with their parents. මේ පංතියට ළමයි ගොඩක් එනවා; සමහරු එන්නෙ දෙමව්පියො එක්ක.

3. සැලකිය යුතු ප්‍රමාණයක් / ගණනක් - ගණන් කළ හැකි හෝ නොහැකි දේ සමග

That family has lived here for some time now. ඒ පවුල සෑහෙන කාලෙක ඉඳලා මෙහෙ ඉන්නේ.

Winning the first prize in the lottery has got them some money. ලොතරැයියෙ පළවෙනි දිනුම ඇදිලා ඒ ගොල්ලන්ට සල්ලි සෑහෙන්න හම්බ වෙලා.

Murali really has some fans among cricket-lovers. මුරලිට ක්‍රිකට්ලෝලීන් අතරෙ  රසිකයො සෑහෙන ගොඩක් ඉන්නවා.

4. යම්කිසි, සඳහන් නොකළ, (දෙයක් / තැනක් / කෙනෙක්...) - ගණන් කළ හැකි දේ සමග ඒක වචනයෙන්

Some man came to see you in the morning. කවුද මිනිහෙක් උදේ ආවා ඔයාව හම්බ වෙන්න.

There must be some mistake here. මෙතන මොකක් හරි වැරැද්දක් තියෙන්න ඕනැ.

They know something about this. ඒ අය මේ ගැන යමක් (යම් දෙයක්) දන්නවා.

I know someone / somebody there. මම එහේ කෙනෙක් (යම් කෙනෙක්) අඳුනනවා.

They are going somewhere tomorrow. ඒ ගොල්ලො හෙට කොහෙ හරි යනවා.

We should get together sometime* / some time [බ්‍රි]. අපි වෙලාවක එකතු වෙන්න (සෙට් වෙන්න) ඕනැ.

He will call you some other time. එයා වෙන වලාවක ඔයාට කතා (කෝල්) කරයි.

I want to go there someday / some day [බ්‍රි]. මට දවසක එහේ යන්න ඕනැ.

*“sometimes” භාවිතය ගැන Sometimes or Perhaps - අවිනිශ්චිතද? ලිපිය බලන්න. 


***somethingයොදා ගන්නා පහත ආකාරයේ රටාත් තිබෙනවා.


It is something of a mystery. ඒක එක්තරා විදිහක අභිරහසක්.

He is something of an expert in that field. එයා ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වගේ කෙනෙක්. 


5. යමක් හෝ යමෙක් ඉතා හොඳ හෝ ඉතා නරක බව දැක්වීමට

Last year, we had some party! ගිය අවුරුද්දෙ අපි දැම්මා සිරා පාටියක්.

He is some mechanic! He couldn't do that simple repair job. එයා මාර මිකැනික් කෙනෙක් (මෝටර් රථ කාර්මිකයෙක්). ඒ පොඩි වැඩේ හදා ගන්න බැරි උනා.

She thinks she is somebody. එයා හිතන් ඉන්නවා එයා ලොකු කෙනෙක් කියලා.

Their willingness to help was something. ඒ අයගේ උදව් කරන්න තිබුන කැමැත්ත ලොකු දෙයක්.

6. ආසන්න වශයෙන් - සංඛ්‍යාවක් ඉදිරියෙන්

Some forty people have died in the bomb blast. බෝම්බ පිපිරීමෙන් මිනිස්සු හතලිහක් විතර මැරිලා තියනවා.

***ඉහත (1), (2) හා (4) අවස්ථාවලදී someසාමාන්‍යයෙන් යෙදෙන්නේ ඇත යන අර්ථයේදී. නැත යන අර්ථයේ සහ ප්‍රශ්නවලදී බොහෝ විට ඒ වෙනුවට anyයෙදෙනවා.

Don't give him any water. එයාට වතුර මොකුත් දෙන්න එපා.

Don't give him any more water. එයාට ආයෙ වතුර මොකුත් දෙන්න එපා.

Were there any people in the office? කාර්යාලෙ කවුරුවත් කට්ටිය හිටියද?

Did any (more) villagers talk to you today? ගමේ අය (තව) කවුරුවත් අද ඔයා එක්ක කතා කළාද?

Don’t tighten the screw any more / anymore []. ඉස්කුරුප්පු ඇණේ මීට වඩා තද කරන්න එපා.

Did the crow eat any food / any of the food on the plate? කාක්කා පිඟානෙ කෑම මොකුත් කෑවද?

Did the crow eat any more food / any more of the food on the plate? කාක්කා පිඟානෙ කෑම තව මොකුත් කෑවද?

Did any (more) friends come to see you today? (තව) යාළුවෝ කවුරුවත් අද ඔයාව බලන්න ආවද?

Did any (more) of those people talk to you today? ඒ අයගෙන් (තව) කවුරුවත් අද ඔයා එක්ක කතා කළාද?

We don't need any of them. අපට ඒ කවුරුවත් / ඒ එකක්වත් ඕනැ නැහැ.

Did any man come to see you in the morning? කවුරු හරි මිනිහෙක් උදේ ආවද ඔයාව හම්බ වෙන්න?

There can’t be any mistake here. මෙතන කිසි වැරැද්දක් තියෙන්න ඉඩක් නැහැ.

They don’t know anything about this. / They know nothing about this. ඒ අය මේ ගැන මොකුත් දන්නේ නැහැ.

I don’t know anyone / anybody there. / I know no one / nobody there. මම එහේ කවුරුවත් අඳුනන්නේ නැහැ.

They aren’t going anywhere tomorrow. / They are going nowhere tomorrow. ඒ ගොල්ලො හෙට කොහෙවත් යන්නේ නැහැ.

***නමුත් අනිත් පුද්ගලයා එකඟ වේ යයි සිතා අප අසන ප්‍රශ්නවලදී නම් someපාව්ච්චි කරනවා. (ඇතැම් තැන්වල මෙය එක්තරා ආකාරයක ඉල්ලීමක් හෝ යෝජනාවක් ලෙසත් සලකන්න පුලුවන්.)


Can you write some letters today? අද ලියුම් කීපයක් ලියන්න පුලුවන්ද? (පුලුවන් යයි පිළිගනී කියා බලාපොරොත්තුවෙන් කරන ඉල්ලීමක්)

මෙවැනි තැනකදී Can you write any letters today? (අද ලියුම් මොනව හරි ලියන්න පුලුවන්ද?) ඇසුවහොත්, එහිදී ලියන්නට හැකිද, නොහැකිද යන්න අපි අනිත් පුද්ගලයාගෙන් විමසනවා පමණක් වෙනවා.



Would you like to have some more (rice)? ඔයාට තව (බත්) ටිකක් ඕනැද? (තව ටිකකට කැමති වේ යයි සිතා කරන යෝජනාවක්)



Do they need any more (rice)? ඒ අයට තව (බත්) ටිකක් ඕනැද? (අවශ්‍යද, නැද්ද යන්න දැනගැනීමට)



Shall I give him some (more) water? මම එයාට (තව) වතුර ටිකක් දෙන්නද? (එසේ දීම සුදුසු වේ යයි සිතා)


Aren’t some words difficult to remember? සමහර වචන මතක තියාගන්න අමාරුයි නේද?

***නැත යන අර්ථයේදී හෝ ප්‍රශ්නවලදී ඉහත ආකාරවලින් "any" යෙදෙන්නේ යමක් තිබීමට ඉඩ ඇතැයි සිතෙන තැනක/අවස්ථාවක එය (යම් ප්‍රමාණයකින් හෝ ගණනකින්) තිබීම හෝ නොතිබීම (සහ එවැනි වෙනත් කරුණු) පිළිබඳවයි. හුදෙක් යම් තැනක යමක් තිබීම හෝ නොතිබීම (සහ එවැනි වෙනත් කරුණු) ගැන "any" පදය යෙදෙන්නේ නැහැ. පහත ඇති උදාහරණ සසඳන්න.

You won't find any novels in that library. ඔයාට ඒ පුස්තකාලයේ නවකතා පොත් (මොකුත්) හම්බ වෙන්නෙ නැහැ. (නමුත් සාමාන්‍යයෙන් නම් පුස්තකාලවල නවකතා පොතුත් තියනවා.)
You won't find novels in the library of a technical college. ඔයාට කාර්මික විද්‍යාලයක පුස්තකාලයේ නවකතා පොත් හම්බ වෙන්නෙ නැහැ. (එවැනි පුස්තකාලවල නවකතා පොත් නැහැ.)

Is there any water in that bottle? ඒ බෝතලේ වතුර (මොකුත්) තියනවද?
Is there water on the moon? හඳේ වතුර තියනවද? 

(Do You Speak English? ප්‍රශ්නගැනලිපියත් බලන්න.) 

***‍ඉහතදී "any" පද‍ය පාවිච්චි කළ නිසා එහි තවත් බහුල යෙදුමක් දෙසත් බලන්න වෙනවා.

යම්කිසි ආකාරයක දේ / පුද්ගලයන් අතරින් ඕනැම එකක් / කෙනෙක් හෝ කීපයක් / කීප දෙනෙක්

Any teacher can handle that lesson. ඕනැම ගුරුවරයෙකුට ඒ පාඩම කළ හැකියි.

Choose any colour [බ්‍රි]/ color [ඇ] you like. ඔයා කැමති පාටක් තෝර ගන්න.

Any of our children will help you. අපේ ළමයින්ගෙන් ඕනැ කෙනෙක් ඔයාට උදව් කරාවි.

You can take any book(s) you need. ඔයාට අවශ්‍ය ඕනැම පොතක් (ඕනැම පොත් ටිකක්) ඔයාට ගන්න පුලුවන්. 

You can call me anytime / any time [බ්‍රි]. ඔයාට පුළුවන් ඕනැ වෙලාවක් මට කතා කරන්න.

Go there any other day. වෙන ඕනැ දවසක් එහේ යන්න.

***නැත යන අර්ථය පදනම් වූ පහත ආකාරයේ දේ සඳහාත් “nothing”, “nobody”, “nowhere ආදිය යොදා ගන්නවා.

Ten rupees is nothing these days. රුපියල් දහයක් මේ දවස්වල කිසි වටිනාකමක් නැහැ (කිසිම වැදගත් දෙයක් නෙමේ).

He is just a nobody at home. ගෙදරදි කිසිම කෙනෙක් එයාව ගණන් ගන්නේ නැහැ (කොහෙත්ම වැදගත් කෙනෙක් නෙමේ).

They got nowhere near victory.  ඒ ගොල්ලො දිනන්න කිට්ට්ටුවටවත් (දිනුම අසලටවත්) ආවෙ නැහැ.

***තවද, පහත දැක්වෙන පද වෙන.... අර්ථයෙන් “else” පදය සමග භාවිතා වෙනවා.

someone / somebody / anyone / anybody / no one / nobody / something / anything / nothing / somewhere / anywhere / nowhere else වෙන...

Someone else will bring it to your place. වෙන කවුරු හරි ඒක ඔයාලගේ දිහාට ගෙනත් දෙයි.

***දෙතැනක යොදා ගත් other පදය හා ඊට අනුරූප another පදය ගැනත් බලමු.

මෙයින් other පදය වෙනත්/තවත්/අනෙක් යන අර්ථයෙන් භාවිතා වෙනවා. එහි වෙනත්/තවත්/නෙක් දේ/අය දක්වන others යන බහු වචන ස්වරූපයත් තියෙනවා. ඒක වචන නාම පදවලට කලින් තනිව යෙදෙන විට “another” (“an other” ලෙස නොලියා එක් පදයක් ලෙස ලියවෙනවා) වචනය ගැනෙනවා.

We have other things to do. අපට කරන්න වෙන/තව දේවල් තියනවා.

Are there any other questions? වෙන/තව ප්‍රශ්න මොකුත් තියනවද?

Another boy / Some other boy will bring it to your place. වෙන පිරිමි ළමයෙක් / වෙන කවුරු හරි පිරිමි ළමයෙක් ඒක ඔයාලගේ දිහාට ගෙනත් දෙයි.

Another man has drowned. තව මිනිහෙක් ගිලිලා මැරිලා.

The other members were not present. අනිත් සමාජිකයෝ ඇවිල්ලා හිටියෙ නැහැ.

It was on the other side of the road. ඒක තිබුනෙ පාරේ අනිත් පැත්තේ.

What will the others say? අනිත් අය මොනවා කියයිද?

බහු වචන යෙදුමක් වුණත් එක් ප්‍රමාණයක් / කණ්ඩායමක් දෙස සැලකෙන විට “another” යෙදිය හැකියි.

It will take another three years. / It will take three years more. ඒකට තව අවුරුදු තුනක් ගත වෙයි. 

මේ ලිපිය එක්කම ප්‍රමාණ සම්බන්ධ A littleAbout a Lot... - ගොඩක් දේ ගැන ටිකක්... ලිපියත් බලන්න හැකි නම් වඩාත් හොඳයි. ඒ ලිපියේ පැටලිලි සහිතයි කියලා හිතුන සමහර දේවලුත් මම පසුව වඩා පැහැදිලි ආකාරයට සකස් කරලා තියෙනවා. 

4 comments:

  1. good lesson again...

    ReplyDelete
  2. ජන්ද පෝස්ට් වැඩි වෙලාම මම බිලොග්ස් බලන ඒක නවත්තලා අදයි බැලුවේ.
    නියමයි! අනිත් ඒවාටත් මුද්‍රණ පිටපත් අරං බස් එකේදීවත් බලන්න ඕනේ!!!

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails