Saturday, July 28, 2012

Attended a Public School? - කොයි රටේද?

ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ රටවල් ගණනාවක භාවිතා වෙන භාෂාවක්. ඒ නිසා ඉංග්‍රීසියට අනිත් භාෂාවල නැති විවිධත්වයක් එක් වෙලා තියනවා. මේ ගැන අපි කාලෙකට ඉහත "ලෝකෙන් උතුම් රට ලංකාවද, එංගලන්තෙද?" ලිපියේ  කතා කෙරුවා. මේ විවිධත්වය එක අතකින් භාෂාවට අලංකාරයක් එක් කළත්, අනිත් අතින් තේරුම් ගැනීමේ අපහසුකම් ඇති කරනවා.

අද ඉංග්‍රීසියේ ප්‍රබල කේන්ද්‍රස්ථාන බවට පත් වී තිබෙන බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ ව්‍යවහාර අතර  ඇති ඇතැම් වෙනස්කම් "සුද්දාගේ කඩ්ඩේ වගතුග - Which Colour/Color Is It?" ලිපියේ සලකා බැලුනා. එක අදහසක් ප්‍රකාශ කිරීමට වෙනස් වචන, උච්චාරණ, අක්ෂර වින්‍යාස හා වාක්‍ය රටා භාවිතා වෙන ඇතැම් අවස්ථා එහි දැක්වුණා. එවැනි තැන්වලදී ඉංග්‍රීසිය මව් භාෂාව වශයෙන් භාවිතා කරන අයටත් පැටලිලි ඇති වෙනවා.

මෙවැනි විෂමතා අතරින් විශේෂයෙන්ම වැරදි වටහීම්වලට තුඩු දෙන්නේ එකම යෙදුම එකිනෙකට වෙනස් අර්ථ ඇතිව විවිධ අය භාවිතයට ගන්නා විටයි. කියවීමේදී, චිත්‍රපට නැරඹීමේදී හා වෙනත් එවැනි ක්‍රියාකාරකම්වලදී මේවා අපට ගැටළු ඇති කරනවා. ඒ නිසා ඒ  ආකාරයේ අවස්ථා කීපයත් සලකා බලමු.

(1) public school

මෙයින් ඇමරිකාවේ, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ, ස්කොට්ලන්තයේ (USA, Canada, Australia, Scotland) වැනි ඉංග්‍රීසි කතා කරන බොහෝ රටවල අදහස් කෙරෙන්නේ රජයෙන් නඩත්තු කෙරෙන, ගාස්තු අය නෙකෙරෙන පාසලක්‌. නමුත් ස්කොට්ලන්තයේ හැරුන විට එක්සත් රාජධානියේ (UK) අනිකුත් කොටස්වල "public school" යනු ගාස්තු අය කරන, පෞද්ගලික පාසල් සමූහයකට අයත් පාසලක්‌.

රජයේ පාසලකට "state school", "government school" වැනි යෙදුම් සියල්ලන් විසින්ම යොදා ගන්නවා. 

(2) professor*

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක "professor"යනු ඉහලම පෙළේ ආචාර්යවරයෙකු හඳුන්වන තනතුරක් (= full professor [AmE]). ඇමරිකානු විශ්ව විද්‍යාලයක ඕනෑම ආචාර්යවරයෙකු "professor" ලෙස හැඳින්වෙන අතර, "full professor" තනතුරට පහළින් "associate professor" ද , ඊටත් පහළින් "assistant professor" ද යන තනතුරු තිබෙනවා (බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල "professor" තනතුරට පහළින් ඇත්තේ  "reader", "senior lecturer", "lecturer" වැනි තනතුරුයි.). 

*මෙම "professor /prəˈfɛsə(r)/" වචනය ලංකාවේ ඇතැම් අය එහි පළමු මාත්‍රාව බර කර උච්චාරණය කරනවා ඇහෙනවා. නමුත් එසේ විය යුත්තේ දෙවෙනි මාත්‍රාව නිසා, පළමු මාත්‍රාවේ "o" අකුර මුව වඩා විවර කර කියන්නක් නොවෙන බව සැලකිය යුතුයි. ඉහත පදය එහි උච්චාරණයට සවන් දිය හැකි වෙබ් පිටුවකටත් සබඳා තියනවා. (මෙවැනි පදවල උච්චාරණය ගැන "You Wont Lawcal English? - අපේ කඩ්ඩේ වගතුග" ලිපියේ විස්තර කෙරුණා. මේ දිනවල නිතර භාවිතා වෙන "Olympic /əˈlɪmpɪk/" පදයත් මෙලෙස වරද්දනවා ඇහෙනවා.)

(3) table

මෙය ක්‍රියා පදයක් ලෙස භාවිතා වෙන විට, බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේදී රැස්වීමක් වැන්නක "සාකච්ඡාවට ගැනීමට ඉදිරිපත් කරනවා / න්‍යාය පත්‍ර ගත කරනවා" අර්ථය දෙනවා; නමුත් ඇමරිකානු ව්‍යවහාරයේ එයින් අදහස් වෙන්නේ "පසුව සලකා බැලීමට කල් තබනවා" යන්නයි.

They tabled that proposal for discussion at the next meeting. [BrE]
ඒ අය ඒ යෝජනාව ඊළඟ රැස්වීමේදී සාකච්ඡා කරන්න ඉදිරිපත් කළා.

At the meeting, they tabled that proposal until a later date. [AmE]
රැස්වීමේදී ඒ අය ඒ යෝජනාව පස්සේ දවසක සලකා බලන්න කල් දැම්මා.

(4) biscuit

අපි  දන්නා ආකාරයේ බිස්කට්වලට එසේ කියන්නේ බ්‍රිතාන්‍ය භාවිතයේදීයි (ඇමරිකානුවන් ඒ වෙනුවට - බිස්කට් වර්ගය අනුව - "cookie", "cracker" යන වචන පාවිච්චි කරනවා). ඇමරිකානු ඉංග්‍රීසියේ "biscuit" යන්නෙන් අදහස් වෙන්නේ පේස්ට්‍රියකට ආසන්න කෑමක්.

(5) chips 

බ්‍රිතාන්‍යයන්  "(potato) chips" කියන්නේ ජාත්‍යන්තරව "(French) fries" වශයෙනුත් හැඳින්වෙන අල තීරුවලට. ඇමරිකානුවන් "(potato) chips" කියන්නේ බ්‍රිතාන්‍යයන් "(potato) crisps" යයි කියන සිහින් අල පෙතිවලට.

(6) wash up 

බ්‍රිතාන්‍යයන්  මෙයින් අදහස් කරන්නේ පිඟන් ආදිය සේදීමයි. ඇමරිකානුවන් එසේ කියන්නේ තමන්ගේ මුහුණ, අතපය සෝදා ගැනීමටයි.

You have to wash up after dinner. [BrE]
(රෑ) කෑමෙන් පස්සේ ඔයා පිඟන් ටික හෝදන්න ඕන.

You have to wash up before dinner. [AmE]
(රෑ) කෑමට කලින් ඔයා අතපය හෝද ගන්න ඕන.

(7) garden

බ්‍රිතාන්‍ය  ව්‍යවහාරයේ නිවසක් ඇති ඉඩමක මිදුල මෙසේ හැඳින්වෙනවා (ඇමරිකානුවන් මෙයට "yard" යයි කියනවා). ඇමරිකානුවන් "garden" කියන්නේ මිදුලක මල් හෝ එළවලු වැනි දෙයක් වවා ඇති කොටසටයි.

front/back garden [BrE]
front/back yard [AmE]
ගෙයි ඉස්සරහා/පිටිපස්සේ මිදුල 

vegetable garden/patch [BrE]
garden [AmE]
මිදුලේ එළවලු වවන කොටස 

(8) homely

බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියේ "homely"යන්නේ ඇත්තේ "නිවසක ස්වභාවය ඇති" හෝ "නිවසකට ගැලපෙන" වැනි අර්ථයක් ("නිවසක ස්වභාවය ඇති" හෝ "නිවසකට ගැලපෙන" අර්ථ ඇතිව ඇමරිකානුවන් "homey" යන්න යොදා ගන්නවා); මීට අමතරව බ්‍රිතාන්‍යයන් "homely" පදය "ගෙදරට ඇල්ම ඇති" යන අර්ථයෙන් පුද්ගලයන් සම්බන්ධවද යොදනවා. නමුත් ඇමරිකානු ඉංග්‍රීසියේ "homely" යන්න බොහෝ විට යොදන්නේ "කිසි ලස්සනක් නැති" යන අර්ථයෙනුයි.   

a homely atmosphere [BrE]
a homey atmosphere [AmE]
නිවසක  ස්වභාවය ගත් පරිසරයක්

a homely woman [BrE]
ගෙදරට ලැදි ගැහැණියක්

a homely woman [AmE] 
ලස්සනක්  නැති ගැහැණියක්

(9) crèche**

බ්‍රිතාන්‍යයන්ට  "crèche" යනු දෙමව්පියන් වැඩ කරන අතරතුර කුඩා දරුවන් බලා ගන්නා ස්ථානයක් (මීට තරමක් ආසන්න ආයතනයක් ඇමරිකානුවන් "day care center" ලෙස නම් කරනවා). ඇමරිකානුවන්ට නම් "crèche" යන්න - නත්තල් සමයේ ගෙවල්වල, දේවස්ථානවල ආදියේ දකින්න ලැබෙන - ජේසු තුමන්ගේ උපත නිරුපනය කරන ආකෘතියක් (මෙයට බ්‍රිතාන්‍යයන් කියන්නේ "crib" කියායි).

**මෙම "crèche /krɛʃ/" පදය උච්චාරණය වෙන්නේ ප්‍රංශ ස්වරුපයටයි. (පදය එහි උච්චාරණයට සවන් දිය හැකි වෙබ් පිටුවකට සබඳා තියනවා.)

(10) first floor, second floor...

බ්‍රිතාන්‍ය භාවිතයේ ගොඩනැගිල්ලක "first floor" යනු බිම් මහළට (ground floor) උඩින් ඇති තට්ටුවයි. ඇමරිකානු භාවිතයේ එසේ හැඳින්වෙන්නේ බිම් මහළයි. (ඉන් ඉහළ තට්ටු "second floor", "third roof"... ආදී වශයෙන් නම් වෙන්නේත් ඒ ඒ රටාවට අනුකූලවයි.)

(11) pants

බ්‍රිතාන්‍ය  ව්‍යවහාරයේ "pants" යන්න යටට අඳින කලිසම් සඳහා භාවිතා වෙනවා (ජාත්‍යන්තරව මේ සඳහා "underpants" යන්න භාවිතා කෙරෙනවා). ඇමරිකානු ඉංග්‍රීසියේ "pants" පදය සාමාන්‍ය කලිසම් අර්ථය ගන්නවා (= trousers [BrE]). 

(12) tank top 

බ්‍රිතාන්‍ය භාවිතයේ මෙය අත් නැති ස්වෙටරයක්. ඇමරිකානු භාවිතයේ  අත් නැති ටී ෂර්ට් එකක්.

(13) suspenders

බ්‍රිතාන්‍ය භාවිතයේදී මෙම පදය stockings වර්ගයේ දිග මේස්  සඳහා ආධාරක ලෙස යොදනා ඉලාස්ටික් පටි හඳුන්වනවා (= garters [AmE]). ඇමරිකානු භාවිතයේ එය කලිසම් සඳහා ආධාරක ලෙස ගැනෙනා උරහිස උඩින් යන පටි හැඳින්වීමට ගැනෙනවා (= braces [BrE]).

(14) pavement

බ්‍රිතාන්‍ය  ව්‍යවහාරයේ පාරක පදික වේදිකාව මෙසේ හැඳින්වුනත්, ඇමරිකානුවන් පාරේ වාහන ගමන් ගන්නා කොටසට "pavement" කියනවා; ඇමරිකානුවන් පදික වේදිකාවට "sidewalk" පදය යොදනවා.

(15) gallon

අපේ  රටේ භාවිතයෙන් තරමක් ඈත් වෙමින් පවතින මෙම ද්‍රව මිනුම ජාත්‍යන්තර භාවිතයේ අගයන් දෙකක් ගන්නවා. බ්‍රිතාන්‍ය බලපෑම ඇති ස්ථානවල එය ලීටර් 4.54609 කටත්, ඇමරිකානු බලපෑම ඇති ස්ථානවල ලීටර් 3.78541 කටත් සමාන වෙනවා. අපේ රටේ කලින් භාවිතා වුණෙත් මෙයින් මුල් අගය.

(16) subway

බ්‍රිතාන්‍ය  භාවිතයේ මෙසේ හැඳින්වෙන්නේ පාරක් හරහා යාමට පොළව යටින් යොදා ඇති මගක් (එවැන්නකට "underpass" යන්න සියල්ලන්ම පාවිච්චි කරනවා). ඇමරිකානු භාවිතයේ "subway" පොළව යටින් ගමන් ගන්නා උමං දුම්රියයි (බ්‍රිතාන්‍යයේ එවැන්නක් හැඳින්වෙන්නේ "underground" යන්නේනුයි).

travel by underground [BrE] 
travel by subway [AmE]
උමං දුම්රියෙන් ගමන් කරනවා

(17) 06/07/2012

06/07/2012 හෝ 6/7/2012 ආකාරයෙන් (එසේත් නැතිනම් 06.07.2012 හෝ 6.7.2012 ආදී ආකාරවලින්) දිනය සඳහන් වන විට බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ එයින් අදහස් වෙන්නේ 2012 ජූලි 6 වෙනිදායි. නමුත් ඇමරිකානු සම්ප්‍රදායේ එසේ දැක්වෙන්නේ 2012 ජූනි 7 වෙනිදායි. මෙසේ වීමට හේතුව බ්‍රිතාන්‍යයන් එලෙස කෙටි කර දක්වන්නේ "6 July 2012 (දිනය/මාසය/අවුරුද්ද)" රටාව නමුත් ඇමරිකානුවන් කෙටියෙන් දක්වන්නේ "June 7, 2012 (මාසය/දිනය/අවුරුද්ද)" රටාව වීමයි.

(Image credit: Antony Adolf)

Friday, July 20, 2012

To Capitalize or Not - ලොකු අකුරුද, පොඩි අකුරුද?

ලංකාවේ අපි කව්රුත් පාහේ ඉංග්‍රීසි හෝඩිය දන්නවා. එහෙම නොදන්නා අය අඩුයි. ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ අකුරු 26 යි. මේවා තුනේ පන්තියේදී - හෝ ඊට කලින් - උගන්වනවා. හැබැයි ඉතින් සිංහල හෝඩිය වගේ නෙමෙයි, ඉංග්‍රීසියේ හැම අකුරකම දෙවිදිහක් තියනවා. මේවා අපි "capital letters" සහ "simple letters" හැටියට හඳුනා ගත්තා. ජාත්‍යන්තර ව්‍යවහාරයේත් මේ පළමු වර්ගයේ අකුරු "capital letters", "capitals" හෝ "upper-case letters" ලෙස හැඳින්වෙන නමුත්, දෙවෙනි වර්ගය හැඳින්වෙන්නේ "lower-case letters" යනුවෙනුයි.

මේවා පාවිච්චි කරන ආකාරයත් අපි යම් තරමකට ඉස්කෝලෙදි ඉගෙන ගන්නවා. වාක්‍යයක මුල් අකුර, නමක් ගමක් වැනි දෙයක මුල් අකුර එහෙම capital විය යුතු බව කව්රුත් දන්නවා. නමුත් මේ capital අකුරු යොදා ගන්නා - හා යොදා නොගන්නා - අවස්ථා ගැන තව ටිකක් හොයලා බලමු.

(මෙය දිග ලිපියක්. අදාළ තවත් ලිපි කීපයක්ද ඊට සබඳා තිබෙනවා. මෙවැනි දිග ලිපි කියවීමට නීරස විය හැකි බව මම නොදන්නවා නොවෙයි. නමුත් නිවැරදිව ලිවීමට උවමනා අයට මෙම කරුණු වැදගත් වෙනු ඇතැයි සිතනවා.)

(1) වාක්‍යයක මුල් අකුර හැම විටම capital වෙනවා.

We are hungry.
අපට බඩගිනියි.

(2) උපුටා ගත් සම්පුර්ණ ප්‍රකාශයක මුල් අකුර capital වුණත්, උපුටා දක්වා ඇත්තේ ප්‍රකාශයේ කොටසක් පමණක් නම් එසේ වෙන්නේ නැහැ.

He said, "Come right now."
එයා කිව්වා "දැන්මම එන්න" කියලා.

He wants us to come "right now".
එයාට ඕනැ අපිව "දැන්මම" ගෙන්න ගන්න.

(උපුටා ගත් දේ ලියා දැක්වීම ගැන වැඩි විස්තර "'Don't Quote Me,' She Said - උපුටා ගැනීමට පෙර" ලිපියේ තිබෙනවා.)

(3) යම් තැනක colon (:) ලකුණට පසුව සම්බන්ධ වෙන කොටස:
  • උපුටා ගත් කොටසක් නම් එය පටන් ගන්නේ capital අකුරකින්
  • වාක්‍ය කීපයකින් පමන්විත කොටසක් නම් එම කොටස පටන් ගන්නේ capital අකුරකින්.
  • එක් සම්පුර්ණ වාක්‍යයක් නම්, බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ සාමාන්‍යයෙන් පටන් ගන්නේ  lower-case අකුරකින් නමුත් ඇමරිකානු සම්ප්‍රදායේ capital අකුරකින් පටන් ගත හැකියි. 
  • වාක්‍ය භාණ්ඩ හෝ වචනවලින් පමණක් සමන්විත් නම් පටන් ගන්නේ lower-case අකුරකිනුයි.
Shakespeare wrote: Be not afraid of greatness
ෂේක්ස්පියර් ලියලා තියනවා මෙහෙම: විශිෂ්ටත්වයට බිය නොවන්න.

This is what we're going to do: 
First of all, we have to go and find a hammer, a screw-driver and some nails. Then we'll try to get some others to join us too. Finally, we'll have to get permission from Mother to start the job. 
මේ තමයි අපි කරන්න යන දේ: 
මුලින්ම අපි ගිහින් හොයා ගන්න ඕනැ මිටියකුයි, ඉස්කුරුප්පු නියනකුයි, ඇණ ටිකකුයි. ඊට පස්සේ අපි බලනවා තව කීප දෙනෙක් අපට එකතු කර ගන්න. අන්තිමට අම්මගෙන් අවසර ගන්න ඕනැ වැඩේ පටන් ගන්න.

This is what we need to do first: we have to go and find a hammer, a screw-driver and some nails. [BrE] 
මේ තමයි අපි මුලින්ම කරන්න ඕනැ දේ: අපි ගිහින් හොයා ගන්න ඕනැ මිටියකුයි, ඉස්කුරුප්පු නියනකුයි, ඇණ ටිකකුයි.

This is what we need to do first: We have to go and find a hammer, a screw-driver and some nails.[AmE]
මේ තමයි අපි මුලින්ම කරන්න ඕනැ දේ: අපි ගිහින් හොයාගන්න ඕනැ මිටියකුයි, ඉස්කුරුප්පු නියනකුයි, ඇන ටිකකුයි.

This is what we need to find: a hammer, a screw-driver and some nails.
මේ  තමයි අපි හොයාගන්න ඕනැ දේවල්: මිටියකුයි, ඉස්කුරුප්පු නියනකුයි, ඇණ ටිකකුයි.

(මෙම ":" ලකුණ හා වෙනත් එවැනිවා භාවිතය ගැන තොරතුරු "Put a Comma Here, Period! කොමාවට තිත තියමුද?" ලිපියේ තිබෙනවා.)  

(4) මම යන අර්ථයෙන් යෙදෙන "I" පදය සැම විටම capital වෙනවා.

She thinks it's a good idea, but I'm not so sure.
එයා හිතනවා ඒක හොඳ අදහසක් කියලා. එත් මට නම් එච්චර පැහැදීමක් නැහැ.

(5) පුද්ගල නාමවල සියළුම කොටස් capital වෙනවා (සම්ප්‍රදායිකව lower case ගන්නා කොටස් හැර).

Saman Kumara Dissanayake
සමන් කුමාර දිසානායක 

Sujeewa de Silva
සුජීව ද සිල්වා (නමේ ස්වභාවය අනුව "de" කොටස එසේ වෙනවා.)

***ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම්වලින් පැන නැගුන වෙනත් වචනවලද  බොහෝ විට ආරම්භයේ capital අකුර යෙදෙනවා.
උදා: the Victorian era, Edwardian architecture වික්ටෝරියානු යුගය, එඩ්වඩ් රජසමයේ ගෘහ නිර්මාණ ශිල්පය

(6) රටවල්, නගර හා ගම්, පළාත්, දිස්ත්‍රික්ක, මහද්වීප, සාගර, ගංගා, විල්, කාන්තාර, කඳු වැනි භූගෝලීය ස්ථානවල නම් සමග capital යෙදෙනවා.

Pakistan, Mumbai, the Sabaragamuva Province, the Gampaha District, Asia (the Asian Continent), the Indian Ocean, Lake Michigan, the Gobi Desert, Piduruthlagala
පකිස්ථානය, මුම්බායි, සබරගමුව පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, ආසියාව (ඇසිය මහාද්වීපය), ඉන්දියන් සාගරය, මිෂිගන් විල, ගෝබි කාන්තාරය, පිදුරුතලාගල 

(මෙවැනි නම්වල "the" පදය යෙදීම ගැන "The Trouble with 'The' – මොකටද මේ වචනෙ?" ලිපියත්, නොයෙදීම ගැන "Go to Hell! ඒක කොහෙද?" ලිපියත් බලන්න.)

***ඉහත ඇතැම් උදහරණවල ඇති "the" පදය මෙන්ම, "a" සහ "an" යන article පදද capital ඇතිව ලියවෙන්නේ වාක්‍යයක (හෝ මාතෘකාවක් වැන්නක) මුලදී යෙදෙන විට පමණයි.

(7) ජාතීන්, භාෂා, ආගම් ආදියේ නම් සම්බන්ධ වචන capital වලින් පටන් ගන්නවා.

Australian, Hindi, Buddhism/Buddhist 
ඕස්ට්‍රේලියානු, හින්දි, බුදු දහම/බෞද්ධ 

***ආගම් සම්බන්ධ ඇතැම් සංකල්පයන් (Dhamma, Nirvana, Moksha, God, Heaven, Hell) සඳහාත් capital පාවිච්චි වෙනවා. (නමුත් එම වචනම සාමාන්‍ය අර්ථවල ඇති විට එසේ වෙන්නේ නැහැ.)

Christians believe in God. 
ක්‍රිස්තියානි භක්තිකයන් දෙවියන් කෙරෙහි විශ්වාසය තියනවා. (එම ආගමේ දෙවියන් ගැන සුවිශේෂව)

Different religions have their own gods.
විවිධ  ආගම්වල ඒවාට අයත් දෙවිවරු ඉන්නවා.

(8) විෂයයන්ගේ නම්වල සාමාන්‍යයෙන් capital ගැනෙන්නේ නැහැ. එසේ ගැනෙන්නේ පාඨමාලාවක නමක කොටසක් ලෙස එවැන්නක් ඇති විට පමණයි. 

She studies geography and history.
එයා  භූගෝල විද්‍යාව සහ ඉතිහාසය  අධ්‍යයනය කරනවා.

She has registered for the Diploma in History and Geography. 
එයා ඉතිහාසය හා භූගෝල විද්‍යාව ඩිප්ලෝමාවට ලියාපදිංචි වුණා. (පාඨමාලාවක නමක් සම්බන්ධව)

***භාෂාවක්, ආගමක් වන්නක් විෂයක් ලෙස ඇත්නම්, ඒ සඳහා නම් capital භාවිතා වෙනවා. 
උදා: English, Hinduism ඉංග්‍රීසි, හින්දු ධර්මය 

***ඉහත වාක්‍යයේ පාඨමාලා නාමයේ "in" හා "and" පදවල capital නොමැති බව පෙනෙන්ට ඇති. මෙවැනි පද මාතෘකාවක් වැන්නක පළමු හෝ අන්තිම පදය ලෙස යෙදුනොත් හැරෙන්නට පහත ඇති රීති වලංගු වෙනවා.
  • සම මට්ටමේ වාක්‍ය ඛණ්ඩ සම්බන්ධ කිරීමට ගන්නා coordinating conjunctions නමින් හැඳින්වෙන "and", "but", "or", "nor", "so", "yet" හා "for" පදවලට capital ගැනෙන්නේ නැහැ. 
  • නාම පදවලට පෙර යෙදෙන "in", "for", "from", "among" වැනි preposition පදවලදී සමහරුන් අකුරු 5 ක් වත් ඇති ඒවාට පමණක් capital යොදනවා; ඇතැමුන් අකුරු  4 ක් වත් ඇති ඒවාට එසේ කරනවා; තවත් අය ඒවායේ capital යොදන්නේම නැහැ.

(9) දින, මාස හා නිවාඩුවල නාමයන් capital අකුරකින් පටන් ගත්තත්, සෘතුවල නාම එසේ නැහැ.

on Monday, in July, at Christmas, in winter
සඳුදා, ජූලි මාසයේ, නත්තලට, ශිත සෘතුවේ 

(10) ඉතිහාසමය යුග හා සිද්ධීන් සඳහා capital යොදා ගැනෙනවා. නමුත් සියවස් සඳහා බොහෝ විට  එසේ නැහැ.

the Renaissance, the Second Word War, the eighteenth century
(යුරෝපීය) පුනරුදය, දෙවන ලෝක සංග්‍රාමය, දහඅටවන සියවස  

(11) දිශාවල නම්වල සාමාන්‍යයෙන් capital ගැනෙන්නේ නැහැ. එසේ වන්නේ capital යෙදෙන ආකාරයේ නමක කොටසක් ලෙස එවැන්නක් ඇති විට පමණයි. 

Moratuwa is situated to the south of Ratmalana.
මොරටුව  පිහිටා තිබෙන්නේ රත්මලානට දකුණිනුයි.

The sun rises in the east.
ඉර පායන්නේ නැගෙනහිර දිසාවෙන්.

in southern Sri Lanka
ලංකාවේ දකුණු ප්‍රදේශයේ  

in the Southern Province 
දකුණු පළාතේ (අපේ රටේ එනම් පළාතේ)

in South Asia 
දකුණු  ආසියාවේ

in the North  
උතුරේ (අපේ රටේ උතුරු ප්‍රදේශය සම්බන්ධව)

(12) ග්‍රහලෝක වැනි දේවල නාම capital වලින් පටන් ගන්නවා. නමුත් අපේ ඉර, හඳ හා පෘතුවිය සඳහා නම් බොහෝ විට lower case ගැනෙනවා. කෙසේ වෙතත් මේවාත් හුදෙක් ග්‍රහ වස්තු වශයෙන් සලකන විට නම් capital පාවිච්චි වෙනවා.

Mars, Saturn, Jupiter...
අඟහරු, සෙනසුරු, බ්‍රහස්පතී...

The moon  revolves around the earth and the earth, in turn, revolves around the sun. 
චන්ද්‍රයා පෘතුවිය වටා භ්‍රමණය වන අතර පෘතුවිය සුර්යයා වටා භ්‍රමණයවේ.

the earth's crust, life on earth
පෘතුවි  කබල, මෙලොව ජීවත් වන සත්වයන්

The distance from Earth to Mars 
පෘතුවියේ සිට අඟහරුට ඇති දුර 

(13) ආයතන, සංවිධාන, පාසල්, සමාගම්, වෙළඳ නාම ආදියේ නම්වල capital යෙදෙනවා.

the Ceylon Electricity Board, the Red Cross, Holy Cross College, John Keells Holdings, Nescafé
ලංකා  විදුලිබල මණ්ඩලය, රතු කුරුස සංවිධානය, සිරි කුරුස විදුහල, ජෝන් කීල්ස් සමුහ ව්‍යාපාරය, නෙස්කැෆේ

***නිර්මාණය කර ඇති ආකාරය නිසා මෙසේ නොවන නාමද තියෙනවා.
උදා: eBay, iPad

(14) තනතුරක නාමයක් වශයෙන් යෙදෙන පදයක capital යෙදුනත්, එවැනි පදයක් සාමාන්‍ය නාම පදයක් ලෙස යෙදෙන විට එසේ වෙන්නේ නැහැ.

S. A. Perera, Principal, Samagi Vidyalaya
එස්. ඒ. පෙරේරා, විදුහල්පති, සමගි විද්‍යාලය  

Mr. Perera is the principal of their school.
පෙරේරා මහත්මයා තමයි ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා.

***නමුත් යෙදෙන පසුබිමේ සුවිශේෂී තනතුරක් හොබවන්නෙකු සම්බන්ධයෙන් සාමාන්‍ය තැන්වලත්  capital යෙදෙනවා.

The President will be there.
ජනාධිපතිතුමා එතනට ඒවි. (රටේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන්)

The Principal will address you now.
දැන් විදුහල්පතිතුමා ඔබ අමතනවා ඇති. (පාසලක්‌ තුළ එහි විදුහල්පතිතුමා ගැන)

***යමෙකුට ආමන්ත්‍රණයක් ලෙස තනතුර යොදා ගැනෙද්දීත් capital භාවිතා වෙනවා.

Thank you for coming, Doctor. 
ආවට ස්තුතියි, දොස්තර මහත්තයා. 

***නමුත්  සාමාන්‍ය ආමන්ත්‍රණ පද මෙසේ නොවෙයි.

Are you ready, sir?
ලෑස්තිද, මහත්තයා?

How are you, dear?
කොහොමද, මෙයා?

(15) නෑදෑකම් දක්වන පදවල capital යෙදෙන්නේ ඒවා පුද්ගල නාමයකට ආදේශයක් මෙන් යෙදෙන විට පමණයි.

She called out to her son, "Come here, Son." 
එයා එයාගේ පුතාට "පුතා, මෙහෙ එන්න" කියලා කතා කළා.

I met Uncle Nimal at the station.
මට  දුම්රිය නැවතුම්පොළේදී නිමල් මාමා හම්බ වුණා.

I met my uncle / one of my uncles at the station. 
මට  දුම්රිය නැවතුම්පොළේදී මගේ මාමා / මගේ මාමා කෙනෙක්  හම්බ වුණා.  
 
(16) කෙටි යෙදුම් (abbreviations) සඳහා බොහෝ විට capital අකුරු යොදා ගන්නවා.

NGO, SMS, HTML, NATO, UNICEF  

(17) අන්තර්ජාලය සම්බන්ධව
  • ඇතැම් වචන ක්‍රමයෙන් lower case වලට හැරෙමින් පවතිනවා. උදා: website, webcam, web page (හෝ Web page)
  • දැනට "the Internet" හා "the Web" බොහෝ විට මෙසේ capital සමග භාවිතයේ තිබුණත්, මේවාත් අනාගතයේ සාමාන්‍ය නාම පද ලෙස lower-case මුල් අකුරු ගැනීමට ඉඩ තියෙනවා. 

(18) පුවත්පත්, පොත්, චිත්‍රපටි  ආදියේ නම් මෙන්ම, වෙනත් මාතෘකා සඳහාත් capital පාවිචිචි වෙනවා. මාතෘකාවල එසේ යෙදීම ගැන විවිධ සම්මතයන් තිබෙනවා. ඒ ගැන විස්තර "To Hit the Headlines" ලිපියේ පළ වුණා.

The Sunday Times*

How to Stop Worrying and Start Living

Indiana Jones and the Temple of Doom

*මෙවැනි "the" පද ඇතැම් අය පුවත්පතේ නමේ කොටසක් ලෙස සලකා වාක්‍යයක මැදදීත් capital සමග ලියනා නමුත්, බොහෝ අය ඒවා එවැනි තැන්වල lower case බවට හරවනවා. 

(Image credit: karen horton)



Tuesday, July 17, 2012

To Elicit Details of Illicit Deals? - පොලීසියෙන් ඇවිත්!


Is the policeman trying to elicit information from him about some illicit activity? 

මොකක්ද මේ කියන්නේ? එක කිට්ටුවෙන් යන වචන දෙකක් ("elicit" හා "illicit") නම් පෙනෙනවා ඇති.

එකිනෙකට ආසන්න ස්වරූපයක් තිබුනත් වෙනස් අර්ථ ගන්නා වචන කීපයක භාවිතය අපි "It’s Hardly Easy to See Its Difference - ඉංග්‍රීසි ටැපලිලි", "A Simple Idea or Simplistic Idea? - සරල වැඩිද?" වැනි ලිපිවලත් බැලුවා.

(1) illicit/elicit

මේ  දෙකම උච්චාරණය වෙන්නේ එකම ආකාරයට (/ɪˈlɪsɪt/). නමුත් ලියන ආකාරය වගේම තේරුමත් වෙනස්.

We weren't able to elicit a response from him.
කොච්චර කළත් අපට එයාගෙන් ප්‍රතිචාරයක් ලබා ගන්න බැරි වුණා. ("තොරතුරු, උත්තරයක්‌, ප්‍රතිචාරයක් වැනි දෙයක් අමාරුවෙන් හෝ යාප්පුවෙන් ලබා ගන්නවා" අර්ථයයි "elicit" හි තියෙන්නේ.)

The police have started a crackdown on illicit drugs.
පොලීසිය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න මෙහෙයුමක් පටන් අරන්.

Is the policeman trying to elicit information from him about some illicit activity?
පොලීසිය නිලධාරියා උත්සාහ කරමින් ඉන්නේ නීතිවිරෝධී කටයුතුත්තක් ගැන එයාගෙන් තොරතුරු හොයා ගන්නද?

(2) illusive/elusive

මේ  දෙකත් උච්චාරණය වෙන්නේ එකම ආකාරයට (/ɪˈluːsɪv/). මෙතනදීත් ලියන ආකාරය වගේම තේරුමත් වෙනස්.

As children, we used to have an illusive idea of buying a castle.
පොඩිළමයි කාලේ අපේ හිතේ අදහසක් තිබුනා මාලිගාවක් ගන්න. ("අතාත්වික", "සිතින් මවා ගත්" අර්ථවලින් illusive මෙන්ම illusory පදයත් එකාකාරව යෙදෙනවා.)

The Government is pursuing the elusive goal of eradicating dengue.
රජය ඩෙංගු මුළුමනින් ඉවත් කිරීමේ අමාරු ඉලක්කය ලුහුබඳිමින් ඉන්නවා. ("ලබා ගැනීමට හෝ අවබෝධ කර ගැනීමට අපහසු" යන අර්ථයයි "elusive" හි තිබෙන්නේ.)

(3) contemptuous/contemptible

My boss seemed to be contemptuous of everything I did.
මගේ ලොක්කා මම කළ හැම දෙයක්ම පහත් කරලා සලකනවා වගේ පෙනුනා. ("පිළිකුලෙන් යම් කෙනෙක්/දෙයක් දෙස බලන" අර්ථය "contemptuous" පදය දක්වනවා.)

We were disgusted with his contemptible behaviour[BrE]/behavior[AmE].
අපට එයාගේ පහත් හැසිරීම ගැන ඇති වුණේ පිළිකුළක්. ("පිළිකුල උපදවන" අර්ථය "contemptible" පදයේ තිබෙනවා.)

(4) continuous/continual

We had two hours of continuous rain.
අපට පැය දෙකක් නොනවත්වා වැස්සා.

There were continual showers the whole day.
දවස පුරාම නැවත නැවතත් වැස්සා.

මෙම  "continuous" පදය "නොනවත්වා කෙරෙන" යන අදහසිනුත්, "continual" පදය "නැවත නැවත කෙරෙන" යන අදහසිනුත් බොහෝ විට භාවිතා වුණත්, මේවා ඒකාකාරයෙන් පාවිච්චි කරන අයත් ඉන්නවා - විශේෂයෙන් "continual" පදය අර්ථ දෙකෙන්ම යොදන අය.

(5) sensible/sensitive

She's a sensible person; she won't do anything stupid.
එයා මොළේ පාවිච්චි කරලා වැඩ කරන කෙනෙක්; මෝඩ වැඩක් කරන එකක් නැහැ. (sensible - "හොඳ නරක සොයා බලා, හේතු සහගතව කටයුතු කරන")

She's a sensitive person; don't tell her the sad news directly.
එයා සංවේදී කෙනෙක්; එයාට මේ දුක්බර ආරංචිය කෙලින්ම කියන්න එපා. (sensitive - "සංවේදී")

(6) comprehensive/comprehensible

We need a comprehensive plan to tackle this problem.
ගැටලුව නිරාකරණය කරන්න සම්පුර්ණ සැලැස්මක් අපට අවශ්‍යයි. (comprehensive - "සම්පුර්ණ")

The article should be easily comprehensible even to a ten-year-old.
ලිපිය අවුරුදු දහයක ළමයෙකුට වුණත් පහසුවෙන් තේරුම් ගත හැකි විය යුතුයි. (comprehensible - "තේරුම් ගත හැකි")

***මේ එක කිට්ටුවෙන් යන වචන වගේම, යෙදෙන ආකාරය අනුව එකම වචනය විවධ අර්ථ ගන්නා අවස්ථා කීපයකුත් බලමු.

(7) involved

I'm not involved in this.
මම මේකට සම්බන්ධයක් නැහැ.

Don't get involved with those people.
ඒ අයත් එක්ක සම්බන්ධකම් තියා ගන්න එපා.

He shouldn't get emotionally involved with this matter.
එයා මේ කරණය සම්බන්ධව හැඟීම්බර වෙන්න හොඳ නැහැ.

She's a very involved mother.
එයා එයාගේ ළමයි ගැන ගොඩක් උනන්දු (ළමයින්ට ගොඩක් සම්බන්ධ) කෙනෙත්.

The novel has an involved storyline.
නවකතාවේ තියෙන්නේ සංකීර්ණ කතා ධාරාවක්.

(8) concerned

The director is deeply concerned about the situation.
අධ්‍යක්ෂතුමා මේ තත්වය ගැන බොහොම කනස්සල්ලෙන් ඉන්නේ.

The whole family is concerned for your safety.
මුළු පවුලම ඔයාගේ ආරක්ෂාව ගැන කනස්සල්ලෙන් ඉන්නේ.

He wasn't concerned with what we said.
එයාට අපි කියපු දේ ගැන සැලකිල්ලක් තිබුනේ නැහැ.

I'll talk to the people concerned.
මම අදාළ අය එක්ක කතා කරන්නම්.

(9) affected

Relief measures are being taken for the families affected by the floods.
ගම්වතුරෙන් විපතට පත් වුණ අයට සහන සලසන්න පියවර ගනිමින් පවතිනවා.

He said that with an affected smile.
එයා ඒක කිව්වේ මවා ගත්ත (ව්‍යාජ) හිනාවකින්.

(10) resolve

We have resolved to pass this exam.
මේ විභාගෙ සමත් වෙන්න අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නේ.

We managed to resolve the issue amicably.*
ප්‍රශ්නය සාමකාමීව විසඳා ගන්න අපට පුළුවන් වුණා.

*මේ amicable වචනය amiable සමග පටලවා නොගත යුතුයි.

My friend's parents seemed quite amiable.
මගේ යාළුවගේ දෙමව්පියෝ බොහොම මිත්‍රශීලී අය වගේ පෙනුනා. (amiable - "මිත්‍රශීලී", "ප්‍රසන්න")

We reached an amicable settlement.
අපි සාමකාමී සමතයකට ආවා. (amicable - "සන්ඩු සරුවල්, බැන ගැනීම් ආදියෙන් තොරව කෙරෙන")

ඉතින්  මේ වගේ තැන් ඔක්කොම මෙහෙමම නම් ඉගෙන ගන්න අමාරුයි. කලිනුත් කියා ඇති මෙන්, භාවිතය සමග සමීප වීම අත්‍යවශ්‍ය වෙනවා මේවා හොඳින් ධාරණය කර ගන්න. මීට කලින් පළවූ  Learn English Free Online - පොඩ්ඩක් මහන්සි වෙන්න නම් වෙයි ලිපියේ තිබුනේ ඒ සඳහා යොදා ගත හැකි එක ක්‍රමයක්.

(Image credit: Australian Civil-Military Centre)

Sunday, July 15, 2012

'Sujeewa's Language Blogs' - තවත් ඊපොතක්?


මීට සති කීපයකට කලින් ඉංගිරිසි ඊපොතේ දෙවෙනි සංස්කරණය ඉදිරිපත් කළානේ. නමුත් මම භාෂා පිළිබඳවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න ගත් "Say It Out Loud!" බ්ලොග් අඩවියේ ලිපිත් මේකටම ඇතුළත් කළා නම් වඩා පහසු වෙයි කියලා පසුව හිතුනා.

එයින් ඉංගිරිසි ලිපි එකතුවට නම් කිසිම වෙනසක් වෙලා නැහැ - "Say It Out Loud!" ලිපි සබඳා ඇති තැන්වල එම සබැඳි අභ්‍යන්තර සබැඳි ලෙස ක්‍රියා කරනවා හැරෙන්නට. එකම පටුනක් යොදා ඇතත්, අළුතෙන් එකතු කළ ලිපි තිබෙන්නේ වෙනම කොටසක් ආකාරයට, වෙනම ලිපි අංකද සහිතවයි. හැඳින්වීම් සහ ලිපි වර්ගීකරණද ඇත්තේ වෙන් වෙන් වශයෙනුයි; කොටින්ම "2-in-1" පොතක් ආකාරයටයි

PDF ස්වරූපයට අමතරව EPUB හා MOBI ස්වරූපයන්ගෙනුත් ඊපොත ලබා ගැනීමට දැන් හැකියාව තියෙනවා.

මෙය කලින් “Sujeewa’s Language Blogs” ලෙස හැඳින්වුණත්, දැන් නම් කර ඇත්තේ ඉංගිරිසි PLUS Ingirisi PLUS ලෙසයි.

අඩුපාඩු තිබේ නම් කරුණාකර දැනුම් දෙන්න.

මෙතනින්  බාගන්න: ඉංගිරිසි PLUS Ingirisi PLUS



Related Posts with Thumbnails