Tuesday, July 10, 2012

Learn English Free Online - පොඩ්ඩක් මහන්සි වෙන්න නම් වෙයි


මීට කලින් ලිපිය (No More English Necessary - කියන තරම් වැදගත් නැහැ) නිසා සමහර අයගේ සිත් රිදීමක්‌ ඇති වුණා නම් කණගාටුයි. ඒත් ඉතින් යතාර්ථය - අඩු වශයෙන් යතාර්ථය විදිහට මට පෙනෙන දෙය - තමයි ඒ. කොහොම නමුත් ඒ ලිපියේ පසු භාගයේ කතා කළ හේතු පාදක කර ගෙන ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගන්න උවමනා අයත් ඉන්නවනේ. එවැනි අයට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි ප්‍රවීණයන්ගේ භාෂා ව්‍යවහාරය අත්දැකීම.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිසාවෙන් අද මේ සඳහා ඇති අවකාශ පෙරට වඩා වැඩි වුණත්, භාෂාව ඉගෙන ගන්නා අයට මග පෙන්වීමක් සහිතව බස් වහර හඳුනා ගැනීමට ඉඩ සලසන ක්‍රමවේදයන් එතරම්ම සුලභ නැහැ. මෙතනදී ප්‍රයෝජනයට ගත හැකි වෙබ් අඩවියක් හඳුන්වා දීමටයි මේ ලිපියේ බලාපොරොත්තුව. එහි ඇතැම් සේවා සඳහා ගෙවීමක් කළ යුතු වුණත්, කිසිම ගෙවීමකින් තොරව මූලික අංග බොහොමයක් උපයෝගී කර ගත හැකියි.

භාෂා ගණනාවක් හදාරා ඇති කැනේඩියානු ජාතික Steve Kaufmann විසින් ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවියේ නම වෙන්නේ LingQ. ඉංග්‍රීසි හැරුණ විට තවත් භාෂා කීපයක්ද අධ්‍යයනය සඳහා එහි පහසුකම් තියනවා.


(මෙම වෙබ් අඩවියේ වත්මන් ස්වරූපය වෙනස් නිසා පහත දැක්වෙන උපදෙස් එසේම අනුගමනය කිරීම දැන් කළ නොහැකි නමුත්, වැඩි අපහසුවකින් තොරව ඒ වෙනස්කම්වලට හුරු වීමට ඔබට හැකි වෙතැයි සිතනවා.)

(1) මුලින්ම, පහත රුපයේ පෙනෙනා පරිදි, නොමිළේ සැපයෙන ගිණුමක් ආරම්භ කිරීමට ඇරයුම් කෙරෙනු ඇති (A).


(2) ඒ සඳහා ලියා පදිංචි වෙන (පහතින් පෙනෙනා) පිටුවේ, සාමාන්‍ය මූලික විස්තරවලට අමතරව, "Learn" (B)  සහ "Native Language" (C) යනුවෙන් භාෂාවන් තෝරා ගත යුතු තැන් දෙකක් හමු වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නා අය පළමුවැන්නට "English" තෝරා ගත යුතු බව පැහැදිලියිනේ. දෙවන්නට "Sinhalese" තෝරා ගැනීමට හැකි නමුත් ඉදිරියට උපදෙස් ආදිය නම් ලැබෙන්නේ ඉංග්‍රීසියෙන්මයි.


(3) ඉන් පසුව එළඹෙන පිටුවේ මෙහි ක්‍රමවේදය පිළිබඳ වීඩියෝවක් නැරඹීමට (D) හෝ කෙළින්ම තමන්ගේ පළමු පාඩමට යාමට (E) අවකාශ ලැබෙනවා.


(4) ඉහත දැක්වූ ලෙස (E) මත කෙටීම පාඩම් තෝරා ගත හැකි "Library" පිටුව කරා ඔබ රැගෙන යනවා. එතනදී සුදුසු පාඩම් ඉදිරිපත් කිරීම සඳහා, තමන්ගේ භාෂා දැනුම් මට්ටම ("No Knowledge" සිට  "Advanced 1" දක්වා) තෝරා දීමට ඇරයුම් කෙරෙනවා (F). (මීට කලින් ලිපියේත් කී පරිදි, ලංකාවේ කෙනෙකුට "No Knowledge" තත්වය නම් අදාළ වෙන්න ඉඩ අඩුයි. කෙසේ වෙතත්, තමන්ට සුදුසු යයි සිතන ඕනෑම මට්ටමක් ගත හැකි අතර, ඉදිරි පාඩම් තේරීමේදී එය වෙනස් කිරීමටත් පුළුවන්. මේ උදාහරණ සඳහා මම මෙතනදී තෝරා දුන්නේ - බොහෝ දෙනෙකුට ගැලපීමට ඉඩ ඇති - "Intermediate 1" මට්ටමයි.)


(5) ඉන් පසුව ලැබෙන පාඩම් ලැයිස්තුවෙන් "Free" ලෙස ලකුණු කර ඇති ඕනෑම එකක් තෝරා තමන්ගේ (මෙතන සිට ගොඩ නැගෙන) පාඩම් තොගයට එකතු කර ගත හැකියි. (G)


(6) එවිට ලැබෙන පාඩමේ ඇති අළුත් වචන දිස්වෙන්නේ ලා නිල් පැහැති පසුබිමක් මතයි. (ආරම්භයේදී සියළුම වචන අළුත් වචන ලෙසයි සලකනු ලබන්නේ - ඔබ කුමන දැනුම් මට්ටමක් තෝරා ඇතත් එය එසේමයි.) පාඩමේ අන්තර්ගතයට සවන් දීමේ පහසුකම (H) ඉතා වැදගත් අතර, උච්චාරණයට හුරුවීමට එය මුලින්ම කිරීම සුදුසු යයි මම සිතනවා. නිල් පසුබිමක් ඇති වචනයක් මතට කර්සරය ගෙන ගිය විට එහි අර්ථය දැක්වෙන කොටුවක් දර්ශනය වෙනු ඇති (I). එහිදී එය තමන්ට සැබැවින්ම අළුත් වචනයක් ලෙස ලකුණු කළොත් (J) ඉදිරියේදීත් ඕනෑම තැනකදී එම අර්ථ දැක්වීම බලා ගත හැකි වෙනවා. (ඇතැම් අර්ථ දැක්වීම්වල අසම්පුර්ණකම් ඇතත් මෙම අංගය බොහෝ අයට පහසුවක් වේවි.)   


(7) අළුත් වචන ලෙස ලකුණු කළ ඒවා ඉන් පසුව (වෙනත් පාඩමකදීත්) දිස්වෙන්නේ පහත පෙනෙන  කහ පැහැති පසුබිමක් මතයි. එවැන්නක් මතට කර්සරය ගෙන ගිය විට කහ පැහැති අර්ථ දැක්දීම් කොටුවක් දැක ගත හැකියි (K). පාඩම මුද්‍රණ ස්වරූපයෙන් ලබා ගැනීමට මෙන්ම, නැවත සවන් දීම පිණිස ශබ්ද කොටස mp3 ස්වරුපයෙන් බාගත කර ගැනීමටද අවකාශ තියනවා (L). අවසානයේ පාඩමේ ඇති වචන සියල්ල තමන් දන්නා වචන ලෙස ලකුණු කළ හැකියි (M). පාඩම් මාලාව තුළ කෙනෙක්ගේ මට්ටම නිළ වශයෙන්  ඉහළ යන්නේ තමන් මෙලෙස ලකුණු කරන වචන සංඛ්‍යාව පදනම් කර ගෙනයි. 


(8) ඉදිරියේදී LingQ අඩවියට පිවිසෙන අවස්ථාවක දිස්වනු ඇත්තේ පහත ඇති ආකාරයේ දසුනක්. ඕනෑම අවස්ථාවක වෙබ් අඩවියේ "Lessons" (N) කොටසේ ඇති "Library" (O) තුළට පිවිස නව පාඩම් තෝරා එක් කර ගැනීමටත්, "My Lessons" (P) තුළින් මෙතෙක් එක් කර ගෙන ඇති පාඩම්වලට  නැවත එළඹීමටත් හැකි වෙනවා.


ඉතින්, උගතුන්ගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරය සමග සමීප වීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙනු ඇතැයි සිතනවා.
                                      
(Image credit: algogenius)

25 comments:

  1. ස්තූතියි සර්...

    ගිණුමක් ආරම්භ කරත් , පවත්වාගෙන යාම මා සතු දෙයක්...

    ReplyDelete
  2. තොරතුරට ස්තුතියි!

    කියවීමට ලිවීමට වඩා ඉංග්‍රීසි කථාකිරීමේ අපහසුව තමයි මට තියෙන්නෙ. එය වැඩි දියුණු කරගන්න උපදෙසක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි ඉගෙන ගන්නා මිතුරන් කීප දෙනෙක් එකතු කරගෙන, හැකි හැම විටම තම තමන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න තීරණයක් ගන්න.

      තනියම ඉන්න ඇතැම් වෙලාවලත්, හිතට එන අදහස් ඉංග්‍රීසියට පෙරළන්න බලන්න.

      Delete
    2. මටත් ලියන්න කියවන්න පුලුවන්, කතාව තමයි අමාරු.අර කියන්නෙ ෆ්ලුවට් නෑ කියල අන්න එහෙම තත්වෙක මම් ඉන්නෙ..:/

      Delete
    3. අපේ රටේ ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී කතාව පුහුණුවට වෙන් කරන කාලය ඉතා අඩු නිසා හුඟක් අයට ඔය ප්‍රශ්නේ තියනවා. මම මීට කලින් ප්‍රතිචාරයේ කිව්වා වගේ කතා පුහුණුව වැඩි වෙන යම් ක්‍රමයකට යොමු වෙන්න වෙනවා.

      අපි විශ්ව විද්‍යාලෙ නේවාසිකාගාරේ ඉන්න කාලේ අපේ කට්ටියක් අපි අතරේ ඉංග්‍රීසියෙන් කතා කරන්න යෝජනාවක් ක්‍රියාත්මක කළා. පෞද්ගලිකව මට නම් ඒ වෙනකොට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබුනා. ඒ හැකියාව එතරම් නොතිබුන හුඟක් අයට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබුනා. (අපේ අධ්‍යයන කටයුතු සම්පුර්ණයෙන් ඉංග්‍රීසියෙන් තිබීමත් ඒ අයට උපකාරී වෙන්න ඇති.)

      Delete
    4. අපිත් එහෙම කතා කරා යුනි ඉද්දි ඒත් මට ඕනි ඉන්ගිරිසි වතුර වගේ කතා කරන්න.මම් ගොඩක් උත්සහ කරනව හොදට කතා කරන්න ඉගන ගන්න.ස්තූතියි.ඔයා හිතනවද ගැමර් ඕනෙම කියල හොදට කතා කරන්න?

      Delete
    5. මටත් චතුර ලෙස කථා කරන්න බැරීක තමයි අවුල.. නියම තැනට ගැළපෙන නියම වචනය එන්නෙ නෑ.. කට්ටිය එකතුවෙලා කතා කරන්නෙත් ඒ විදිහටනෙ..

      Delete
    6. මම දකින විදිහට ව්‍යාකරණය කියන්නේ භාෂා ව්‍යවහාරය විස්තර කිරීමක් හා පැහැදිලි කිරීමක් විතරයි. භාෂාව විස්තර කරන්න ව්‍යාකරණය හැදිලා මිසක්, ව්‍යාකරණය අනුව භාෂාව සකස් වුණා නෙමේනේ. ඉතින් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න කෙනාට භාෂා රටා පහසුවෙන් තේරුම් ගන්න ඒ විස්තර හා පැහැදිලි කිරීම් උදව්වක් කර ගන්න පුළුවන්.

      එත් මෙතන තියන ප්‍රශ්නය තමයි ඇතැම් grammar පාඩම් පිළිපැදිය යුතු නීති මාලාවක් ආකාරයෙන් ලියවිලා තිබීම. ඒවා තියෙන්නේ හරියට භාෂාව සකස් වෙන්න ඕන ඒවා අනුවයි වගේ. මෙසේ නොකර, ඒ වෙනුවට උදාහරණ තුළින් භාෂාවේ ස්වරුපය පෙන්නුම් කරන පාඩම්වලින් ගොඩක් දේ පැහැදිලි කරගන්න පුළුවන්.

      Delete
    7. කතාව ඇත්ත. වඩා හොඳ වචන සහ යෙදුම් ඉබේටම වගේ හුරු වෙනවා හොඳ භාෂාව නිතර නිතර කියවීමෙන් හා ඇසීමන්. හැබැයි එහෙම හමු වෙන අලුත් යෙදුම් තමන්ට තේරුම් ගත හැකි passive vocabulary එකේ ඉඳලා තමන්ම පාවිච්චියට යොදා ගන්නා active vocabulary එකට ගන්නත් අමතක කරන්න හොඳ නැහැ.

      ටික කාලයක් ගත වෙනවා තමයි (ක්ෂණික ප්‍රතිඵල නොපෙනෙන ඔය learning stage එකට කියන්නේ plateau කියලා). නමුත් කාලයක් මෙහෙම කරනකොට තමන්ටත් නොදැනීම වාගේ හොඳ ප්‍රතිඵල ලැබීම අනිවාර්යයි.

      Delete
    8. උපදෙස්වලට බොහොම ස්තුතියි!

      Delete
  3. හරි මාත් ආව මටත් ඕනෙ ඉන්ගිරීසි වතුර වගේ කතා කරන්න!

    ReplyDelete
    Replies
    1. චතුරව කතා කරන්න පුරුදු වෙන්න අවශ්‍ය වෙන පියවර දෙකක් තියනවා. මේ දෙක එකිනෙකට සමගාමීව ක්‍රියාත්මක වෙන්න ඕනෑ.

      1. ව්‍යවහාරය පුළුල් ලෙස අත්දැකීම තුළින් විවිධ අවස්ථාවන්ට උචිත යෙදුම් හා භාෂා රටා හොඳින් උකහා ගැනීම.

      2. ඒවා තමන්ගේ සක්‍රිය භාවිතයටත් එකතු කරගෙන සුදුසු අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීමට හුරු වීම.

      පළමුවෙනි පියවර සඳහා LingQ වැනි පහසුකම් ප්‍රයෝජනවත් වෙනවා. දෙවෙනි පියවර සඳහා අවස්ථාවන් යම් ක්‍රමයකින් සලසා ගන්න වෙනවා. හැබැයි මේ ක්‍රියාවලියේ ප්‍රතිඵල පෙනෙන්න නම් ටික කාලයක් ගත වෙන්න පුළුවන්.

      Delete
  4. මම fallow කරන blog දෙක තුනෙන් එකක් තමයි මේ , ඔබතුමා නැවත ලියන එක ගැන ගොඩක් සතුටුයි.
    මටත් චතුරව කතා කරන්න තමයි ඕනි, දැනට කතා කරන්න ගියත් කොහොම හරි අදහස ප්‍රකාශ කරගන්න පුළුවන් උනත්
    ව්‍යාකරණ හරිද කියල හිතෙනවා, තවත් කතා කරන වෙලාවට නියම වචනය වාක්‍ය රටාව එන්නේ නැ.. දිගටම ලියන්න සුබපැතුම්...

    ReplyDelete
    Replies
    1. කලින් ප්‍රතිචාරවල යෝජනා කරලා තියන ක්‍රමත් හැකි නම් උපයෝගී කරගෙන ප්‍රගුණ කිරීම දිගටම කර ගෙන යන්න. තමන්ටත් නොදැනීම දවසක ඔය තත්වයට ළඟා වෙන්න පුළුවන්. (බැරි වෙන්නේ උත්සාහය අත් හැරලා දැම්මොත් විතරයි.)

      Delete
  5. මම සර්ගෙ ආටිකල් ඔක්කොම වගේ කියවලා තියෙනවා. ඉහළ ගොඩක් අය කියලා තියෙනවා වගේ කථනය මටත් අමාරුයි. ඒකට විසඳුමක් දෙන්න පුලුවන් නම් බොහොම පින්

    ReplyDelete
    Replies
    1. කලින් ප්‍රතිචාරවලත් යෝජනා කරලා තියන ආකාරයට හොඳ භාෂා ව්‍යවහාරයෙන් වචන හා භාෂා රටා උකහා ගෙන, ඒවා තමන්ගේ කථනය සඳහා (මිතුරන් එක්ක හරි) හැකි තරම් යොදා ගත්තොත් යම් දිනයක ප්‍රතිඵල පෙනේවි.

      Delete
  6. මම හිතන්නෙ දන්න වචන චිකෙන් තනියම පැත්තකට වෙලා කතා කරන එක හොඳයි. අපේ දිව පුංචි කාලෙ ඉඳන් උච්ඡාරණය කරන්නෙ සිංහල වචන නිසා සමහර ඉංග්‍රීසි වචන එලියට එද්දි ටිකක් පැටලෙන්න පුළුවන්.

    ඒක හැබැයි එලියට එන විධියටමත් අවුලක් නෑ. ඔය ඉංග්‍රීසි නොවන යුරෝපීය කට්ටිය කතාකරන්නෙ 'ට' නැතිව 'අයි වෝන්ත් තු ගෙත් තු දි එයාර් පෝත්' කියලා...

    මගේ ගුරුවරයෙක් කිව්වෙ දවස ඇතුලත සිංහලෙන් සිද්ධ වුණ දෙබසක් ගෙදර ගිහින් ඉංග්‍රීසියෙන් කරන්න උත්සාහ කරන්න කියලා. ඒ දවස්වල මමත් ඕක කලා. හිරවෙන තැන් හෙව්වා. වැඩේ උවමනාවෙන් කලානම් මම මේ බ්ලොග් එක පැත්ත පලාතෙ එන එකක් නෑ ;-)

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙන්න වෙන්න ඔය පැටලීම් අඩු වෙනවා. (මව් භාෂාවේ බලපෑම ගැන අපි කලින් ලිපි කීපයකත් කතා කළා මතක ඇති.) තමන්ගේ දෙබසක් (හෝ සිතුවිල්ලක්) නිතිපතා ඉංග්‍රීසියට හැරවීම සාර්ථකව යොදා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා මමත් විශ්වාස කරනවා. ඉතා සාර්ථක භාෂා පාඨමාලාවක් හැටියට පිළිගැනෙන "Assimil" පාඨමාලාව (පාඨමාලාව මැද හරියේ සිට) මිට කිට්ටු ක්‍රමයක් අනුගමනය කරනවා. (ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ඇති "Assimil" පාඨමාලා පළ වී තියෙන්නේ අනෙකුත් යුරෝපීය භාෂා කතා කරන්නන් සඳහා පමණක් වීම කණගාටුවක්.)

      Delete
  7. I visited the web seems to be very very good one thanks so much

    ReplyDelete
    Replies
    1. It may be the best in its category, given all the functions.

      Delete
  8. බලමු,අද තමයි මෙ බ්ලොග් එකට අවෙ,හිද විස්තර ටිකක් තියෙනවා..තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් වේවි කියා හිතනවා.

      Delete
  9. ඉංශීසි ඉෙගනගන්න තියන ෙවබිසයිටි ෙමානවාද

    ReplyDelete
    Replies
    1. LingQ හැර වෙනත් වෙබ්අඩවි කීපයක් ගැන "Want to Learn English on the Internet? - යම් තරමකට (http://ingirisi.blogspot.com/2010/08/want-to-learn-english-on-internet.html)" ලිපියේ සඳහන් වුණා.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails