Tuesday, July 3, 2012

If She Met Shahrukh Khan... - එයා එක්ක පින්තුරයක් අරන්ද/ගනීද?

ශාරුක් ඛාන් කියන්නේ අද ඉන්දියාවේ විතරක් නෙමෙයි, ලෝකේ පුරාම ප්‍රසිද්ධ නළුවෙක්. ඔහු ඉන්දියානු සිනමාවේ කොතරම් ඉහළ තැනක ඉන්නවද කියලා පෙනෙනවා ඔහු "King of Bollywood" ලෙසත් හඳුන්වනු ලැබීමෙන්ම. කොහොම නමුත් මේ මනුස්සයාව මුරුංගා ඇත්තේ තියන්න නෙමේ මම යන්නේ. මට ඕනැ වුණේ ටික කාලෙකට කලින් ඔහු සම්බන්ධව ඇහුන සංවාදයක් ගැන කතා කරන්න.

"දන්නවද, මම මුම්බායි ගිය වෙලාව ශාරුක් ඛාන්ව හම්බ වුණානේ."

"ශාරුක් ඛාන්ව හම්බ වුණා නම් ඇයි එයා එක්ක ගත්ත ෆොටෝ එකක්වත් නැත්තේ."

"ෆොටෝවලින් ඇති වැඩක් නැහැ. හම්බ වෙලා කතා කරන්න ලැබුන එකයි වැදගත්."

"ගිය අවුරුදේ මමත් ගියා මුම්බායි. මට එහෙම එහෙදි හින්දි නළුවෙක්ව හම්බ වුණා නම් අනිවාර්යෙන් අද මා ගාව ෆොටෝ තියනවා."

"ඒකටත් ලක් එක තියෙන්න ඕනැ."

"හරි, අපි බලමු. මේ පාර අපි චෙන්නායි යනවා. එහෙදි හින්දි නළුවෙක්ව හම්බ වුණොත් මම ෆොටෝ පෙන්නන්නම්කෝ."

"චෙන්නායිවලදී හින්දි නළුවෙක්ව හම්බ වුණොත් පුදුමයක්."

මේ සංවාදයේ අන්තර්ගතය වැදගත් නැති වුණත්, මේක ඉංග්‍රීසියෙන් කියන්න උත්සාහ කරන්න. මීට කලින් ලිපිය කියෙව්වා නම් අමාරු වෙන්න බැහැ. (It can't be difficult if you have read the previous post.*)

හොඳයි, මම මෙහෙම කියන්නම්. (ඒත් හැම දෙයක්ම මේ ආකාරයෙන්ම කිව යුතු නැහැ.)

"You know, when I was in Mumbai, I met Shahrukh Khan."

"If you met Shahrukh Khan, why don't you even have a photo with him? (1)"

"Photos are useless. What's important is that I was able to meet him and have a chat."

"Last year I also went to Mumbai. If I had met a Hindi actor there, I would definitely have some photos with me today. (2)"

"You need some luck for that too."

"OK, we'll see. This time we're going to Chennai. If I meet a Hindi actor there, I'll show you the photos. (3)"

"If you met a Hindi actor in Chennai, it would be a wonder. (4)"

(1) If you met Shahrukh Khan, why don't you even have a photo with him?
"ඔයාට ශාරුක්ව ඛාන් හම්බ වුණා කියන එක ඇත්ත නම්..." වැනි අර්ථයක් ඇති මේ වාක්‍යයේ "if-කොටසේ" ඇත්තේ සාමාන්‍ය අතීත කාල - එනම් past simple (අපි වෙනත් ලිපියක (E) ලෙස හඳුන්වා ඇති රටාව) - ක්‍රියා පදයක්. මෙතනට CS1, CS2, CS3 රටා අදාළ නැහැ. වාක්‍යයේ අනිත් කොටස වර්තමානය සම්බන්ධ සාමාන්‍ය ප්‍රශ්නයක්. 

*It can't be difficult if you have read the previous post carefully.
මෙතනත් "if-කොටසේ" අදහස "ඔබ (ඇත්තෙන්ම) කියෙව්වා නම්..." නිසා, එහි ක්‍රියාව present perfect ස්වරුපයෙන් (එනම් අපි වෙනත් ලිපියක (C) ලෙස හඳුන්වා ඇති රටාව) යොදා තිබෙනවා. අතීතයේ කරන ලද, එහෙත් වර්තමානයේ ප්‍රතිඵල ඇති ක්‍රියා සඳහා මෙම ක්‍රියා රටාව ගන්නා බව මතක ඇති. මෙතනටත් CS1, CS2, CS3 රටා අදාළ නැහැ. වාක්‍යයේ අනිත් කොටසේ ඇත්තේ විය (නො)හැකි බව දක්වන රටාවක්.

(2) If I had met a Hindi actor there, I would definitely have some photos with me today.
මෙතන "if-කොටසේ" ඇත්තේ අතීතයේ ඇත්තෙන්ම සිදු නොවූ, මනඃකල්පිත දෙයක් නිසා, එම කොටස යෙදෙන්නේ CS3 ආකාරයටයි. නමුත් අනිත් කොටස වර්තමානයට අදාළ මනඃකල්පිත දෙයක් නිසා CS2 ආකාරයට පවතිනවා.

(3)  If I meet a Hindi actor there, I'll show you the photos.
මෙම වාක්‍යය කියන පුද්ගලයා මෙය අනාගතයේ සිදු වීමට ඉඩ තිබෙන දෙයක් ලෙස දකින නිසා ගැනෙන්නේ CS1 රටාවයි.

(4) If you met a Hindi actor in Chennai, it would be a wonder.
මෙම වාක්‍යය කියන පුද්ගලයා මෙය අනාගතයේ සිදු වීමට ඉඩ අඩු දෙයක් ලෙස දකින නිසා යොදා ගැනෙන්නේ CS2 ආකාරයයි.

මෙවැනි වෙනස්කම් තව දුරටත් පැහැදිලි වීමට, ලිපියේ මාතෘකාව වශයෙන් ගෙන  ඇති වාක්‍යයේ විවිධ ස්වරූපත් බලමු.

If she met Shahrukh Khan, has she had her picture taken with him?**

එයාට ශාරුක් ඛාන්ව (ඇත්තෙන්ම එයා ඔය කියන විදිහට) හම්බ වුණා නම්, එයා(එනම් ශාරුක් ඛාන්) එක්ක පින්තුරයක් අරන්ද?

If she met Shahrukh Khan, would she have her picture taken with him?**
එයාට ශාරුක් ඛාන්ව (යම් විදිහකින්) හම්බ වුණොත්, එයා එක්ක පින්තුරයක් ගනීද? (හම්බ වෙන්න තියන ඉඩ නම් අඩුයි.) 

නමුත් අතීතයේ සිදු වී නැති දෙයක් ගැන මනඃකල්පිතව කතා කිරීමේදී ගැනෙන්නේ පහත ස්වරූපයයි.

If she had met Shahrukh Khan, would she have had her picture taken with him?**
එයාට ශාරුක් ඛාන්ව හම්බ වුණා නම් එහෙම, එයා එක්ක පින්තුරයක් ගනීද (ගන්න ඉඩක් තිබුනද)? 

**යම් දෙයක් වෙනත් කෙනෙක් ලවා කරවා ගන්නවා යන අදහස ඇති "have your picture taken" ආකාරයේ යෙදුම් ගැන "You May Get 10 Years for That! You Get It? – Getting to Know 'Get'" ලිපියේ (6) කොටස බලන්න.

පහුගිය සතියේ බලාපොරොත්තු නොවූ තැනක පහත සඳහන් වාක්‍යය දැක්කා. වරද්දා ගත් තැනක් සඳහා මෙය හොඳ උදාහරණයක්‌ නිසා, හමු වූ තැන නොකියා, මෙසේ සඳහන් කරනවා.

I could give it to you if you came yesterday.

මෙය සඳහන් කර තිබුනේ පොතක් ඉල්ලූ කෙනෙකුට "ඔයා ඊයේ ආවා නම් දෙන්න තිබුනා (ඒත් ඔයා ඊයේ ආවේ නැහැනේ; ඔයා ආවේ අද. අද මම ඒක කියවනවා)" අදහස ඇතුව. මෙහි කිව යුතුව තිබුනේ "I could have given it to you if you had come yesterday" යන්න බව ඔබට නම් දැන් පැහැදිලි ඇතැයි සිතනවා.

නමුත් පොත අවශ්‍ය තැනැත්තා ඊයේ ඇත්තෙන්ම ආ බව පවසනවා නම් ප්‍රකාශය වෙනත් ස්වරුපයක් ගත හැකියි.

I'm sorry if you came yesterday. I was not at home. If I had been at home, I could have given it to you.
ඔයා ඊයේ (ඔයා ඔය කියා විදිහට) ආවා නම් මට කණගාටුයි. මම ගෙදර හිටියේ නැහැ. මම ගෙදර හිටියනම් ඔයාට ඒක දෙන්න තිබුනා. 

***මේ "could have", "would have" වැනි යෙදුම්වල ව්‍යවහාරය නැවත මතක් කර ගැනීමට අවශ්‍ය නම් "You Could Have Done It - ගිය දේ ගියාවේ කියලම බැහැ" ලිපිය බලන්න.

(උපුටා ගත් වාක්‍යයෙන් නම් කියවෙන්නේ "ඔයා ඊයේ ආවා නම් (ආවා කියන එක ඇත්ත නම්), මට එක ඔයාට (දැන්) දෙන්න පුළුවන් වේවි" වැන්නක්. නමුත් මෙවැන්නක් අර්ථාන්විත නැහැ; තිබූ පසුබිමට ගැලපෙන්නෙත් නැහැ.)

ලංකාවේ  ගොඩක් අයට පැටලෙන conditional sentences ගැන අවබෝධය තවත් ටිකක් වැඩි කර ගන්න මේ ලිපිය උදව් වුණා නම් එය සතුටක්.

It's a pleasure if this post helped you become a bit more aware of the conditional sentences, which are confusing to a lot of Sri Lankans.

සබැඳි වෙනත් ලිපි: 

(Image credit: Swami Stream

8 comments:

  1. අභ්‍යාස වාක්‍ය පහක් ව‍ගේ තිබ්බ නම් ....!!!! කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. ඒත් කලින් සමහර ලිපිවල අභ්‍යාස ඇතුළත් කළ අවස්ථාවල එච්චර අය ඒවා ප්‍රයෝජනයට ගත්තේ නැහැනේ. කොහොම වුණත් මුලින්ම තියන සංවාදය දැම්මේ මීට කලින් ලිපියට අභ්‍යාසයක් හැටියට පරිවර්තනය කරන්නත් එක්කයි.

      "අභ්‍යාස වාක්‍ය පහක් ව‍ගේ තිබ්බ නම් ....!!!!"
      මේකත් "if" ආධාරයෙන් කිව හැකියි. මෙතනට ගැලපෙන්නේ නම් තවත් ටිකක් වෙනස් ස්වරුපයක්.

      If only there were at least five exercise sentences! (I wish there were at least five exercise sentences!)

      මේ ආකාරය අපි "I Wish I Knew! - මේ අතීත කාලයද? (http://ingirisi.blogspot.com/2010/02/i-wish-i-knew.html)" ලිපියේ කතා කළා.

      මම මෙහෙමත් කියන්නම්.
      If only more readers had used the exercises given in some earlier posts!

      Delete
  2. ඔබේ ඉහල කමෙන්ටුව මෙහෙම කිව්වොත්?
    If only more readers had used the exercises given in some earlier posts, I would have published some more even in this post.

    ReplyDelete
  3. Dear Sir,

    I'm Sarath from Polonnaruwa. I want improve my English join with you. But I have not 3G connection here. I can just manage. Please tell me how can I join with u....?

    ReplyDelete
    Replies
    1. I think downloading the ebook will help you because you won't need constant Internet access then.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails