Saturday, July 28, 2012

Attended a Public School? - කොයි රටේද?

ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ රටවල් ගණනාවක භාවිතා වෙන භාෂාවක්. ඒ නිසා ඉංග්‍රීසියට අනිත් භාෂාවල නැති විවිධත්වයක් එක් වෙලා තියනවා. මේ ගැන අපි කාලෙකට ඉහත "ලෝකෙන් උතුම් රට ලංකාවද, එංගලන්තෙද?" ලිපියේ  කතා කෙරුවා. මේ විවිධත්වය එක අතකින් භාෂාවට අලංකාරයක් එක් කළත්, අනිත් අතින් තේරුම් ගැනීමේ අපහසුකම් ඇති කරනවා.

අද ඉංග්‍රීසියේ ප්‍රබල කේන්ද්‍රස්ථාන බවට පත් වී තිබෙන බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ ව්‍යවහාර අතර  ඇති ඇතැම් වෙනස්කම් "සුද්දාගේ කඩ්ඩේ වගතුග - Which Colour/Color Is It?" ලිපියේ සලකා බැලුනා. එක අදහසක් ප්‍රකාශ කිරීමට වෙනස් වචන, උච්චාරණ, අක්ෂර වින්‍යාස හා වාක්‍ය රටා භාවිතා වෙන ඇතැම් අවස්ථා එහි දැක්වුණා. එවැනි තැන්වලදී ඉංග්‍රීසිය මව් භාෂාව වශයෙන් භාවිතා කරන අයටත් පැටලිලි ඇති වෙනවා.

මෙවැනි විෂමතා අතරින් විශේෂයෙන්ම වැරදි වටහීම්වලට තුඩු දෙන්නේ එකම යෙදුම එකිනෙකට වෙනස් අර්ථ ඇතිව විවිධ අය භාවිතයට ගන්නා විටයි. කියවීමේදී, චිත්‍රපට නැරඹීමේදී හා වෙනත් එවැනි ක්‍රියාකාරකම්වලදී මේවා අපට ගැටළු ඇති කරනවා. ඒ නිසා ඒ  ආකාරයේ අවස්ථා කීපයත් සලකා බලමු.

(1) public school

මෙයින් ඇමරිකාවේ, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ, ස්කොට්ලන්තයේ (USA, Canada, Australia, Scotland) වැනි ඉංග්‍රීසි කතා කරන බොහෝ රටවල අදහස් කෙරෙන්නේ රජයෙන් නඩත්තු කෙරෙන, ගාස්තු අය නෙකෙරෙන පාසලක්‌. නමුත් ස්කොට්ලන්තයේ හැරුන විට එක්සත් රාජධානියේ (UK) අනිකුත් කොටස්වල "public school" යනු ගාස්තු අය කරන, පෞද්ගලික පාසල් සමූහයකට අයත් පාසලක්‌.

රජයේ පාසලකට "state school", "government school" වැනි යෙදුම් සියල්ලන් විසින්ම යොදා ගන්නවා. 

(2) professor*

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක "professor"යනු ඉහලම පෙළේ ආචාර්යවරයෙකු හඳුන්වන තනතුරක් (= full professor [AmE]). ඇමරිකානු විශ්ව විද්‍යාලයක ඕනෑම ආචාර්යවරයෙකු "professor" ලෙස හැඳින්වෙන අතර, "full professor" තනතුරට පහළින් "associate professor" ද , ඊටත් පහළින් "assistant professor" ද යන තනතුරු තිබෙනවා (බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල "professor" තනතුරට පහළින් ඇත්තේ  "reader", "senior lecturer", "lecturer" වැනි තනතුරුයි.). 

*මෙම "professor /prəˈfɛsə(r)/" වචනය ලංකාවේ ඇතැම් අය එහි පළමු මාත්‍රාව බර කර උච්චාරණය කරනවා ඇහෙනවා. නමුත් එසේ විය යුත්තේ දෙවෙනි මාත්‍රාව නිසා, පළමු මාත්‍රාවේ "o" අකුර මුව වඩා විවර කර කියන්නක් නොවෙන බව සැලකිය යුතුයි. ඉහත පදය එහි උච්චාරණයට සවන් දිය හැකි වෙබ් පිටුවකටත් සබඳා තියනවා. (මෙවැනි පදවල උච්චාරණය ගැන "You Wont Lawcal English? - අපේ කඩ්ඩේ වගතුග" ලිපියේ විස්තර කෙරුණා. මේ දිනවල නිතර භාවිතා වෙන "Olympic /əˈlɪmpɪk/" පදයත් මෙලෙස වරද්දනවා ඇහෙනවා.)

(3) table

මෙය ක්‍රියා පදයක් ලෙස භාවිතා වෙන විට, බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේදී රැස්වීමක් වැන්නක "සාකච්ඡාවට ගැනීමට ඉදිරිපත් කරනවා / න්‍යාය පත්‍ර ගත කරනවා" අර්ථය දෙනවා; නමුත් ඇමරිකානු ව්‍යවහාරයේ එයින් අදහස් වෙන්නේ "පසුව සලකා බැලීමට කල් තබනවා" යන්නයි.

They tabled that proposal for discussion at the next meeting. [BrE]
ඒ අය ඒ යෝජනාව ඊළඟ රැස්වීමේදී සාකච්ඡා කරන්න ඉදිරිපත් කළා.

At the meeting, they tabled that proposal until a later date. [AmE]
රැස්වීමේදී ඒ අය ඒ යෝජනාව පස්සේ දවසක සලකා බලන්න කල් දැම්මා.

(4) biscuit

අපි  දන්නා ආකාරයේ බිස්කට්වලට එසේ කියන්නේ බ්‍රිතාන්‍ය භාවිතයේදීයි (ඇමරිකානුවන් ඒ වෙනුවට - බිස්කට් වර්ගය අනුව - "cookie", "cracker" යන වචන පාවිච්චි කරනවා). ඇමරිකානු ඉංග්‍රීසියේ "biscuit" යන්නෙන් අදහස් වෙන්නේ පේස්ට්‍රියකට ආසන්න කෑමක්.

(5) chips 

බ්‍රිතාන්‍යයන්  "(potato) chips" කියන්නේ ජාත්‍යන්තරව "(French) fries" වශයෙනුත් හැඳින්වෙන අල තීරුවලට. ඇමරිකානුවන් "(potato) chips" කියන්නේ බ්‍රිතාන්‍යයන් "(potato) crisps" යයි කියන සිහින් අල පෙතිවලට.

(6) wash up 

බ්‍රිතාන්‍යයන්  මෙයින් අදහස් කරන්නේ පිඟන් ආදිය සේදීමයි. ඇමරිකානුවන් එසේ කියන්නේ තමන්ගේ මුහුණ, අතපය සෝදා ගැනීමටයි.

You have to wash up after dinner. [BrE]
(රෑ) කෑමෙන් පස්සේ ඔයා පිඟන් ටික හෝදන්න ඕන.

You have to wash up before dinner. [AmE]
(රෑ) කෑමට කලින් ඔයා අතපය හෝද ගන්න ඕන.

(7) garden

බ්‍රිතාන්‍ය  ව්‍යවහාරයේ නිවසක් ඇති ඉඩමක මිදුල මෙසේ හැඳින්වෙනවා (ඇමරිකානුවන් මෙයට "yard" යයි කියනවා). ඇමරිකානුවන් "garden" කියන්නේ මිදුලක මල් හෝ එළවලු වැනි දෙයක් වවා ඇති කොටසටයි.

front/back garden [BrE]
front/back yard [AmE]
ගෙයි ඉස්සරහා/පිටිපස්සේ මිදුල 

vegetable garden/patch [BrE]
garden [AmE]
මිදුලේ එළවලු වවන කොටස 

(8) homely

බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියේ "homely"යන්නේ ඇත්තේ "නිවසක ස්වභාවය ඇති" හෝ "නිවසකට ගැලපෙන" වැනි අර්ථයක් ("නිවසක ස්වභාවය ඇති" හෝ "නිවසකට ගැලපෙන" අර්ථ ඇතිව ඇමරිකානුවන් "homey" යන්න යොදා ගන්නවා); මීට අමතරව බ්‍රිතාන්‍යයන් "homely" පදය "ගෙදරට ඇල්ම ඇති" යන අර්ථයෙන් පුද්ගලයන් සම්බන්ධවද යොදනවා. නමුත් ඇමරිකානු ඉංග්‍රීසියේ "homely" යන්න බොහෝ විට යොදන්නේ "කිසි ලස්සනක් නැති" යන අර්ථයෙනුයි.   

a homely atmosphere [BrE]
a homey atmosphere [AmE]
නිවසක  ස්වභාවය ගත් පරිසරයක්

a homely woman [BrE]
ගෙදරට ලැදි ගැහැණියක්

a homely woman [AmE] 
ලස්සනක්  නැති ගැහැණියක්

(9) crèche**

බ්‍රිතාන්‍යයන්ට  "crèche" යනු දෙමව්පියන් වැඩ කරන අතරතුර කුඩා දරුවන් බලා ගන්නා ස්ථානයක් (මීට තරමක් ආසන්න ආයතනයක් ඇමරිකානුවන් "day care center" ලෙස නම් කරනවා). ඇමරිකානුවන්ට නම් "crèche" යන්න - නත්තල් සමයේ ගෙවල්වල, දේවස්ථානවල ආදියේ දකින්න ලැබෙන - ජේසු තුමන්ගේ උපත නිරුපනය කරන ආකෘතියක් (මෙයට බ්‍රිතාන්‍යයන් කියන්නේ "crib" කියායි).

**මෙම "crèche /krɛʃ/" පදය උච්චාරණය වෙන්නේ ප්‍රංශ ස්වරුපයටයි. (පදය එහි උච්චාරණයට සවන් දිය හැකි වෙබ් පිටුවකට සබඳා තියනවා.)

(10) first floor, second floor...

බ්‍රිතාන්‍ය භාවිතයේ ගොඩනැගිල්ලක "first floor" යනු බිම් මහළට (ground floor) උඩින් ඇති තට්ටුවයි. ඇමරිකානු භාවිතයේ එසේ හැඳින්වෙන්නේ බිම් මහළයි. (ඉන් ඉහළ තට්ටු "second floor", "third roof"... ආදී වශයෙන් නම් වෙන්නේත් ඒ ඒ රටාවට අනුකූලවයි.)

(11) pants

බ්‍රිතාන්‍ය  ව්‍යවහාරයේ "pants" යන්න යටට අඳින කලිසම් සඳහා භාවිතා වෙනවා (ජාත්‍යන්තරව මේ සඳහා "underpants" යන්න භාවිතා කෙරෙනවා). ඇමරිකානු ඉංග්‍රීසියේ "pants" පදය සාමාන්‍ය කලිසම් අර්ථය ගන්නවා (= trousers [BrE]). 

(12) tank top 

බ්‍රිතාන්‍ය භාවිතයේ මෙය අත් නැති ස්වෙටරයක්. ඇමරිකානු භාවිතයේ  අත් නැති ටී ෂර්ට් එකක්.

(13) suspenders

බ්‍රිතාන්‍ය භාවිතයේදී මෙම පදය stockings වර්ගයේ දිග මේස්  සඳහා ආධාරක ලෙස යොදනා ඉලාස්ටික් පටි හඳුන්වනවා (= garters [AmE]). ඇමරිකානු භාවිතයේ එය කලිසම් සඳහා ආධාරක ලෙස ගැනෙනා උරහිස උඩින් යන පටි හැඳින්වීමට ගැනෙනවා (= braces [BrE]).

(14) pavement

බ්‍රිතාන්‍ය  ව්‍යවහාරයේ පාරක පදික වේදිකාව මෙසේ හැඳින්වුනත්, ඇමරිකානුවන් පාරේ වාහන ගමන් ගන්නා කොටසට "pavement" කියනවා; ඇමරිකානුවන් පදික වේදිකාවට "sidewalk" පදය යොදනවා.

(15) gallon

අපේ  රටේ භාවිතයෙන් තරමක් ඈත් වෙමින් පවතින මෙම ද්‍රව මිනුම ජාත්‍යන්තර භාවිතයේ අගයන් දෙකක් ගන්නවා. බ්‍රිතාන්‍ය බලපෑම ඇති ස්ථානවල එය ලීටර් 4.54609 කටත්, ඇමරිකානු බලපෑම ඇති ස්ථානවල ලීටර් 3.78541 කටත් සමාන වෙනවා. අපේ රටේ කලින් භාවිතා වුණෙත් මෙයින් මුල් අගය.

(16) subway

බ්‍රිතාන්‍ය  භාවිතයේ මෙසේ හැඳින්වෙන්නේ පාරක් හරහා යාමට පොළව යටින් යොදා ඇති මගක් (එවැන්නකට "underpass" යන්න සියල්ලන්ම පාවිච්චි කරනවා). ඇමරිකානු භාවිතයේ "subway" පොළව යටින් ගමන් ගන්නා උමං දුම්රියයි (බ්‍රිතාන්‍යයේ එවැන්නක් හැඳින්වෙන්නේ "underground" යන්නේනුයි).

travel by underground [BrE] 
travel by subway [AmE]
උමං දුම්රියෙන් ගමන් කරනවා

(17) 06/07/2012

06/07/2012 හෝ 6/7/2012 ආකාරයෙන් (එසේත් නැතිනම් 06.07.2012 හෝ 6.7.2012 ආදී ආකාරවලින්) දිනය සඳහන් වන විට බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ එයින් අදහස් වෙන්නේ 2012 ජූලි 6 වෙනිදායි. නමුත් ඇමරිකානු සම්ප්‍රදායේ එසේ දැක්වෙන්නේ 2012 ජූනි 7 වෙනිදායි. මෙසේ වීමට හේතුව බ්‍රිතාන්‍යයන් එලෙස කෙටි කර දක්වන්නේ "6 July 2012 (දිනය/මාසය/අවුරුද්ද)" රටාව නමුත් ඇමරිකානුවන් කෙටියෙන් දක්වන්නේ "June 7, 2012 (මාසය/දිනය/අවුරුද්ද)" රටාව වීමයි.

(Image credit: Antony Adolf)

8 comments:

  1. ඇමරිකන්කාරයෙකුට එංගලන්තෙ ගියාමයි සුද්දෙකුට ඇමරිකාවෙ ගියාමයි පිස්සු හැදෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. පැටලුම් සැහෙන ගණනක ලිහා ගන්න වෙනවා. බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන ඇමරිකානු කාන්තාවකගේ අත්දැකීම් "separated by a common language (http://separatedbyacommonlanguage.blogspot.com/)" බ්ලොග් සටහනේ දැක්වෙනවා.

      ඉංග්‍රීසි කතා කරන අනිත් අය වෙනත් රටකට ගියාම ලැබෙන අත්දැකීම් ගැනත් යම් යම් තැන්වල ලියවිලා තියනවා.

      Delete
  2. සමහර ඉංග්‍රීසි වචන සාමාන්‍යය ජීවිතයේ ඉංග්‍රීසි කතා කරණ පුද්ගලයන් උච්ඡාරණය කරණවිට එක් වරම තේරුම් ගැනීමට අපහසු වෙනවා.නමුත් රූපවාහිණී හෝ වෙනත් සම්මත මාධ්‍ය වලදී එය ගැටලුවක් වන්නේ නෑ.මේකට මොකක් හරි සරල විසදුමක් තියනවද?
    also thanks sir your these post. :)

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජීවිතයේදී බොහෝ අය තමන්ට පුරුදු ප්‍රාදේශීය උච්චාරණ රටා අනුගමනය කිරීම හා වේගයෙන් කතා කිරීම නිසා මේ තත්වය ඇති වෙනවා. නමුත් විධිමත් අවස්ථාවකදී සම්මත උච්චාරණය අනුගමනය කිරීමටත්, පැහැදිලිව කතා කිරීමටත් උත්සාහයක් දරන නිසා තේරුම් ගැනීම වඩා පහසුයි.

      කෙසේ නමුත් පුරුද්දත් සමග සාමාන්‍ය ජීවිතයේ කතාබහත් බොහෝ දුරට තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. වැඩිපුර එවැනි සංවාදවලට සවන් දීමෙන් ඒවා ක්‍රමක්‍රමයෙන් තේරුම් යන්න ගන්නවා.

      Delete
  3. I like American English but I really don't like the American darky's accent.

    ReplyDelete
    Replies
    1. Yeah, some of them have really nasty accents. But I think the better educated ones sound quite nice, as Denzel Washington's character does in the movie "The Great Debaters".

      Delete
  4. i wanna read ur blog from the Beginning.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails