Monday, September 13, 2010

You Idiot! ඉංග්‍රීසියෙන් බනිමුද?


කෙනෙකුට බනිනවා කියන්නෙ හොඳ දෙයක් නම් නෙමේ තමයි. ඒත් සමහර අවස්ථා තියනවා හඬ පොඩ්ඩක් වැඩි නොකර බැරි, එහෙම නේද? ඒ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් ‍කියමන් ටිකක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමකුත් තිබුනා. ඉතින් ටිකක් සැර වුණත්, අචාරශීලී නොවුනත්, අසභ්‍ය නොවන යෙදුම් කීපයක් සඳහන් කළොත් හොඳයි කියලා හිතුවා. 

අනිත් අතට මේ වගේ දේවල් භාවිතා කරන්න කොහෙත්ම අකමැති කෙනෙක් වුණත්, වෙන කෙනෙක් තමන්ට එවැන්නක් කිව්වොත්, මේ මට බනිනවා කියන එකවත් තේරුම් ගන්න ඕනැනේ.

1. You idiot! / Idiot!

‘(ඔයා/උඹ) මොට්ටයා!’ වැන්නක් මෙයින් අදහස් වෙනවා. මේ වගේ දෙයක් කෙනෙකුට කීම ආචාරශීලී නැති බව නම් අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. ‘idiot’ වෙනුවට ‘fool මෝඩයා’, miser ලෝබයා’, ‘creep/jerk ජරා යකා’ වැන්නක් යෙදෙන්නත් හැකියි. ඒවගේම නාම වි‍ශේෂණයක් සහිතවත් මෙවැන්නක් කියවෙනවා.

You stupid boy! / Stupid boy! මෝඩ කොල්ලා!

You lazy girl! / Lazy girl! කම්මැළි කෙල්ල!

2. How dare you say that!

‘ඔයා/උඹ කොහොමද එහෙම කියන්නේ’, ‘එහෙම කියන්න කොහෙන්ද ඔයාට/උඔට හයියක් ආවේ’ වැනි අර්ථයක් ඇති මෙය වෙනත් ක්‍රියා පද සමගත් උචිත විදිහට යොදා ගැනෙනවා.

How dare you call me an idiot! උඹට පුලුවන්ද මට මොට්ටයා කියන්න!

How dare you do that! ඔයාට/උඹ‍‍ට කොහෙන්ද හයියක් ආවේ ඒක කරන්න!

How dare she come here again! එයා‍ට ආයෙ මෙහෙ එන්න තරම් හයියක් කොහෙන්ද ලැබුනෙ!

මේ යෙදුම වෙනත් ආකාරයකින් භාවිතා කරන්න පුලුවන් තර්ජනාත්මකව යමක් කීමට.

Don’t you dare go there again! ආයෙ එහෙ ගියොත් බලා ගෙනයි!

3. What the hell are you doing?

මෙය ‘මොන මගුලක්ද ඔයා/උඹ කරන්නෙ?’ වැනි අර්ථයක් මෙය ගන්නවා. මෙහි ‘What the hell...? වෙනුවට ‘What on earth...? යොදා තරමක් සැර බාල කර ‘අහවල් දෙයක්ද ...?’ වැනි අර්ථයක් ප්‍රකාශ කළ හැකියි. මේ ආ‍කාරයට ප්‍රශ්න ඇසීමට යොදා ගන්නා who, how, where වචනත් පාවිච්චි වෙනවා.

Who the hell are you? කව්ද ඕයි තමුසෙ?

How the hell should I know? ඇයි යකෝ කොහොමද මම දන්නෙ?

Where the hell are they? උං මොන මගුලක ගිහිල්ලද?

4. Just you wait!

‘ඉන්න මම ඔයාව අල්ලගන්නම් / හිටපන් මම උඹව අල්ලගන්නම්!’ යන තර්ජනාත්මක අර්ථයෙන් මෙය යොදා ගැනෙනවා.

I know you stole my pen. Just you wait! මම දන්නවා ඔයා/තමුසෙ මගෙ පෑන හොරකම් කළා කියලා. මම ඔයාව/තමුසෙව අල්ල ගන්නම්!

5. Get lost!

‘යනවා යන්න’ වැනි අර්ථ‍යකින් මෙය යෙදෙනවා.

I want to talk to you. – Get lost! මට ඔයා එක්ක කතා කරන්න ඕනැ - යනවා යන්න (මට කරදර කරන්නෙ නැතිව).

6. Go to hell!

මීට කලින් කියමන මෙන්ම කෙනෙක් එළවා දැමීමට භාවිතා කෙරෙන නමුත් ඊට වඩා සැර වැඩි මෙය ‘බම්බු ගහ ගන්නවා', ‍'‍‍මකබෑවිලා පලයන්’ වැන්නකට ආසන්න වෙනවා.

7. I don’t give a damn!

මෙය ‘හෙණ ගැහිලා ගියත් මට කමක් නෑ’ වැනි අර්ථයක් නිරූපනය කරනවා. මෙහි ‘damn’ වෙනුවට ‘fig’, ‘hang’ වැනි පදයක් යෙදීමෙන් ප්‍රකාශයේ සැර තරමක් බාල කළ හැකියි.

I don’t give a damn about him. එයාට/ඌට හෙණ ගැහුනත් මට කමක් නැහැ.

We don’t give a damn what you think. ඔයා/උඹ මොන බම්බුවක් හිතුවත් අපට කමක් නැහැ.

They don’t give a damn whether you come or not. ඒ අයට ඔයා/උඹ ආවත් එකයි, නැතත් එකයි.

8. Damn! / Damn it! / Damn you!

'ෂික් විතරක්', ‘මොන ඉලව්වක්ද!’, ‘මොන මගුලක්ද!’, වැනි අර්ථයක් දෙන මේවා තමන්ගේ තරහව, බලාපොරොත්තු සුන් වීම, අප්‍රසාදය වැනි දේ තදින් පළ කරන්න යොදා ගන්නවා.

Damn! / Damn it! / Damn you! They have come again. මොන මගුලක්ද! උං ආයෙ ඇවිත්.

9. Shit!

මීට කලින් යෙදුම‍ මෙන් යොදා ගැනෙන මෙය ආචාරශීලීබවින් නම් ඊටත් අඩුයි.

Shit! It’s raining again. ෂික් විතරක් (නොදකින් විතරක්)! ආයෙත් වහිනවා.

10. Over my dead body!

‘ඒක කරන්න වෙන්නෙ මගෙ මළ මිනිය උඩින් තමා’ යන්නට සමාන මෙය යමකට තමාගේ දැඩි විරෝධය දක්වන්න කියන්නක්.

You want to sell our house? Over my dead body! ඔයාට/උඹ‍ට අපේ ගේ විකුණන්න ඕනැ? මගෙ මළ මිනිය උඩින් තමයි!

දැන් නම් සැර වැඩි වේගන එනවද මන්දා? ඒත් මී‍ටත් වඩා සැර කියමන් තියනවා. අසභ්‍ය නිසා ඒවා නම් අපි අත් හැරලා දමමු. මේ සඳහන් කරපු කියමන් වුණත් හැකි තරම් අඩු‍වෙන් පාවිච්චියට ගන්න එක තමයි හොඳ.
  
(සේයාරුවට ස්තුතිය: Leonid Mamchenkov)

31 comments:

  1. @Anonymous

    Your suggestion had to be removed as it was vulgar. The trick is to express your anger without resorting to vulgarities.

    ReplyDelete
  2. Why don't you use F & A words
    :D

    ReplyDelete
  3. @Anonymous

    As I said, it's far better to say even hard-hitting things without vulgar terms. (සිංහලෙනුත් අපි හුයනු පයනු වචන මග හැරලා කතා කළොත්නේ හොඳ.)

    ReplyDelete
  4. මේ වචන/යෙදුම් ඔක්කොම වගේ එක එක තැන් වලදි අහලා තියෙනවා. සුද්දගෙ ෆිල්ම් බලනකොට තමයි වැඩිපුරම. ඒත් මේ හැම එකකම තේරුම් ටික හරියටම දැනගත්තේ අද. බොහෝම ස්තූතියි.

    ජය වේවා...

    ReplyDelete
  5. What about words like shucks , shite & shoot ? I think they are toned down versions of "shit" .

    ReplyDelete
  6. @රනා

    මම ලිපියෙත් සඳහන් කළා වගේ, මේවා අපි පාවිච්චි නොකළත් තේරුම් ගන්න දැන ගන්න ඕනැ.

    ජය වේවා!

    ReplyDelete
  7. @Anonymous

    'Shoot' is used, especially in American usage, as a toned-down version of 'shit'.

    'Shite' is found in British usage and it is considered as strong as 'shit'.

    'Shucks' is is also heard mainly in American English, but it is used to express embarrassment or regret rather than anger or annoyance.

    ReplyDelete
  8. රෑ 12ට off උනත් sir ගෙ post එකනම් අනිවා අකුරක් නෑර බලනවා.අපිට ඔයාල වාගෙ අය කලින් හමු උනේ නැහැනෙ.

    ReplyDelete
  9. @dinesh

    අහන්න ‍බොහොම සන්තෝසයි.

    අනිත් කාරණය ගැන නම් කතාවක් තියනවනේ 'Better late than never' කියලා.

    ReplyDelete
  10. අද තමයි මම බ්ලොග් එකට ගොඩවුනේ මුල ඉඳන් හිමිහිට බලාගෙන එනවා... ගොඩක් ස්තූතියි ඔබතුමාගෙ කාලය අපි වෙනුවෙන් වැය කරනවට...

    ReplyDelete
  11. this is actually a very important blog.you give it in interesting manner.please publish a post in making questions.keep it up!!!

    ReplyDelete
  12. @පුතා

    දන්න දෙයක් කියල දෙන්න ලැබීම සතුටක්. "සබ්බ දානං දම්ම දානං ජිනාති" කියලා තියනවනේ.

    ලිපි කියවද්දි අහන්න දෙයක් තිබුනොත් කොමෙන්ටි එකකින් අහන්න. කොතන කොමෙන්ටි කළත් ඊ-මේල් මගින් මට දැනගන්න ලැබෙන නිසා උත්තර ‍දෙන්න පුලුවන්.

    ReplyDelete
  13. @Anonymous

    Thank you for the compliment. I'll write a post about forming questions sometime soon.

    ReplyDelete
  14. what is the meaning of these expressions?

    "there you are"
    "here we go"
    "what's up"

    ReplyDelete
  15. @Anonymous

    There you are:

    1. Said after successfully doing something.

    "There you are. I have replaced the tap."

    2. Said after handing over something requested.

    "There you are. Now you have enough money to buy that book."

    Here we go:

    Said when something is beginning to happen.

    "Here we go. He's starting to lose his temper."

    What's up?

    = "What's the matter?" or "What's happening?"

    ReplyDelete
  16. ඔබතුමා කියල තිබුන ඉංග්‍රීසි භාෂාවට අමතරව තව භාෂා ප්‍රගුණ කලා කියල... මම කැමතියි ඒ මොනවද කියල දැනගන්න... අනික තමයි... ඹබට පුලුවන්නං ප්‍රංශ,ජර්මන් යන භාෂා ඉගෙනුමට මේ වගේම සයිට් එකකින් ඔබගේ පාඨකයින්ට උදවු කරන්න...

    ReplyDelete
    Replies
    1. විදේශ භාෂාවලින් මම තරමක් හොඳින් ඉගෙන ගෙන තියෙන්නෙත් ජර්මන් සහ ප්‍රංශ භාෂා දෙක. එත් ඉතින් කාලය මදි කම නිසා මේක ලියන්නෙත් ටිකක් අමාරුවෙන් තමයි.

      Delete
    2. එහෙම කරන්න එපා... සුලුවෙන් හරි ඔය භාෂා දෙකටත් සයිට් එකක් පටන් ගන්න නැත්තං මේ සයිට් එකේම පෝස්ට් දාන්න... එහෙම දෙයක් කලොත් ඒක ගොඩක් වටිනවා.... ඒක නිසා පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න... :)

      Delete
    3. මම හිතන්නේ නැහැ ඔය භාෂාවලින් බහුතර ශ්‍රී ලාංකිකයන්ට එච්චර ප්‍රයෝජනයක් තියනවයි කියලා. පෙනෙන විදිහට වර්තමානයේ උනන්දුව තියෙන්නේ විදේශ භාෂාවක් හැටියට කොරියන්වලට, ඒ රටේ රැකියා අවස්ථා තියන නිසා. අනිත් අතට, ඉංග්‍රීසි දන්නා කෙනෙකුට අනිත් ප්‍රධාන යුරෝපීය භාෂා ඉගෙන ගන්න පහසුකම් අන්තර්ජාලයේම තියනවා. පහත සබැඳියට ගියොත් ඉන් සමහරක් බලා ගන්න පුළුවන්.

      http://www.makeuseof.com/tag/18-great-sites-to-learn-a-new-language/

      Delete
  17. සර්..සමහර වචන කතාකරන්න පුලුවන් උනාට ලියන්න අමාරුයි.ගොඩක්ම ස්පිලින්ස් වරදිනවා.මම සමහර වචන සෑහෙන්න වාරයක් කොල වල ලියල පාඩම් කරල තියනවා.ඒත් දවස් කීපයක් යද්දි ඒවචනෙ ලියන අකුරු වරදිනවා..විශේශයෙන් ම E අකුර එන්න ඕනේ තැනට I වැටෙන වගේ අත් වැරදීම් තමා වෙන්නේ..සර් මේක නිවරදි කරගන්න මම මොනවගේ දෙයක්ද කරන්න ඕනේ.සර් මම මේක නිවැරදි කරගන්න දෙයක් යෝජනා කරනවනම් ඒක මට ගොඩක් වටිනවා..... තව දුරටත් කියනවනම් believe කියන ඔයෙ වචනේ දෙවනි අකුර විදියට E එන්න ඕනේ තැනට සමහර වෙලාවට මගේ අතින් I වැටෙන්නේ.. බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර පළවීමේ ගැටළුවක් තිබුණාට කණගාටුයි. අක්ෂර වින්‍යාසය ගැන ලිපියක් ඉදිරියේදී ලියන්න බලන්නම්.

      Delete
  18. ඔබගේ මේ සේවය හරිම වටිනව.සමහර වචන අහල තිබුනට තේරුම දැනගත්තෙ දැන්.ස්තූතියි

    ReplyDelete
  19. Lipi pelata bohoma sthuthi... obage kaaala kalamana karanaya gena aadambarai...

    Priya mahathmayaneni....oba singala type karana font warga laba gath haki Link ekak laba dena men karunikawa illa sitimi....

    ReplyDelete
    Replies
    1. සිංහල ලිවීමට පාවිච්චි කරන්නේ Google Input Tools.
      http://www.google.lk/inputtools/windows/

      Delete
  20. සර් ප්‍රශ්ණ කීපයක් තියෙනවා අහන්න. උත්තර දෙන්න පුළුවන් නම් ලොකු පිනක්.
    1) සර්, it is broken සහ it has been broken කියන දෙකේ වෙනස මොකද්ද සර්??
    2) "ඒක අරගෙන ගිහින් තිබුණා" කියලා කියන්නෙ It was taken කියලද නැත්නම් It had been taken කියලද සර්???
    මං දන්නා විදිහට it was taken කියන්නෙ ඒක අරගෙන ගියා කියන තේරුම. නමුත් ඉංග්‍රීසි සිනමාපට වල හුඟක් තැන් වල ඒක අරගෙන ගිහින් තිබුණා හා සමාන තේරුම් එද්දි it was taken කියලා කියනවා දැකලා තියෙනවා. පුළුවන් නම් ඒක පැහැදිලි කරලා දෙන්න සර්. ගොඩක් ස්තූතියි...! :)

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. මේ වාක්‍ය යුගලවල යෙදෙන්නේ වෙනස් රටා දෙකක් බව තේරුම් ගන්න. පළමු රටාවේ past participle ක්‍රියා පදය යෙදී තියන්නේ predicative ආකාරයට යෙදෙන adjective පදයක් ලෙසයි; එයින් අදාළ දෙය පවතින (හෝ අදාළ අවස්ථාවේ පැවතුන) තත්වය දැක්වෙනවා. දෙවන රටාව කර්ම කාරක (passive voice) ආකාරයටයි; එයින් අදාළ දෙය භාජනය වුන ක්‍රියාවක් දැක්වෙනවා. එකම දේ වුණත් දෘෂ්ඨි කෝණ දෙකකින් බැලීමක් මේ යුගලවල වෙන්නේ.

      මේ වෙනස "Made in Sri Lanka - හැදුවෙ කව්රු වුණාම මොකද! (http://ingirisi.blogspot.com/2010/02/made-in-sri-lanka.html)" ලිපියේ අග මම සඳහන් කරලා තියනවා.

      එසේම predicative ආකාරයට යෙදෙන adjectives ආදිය ගැන "How to Use a Dictionary - පද පෙරළි (http://ingirisi.blogspot.com/2010/03/how-to-use-dictionary.html)" ලිපියේ වැඩි විස්තර දැක්වෙනවා.

      Delete
    2. සර් මෙතන දෘෂ්ඨි කෝණ දෙකකින් කියන එක පොඩ්ඩක් පැහැදිළි මදියි සර්. :/ පොඩ්ඩක් තව පැහැදිළි කරන්න පුළුවන් නම් ලොකු දෙයක් සර්.
      ඒ වගේම සර් "මේවා ලියලා තියෙන්නෙ ඉංග්‍රීසියෙන්" කියන එක කියන්නෙ "These are written in English" කියලද නැත්නම් "These have been written in English" කියලද කියන එක පොඩ්ඩක් තව පැහැදිලි කරන්න පුළුවන්ද සර්... කළින් ප්‍රශ්ණයට පිළිතුරු දුන්නටත් බොහොමත්ම ස්තූතියි සර්... :)

      Delete
    3. "මේවා ලියලා තියෙන්නෙ ඉංග්‍රීසියෙන්" යන අර්ථයෙන් මේ වාක්‍ය දෙකම යෙදීමට හැකියි. එයට හේතුව present perfect tense එක භාවිතා වෙන්නෙත් අදාළ ක්‍රියාවෙන් වර්තමානයට ඇති ප්‍රතිඵලය දැක්වීමට නිසා. ("The Prices Have Gone Up - අතීතයේ තවත් පැත්තක්" - http://ingirisi.blogspot.com/2010/01/prices-have-gone-up.html - ලිපිය බලන්න.) එසේ සමාන අදහසක් එන්නේ "These are written in English" යන වාක්‍යයේ "written in English" යන්න ලියවිලිවල ස්වභාවය දක්වන adjective phrase එකක් ලෙස යොදා ගන්නා විටයි.

      නමුත් එම "These are written in English" වාක්‍යය passive voice රටාවට "මේවා ලියන්නේ ඉංග්‍රීසියෙන්" යන අර්ථය දීමටත් භාවිතා කළ හැකියි. එකම වචන එකම පිළිවෙලට යෙදුනත් මේ කලින් එකට වෙනස් රටාවක්.

      Delete
    4. බොහොමත්ම ස්තූතියි සර් මේකට උත්තර දෙන්න කාලෙ වෙන් කලාට... :) මේ වගේ වැඩ කරන්න සර්ට තව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!

      Delete
    5. My pleasure. Hope you also went through the other articles I quoted.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails