Wednesday, July 7, 2010

Can You Help Me Learn It? - එහෙමද?


‘ඔයාට පුලුවන්ද මට ඒක ඉගෙන ගන්න උදව් කරන්න?’ වැනි කියමනක් ඉංග්‍රීසියෙන් කියන්නෙ ‘Can you help me to learn it?’ කියලද, නැති නම්  ‘Can you help me learn it?’ කියලද?

ඉංග්‍රීසි ක්‍රියා පදයක මූලික ස්වරූපයට ‘infinitive’ කියලා කියනවා. ඒකෙත් ආකාර දෙකක් තියනවා ‘bare infinitive’ (say, speak, come... වැනි) සහ ‘to-infinitive’ (to say, to speak, to come... වැනි) කියලා.

ඇතැම් ක්‍රියා පදවලට පසුව තවත් ක්‍රියා පදයක් යෙදෙන විට ඒ දෙවෙනි ක්‍රියා පදයේ ‘to-infinitive’ ස්වරූපය හෝ ‘gerund’ ස්වරූපය (saying, speaking, coming...වැනි) භාවිතා කෙරෙන අවස්ථා කීපයක් අපි ‘Don’t Forget to Read This - මේක කියවන්න අමතක කරන්න එපා’ ලිපියේ සලකා බැලුවා. ඒ වගේම ’bare infinitive’ ‍භාවිතා වෙන එවැනි එක් අවස්ථාවකුත් සඳහන් කෙරුනා එය ඒ ලිපියට අදාළ වුණ නිසා.

තවත් ඇතැම් ක්‍රියා පදවලට පසුව යෙදෙන දෙවෙනි ක්‍රියා පදයක් එහි ‘bare infinitive’ ස්වරූපයෙන් පවතිනවා. එවැනි කීපයක් පහත දැක්වෙනවා.

1. help

‘යමක් කිරීමට උදව් කරනවා’ අර්ථයෙන් මෙම පදයට පසුව එන වෙනත් ක්‍රියා පදයක් මේ දෙආකාරයෙන්ම, අර්ථයේ වෙනසක් නැතිව, යෙදිය හැකියි. මෙතනදී ‘help’ ට පසුව එම ක්‍රියාවට භාජනය වෙන ‘object’ පදය - එනම් උදව් ලබන්නා දක්වන පදය - යෙදී, දෙවෙනි ක්‍රියා පදය ඊටද පසුව යෙදෙන විටත් මේ දෙරටාවම පාවිච්චි වෙනවා. ඇතැම් අය මෙහි ‘bare infinitive’ යෙදීම තරමක් අවිධිමත් (informal) ලෙස සලකනවා.

Help (to) keep your city clean. ඔබගේ නගරය පිරිසිදුව තබා ගන්න උදව් කරන්න.

She helped me (to) wash the dishes. එයා මට පිඟන් හෝදන්න උදව් කළා.

2. let

‘යමෙකුට යමක් කරන්න ඉඩ දෙනවා’ වැනි අර්ථවලින් මෙයට පසුව යෙදෙන්නේ ‘bare infinitive’ ස්වරූපයයි. බොහෝ විට ‘let’ ට පසුව එහි ‘object’ පදය යෙදී දෙවෙනි ක්‍රියා පදය ඉන් පසුව තැබෙනවා. (මෙය හා පහත එන 3 සහ 4 ගැන වැඩි විස්තර සඳහා 'Let Them Leave If They Want to, but Don’t Make Them Leave - ඉඩ දීම හා කරවීම' බලන්න.)

Let her sleep. එයාට නිදා ගන්න දෙන්න. 

Let’s (Let us) start the lesson now. අපි දැන් පාඩම පටන් ගනිමු.

The child didn’t let go of his mother’s hand. ළමයා (එයාගෙ) අම්මගෙ අත අත් ඇරියෙ නැහැ.

Lots of employees were let go. සේවකයො ගොඩක් අස් කෙරුවා (යන්න සැලැස්සුවා).

3. make

‘යමෙක් ලවා යමක් කරවනවා’ අර්ථයෙන් මෙයට පසු එහි ‘object’ පදය යෙදී ඉන් පසුව දෙවෙනි ක්‍රියා පදයේ ‘bare infinitive’ ආකාරය භාවිතා කෙරෙනවා. නමුත් ‘passive voice’ හිදී නම් යෙදෙන්නේ ‘to-infinitive’ ආකාරයයි. 

Don’t make the child cry. ළමයව අඬවන්න එපා.

I don't know what made them go abroad. මම දන්නෙ නැහැ මොකක් නිසාද ඒ අය රට ගියේ කියලා (මොකක්ද ඒ අය රට යන්න හේතු උනේ කියලා). 

He was made to apologize. එයා‍ට කියලා සමාව ගැන්නෙව්වා (කණගාටුව ප්‍රකාශ කෙරෙව්වා).

4. have

‘යමෙක් ලවා යමක් කරවනවා’ අර්ථයෙන් මේ සමග ‘bare infinitive’ යෙදෙනවා.

I’ll have him do the job. මම එයා ලවා වැඩේ කරවන්නම්.

We can have them stay here tonight. අපට පුලුවන් ඒ අයව අද රෑ මෙහෙ නවත්වා ගන්න.

5. had better

Would You Mind Reading This? - ඉල්ලීම් හා යෝජනා’ ලිපියේ ඉදිරිපත් කෙරුන, ‘‍යමෙක් යමක් කළොත් හොඳයි (නොකළොත් එය ප්‍රශ්නයක් විය හැකියි)’ අර්ථයෙන් යෙදෙන මෙය සමග යෙදෙන්නේ පසුව එන ක්‍රියා පදයේ ‘bare infinitive’ ස්වරූපයයි.

We’d better write that letter now. අපි ඒ ලියුම දැන් ලිව්වොත් හොඳයි (නැත්නම් පරක්කු වැඩි වෙන්න පුලුවන්).

You’d better go home now. ඔයා දැන් ගෙදර ගියොත් හොඳයි (නැත්නම් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්).

She’d better not come here. එයා මෙහෙ නොඑනව නම් හොඳයි (ආවොත් ඒක ලෙඩක් වෙයි).

6. would rather

I like watching TV but I’d like to listen to the radio now - කැමති අකමැතිකම් ගැන’ ලිපියේ ඉදිරිපත් කෙරුන, ‘යමෙක් යමක් කිරීමට වඩා කැමතියි’ අර්ථය ඇති මෙය සමග යෙදෙන්නේත් පසුව එන ක්‍රියා පදයේ ‘bare infinitive’ ආකාරයයි. එමෙන්ම ඉන් පසුව (‘than’ පදය සමග) ඊට අඩුවෙන් කැමැත්ත දක්වන ක්‍රියාවද සඳහන් වෙනවා නම්, එයද තැබෙන්නේ ‘bare infinitive’ ආකාරයෙන්මයි.

I’d rather not do all this work right now. මම වඩා කැමතියි මේ ඔක්කොම වැඩ මේ වෙලාවෙම නොකරන්න.

I think she’d rather read a book than watch TV. මම හිතන්නෙ එයා ටීවී බලනවට වැඩිය පොතක් කියවන්න කැමතියි.

7. rather than

යමක් කිරීම වෙනුවට’ අර්ථය ඇතිව මෙය යෙදෙන විට ඊට පසුව යෙදෙන ක්‍රියා පදයේ ‘bare infinitive’ ස්වරූපය මෙන්ම ‘gerund’ ස්වරූපයත් භාවිතා වෙනවා.

I’d prefer to go home now rather than wait/waiting here. මෙතන බලන් ඉන්නවා වෙනුවට දැන් ගෙදර යන්න මම වැඩිය කැමතියි.

He listened to his parents quietly rather than talk/talking back to them. එයා එයාගෙ දෙමව්පියො කියන දේ සද්ද නැතිව අහගෙන හිටියා, ඒ අය එක්ක එකට එක කතා කරනවා වෙනුවට.

They should have called us, rather than try/trying to do everything themselves. ඒ ගොල්ලන්ට තිබුනෙ අපට කතා කරන්න, හැම දේම තමන්ම කරන්න හදන්නෙ නැතිව.

***කෙසේ වෙතත් ‘rather than’ මගින් ක්‍රියාවන් දෙකක් කෙලින්ම එකිනෙක සමග සංසන්දනය කෙරෙන විට නම් සාමාන්‍යයෙන් ක්‍රියා පද දෙකම එකම ස්වරූපයෙන් තැබෙනවා.

I’d like to swim rather than jog today. මම අද (ව්‍යායාමයට) දුවනවා වෙනුවට පීනන්න කැමතියි.

She likes getting up early rather than sleeping late. එයා දවල් වෙනකම් නිදා ගන්නවා වෙනුවට උදෙන් නැගිටින්න කැමතියි.

His report complicates rather than clarifies the matter. එයාගෙ වාර්තාව කාරණය පැහැදිලි කරනවා වෙනුවට අවුල් කරනවා (සංකීර්ණ කරනවා).

8. why

යම් ක්‍රියාවක් කරන පුද්ගලයා සඳහන් නොකර ‘මොකටද (එම ක්‍රියාව) කරන්නේ? (එය කරන්න අවශ්‍ය නැහැ)’ යන අර්ථය දැක්වීමේදී එහි ‘bare infinitive’ ආකාරය ‘why’ පදය‍ට පසුව යෙදෙනවා.

Why thank me? මොකටද මට ස්තුති කරන්නෙ?

Why go to the cinema[BrE]/movies[AmE] when I can see it on TV at home? මොකටද සිනමා ‍ශාලාවට යන්නෙ මට ඒක ගෙදර ටිවී එකේ බලන්න පුලුවන්කොට?

(සේයාරුවට ස්තුතිය: woodleywonderworks

6 comments:

  1. Excellent stuff ! Why wouldn't you consider publishing all these articles as a book. Your method of explantion and style is unique and I guess it is far more effective than most of the english langugae books that are available. The problem with most of the "Practical English Books" is that they are far from being practical.

    As a first step why don't you publish these articles in a newspaper , which will definitely helpto carry your work to the mass.

    ReplyDelete
  2. @Anonymous

    I've been thinking about publishing a book for some time now, but never got around to doing something about it. And it never occurred to me to get the articles to appear in a newspaper. I've got to think seriously about both these possibilities. Thank you very much for the idea, and also for the encouragement.

    ReplyDelete
  3. ස්තුතියි ලිපිවලට.මමත් හැමදාම මේල් චෙක් කරනවට අමතරව කරන එකම දේ
    මේ සයිට් එකට අලුතින් පාඩමක් දාල තියනවද බලන එක.දාලානම් ප්‍රින්ට් ස්ක්‍රින් අරන්
    ගෙදර ගිහින් කියවනවා.ගොඩාක් දේ ඉගෙන ගත්තා.ගොඩාක් පින්.
    පොත් ලියන්නත් පත්තරයකට ලියන්නත් ලගදිම අවස්තාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්නම්.
    එත් මේකට ලියන එක නම් නතර කරන්න එපා.
    ඉංග්‍රිසි නැතිව මුකුත් කරන්න බැ කියලා දැන්තමා තේරෙන්නෙ.

    ReplyDelete
  4. @Anonymous
    අහන්නත් සංතෝසයි. මේ දවස්වල ලියන්න වෙලාව ටිකක් අඩු වුණත් දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා. සුභ පැතුම්වලට බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. කාලෙකින් ආවෙ. ඒත් ලිපි ටික බැලුව. බොහොම වැදගත්...

    ReplyDelete
  6. @indik
    කාලෙකින් හරි ආයෙ ආව එක ගැන සතුටුයි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails