Saturday, June 19, 2010

What Do You Want? - මොනවද ඕනැ?




නිතරම ඉංග්‍රීසි භාවිතයෙ දකින්න ලැබෙන වචන දෙකක් තමයි what’ සහ which’. මේ දෙකම ප්‍රශ්න ඇසීමෙදි වගේම ප්‍රකාශයක් කිරීමෙදිත් විවිධ අවස්ථාවල ප්‍රයෝජනයට ගැනෙනවා.

What is your name? ඔයාගෙ නම මොකක්ද?

What do you think of this? මොනවද ඔයා මේ ගැන හිතන්නෙ?

Which is your pen? ඔයාගෙ පෑන කොයි එකද? (අදාළ පෑන් කීපයක් අතරින්)

Which of the paintings do you like most? විත්‍රවලින් කො‍යි එකටද ඔයා වඩා කැමති? (අදාළ චිත්‍ර සමූහයක් අතරින්)

***මෙතනදි පැහැදිලිව පෙනෙනවා ඇති which’ පදය ප්‍රශ්නයකදි යෙදෙන්නෙ (අදාළ දේ කීපයක් අතරින්) කොයි එකද?’ යන්න ඇසීමටයි. නමුත් what’ පදයෙන් අදහස් වෙන්නේ කුමක්ද?’ යන්න වන අතර එහිදී අහවල් කාණ්ඩය අතරින් යන සීමා කිරීමක් ඇත්තේ නැහැ.

***එසේම which’ පදය මනුෂ්‍යයන් සම්බන්ධව (අදාළ කීප දෙනෙක් අතරින්) කොයි කෙනාද?’ යයි ඇසීමටත් භාවිතා වෙනවා. නමුත් කලින් සඳහන් කළ what (කුමක්ද) යන්නට අනුරූපව  මනුෂ්‍යයන් සම්බන්ධයෙන් කව්ද?’ යන්න ඇසීමට ගැනෙන්නේ  who’ පදයයි. (who’ පදයේ විවිධ යෙදුම් ගැන You Know Who I Am? - දන්නවද මම කවුද කියලා? ලිපියේ සාකච්චා කෙරුනා.)

Who is your friend? කව්ද ඔයාගෙ යාළුවා?

Which of the two is your friend? දෙන්නාගෙන් කොයි කෙනාද ඔයාගෙ යාළුවා?

***කෙසේ වෙතත් which’ සහ what’ දෙකම මනුෂ්‍යයන් මෙන්ම මනුෂ්‍ය නොවන දේ දක්වන නාම පදවලට (nouns) කලින් නම් යෙදෙනවා, ඒවාට අදාළ අර්ථවල.

What country are you from? ඔයා මොන රටේ කෙනෙක්ද?

Out of all the places you have visited, which country is your favourite [BrE] / favorite [AmE]? ඔයා ගිහින් තියන තැන් ඔක්කොගෙන්ම ඔයා වැඩියෙන්ම කැමති කොයි රටටද?

What fool would believe it? මොන මෝඩයද ඒක විශ්වාස කරන්නෙ?

Which friend of yours is abroad now? ඔයාගෙ කොයි යාළුවද දැන් පිටරට ඉන්නෙ?

***සුදුසු තැන්වල මේ සියළු ආකාරවලින් බහුවචන (plural) පද සමගද what හා which භාවිතා වෙනවා.

What are their email addresses? ඒ අයගෙ ඊමේල් ලිපින මොනවද?

What languages do you speak? මොන භාෂාද ඔයා කතා තරන්නෙ?

Which of these children have already had their lunch? මෙතනින් කොයි ළමයිද දැනටමක් දවල් කෑම කාලා ඉන්නෙ?

Which members of the committee have objected to this proposal? කොමිටියෙ කොයි සාමාජිකයොද මේ යෝජනාවට විරුද්ධ වෙලා තියෙන්නෙ?

*** which’ පදය සහිත ප්‍රශ්නයකට උත්තර දීමේදී one හෝ ones යොදා ගෙන එසේ කිරීමට බොහෝ විට හැකි වෙනවා.

Which is your pen? – This one. ඔයාගෙ පෑන කොයි එකද? මේක.

Which friend of yours is abroad now? – The one who is from Matale. ඔයාගෙ කොයි යාළුවද දැන් පිටරට ඉන්නෙ? මාතලේ එක් කෙනා.

Which of these children have already had their lunch? – The ones in the first row. මෙතනින් කොයි ළමයිද දැනටමක් දවල් කෑම කාලා ඉන්නෙ? පළවෙනි පේලියේ අය.

***ප්‍රකාශයක් කිරීමේදී which’ පදය relative clauses වල යෙදෙන ආකාර අපි The Language That We Use - අපි භාවිතා කරන භාෂාව ලිපියේ සලකා බැලුවා. ප්‍රකාශයකදී what’ පාවිච්චි වෙන පිළිවෙල දැන් බලමු. මෙතනදී වචන යෙදෙන පිළිවෙල - word order - ප්‍රශ්නයකදීට වඩා වෙනස් වන නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. (who’ පදයේ යෙදුම් සම්බන්ධ, කලින් සඳහන් කළ, “You Know Who I Am? - දන්නවද මම කවුද කියලා? ලිපියෙත් ප්‍රශ්නයක හා ප්‍රකාශයක වචන යෙදෙන පිළිවෙල වෙනස් වීම ගැන කතා කළා මතක ඇති.)  

Tell me what his name is. මට කියන්න එයාගෙ නම මොකක්ද කියලා. (මෙහි ඇත්තේ what his name is’ මිස, ප්‍රශ්නයකදී මෙන් what is his name’ නොවෙයි.)

I didn’t understand what she said. එයා කිව්ව දේ මට තේරුනේ නැහැ.

That was what he always wanted to do. ඒක තමයි එයාට කවදත් කරන්න ඕනැ වෙලා තිබුන දේ.

You can do whatever you like. ඔයාට පුළුවන් ඔයා කැමති ඕනැ දෙයක් කරන්න.

What she suggested was the best way to solve the problem. එයා යෝජනා කරපු දේ තමයි ප්‍රශ්නෙ විසඳන්න හොඳම ක්‍රමය.

***what’ පදයත් who’ පදය වගේම ඊට අදාළ සංකීර්ණ ප්‍රශ්නවල යෙදෙනවා.


What do you think it is? ඒක මොකක් කියලද ඔයා හිතන්නේ?

What do you think is the answer? උත්තරය මොකක් කියලද ඔයා හිතන්නෙ?

What does he think we should do now? අපි දැන් මොනව කරන්න ඕනැ කියලද එයා හිතන්නෙ?

***ඒ වගේම යමක / යම් කෙනෙකු තුළ යම් ගුණයක් විශේෂයෙන් පවතින බව දැක්වීමට what පදය (හා how පදය) පහත දැක්වෙන ආකාරවලින්  යොදා ගැනෙනවා.

What a beautiful flower (it is)! කොයි තරම් ලස්සන මලක්ද!

What a kind man (he is)! කොයි තරම් කරුණාවන්ත මිනිහෙක්ද (කෙනෙක්ද)!

What decent people (they are)! කොච්චර හොඳ (හැදිච්චකම තියන) මිනිස්සුද!

What terrible weather (it is)! කොච්චර ජරා කාලගුණයක්ද!
 
How beautiful! කොච්චර ලස්සනද!
 
How beautiful that flower is! ඒ මල කොච්චර ලස්සනද! 
 
How nice of you it was to help us! ඔයා අපට උදව් කළ එක කොච්චර හොඳද! 

***ලංකාවේ ඇතැම් අය all, everything… වැනි වචනවලට පසුව එන  relative clauses වලත් what’ යන්න භාවිතා කළත්, ජාත්‍යන්තර ව්‍යවහාරයේ නම් එසේ ගැනෙන්නේ නැහැ.

All what I wanted was a better computer. [Sri Lanka]
All (that) I wanted was a better computer. [International]

මට ඕනැ උනේ වඩා හොඳ කම්පියුටර් එකක් විතරයි.

We know everything what she has said. [Sri Lanka] 

We know everything (that) she has said. [International]

අපි දන්නවා එයා කියල තියන ඔක්කොම.

සේයාරුවට ස්තුතිය: Kamoteus (I Shall Return / Voltarei) 


2 comments:

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails