Sunday, February 7, 2010

What Would You Like? - මොකක්ද මේ 'would'?

   
සේයාරුවට ස්තුතිය: essers 

ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා සමහර වචන සිංහල භාෂාවේ තනි වචනයකින් කිසිම අවස්ථාවක නිරූපනය කරන්න බැරි. එහෙම වෙලා තියෙන්නේ මේ භාෂා දෙකේ ව්‍යුහමය වෙනස්කම් (structural differences) නිසා. මේ පිළිබඳව මීට ටික කාලෙකට කලින් පළ වුණ “සුද්දගේ කඩ්ඩද ‍අපේ කඩ්ඩද?” ලිපියෙනුත් පොඩ්ඩක් කතා කළා මතක ඇති සමහර විට.

මේ වගේ වචනවල අර්ථය තනි තනිව හොයන්නේ නැතිව, ඒවා පාවිච්චි වෙන යෙදුමේ සමස්ත අර්ථය සලකා බැලීම තමයි මෙවැනි තැන්වල කරන්න ඕනැ. අපි අනිත් ලිපිවලින් මෙච්චර කල් සලකා බලපු සමහර තැන්වලත් එවැනි පද තිබුනා. තවත් ඒ වගේ තනිව කොහෙත්ම තේරුම් ගන්න බැරි වචනයක් තමයි “would” කියන්නේ.

මෙම පදයේ යෙදුම් ගණනවක් තියෙනවා. ඒවාගෙන් කීපයක් අපි මෙතනදි සලකා බලමු.

1. අතීතයේදී පසුව සිදුවේ යැයි සැලකූ දෙයක් සම්බන්ධයෙන් (වර්තමානයේදී එවැන්නක් සඳහා යෙදෙන will වෙනුවට)

***පසුව සිදුවේ යැයි ‍වර්තමානයේදී සිතන දෙයකට will යෙදෙන ආකාරය “Will or Shall? - අනාගතයේදී” හා “They Will Be Working - අනාගතයේ තවත් පැත්තක්” ලිපිවලින් සලකා බැලුනා.

We thought they would come on time. අපි හිතුවා ඒ අය වෙලාවට එයි කියලා. (‍නමුත් එසේ නොආවා විය හැකියි.)

I knew that you would come today. මම දැනගන හිටියා ඔයා අද එයි කියලා.

He said he wouldn’t (would not) do it again. එයා කිව්වා ආයෙ ඒක කරන්නෙ නැහැ කියලා. (පසුව එය කළා හෝ නොකළා විය හැකියි.)  

2. වර්තමානයට හෝ අනාගතයට අදාළ යම් දෙයක් ගැන තමන් සිතන දෙයක් ස්ථිරවම කිව නොහැකි නම් හෝ එය තමන්ගේ ප්‍රාර්ථනාවක් නම්.

That box would hold 20 bottles. ඒ පෙට්ටියට බෝතල් 20 ක් අල්ලනව ඇති.

He would love to get all the credit for this. එයා හරි ආසා ඇති මේකට සම්පූර්ණ හොඳ නම (ගෞරවය) ගන්ඩ.

What would the boss do in a similar situation? මේ වගේ අවස්ථාවක ලොක්කා මොනව කරයිද?

Would I pass the exam? මම විභාගෙ පාස් වෙයිද?

Who would help him (to) get a job? රස්සාවක් හොයා ගන්න කව්රු එයාට උදව් කරාවිද?

How would you do this? කොහොමද මේක කරන්නේ (කළ යුත්තේ)?

They would find another way to do it. ඒ ගොල්ලො ඒක කරන්න තව විදිහක් හොයා ගනීවි. (හරියටම කියන්න බැරි වුණත් එහෙම වෙයි කියලා හිතනවා.)

I think they would come back. මම හිතන්නෙ ඒ ගොල්ලො ආපහු ඒවි (ඒත් මට ෂුවර් නැහැ).

We hope that it wouldn't (would not) happen. අපි බලාපොරොත්තු වෙනවා ඒක සිද්ද නොවේවි කියලා.

I wish we would win the first prize! අප‍ට පළවෙනි තෑග්ග ලැබුණොත් කොච්චර හොඳද!

3. යමක් පිළිබඳ තමන්ගේ අදහස / කැමැත්ත ආචාරශීලීව පැවසීමට හෝ එවැනි දෙයක් ගැන අනිත් පුද්ගලයාගේ අදහස / කැමැත්ත ආචාරශීලීව විමසීමට

I would like to have a cup of tea now. මට දැන් තේ එකක් හම්බ වෙනවා නම් හොඳයි.

It would be sad to see that happen. එහෙම වෙනවා දකින්න ලැබුනොත් ඒක කණගාටුවක්.

Would you come with me?* ඔයා මාත් එක්ක එනවද? (ආවොත් ලොකු උදව්වක්.)

What would you like to drink? මොනවද ඔයා බොන්න කැමති?

What would you say about this new trend? මේ අළුත් ප්‍රවණතාවය ගැන මොනවද ඔයා කියන්නෙ?

I would say / think that he is about thirty. මම කියන්නෙ / හිතන්නෙ එයාට අවුරුදු 30 ක් විතර ඇති.

*Will you come with me? කියා මෙය ඇසීමත් ආචාරශීලී වුණත්, would යෙදීම වඩාත් ආචාරශීලී වෙනවා. අවශ්‍ය නම් please යන්නත් අගට එකතු කර එම ගුණය තවත් වැඩි කළ හැකියි.

4. පුරුද්ද හෝ ස්වභාවය නිසා අතීතයේදී නැවත නැවත සිදු වූ / නොවූ දෙයක් ගැන හෝ පුරුද්ද හෝ ස්වභාවයට විරුද්ධව සිදු වූ දෙයක් ගැන

Every day, he would come home drunk. හැමදාම එයා ගෙදර ආවෙ බීලා.

She would always be the first to help. එයා තමයි හැමදාම (හැම අවස්ථාවෙම) මුලින්ම උදව් කළ කෙනා.

When I wanted to check my email this morning, the computer wouldn’t start. මට අද උදේ ඊමේල් තියනවද බලන්න ඕනැ උන වෙලාවෙ කම්පියුටර් එක ස්ටාර්ට් උනේ (ක්‍රියාත්මක වුණේ) නැහැ.

***අතීතයේදී නැවත නැවත සිදු වූ දෙයක් ගැන used to ද පාවිච්චි කළ හැකි බව “They Were Singing When They Came Here - අතීත කාල කීයක්ද?” ලිපිය සංසන්දනය කළොත් පෙනේවි. නමුත් නැවත නැවත සිදු වූ දෙයක‍ට මිස, used to මෙන් අතීතයේ පැවති ගුණයක්, තත්වයක් ආදිය ගැන would නොයෙදෙන බව මතක තබා ගත යුතුයි.

***වර්තමාන කාලයේදී මෙම අර්ථයෙන් will යෙදෙන ආකාරය අපි “Will or Shall? - අනාගතයේදී” ලිපියේදී කතා කළා.

***තවත් කියන්නම ඕනැ දෙයක් තමයි would පදය අතීතයේ සිදු විය හැකිව තිබූ දේ සම්බන්ධවත් යෙදෙන බව. ඒ වගේම  if හා unless ආශ්‍රයෙන් සැකසෙන කොන්දේසියක් සහිත වාක්‍යවලත් (conditional sentences) ඇතැම් විට භාවිතා වෙන බව. ඒවා ගැන කතා කිරීමට කලින් සාකච්චා කළ යුතු තවත් කරුණු කීපයක් ඇති නිසා අපි ඒ ගැන පසුව සලකා බලමු (You Could Have Done It - ගිය දේගියාවේ කියලම බැහැ හා If You Went to the Moon… - ‘if’ සහිතවැකි ගැන බලන්න).

12 comments:

  1. * විශේෂ කටයුත්තක් සඳහා ඔබව සම්බන්‍ධ කරගැනීමට අවශ්‍යයි. කරුණාකර පෞද්ගලිකව සම්බන්‍ධ කරගතහැකි ආකාරයක් දන්වන්න.thilina@cplus.lk *

    ReplyDelete
  2. @Thilina Priyalal Koggalage
    ඊමේල් ලිපිනය ඔබ වෙත එවා ඇත.

    ReplyDelete
  3. කොමෙන්ටුවක් නොදැම්මට හැම ලිපියක්ම කියවනවා...දිගටම කරගෙන යන්න....

    ReplyDelete
  4. @චමි.දේ.වා.
    දිරි ගැන්වීමට ස්තුතියි.

    ReplyDelete
  5. When I wanted to check my email this morning, the computer wouldn’t start.........මේතන wouldn’t වේනුවට didn't දෑම්මොත් මොකක්ද වේනස

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. මේ දෙක අතර තියෙන්නේ සිද්ධිය විස්තර කරන දෘෂ්ටි කෝණයේ වෙනසක්.

      "When I wanted to check my email this morning, the computer didn’t start" ප්‍රකාශය තමයි ඇත්තෙන්ම "මට අද උදේ ඊමේල් තියනවද බලන්න ඕනැ උන වෙලාවෙ කම්පියුටර් එක ස්ටාර්ට් උනේ නැහැ" අර්ථය වෙනත් යටිඅර්ථවලින් තොරව දෙන්නේ. එතන තියෙන්නේ හුදෙක් "ස්ටාර්ට් නොවීම" යන සිද්ධිය සඳහන් කිරීමක්.

      නමුත් "When I wanted to check my email this morning, the computer wouldn’t start" කිව්වම එයින් දැක්වෙන්නේ "මට අද උදේ ඊමේල් තියනවද බලන්න ඕනැ උන වෙලාවෙ, මෙන්න කම්පියුටර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ" වගේ අදහසක්. හැමදාම සිදුවෙන දේ අද සිදු නොවීම ඉස්මතු කිරීමක් මේ ප්‍රකාශයේ තියනවා.

      Delete
    2. thanx sujeewa sir hodata teruna

      Delete
  6. meaka me lipiyata adalawanam newe
    යම් වාක්ය කන්ඩයක මෙලෙස අවසාන වෙන අවස්තා දෑක ඈත
    1.xxxx xxxx xxx to.(xx යනු ඉන්ගිරිසි වචන කාන්ඩයවේ )
    2.xxx xxxxx xxx for.
    ඒ පිලිබද කරුනවෙන් පෑහෑදිලි කර දෙන්න

    ReplyDelete
  7. අපිට ප්‍රශ්නයක් අහගන්න මෙහේම ඔබතුමා ඉන්න ඒක කොච්චර දෙයක් ද,,,ඔබ තුමාට දීගායු..

    ReplyDelete
  8. මම ඉස්සෙල්ලා ප්‍රස්නයක් ඉදිරිපත් කරලා තිබ්බේ ඒ මේ වගේ ඒවා.
    1.that's not somthing you can play with...
    2.what kind of level he lectured on...
    3.i have to...
    ...මේ වාගේ අවසාන වෙන වචන(on,with,for,to)වගේ අසාමන්යයි,ඒ කිව්වේ සාමන්යේන් අපි යොදාගන්නේ ඒවා වාක්ය මෑදට ඒත් මෙතනින් වාක්ය ඉවරයි....පෑහෑදිලි කර දෙන්න
    ඒවා යෙදෙන්නේ කොහොම්ද?,ඒවාගේ තේරුම මොනවාද? පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙන්න?

    ReplyDelete
  9. 1.that's not something you can play with...

    "You can play with it" යන්න සැළකිල්ලට ගත්තොත් මේක තේරුම් ගන්න පුළුවන්. ඉහත ප්‍රකාශය විධිමත් ආකාරයට "That's not something with which you can play" යනුවෙන් කිව හැකි වුණත් සාමාන්‍ය භාවිතයේ "That's not something you can play with" ආකාරයටයි යෙදෙන්නේ. අන්තර්වාක්‍ය සම්බන්ධ "http://ingirisi.blogspot.com/2010/05/you-know-who-i-am.html", "http://ingirisi.blogspot.com/2010/06/language-that-we-use.html", "http://ingirisi.blogspot.com/2010/06/what-do-you-want.html", "http://ingirisi.blogspot.com/2010/07/please-tell-me-what-to-do.html" ලිපිත් බලන්න.

    2.what kind of level he lectured on...

    "He lectured on a high level" රටාව පදනම්ව වඩා විධිමත් ලෙස "I don't know on what kind of level he lectured" ආකාරයෙනුත්, වඩා බහුල භාවිතයේ "I don't know what kind of level he lectured on" ආකාරයෙනුත් යෙදෙනවා. (කලින් සඳහන් ලිපි මෙතනදීත් ප්‍රයෝජනවත් වේවි.)

    3.i have to...

    "I don't want to go, but I have to" ආකාරයට, කලින් සඳහන් "go" වැනි ක්‍රියා පදයක් නැවත නොකියා සීටීම කෙරෙනවා.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails