Friday, February 26, 2010

We May Not Need It, but We Want It - ඕනෑ එපාකම් ගැන


 


සේයාරුවට ස්තුතිය: purpleslog 

මනුෂ්‍ය ස්වභාවය තමයි යම් යම් දේ කරන්න, නැතිනම් ලබා ගන්න ආශාව ඇති වීම. නමුත් මේ දේවල් ඇත්තෙන්ම අවශ්‍යද, නැද්ද, කියන එක වෙනම කාරණයක්. ඒක තීරණය කරන එකත් පහසු දෙයක් නෙමෙයි.

ආගම ධර්මය අනුව බැලුවොත් අපට ඇත්තටම අවශ්‍ය දේ තියෙන්නෙ බොහොම ටිකයි. අනිත් හැම දෙයක්ම අපි මවා ගත් ආශාවන්. නමුත් සමාජයේ ජීවත් වෙනකොට නම් අපට දැනෙනවා තව ගොඩක් දේ අවශ්‍යයි වගේ. එහෙම වෙන්නෙ අපි ජීවත් වෙන සමාන්‍ය රටාවට අනුව ඒවා එහෙම පෙනෙන නිසා වෙන්න ඇති.

ඒ වගේම තවත් දේවල් තියෙනවා අපි කරන්න එච්චර ආසා නැති, ඒත් කිරීම වැදගත් වෙන. මේ වගේ දේවල සැබෑ අවශ්‍යතාවය සමහර වෙලාවට අපට නොපෙනෙනවා වෙන්න පුලුවන්. හැබැයි වැදගත්කම දැකලත් කම්මැලිකම නිසා හෝ කරන්න ඊට වැඩිය රසවත් දේ ඇති නිසා අපි මේවා පස්සට තල්ලු කරන අවස්ථාත් නැතිවා නෙමෙයි, නේද?

කොහොම නමුත් ඉංග්‍රීසියේ තියෙනවා තමන්ගේ ආශාව, කැමැත්ත මත පදනම් වුණ උවමනාවන් හා සැබෑ අවශ්‍යතාවයන් ලෙස තමන් සලකන දේවල් දක්වන්න දෙවිදියක්

1. want - තමන්ගේ කැමැත්ත මත පදනම් වුණ උවමනාවන් සම්බන්ධව

I want an iPod. මට අයිපොඩ් එකක් ඕනැ.

She wants to go home now. එයා‍ට දැන් ගෙදර යන්න ඕනැ.

They don’t want to study now. ඒ ගොල්ලො දැන් පාඩම් කරන්න කැමති නැහැ.

We want you to do it yourself. අපට ඕනැ ඔයාම ඒක කරනව දකින්න (අපි කැමති ඔයාම ඒක කරනවට).

I can’t do what you want (me to do). ඔයාට ඕනැ එක / ඒව කරන්න මට බැහැ. (ඔයාට මා ලවා කරවන්න ඕනැ එක / ඒව කරන්න මට බැහැ.)

I’ll do so if you want (me to). ඔයාට ඕනැ නම් මම එහෙම කරන්නම්. (ඔයා‍ට ඕනැ මම එහෙම කරන එක නම් මම එහෙම කරන්නම්.)

Nobody wants to be called an idiot. තමන්ට මොට්ටයෙක් කියල කියනවට කව්රුවත් කැමති නැහැ.
 
I don’t want boys loitering outside our gate. මට ඕනැ නැහැ කොල්ලෝ අපේ ගේට්ටුව එහා පැත්තේ රස්තියාදු ගහන එක.

***උදාහරණවලින් පෙනෙන ආකාරයට want ක්‍රියා පදය භාවිතා වෙන්නේ යම් කෙනෙකුගේ කැමැත්ත මත පදනම් වුණ අවශ්‍යතා සඳහායි. නමුත් යම් කෙනෙකුගේ හෝ යම් දෙයක අවශ්‍යතාවය සමස්තයක් වශයෙන් ඇති විට මෙය කර්ම කාරකයෙන් (passive voice) පහත සඳහන් ආකාරයට භාවිතා කරනවා.

You are wanted at the office immediately. පුලුවන් ඉක්මනින් ඔෆිස් එකට (කාර්යාලයට) එන්න (එතන ඔයාව අවශ්‍ය වෙලා තියෙනවා).

He is wanted by the police. එයාව පොලීසියෙන් හොයනවා (පොලීසියට අවශ්‍ය වෙලා තියෙනවා).

***අවිධිමත් (informal) භාෂාවේදී ඇතැම් අය මෙය වෙනත් කෙනෙක් කිරීමට අවශ්‍ය යැයි තමන් සිතන දෙයක් සම්බන්ධයෙන්ද පාවිච්චි කරනවා.

You don’t want to do this - ඔයා මේක කරන්න හොඳ නැහැ (ඔයා මේක නොකළ යුතුයි කියල මම හිතනවා).

This house wants to be re-painted. මේ ගෙදර ආයෙ පේන්ට් කරන්න ඕනැ (කියල මම හිතන්නෙ).

2. need - සැබෑ අවශ්‍යතාවයක් ලෙස සලකන දෙයක් සම්බන්ධව

We need a hammer for this. අපට මේකට මිටියක් ඕනැ කරනවා (අවශ්‍යයි).

They need to keep their home clean. ඒ ගොල්ලො එයාලගෙ ගෙදර පිරිසිදුව තියා ගන්න ඕනැ (අවශ්‍යයි).

All you need to do is (to) talk to her.  ඔයාට කරන්න තියෙන්නෙ එයා එක්ක කතා කරන්න විතරයි (කරන්න අවශ්‍ය එපමණයි).

You don’t need to say anything. ඔයා මුකුත් කියන්න ඹ්නැ නැහැ (අවශ්‍ය නැහැ). 

She needs you to finish this by tomorrow. එයාට අවශ්‍යයි ඔයා මේක හෙට වෙනකොට ඉවර කරන්න.

The company needs employees working harder. සමාගමට අවශ්‍යයි සේවකයෝ වඩා මහන්සි වෙලා වැඩ කරන එක.

***මේ පදය විශේෂයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ කෘත්‍යමය උපකාරක ක්‍රියා පදයක් (modal verb, modal auxiliary verb) ලෙසත් - එනම් will, should වැනි පද පාවිච්චි කරන ආකාරයට -  ඇතැම් විට යොදා ගැනෙනවා, වර්ථමා‍නයේදී අවශ්‍ය/අනවශ්‍ය ලෙස පෙනෙන දේ සම්බන්ධයෙන්. නමුත් මෙසේ යෙදෙන්නේ ප්‍රශ්නවලදී හා නැත යන අර්ථයේදීත්, ඊට අමතරව ඇත යන අර්ථයේ කිරීම‍ට අවශ්‍ය වන්නේ එතරම් ලොකු දෙයක් නොවන වි‍ටදීත්, යන අවස්ථාවලයි. 

Need I say more? තවත් මොනවා කියන්නද (මම තවත් මොනවා කියන්නද අවශ්‍ය)?

You need not (needn’t) do it. ඔයා ඒක නොකළට කමක් නැහැ (කරන්න අවශ්‍ය නැහැ).

All we need bring is a pen. අපි අරන් එන්න ඕනැ පෑනක් විතරයි.

When he wants money, he need only ask. එයාට සල්ලි ඕනැ උනාම ඉල්ලන්න විතරයි තියෙන්නේ (අවශ්‍ය වෙන්නේ).

***need පදය භාවිතා වෙන තවත් රටා කීපයක් සලකා බලමු.

There’s tight security here today. Will we need to show our ID cards? අද මෙහෙ දැඩි ආරක්ෂාවක් ක්‍රියාත්මකයි. අපට හැඳුනුම්පත් පෙන්නන්න වෙයිද (අවශ්‍ය වේවිද)?  
(අනාතතයේ කිරීමට අවශ්‍ය විට හැකි මෙවැනි දෙයක් සඳහා උපකාරක ක්‍රියා ස්වරූපය භාවිතා කළ නොහැකියි.)   

You needn’t go to school today. [විශේෂයෙන් බ්‍රි] / You don’t need to go to school today. Your teacher is at a seminar. ඔයා අද ඉස්කොලෙ නොගියට කමක් නැහැ. ඔයාගෙ ගුරුතුමා/තුමිය සම්මන්ත්‍රණයකට ගිහින්.

You don’t need to pay anything there. It’s totally free. එතන මුකුත් ගෙවන්න ඕනැ නැහැ (මුදල් ගෙවීමට සිදු වෙන්නේ නැහැ). ඒකට සල්ලි අය කරන්නෙ නැහැ.  

(මෙවැනි පොදුවේ එසේ කිරීමට සිදු වෙන්නේ නැහැ යන අර්ථය ඇති තැන්වල needn’t යෙදෙන්නේ නැහැ. needn’t යොදා ගැනෙන්නේ අදාළ අවස්ථාවේ එසේ විය යුතුම නැහැ යන අර්ථය ගැබ් වී ඇති විටයි.)

***අතීතයේ කිරීමට අවශ්‍ය/අනවශ්‍ය වූ දේ සඳහා 

We needed to talk to her. අපට එයා එක්ක කතා කරන්න අවශ්‍ය උනා (සිදු වුණා).

They’ve had lunch on the way. I needn’t (need not) have cooked for them. [විශේෂයෙන් බ්‍රි] / I didn’t need to cook for them. ඒ අය මගදි කෑම කාලා. මම ඒ අයට ඉව්වෙ අපරාදෙ (මට ඒ අයට උයන්න අවශ්‍යතාවයක් තිබිල නැහැ, ඒක නොදැන මම ඉව්වට).

They called me to say they were having lunch on the way. I didn’t need to cook for them. ඒ අය මට කෝල්‍ කරලා‍‍ කිව්වා ඒ අය මගදි කෑම කනවා කියලා. මට ඒ අයට උයන්න උනේ නැහැ (උයන්න අවශ්‍ය වුණේ නැහැ, ඒ නිසා මම ඉව්වේ නැහැ).

(ඉහත අවසන් උදාහරණ දෙකේ ‘didn’t need to’ යන්න අර්ථ දෙකක් ගන්නා බව පෙනෙන්නට ඇති. ‍එවැනි තැන්වල නිවැරදි අදහස එය යෙදෙන පසුබිම (context) අනුව තේරුම් ගත යුතුයි. ‘needn’t have’ ‍භාවිතා වෙන්නේ නම් අවශ්‍යතාවයක් ‍නොමැති යමක් දැනටමත් කර ඇති අවස්ථාවල පමණයි.) 


***ඊට අමතරව පහත ඇති රටාවත් භාවිතා වෙනවා.


The window needs cleaning. / The window needs to be cleaned. ජනේලය පිරිසිදු කරන්න අවශ්‍යයි.

***මේ needපදය වගේම ඇතැම් විට සාමාන්‍ය ක්‍රියා පදයක් ලෙසත්, ඇතැම් විට උපකාරක ක්‍රියා පදයක් ලෙසත් භාවිතා වන තවත් පදයක් තමයි ‘dare’.

3. dare - කිරීමට ධෛර්ය ඇති දෙයක් සම්බන්ධව

ඇතැම් විට ඇත යන අර්ථයෙන් භාවිතා කෙරුණත් මේ පදය වර්තමාන ව්‍යවහාරයේ බොහෝ විට යෙදෙන්නේ නැත යන අර්ථයෙන් හෝ ප්‍රශ්නවලදීයි. එය සාමාන්‍ය ක්‍රියා පදයක් ආකාරයට බහුලව භාවිතා වෙන අතර විධිමත් භාවිතයේ හා සාම්ප්‍රදායික යෙදුම්වලදී උපකාරක ක්‍රියා පදයක් ලෙසත් ඇතැම් විට යොදා ගැනෙනවා. කෙසේ වෙතත් අවිධිමත් භාවිතයේ සාමාන්‍ය ක්‍රියා පදයක් ලෙස යෙදෙන විට පවා ඉන් පසුව එන ක්‍රියා පදයට පෙර to අත් හැරීම බහුලව දකින්න ලැබෙනවා.

You can try if you dare. ඔයාට හිත හයිය නම් (බය නැත්නම්) උත්සාහ කරන්න පුළුවන්.

She is someone who dares to be different. එයා වෙනස් විදිහට වැඩ කරන්න බය නැති (ධෛර්ය ඇති) කෙනෙක්.

I don’t dare (to) tell the boss about my mistake. / I daren’t tell the boss about my mistake. [බ්‍රි] මට මගෙන් වුණු වැරැද්ද ගැන ලොක්කට කියන්න තරම් හයියක් නැහැ (බයක් තියනවා).

She didn’t dare (to) go outside. / She dared not go outside. [විධිමත්] එයාට එළියට යන්න තරම් හයියක් තිබුනෙ නැහැ (එළියට යන්න බයක් තිබුනා).

How did you dare (to) meet him again? ඔයා කොහොමද බයක් සැකක් නැතිව ආයෙ එයාව හම්බ වුණේ?

No one dares (to) say anything. කාටවත් හයියක් නැහැ යමක් කියන්න.

No one dared (to) say anything. කාටවත් හයියක් තිබුනෙ නැහැ යමක් කියන්න.

He wouldn’t dare (to) go there alone. එයාට තනියම එහෙ යන්න හයියක් එන එකක් නැහැ.

Do we dare (to) ask him? / Dare we ask him? අපට හයියක් තියනවද එයාගෙන් අහන්න?

***කතා ව්‍යවහාරයේ ඔයා/උඹ කොහොමද එහෙම කියන්නේ, ‘එහෙම කියන්න කොහෙන්ද ඔයාට/උඔට හයියක් ආවේ වැනි අර්ථ ඇතිව මෙය උපකාරක ක්‍රියා පදයක් ලෙස සාම්ප්‍රදායිකව යොදා ගැනෙනවා.


How dare you call me an idiot! උඹට පුලුවන්ද මට මොට්ටයා කියන්න!

How dare you do that! ඔයාට/උඹ‍‍ට කොහෙන්ද හයියක් ආවේ ඒක කරන්න!

How dare she come here again! එයා‍ට ආයෙ මෙහෙ එන්න තරම් හයියක් කොහෙන්ද ලැබුනෙ!

***මේ යෙදුම වෙනත් ආකාරයකින් භාවිතා කරන්න පුලුවන් තර්ජනාත්මකව යමක් කීමට.

Don’t you dare go there again! ආයෙ එහෙ ගියොත් බලා ගෙනයි!

I want to wear these shoes to school. – You dare! / Don’t you dare! මට මේ සපත්තු ඉස්කෝලේ ඇඳන් යන්න ඕනැ. - හිතන්න වත් එපා!

***අභියෝග කරනවා / අභියෝගයකට මුහුණ දෙනවා වැනි අර්ථවලින්ද මෙම පදය යොදා ගැනෙනවා.

The other boys dared him to jump. අනිත් (පිරිමි) ළමයි එයාව පනින්න උසි ගැන්නුවා (අභියෝග කෙරුවා).

Our team dared bad weather to win the match. අපේ කණ්ඩායම නරක කාලගුණයට මුහුණ දීලා තරඟය දිනුවා. [විධිමත්]

***එමෙන්ම පහත ඇති ආකාරයේ රටාත් ඇතැම් විට හමු වෙනවා.

That book was, dare I say it, extremely boring. ඒ පොත, කිව්වට කමක් නැත්නම්, හොඳටම නීරසයි.

I dare say (daresay [බ්‍රි]) it’s going to rain soon. මට හිතෙන්නේ ඉක්මනට වහින්නයි එන්නේ.

ඔබ හිතනවද මම මේ බ්ලොග් ලිපි දිගටම ලිවීම අවශ්‍යයි කියලා? - ප්‍රතිචාරයක් දක්වන්න. (Do you think I need to continue writing this blog? Would you dare to give me an honest answer? Make a comment.)

4 comments:

  1. දිගටම ලියන්න. අපි කියවනවා.

    ReplyDelete
  2. @h
    ස්තුතියි. කට්ටිය කියවනව නම් ලියන්න පුලුවන්.

    ReplyDelete
  3. කඩ්ඩ අවුල් බුවා...February 27, 2010 at 10:09 PM

    කමෙන්ට් කලෙ නැතුවට අපි කියවනවෝ.....නියමයි...දිගටම කරගෙන යමු....

    ReplyDelete
  4. @කඩ්ඩ අවුල් බුවා...
    නැතුව බැහැනේ. කඩ්ඩ අවුල් බුවාලව කඩ්ඩ නිරවුල් බුවාල කරන්න එපායැ. තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න ගූගල් ගෲප් එකටත් එකතු වෙන්න.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails