Saturday, February 20, 2010

Made in Sri Lanka - හැදුවෙ කව්රු වුණාම මොකද!

 
සේයාරුවට ස්තුතිය: Augapfel 

යම් ක්‍රියාවක් හඳුන්වන verb එකක් එක්ක සමහර තැන්වල ඒ ක්‍රියාවට භාජනය වෙන කෙනෙක් හෝ දෙයක් (object) දැක්වෙනවා. ඒ කියන්නේ I see a picture.වාක්‍යයේ see ක්‍රියාවට ලක් වෙන picture වගේ. නමුත් He yawned. - එයාට ඈනුමක් ගියා., “The dog barked. - බල්ලා බිරුවා. වගේ තැන්වල ඒ ක්‍රියාවට බඳුන් වෙන දෙයක් හෝ කෙනෙක් නැහැ.

මේ මුලින් කියූ විදියට verbs තමන්ගේ ක්‍රියාවට ලක් වෙන දෙයක් හෝ කෙනෙක් සමග යෙදෙන විට එවා transitive ආකාරයෙන් භාවිතා වෙනවා යයි කියනවා. එසේ නැති විට intransitive ලෙස හැඳින්වෙනවා. ඇතැම් verbs, වෙනස් තැන්වල, මේ දෙආකාරයෙන්ම භාවිතා වෙනවා. අද අපි බලන්න යන රටා අදාළ වෙන්නේ මේ transitive ආකාරයෙන් verbs භාවිතා වෙන අවස්ථාවලට විතරයි. මොකද අද අපි කතා කරන්නේ ක්‍රියාවකට භාජනය වෙන කෙනා හෝ දෙය වාක්‍යයේ මුලට යෙදෙන passive voice (කර්ම කාරකය) ගැන.

ඇතැම් අවස්ථාවල අපි යම් සිදුවීමක් ගැන කතා කරද්දි වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ අදාළ යම් ක්‍රියාවකට මිස එම ක්‍රියාව කරන පුද්ගලයාට (හෝ ක්‍රියාවට හේතුවන දෙයට) නොවෙයි; එසේ නැතිනම්, යෙදෙන පසුබිම අනුව අපට වැඩි සම්බන්ධය තියෙන්නේ ක්‍රියාවට භාජනය වෙන කෙනාට හෝ දෙයටයි. එවැනි අවස්ථාවල ඉංග්‍රීසි භාෂාවෙ passive voice පාවිච්චි කරනවා.

ක්‍රියාවට ලක් වෙන පුද්ගලයා හෝ දෙය මෙහිදී වාක්‍යයේ ක්‍රියා පදයට කලින් සඳහන් වෙන අතර, ක්‍රියාව සිදු කරන තැනැත්තා හෝ ක්‍රියාවට හේතුවන දෙය (agent) සඳහන් වෙන්නේ ක්‍රියා පදයට පසුවයි. (ඇතැම් විට සඳහන් වෙන්නෙම නැහැ.) මේ passive voice වලදි හැම විටම යෙදෙන්නෙ ක්‍රියාවක past participle* ස්වරූපයයි.

*මේ past participle ස්වරූපය ගැන අපි You Have Always Liked It - එහෙනම් තවමත් එහෙමයි ලිපියේ බැලුවා.   

තවත් දෙයක්, passive voice සඳහා අපි කලින් බලපු (A),(B), (C), (E), (F), (G), (I) හා (L) රටා ටික පොඩ්ඩක් ආයෙ මතක් කර ගත්තොත් හොඳයි. මොකද මේවා තමයි passive voice අකාරයට හැරවෙන්නේ. අපි කලින් ඉගෙන ගත් ආකාරය, එනම් ක්‍රියාව කරන්නාට මුල් තැන ලැබෙන ආකාරය, active voice (කතෘ කාරකය) ලෙස හැඳින්වෙනවා.

අපි බලමු We learn English. වැනි සරල වාක්‍යයක් මේ රටාවල කර්ම කාරකයට භාවිතා වෙන හැටි. (learn ක්‍රියා පදයේ past participle ස්වරූපය learned හෝ learnt (විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ) විය හැකියි. මම මෙතනදි පහසුව සඳහා learned යොදා ගන්න‍වා.)

(A) We learn English. - English is learned (by us).

(B) We are learning English. - English is being learned (by us).

(C) We have learned English. - English has been learned (by us).

(E) We learned English - English was learned (by us).

(F) We were learning English - English was being learned (by us).

(G) We had learned English. - English had been learned (by us).

(I) We will learn English. - English will be learned (by us).

(L) We will have learned English. - English will have been learned (by us).

***can, could, may, might, would, should, must ආදිය (I) රටාවේ ආකාරයටත්, would have, should have… ආදිය (L) රටාවේ ආකාරයටත් හරවනු ලබනවා. has / have to do / tell… රටාව has / have to be done / told… ලෙසින් හැරවෙනවා.

We can learn English. – English can be learned (by us)

We should have learned English. – English should have been learned (by us).

We have to learn English – English has to be learned (by us).

***ක්‍රියාව කරන්නා නොදන්නා විට, සඳහන් කිරීම එතරම් වැදගත් නොවන විට, සඳහන් කිරීමට අනවශ්‍ය විට, ක්‍රියාව සියල්ලන්ටම පොදු වන විට ආදී අවස්ථාවලදී කර්ම කාරක‍‍ය ක්‍රියාව කරන්නෙක් සඳහන් නොකර භාවිතා වෙනවා.

My bicycle was stolen last week. ගිය සතියෙ මගෙ බයිසිකල් එක කව්ද හොරකම් කෙරුවා. (කළ කෙනා දන්නෙ නැහැ.)

This car is made in Sri Lanka. මේ කාරෙක හදන්නෙ ලංකාවෙ. (කියන්නේ ලංකාවේ හදන බව නිසා හදන්නෙ කව්ද කියා හරියටම කීම අත්‍යවශ්‍ය නැහැ.)

All the reports have been completed. වර්තා ඔක්කොම ඉවර කරල තියෙන්නෙ. (කළේ කව්ද යන්න ප්‍රකාශයට එතරම් වැදගත් නැහැ.)

Vesak is celebrated in Sri Lanka. ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනවා. (සමරන්නෙ ලංකාවෙ ජනතාව බව පැහැදිලි නිසා සඳහන් කිරීම අනවශ්‍යයි.)

Curries should be eaten with rice. වෑන්ජන (ව්‍යාන්ජන) කන්න ඕනැ බත් එක්ක. (ප්‍රකාශය කාටත් පොදුයි.)

***තත්වයක් හෝ ස්වභාවයක් දක්වන ක්‍රියා පද (stative verbs) ඇති වාක්‍ය කාර්ම කාරකයට හැරවෙන්නේ නැහැ.

The dog has four legs. බල්ලාට කකුල් හතරක් තියනවා.

This dress suits her fine. මේ ඇඳුම එයාට හොඳට ගැලපෙනවා.

***සාමාන්‍යයෙන් කර්ම කාරකයේදී වාක්‍යයේ ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ එහි ඇති ක්‍රියාවට කෙලින්ම භාජනය වන දෙයකටයි / කෙනෙකුටයි (direct object). නිපාත පදයක් (preposition) හරහා ක්‍රියාවට වක්‍රාකාරව සම්බන්ධ වන දෙයකට / කෙනෙකුට බොහෝ විට එසේ වෙන්නේ නැහැ.

You have to cut bread (direct object) with the right knife (indirect object). - Bread has to be cut with the right knife. පාන් කපන්න ඕනැ හරි පිහියෙන්.

She explained the lesson (direct object) to me (indirect object). – The lesson was explained to me by her. එයා මට පාඩම කියල දුන්නා.

***නමුත් යම් දෙයක් / කෙනෙක් යම් ක්‍රියාවකට කෙලින්ම භාජනය වන්නේ නම් (direct object), ක්‍රියාවට පසුව සම්ප්‍රදායානුකූලව නිපාත පදයක් (preposition – to, for, at, into වැනි ) භාවිතා වුණත් සුදුසු විට කර්ම කාරකය යෙදෙනවා.

We are looking into the matter (direct object). - The matter is being looked into. අපි මේ කාරණය ගැන හොයාගන යනවා.

They laughed at me (direct object). - I was laughed at. ඒ ගොල්ලො / මිනිස්සු මට හිනා උනා.

***ඇතැම් වාක්‍යවල ක්‍රියා පදයට පසුව එන පදයක් preposition නැතිව එයට සම්බන්ධව තිබුනත් එහිදී ක්‍රියාවට කෙලින්ම භාජනය වීමක් හැඟවෙන්නේ නැතිනම් එවැනි වාක්‍ය කර්ම කාරකයට හැරවිය නොහැකියි.  

She is going home. එයා ගෙදර යනවා. (සම්ප්‍රදායිකව to home ලෙස නොයෙදුනත් මෙයින් ගම්‍ය වෙන්නේ එම අදහසයි.)

He is just playing the fool. එයා බොරුවට මෝඩයෙක් වගේ හැසිරෙනවා. (මෙහි playing the fool යනු මෝඩයෙක් මෙන් හැසිරීම දක්වන යෙදුමක්; එහි යම් නිශ්චිත මෝඩයාගේ චරිතයක් අදහස් කෙරෙන්නේ නැහැ.)

***නමුත් give, tell, teach, offer, sell, lend, promise ආදී වචන සහිත කතෘ කාරක වාක්‍යවල ක්‍රියාවට කෙලින්ම භාජනය වන දෙයකට / කෙනෙකුට (direct object) අමතරව ක්‍රියාවේ ප්‍රතිඵල ලබන දෙයකුත් / කෙනෙකුත් (indirect object) ඇතැම් විට සඳහන් වෙනවා; උදා: He gave me (indirect object) his book (direct object). එවැනි අවස්ථාවලදී එම indirect object එකට ප්‍රමුඛස්ථානය දී කර්ම කාරකයට හරවන්නටත් හැකියි. එම නිසා කර්ම කාරක රටා දෙකක් දකින්නට ලැබෙනවා.

He gave me his book. / He gave his book to me. – I was given his book. / His book was given to me. එයා මට එයාගෙ පොත දුන්නා.

They promise us a lot at election time. / They promise a lot to us at election time. – We are promised a lot at election time. / A lot is promised to us at election time. ඒ ගොල්ලො ඡන්ද කාලෙ අපට ගොඩක් දේවල් පොරොන්දු වෙනවා.

***සමස්තයක් වශයෙන් සියළු දෙනාට අදාළ යම් දෙයක් කීමට විධිමත් අවස්ථවල කර්ම කාරකය යෙදෙන තැන්වල කතා බහේදී නම් you සමග කතෘ කාරකය බහුලව යොදා ගන්නවා. මෙම සමස්තයට තමන් හා තමන් කතා කරන කෙනා ඇතුළත් නැති බව පෙන්වීමට අවශ්‍ය නම් මෙතනදි you වෙනුවට they පාවිච්චි කරනවා. මෙහිදී you, they පදවල සාමාන්‍ය අර්ථය නැහැ.  

You don’t (do not) celebrate it in this country. -  It is not celebrated in this country. මේ රටේ ඒක සමරන්නෙ නැහැ (මේ රටේ අය සමරන්නෙ නැහැ - අපිත් ඇතුළුව).

You shouldn’t (should not) disregard good advice. – Good advice should not be disregarded. හොඳ අවවාද නොසලකා හරින්න හොඳ නැහැ (මේක අපි කාටත් අදාළ දෙයක්).

They won’t (will not) change this rule. – This rule won’t (will not) be changed. මේ නීතිය වෙනස් කරන එකක් නැහැ (කිසි කෙනෙක් වෙනස් කරන එකක් නැහැ - ඒත් අපි නම් ඕකට සම්බන්ධයක් නැහැ).

***එසේම සාමාන්‍ය භාවිතයේ බොහෝ අය, යම් අය වැනි අර්ථවලින් people පදය භාවිතා වෙන පහත ආකාරයේ තැන්වලත් විධිමත් අවස්ථාවල කර්ම කාරක රටා යොදා ගැනෙනවා.

People believe him to be crazy. – He is believed to be crazy. මිනිස්සු හිතන්නේ එයාට පිස්සු කියලා.

People have seen them entering the building. – They have been seen entering the building. ඒ අය ගොඩනැගිල්ලට ඇතුල් වෙනව මිනිස්සු දැකල තියනවා.

***ඇතැම් අවස්ථාවල කතෘ කාරක ලෙස යෙදෙන ඇතැම් ක්‍රියා පදවලින් කර්ම කාරක අදහසක් ගම්‍ය වෙනවා. (මෙය ඇතැම් විට සිංහල භාෂාවේත් දකින්න ලැබෙනවා.)

People rushed in as soon as the supermarket opened. සුපිරි වෙළඳසැල ඇරපු ගමන් මිනිස්සු ඇතුළට දිව්වා. (“විවෘත වුන විගස ලෙස කියවුනත් යමෙක් එය විවෘත කළ බව පැහැදිලියි.)

This phone scratches easily. මේ ෆෝන් එක ලේසියෙන් සීරෙනවා. (ඉබේ නොසීරුනත් මෙහිදී සිංහල භාෂාවේ මෙන් එසේ යෙදෙනවා.)

***සැලකිය යුතු තවත් කාරණයක් තියනවා. සිංහලෙන් අදාළ පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව යම් දෙයක් සිදු වෙන ලෙස දැක්වෙන පහත සඳහන් ආකාරයේ ඇතැම් අවස්ථාවල ඉංග්‍රීසියේ යෙදෙන්නේ පුද්ගලයා ප්‍රධාන කර ගත් රටායි. (මේවා පුද්ගලයා උවමනාවෙන් කරන දේ නොවුණත්, බොහෝ විට යෙදෙන්නේ එවැනි රටාවක්.)

I lost my phone yesterday. ඊයේ මගේ ෆෝන් ඒක නැති උනා.

She has dropped the keys somewhere. එයාගෙන් යතුරු කොහෙ හරි වැටිලා. / එයා යතුරු කොහෙ හරි වට්ටගෙන.

He fell off the roof and broke his arm. එයා වහලෙන් වැටිල (එයාගේ) අත කැඩුනා.

***ක්‍රියා පදයක past participle ස්වරූපය නාම විශේෂණයක් (adjective) ලෙස යෙදෙන ඇතැම් වාක්‍ය passive voice රටාවට සමානව පෙනෙනවා. නමුත් ඒවායේ අර්ථය වෙනස් නිසා ඒවා passive voice සමග පටලවා නොගත යුතුයි.

The TV is broken. ටීවී එක කැඩිලා. (මෙයින් අදහස් වෙන්නේ රූපවාහිනී යන්ත්‍රය කැඩුණු තත්වයේ පවතින බව මිස එය කඩනු ලබන බව නොවේ. මෙතනදී “broken” පදය යෙදෙන්නේ predicative adjective එකක් ලෙසයි - predicative adjectives ගැන How to Use a Dictionary - පදපෙරළිලිපියේ සඳහන් වෙනවා.)

All those letters are written in the same handwriting. ඒ ලියුම් ඔක්කොම ලියලා තියෙන්නේ එකම අත් අකුරෙන්. (මෙතනදීත් “written in the same handwriting” යන කොටස යෙදෙන්නේ අදාළ ලියුම්වල ස්වභාවය දැක්වෙන adjective phrase එකක් ලෙසයි.)

ඉතින් මෙහෙම තමයි ඉංග්‍රීසියේ කර්ම කාරකය භාවිතා වෙන්නේ / නොවෙන්නේ. (So this is the way the passive voice is / isn’t used in English.)
 
 

13 comments:

  1. බොහොම ස්තුතියි. අදත් නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්තා.

    ReplyDelete
  2. @දසයා
    අහන්නත් සතුටුයි.

    ReplyDelete
  3. @චතුරංග රූපසිංහ
    My pleasure!

    ReplyDelete
  4. Thank, I learned the proper way of using passive voice today... I used to use passive voice for sentences like 'The document was prepared by Dimuthu.' But now I know where and how to used them correctly..

    ReplyDelete
  5. @Anonymous

    There is nothing wrong with sentences like 'The document was prepared by Dimuthu.' The only thing is that this sentence would be used in a context where you are mainly talking about the action of preparing the document, rather than who prepared it.

    The active-voice version, 'Dimuthu prepared the document.', gives more prominence to the one who performed the action, i.e. Dimuthu.

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි.කම්මැලි නැතිව යමක් ඉගෙන ගන්න පුළුවන්.ඔබේ ශෛලිය අපූරුයි

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails