Monday, February 8, 2010

It Should Be OK – 'should' පදය ගැන

  
සේයාරුවට ස්තුතිය: 416style 

ඉංග්‍රීසි භාෂාවෙ සමහර වචන ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් මුලින් කියා දෙනවා ඒ වචනයේ බහුලව යෙදෙන එක් අර්ථයක්. මුලදි එහෙම කිරීම අවශ්‍ය වෙනවා හැම දෙයක්ම එක පාර උගන්වන්න බැරි නිසා. නමුත් මේවාගේ බහුලව පාවිච්චි වෙන අනෙකුත් යෙදුම් ගැන පසුව හෝ එතරම් අවධානයක් යොමු නොවුනහොත් ශිෂ්‍යයන් භාෂා භාවිතයේදී අපහසුතාවයට ලක් වෙනවා. මොකද, කලක සිටම දන්නා වචන පවා නිතර හමුවෙන ඇතැම් තැන්වල යෙදෙන ආකාරය තමන් දන්නා අර්ථයට නොගැලපෙන නිසා.

අපි “should” වචනය මුලින් ඉගෙන ගන්නකොට එකේ තේරුම “යුතුයි” වශයෙනුයි දැන හඳුන ගත්තේ. එයට අදාළ උදාහරණත් අපට ඉදිරිපත් කෙරුණා. නමුත් ඒ වචනයේ මෙම  අර්ථයෙන්ම නොවන අනෙකුත් යෙදුම් ගැන නම් පසු කාලීනව හෝ ඉගැන්වුන බවක් මට නම් මතක නැහැ.

මේ පදයත් ඉංග්‍රීසි භාෂාවේ කරමක් විවිධාකාරව භාවිතා වෙනවා. එවැනි යෙදුම් කීපයක් ගැන මෙතනදී සලකා බලමු.

1. කිරීමට සුදුසු හෝ සුදුසු යැයි යෝජනා කරන දෙයක් ගැන

He should find a job now. එයා දැන් රස්සාවක් හොයා ගන්න ඕනැ. (එසේ කිරීම තමයි සුදුසු.)

We should write those letters this evening. අද හවස අපි අර / ඒ ලියුම් ටික ලියන්න ඕනැ. (එසේ කළ යුතුයි කියා නියමයක් තිබුනත්, නොතිබුනත්, එසේ කිරීම තමයි සුදුසු.)

2. ඇත්තෙන්ම එසේ නොවුණත් නියමාකාරයෙන් නම් විය යුත්තක් ගැන

They should be here by now. ඒ අය මේ වෙනකොට මෙහෙ ඉන්න ඕනැ. (ඒත් තවම නැහැ.)

I should be studying right now. හරි විදිහට නම් මම මේ වෙලාවෙ පාඩම් කර කර ඉන්න ඕනැ. (ඒත් කරමින් ඉන්නෙ වෙන දෙයක්.)


***ඉහත (1) හා (2) හි නැත යන අර්ථයද යෙදෙනවා.


You should not (shouldn’t) talk to them. ඔයා ඒ අය එක්ක කතා කරන්න හොඳ නැහැ (එය සුදුසු නැහැ).

I should not (shouldn’t) be here. මම මෙතන ඉන්න හොඳ නැහැ (මෙතන සිටිනා නමුත්). 

3. යමක් ගැන තමන් සත්‍ය යැයි සිතන දෙයක් පිළිබඳව (ඇත යන අර්ථයෙන් පමණයි)

That should be OK. ඒක හරි යන්න / ගැලපෙන්න ඕනැ. (එහෙම වේවි කියා සිතනවා.)

She should be the person in charge. එයා වෙන්න ඕනැ මෙතන බාරව ඉන්න කෙනා.

This decision should solve most of our problems. මේ තීරණයෙන් අපේ ප්‍රශ්න වැඩි හරියක් විස‍‍ඳෙන්න ඕනැ (විස‍ඳෙයි කියලා හිතනවා).

I should think that they don't care to see us. මම හිතන්නෙ අපිව හම්බ වෙන්න එයාලට උනන්දුවක් නැහැ
 
***ඉහත (1), (2) හා (3) අර්ථවලින් ought to යන්නත් තරමක් දුරට භාවිතයේ යෙදෙනවා.    

He ought to find a job now. එයා දැන් රස්සාවක් හොයා ගන්න ඕනැ. (එසේ කිරීම තමයි සුදුසු.)

They ought to be here by now. ඒ අය මේ වෙනකොට මෙහෙ ඉන්න ඕනැ. (ඒත් තවම නැහැ.)


You ought not (oughtn’t) to talk to them. ඔයා ඒ අය එක්ක කතා කරන්න හොඳ නැහැ (එය සුදුසු නැහැ).

That ought to be OK. ඒක හරි යන්න / ගැලපෙන්න ඕනැ. (එහෙම වේවි කියා සිතනවා.)

4. යමක් ගැන පුදුමය, අප්‍රසාදය වැනි හැඟීමක් දැක්වීමට

When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad! අපි ඊයෙ කොළඹ ඉන්නකොට කව්ද අපට හම්බ උනේ? පි‍ටරට ඉන්න මගේ යාළුවා! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත් බලාපොරොත්තු නොවුණ දෙයක්.)

I don’t understand why he should get angry like that. එයාට එහෙම තරහා යන්නෙ / ගියේ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. (එසේ තරහා යාම පුදුමයක්.)

Why should I talk to him? ඇයි මම එයා එක්ක කතා කරන්නෙ? (ඒ ගැන පුදුමය හෝ අප්‍රසාදය.)

5. (යම් හෙයකින්) යමක් වුවහොත් අර්ථය දැක්වීමට

If you should need my help, don't hesitate to call me. ඔයාට යම් හේතුවකින් මගේ උදව් අවශ්‍ය උනොත්, බය නැතුව මට කතා කරන්න (මට කතා කරන්න පැකිළෙන්න එපා).

I have put an extra pen in your bag, in case you should need it. යම් විදිහකින් ඔයාට ඕනැ උනොත් කියලා, මම ඔයාගෙ බෑග් එකට තව (අමතර) පෑනක් දැම්මා.

6. යමක් පිළිබඳ තමන්ගේ අදහස / කැමැත්ත ආචාරශීලීව පැවසීමට, I සහ we සමග (විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ)

I should like to talk to him. මට එයා එක්ක කතා කරන්න ඇත්නම් හොඳයි.

We should be sad to see that happen. ඒක සිදු වෙනවා අපට දකින්න ලැබුනොත් කණගාටුවක්. 

***මේ වෙනුවට would පාවිච්චි කිරීම වඩා බහුලයි. ඒ වගේම would මේ අර්ථයෙන් යෙදෙන්නෙ should වගේ I හා we සමග පමණක් නොවෙයි. ඒ ගැන අපි මීට කලින් ලිපියෙන් (What Would You Like? - මොකක්ද මේ 'would'?) කතා කළා මතක ඇති.

අතීතයේ විය යුතුව තිබූ දේ සම්බන්ධව සහ කොන්දේසි සහිත වාක්‍යවල (conditional sentences) මේ should පදයත් යෙදෙන ආකාරය අපි පසුව සලකා බලමු (You Could Have Done It - ගිය දේගියාවේ කියලම බැහැ හා If You Went to the Moon… - ‘if’ සහිතවැකි ගැන බලන්න). මම හිතන්නෙ දැනට මේ ඇති කියලා. (This should be enough for the moment.)

6 comments:

  1. සුජීව සර් අද පාඩමටත් බොහොම ස්තුතියි !

    ReplyDelete
  2. @iamdasaya
    ලිපිය ප්‍රයෝජනවත් කියලා අහන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  3. We should like to Thank U.

    ReplyDelete
  4. @eRanga
    I should be happy to hear that.

    ReplyDelete
  5. දන්නැති දේවල් ටිකකුත් ඉගන ගත්තා....ස්තුතියි...

    ReplyDelete
  6. @panhida
    අහන්න සතුටුයි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails