Thursday, February 4, 2010

It Could Be in English - විය හැකි හෝ නොහැකි බව

 
සේයාරුවට  ස්තුතිය‍: Tim Green aka atoach

ලෝකයේ සිද්ද වෙනවා නොයෙක් දේවල්. ඒවයින් සමහරක් නම් අප‍ට වෙන්න කලින්ම නිවැරදිව හඳුනාගන්න පුලුවන්. නමුත් බොහොමයක් දේ එහෙම නෙමෙයි. මොන විදිහට වෙයිද තියා, වෙයිද නොවෙයිද කියලවත් කලින් හරියකට කියන්න අමාරුයි.

ඉතින් මොකද කරන්නෙ? ඒ වගේ දේවල් ගැන සද්ද නැතුව ඉන්නත් පුලුවන්. ඒත් අපි කව්රුත් සාමාන්‍යයෙන් කැමතියිනේ වෙන්න තියෙන දේවල් ගැන අනුමාන කරලා හරි කතා කරන්න. ඉංග්‍රීසි කතා කරද්දිත් ඒ අවශ්‍යතාවය මතු වෙන නිසා ඉංග්‍රීසියෙන් මේ වගේ දේවල් කියන හැටිත් ඉගෙන ගන්න වෙනවා. 

බලමු පොඩ්ඩක් මෙතනදී පාවිච්චි වෙන රටා කීපයක් දිහා.

යමක් වීමට / නොවීමට ඉඩක් ඇති බව දැක්වීමට may, might / may not, might not යෙදෙනවා. මෙහිදී බොහෝ විට may හා might දෙකම සමාන අර්ථයෙන් පාවිච්චි කළත්, ඇතැම් අවස්ථාවල සිදු වීමට ඇති ඉඩ වඩාත් අඩු බව දැක්වීමට might භාවිතා කරනවා.

He may / might lose his job. එයාගෙ රස්සාව නැති වෙන්න ඉඩ තියෙනවා.

They may / might come here any moment. ඒ අය කොයි වෙලාවෙ හරි මෙහෙ එන්න පුලුවන් (ඉඩ තියෙනවා).

It may / might not rain till April. අප්‍රේල් වෙනකන් නොවහින්න ඉඩ තියෙනවා.

She may / might not like this colour [බ්‍රි] / color []. එයා මේ පාටට කැමති නැති වෙන්න පුලුවන් (ඉඩ තියෙනවා).

ඇත යන අර්ථයෙන් ඇති මෙවැනි තැන්වලදී could පදයද මීට සමානව භාවිතා කෙරෙනවා.

It could happen to anyone. ඒක ඕනැ කෙනෙතුට වෙන්න ඉඩ තියෙනවා.

That man could be a pickpocket. ඒ මිනිහා පොකට් කාරයෙක් වෙන්න පුලුවන් (ඉඩ තියෙනවා).

අවවාද, අනතුරු හැඟවීම් ආදියේ සාමාන්‍යයෙන් යෙදෙන්නේ may හෝ could පදයයි.

Smoking may cause cancer. දුම්බීම පිළිකා ඇති කළ හැකියි.

High speed could lead to accidents. අධික වේගය අනතුරුවලට තුඩු දිය හැකියි.

නමුත් can යොදන්නේ යමක් සිදු වීමට ස්වභාවයෙන්ම වැඩි ඉඩක් ඇති බව දැක්වීමටයි.

It can be hot here in April. අප්‍රේල් මාසෙ මෙහෙ රස්නෙ වෙන්න ඉඩ වැඩියි.

He can act foolishly sometimes. එයා සමහර වෙලාවට මෝඩ විදිහට වැඩ කරන ගතියක් තියෙනවා.

යමක් වීමට / නොවීමට ඇති ඉඩ ගැන ප්‍රශ්නයක් ඇසීමේදී බොහෝ විට එය කරන්නේ could පදය ආශ්‍රයෙනුයි. විධිමත් (formal) අවස්ථාවල ඒ සඳහා might ද යෙදෙනවා. (නමුත් ‍may පදය මෙම අර්ථයෙන් ප්‍රශ්න ඇසීමේදී පාවිච්චි වෙන්නේ නැහැ.)

Could it rain today? අද වහින්න පුලුවන්ද (ඉඩ තියෙනවද)?

Could that be Nimal’s sister? ඒ නිමල්ගෙ අක්කා / නංගි වෙන්න පුලුවන්ද?

Could they already know about it? අය දැනටමත් ඒ ගැන දන්නවා වෙන්න පුලුවන්ද (එහෙම වෙන්න ඉඩ තියෙනවද)?

Couldn't it be the right one? ඒක හරි එක වෙන්න බැරිද? 

Might the answer be wrong? උත්තරය වැරදි වෙන්න පුලුවන්ද (ඉඩ තියෙනවද)?

නැත යන අර්ථයේදී  cannot (can't) / could not (couldn't) පද යෙදෙන්නේ සිදු විය නොහැකි / සිදු වීමට ඉඩ අඩු බව දැක්වීමටයි. එහිදී මේවා සහ may not / might not අතර වෙනසක් තිබෙනවා.

Lunch can't be ready before 2 o'clock. (දවල්) කෑම 2 ට කලින් ලෑස්ති වෙන්න ඉඩක් නැහැ.

Lunch couldn't be ready before 2 o'clock. (දවල්) කෑම 2 ට කලින් ලෑස්ති වෙන්න ඉඩ අඩුයි.

Lunch may / might not be ready before 2 o'clock. (දවල්) කෑම 2 ට කලින් ලෑස්ති නොවෙන්න ඉඩ තියෙනවා.(නමුත් ඊට කලින් ලෑස්ති වෙන්නත් හැකියි.)


මීට අමතරව, අතීතයේ සිදු විය හැකිව තිබූ දේ සම්බන්ධවත්, ඒ වගේම if හා unless ආශ්‍රයෙන් සැකසෙන කොන්දේසියක් සහිත වාක්‍යවලත් (conditional sentences), මේ could, may, might ආදී පද භාවිතා වෙනවා. ඒවා අපි පසුව සලකා බලනවා (You Could Have Done It - ගිය දේ ගියාවේ කියලම බැහැ හා If You Went to the Moon… - ‘if’ සහිත වැකි ගැන බලන්න)


(මීට කලින් can හා could පදවල වෙනත් අර්ථ ගැන කතා කළ I Can Speak English - හැකියාව ගැනහා  Can I Start Now? - අවසර, අනවසර, ඉල්ලීම් හා යෝජනා ගැන ලිපිත් බලන්න. )
තවත් මේ ගැන ප්‍රශ්‍න ඔබට තියෙන්න පුලුවන්. එහෙම තියෙනවා නම් අහන්න පැකිළෙන්න එපා. You may / might / could still have questions regarding this. If so, don't hesitate to ask.

4 comments:

  1. මේ දවස්වල ගොඩක් වැඩ. ඒත් එකසැරේ ඔක්කොම බැලුවා අද...

    ReplyDelete
  2. @indik
    ස්තුතියි, වැඩ අස්සෙත් බැලුවට.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails