Sunday, February 14, 2010

If You Went to the Moon… - 'if' සහිත වැකි ගැන

 

සේයාරුවට ස්තුතිය:Rachel from Cupcakes Take the Cake 



අපි කතා බහ කරද්දි, ලියද්දි කියද්දි එහෙම අපට නිතරම සඳහන් කරන්න වෙනවා ‍යම් කොන්දේසියක් මත පදනම් වුණ තවත් දෙයක් ගැන. එහෙම කෙරුවොත් මෙහෙම වෙයි., එහෙම කළා නම් මෙහෙම වෙන්න තිබුනා. වගේ කියුම්වලින් තොරව වැඩි වෙලා කතා බහ කරන්න බැහැ‍.

මේ වගේ වාක්‍යවලට ඉංග්‍රීසි භාෂාවේ කියනවා conditional sentences කියලා. මේවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට බෙදන්න පුලුවන්. මේවායේ වඩාත් බහුලව යෙදෙන්නේ if (...නම්) පදය නිසා අපි ඒ සමග උදාහරණ කීපයක් අරන් බලමු.

(CS1) If you study well, you will pass the exam. ඔයා හොඳට ඉගෙන ගන්නවා නම් (පාඩම් කරනවා නම්) / ඉ‍ගෙන ගත්තොත් (පාඩම් කළොත්) විභාගෙ පාස් වෙයි. (මම විශ්වාස කරනවා ඹයා හොඳ‍ට ඉගෙන ගන්නවා / ඉගෙන ගනීවි කියලා.)

(CS2) If you studied well, you would pass the exam. ඔයා හොඳට ඉගෙන ගන්නවා නම් (පාඩම් කරනවා නම්) / ඉ‍ගෙන ගත්තොත් (පාඩම් කළොත්) විභාගෙ පාස් වෙයි. (මම එතරම් විශ්වාස කරන්නෙ නැහැ ඹයා හොඳ‍ට ඉගෙන ගන්නවා / ඉගෙන ගනීවි කියලා.)

(CS3) If you had studied well, you would have passed the exam. ඔයා හොඳට ඉගෙන ගත්තා නම් (පාඩම් කළා නම්) විභාගෙ පාස් වෙන්න තිබුනා.

මේ රටා ගැන දැන් වෙන වෙනම බලමු.

(CS1) රටාව

මෙය first conditional ලෙස හැඳින්වෙනවා.

1. දැන් යමක් සිදු වෙනවා නම් හෝ යම් කරුණක් සත්‍ය නම්, ඒ මත පදනම් වී තවත් යමක් සිදු වෙන හෝ සිදු විය හැකි බව පැවසීමට  (CS1) රටාව භාවිතා වෙනවා.

***මෙහිදී කොන්දේසියේ, එනම් if සහිත කොටසේ, ඇති කාරණය දැනට ඇත්තෙන්ම සිදු වෙන දෙයක් ලෙස අපි සලකනවා.

If he watches TV a lot, he won’t have enough time for his studies. එයා හුඟක් TV බලනව නම් එයාට පාඩම් වැඩවලට වෙලාව මදි වේවි.

If they don’t work hard, their profits won’t (will not) go up. ඒ අය මහන්සි වෙලා වැඩ කරන්නෙ නැති නම් ඒයාලගෙ ලාභ ඉහළ යන එකක් නැහැ.

***if කොටසේ දැක්විය යුත්තේ දැන් සිදු වෙමින් පවතින දෙයක් නම්, ඒ සඳහා ‍අදාළ ක්‍රියා රටාවද එහි භාවිතා කළ හැකියි.

If he is working, we won’t disturb him. එයා වැඩ කර කර නම් ඉන්නෙ අපි එයාට බාධා කරන්නෙ නැහැ.

2. අනාගතයේ යමක් සිදු වුණොත්, ඒ මත පදනම් වී තවත් යමක් සිදු වෙන හෝ සිදු විය හැකි බව පැවසීමට (CS1) රටාවම භාවිතා වෙනවා.

***මෙහිදී කොන්දේසියේ, එනම් if සහිත කොටසේ, ඇති කාරණය සිදු විය හැක්කක් / කළ හැක්කක් ලෙස අපි දකිනවා. එය අනාගත කාලයට අදාළ දෙයක් වුණත්, එහි ඇති ක්‍රියා රටාව බොහෝ විට වර්තමාන කාල ස්වරූපයම ගන්නවා. (මෙවැනි අනාගතයට අදාළ වාක්‍ය ඛණ්ඩවල වර්තමාන ක්‍රියා රටා යෙදීම ගැන අපි TheyWill Be Working - අනාගතයේ තවත් පැත්තක් ලිපියෙදිත් කතා කළා මතක ඇති.)

If she comes here tomorrow, we will meet her. එයා හෙට මෙහෙ ආවොත් අපට එයාව හම්බ වෙයි.

We will see them all if we go to the school reunion. අපි ඉස්කොලෙ නැවත හමුවීමට ගියොත් අපට ඒ ගොල්ලො ඔක්කොම හම්බ වේවි.

(CS2) රටාව

මෙය second conditional ලෙස හැඳින්වෙනවා.

සිදු වේ යැයි අපි එතරම් විශ්වාස නොකරන යමක් යම් හෙයකින් සිදු වුණොත්, ඒ මත පදනම් වී තවත් යමක් සිදු විය හැකි බව (CS2) රටාවෙන් දැක්වෙනවා.

***මෙය අපට තරමක් නුහුරුයි මේ වගේ එකක් සිංහල භාෂාවේ නැති නිසා. මෙය යෙදෙන්නේ if කොටසේ ඇති කොන්දේසිය සිදු වීමට ඉඩ අඩු දෙයක් කියා අපි සිතන විටයි. එසේ නැති නම් එය යතාර්ථවාදී නොවන හෝ හුදෙක් මනඃකල්පිත දෙයක් වන විටයි. (සිංහලෙන් ඇතැම් විට මේ වගේ තැන්වල බැරි වෙලාවත් යන්න එකතු කරනවා.) යම් විදිහකින් ඒ කොන්දේසිය සම්පූර්ණ වුණොත් පමණක් අනිත් කාරණය සිදු විය හැකි බව කියවෙනවා.

***මෙතනදී කොන්දේසිය සහිත වාක්‍ය ඛණ්ඩයේ - එනම් if සහිත වාක්‍ය ඛණ්ඩයේ - අතීත කාල ක්‍රියා රටාවක් යෙදුනත්, ප්‍රකාශයේ අර්ථය වර්තමානයට හෝ අනාගතයට සම්බන්ධ බව හොඳින් මතක තබා ගත යුතුයි. (අපි සිතින් මවා ගන්නා තත්ව සඳහා භාවිතා වෙන මෙම ක්‍රියා රටාව බොහෝ විට අදාළ ක්‍රියාවේ අතීත කාල ස්වරූපයම ගන්නවා. ඇතැම් වි‍ට subjunctive mood වශයෙන්ද හැඳින්වෙන ගණයට වැටෙන මෙම ක්‍රියා රටා පාවිච්චි වෙන තවත් තැන් අපි ඉදිරි ලිපිවලින් සලකා බලනවා.)

If you stole that, the police would come for you. (බැරි වෙලාවත්) ඔයා ඒක හොරකම් කළොත් පොලීසියෙන් ඔයාව අල්ලන්න ඒවි. (ඒත් මම හිතන්නෙ නැහැ ඔයා ඒක හොරකම් කරයි කියලා.)

He would surely get into trouble if he kept talking back to his boss. එයා ලොක්කා එක්ක දිගටම එකට එක කතා කරන්න ගියොත් අනිවාර්යෙන්ම අමාරුවෙ වැටේවි. (ඒත් මම හිතන්නෙ නැහැ එයා දිගටම එහෙම කරයි කියලා.)

If you went to the moon, you would see the craters. ඔයා හඳට ගියොත් ආවාට දකීවි. (මනඃකල්පිත දෙයක්)

***තමන්ගේ ඉල්ලීමක්, බලාපොරොත්තුවක් ආදිය ආචාරශීලීව ඉදිරිපත් කිරීමටත් මෙම රටාව භාවිතා කළ හැකියි.

If you just listened to her once, you would realize what a good singer she is. ඔයා නිකමට එක පාරක් එයා සිංදු කියනව ඇහුවොත් ඔයාට තේරේවි එයා කොච්චර හොඳ ගායිකාවක්ද කියල. (එහෙම අහලා බලන ලෙස කරන වක්‍රාකාර යෝජනාවක්)

***if කො‍ටසේ එන කාරණය වර්තමානයට අදාළ දෙයක් වන විටත් මෙම රටාව භාවිතා කළ හැකියි. එසේ කරන්නේ එම කාරණය සත්‍යයක් නොවන විට, සත්‍යයක් නොවේ යැයි අපි සිතන විට හෝ එය සත්‍යයක් දැයි අප‍‍ට සැක ඇති විටයි.

I would gladly do it if I didn’t (did not) have so much work. මට මෙච්චර වැඩ නොතිබුනා නම් මම ඒක කැමැත්තෙන්ම කරනවා. (ඒත් මට හරියට වැඩ නිසා ඒක යතාර්ථවාදි නැහැ.)

You would be a fool if you believed that. ඒක විශ්වාස කරනව නම් ඔයා මොඩයෙක්. (ඒත් මම හිතන්නෙ නැහැ ඔයා ඒක විශ්වාස කරනවා කියලා.)

***මේ සම්බන්ධව මතක තියා ගන්න ඕනැ තවත් දෙයක් තමයි, අතීත කාලයට was යෙදෙන අවස්ථාවලදී, මේ රටාවේ නම් if කොටසේ was වෙනුවට - විශේෂයෙන් විධිමත් (formal) භාෂාවේ හා සාම්ප්‍රදායික යෙදුම්වල (idiomatic expressions) - were යෙදෙන බව. (ඇතැම් අය මෙම අර්ථයට was යෙදීම කොහෙත්ම නුසුදුසු යැයි සලකනවා.)

If this news was / were true, it would be good for all of us. මේ ආරංචිය ඇත්තක් වුණා නම් එහෙම ඒක අපි කාටත් හොඳ වෙනවා. (නමුත් එය ඇත්තක් නොවන බව කාටත් පැහැදිලියි.)

We wouldn’t (would not) be here today if it was / were not for you. ඔයා නැත්නම් (ඔයා නිසා නෙමේ නම්, ඔයාගේ උදව්ව / මග පෙන්වීම නැති නම්) අපි අද මෙතන නැහැ. (නමුත් අනිත් පුද්ගලයාගේ සහාය ඇත්ත වශයෙන් නම් තිබෙන නිසා මෙය මනඃකල්පිත අවස්ථාවක්.)

If I was / were you, I wouldn’t go there. මම ඔයා නම් මම එහෙ යන්නෙ නැහැ. (මට ඇත්ත වශයෙන්ම ඔයා විය නොහැකි නිසා මෙයත් මනඃකල්පිතයි.)

(CS3) රටාව

මෙය third conditional ලෙස හැඳින්වෙනවා.

අතීතයේ යමක් සිදු වුණා නම්, ඒ මත පදනම් වී තවත් යමක් සිදු වීමට ඉඩ තිබුන බවයි (CS3) රටාවෙන් පැවසෙන්නේ.

***මෙය අතීත කාලයට අයත්. මෙහිදී කතා කරන්නේ විය හැකිව තිබුන දේ ගැනයි. මෙහි if සහිත කොටසේ භාවිතා වෙන ක්‍රියා රටාව - එනම් අපි කලින් ලිපියක සලකා බැලූ (G) රටාව - සාමාන්‍යයෙන් යම් අතීත සිද්ධියකට කලින් සිදු වු දෙයක් සම්බන්ධයෙන් පාවිච්චි ‍කෙරුනත්, මෙතනදී ඇත්තේ වෙනත් අර්ථයක්. මෙහිදී එයින් දැක්වෙන දෙය අතීතයේ සිදු විය හැකිව / යුතුව තිබුනත්, දැන් හෝ අදාළ අවස්ථාව වන විට සිදු විය නොහැකි හෝ සිදු වුණත් පලක් නැති දෙයක්. (විය හැකිව / යුතුව තිබූ නමුත් සිදු නොවූ දේ මනඃකල්පිතව දක්වන මෙයත් subjunctive mood ස්වරූපයක් ලෙස සැලකෙනවා.)

If he had studied well, he would have passed the exam. එයා හොඳට ඉගෙන ගත්ත නම් (පාඩම් කළා නම්) එයා‍ට විභාගෙ පාස් වෙන්න තිබුනා.

She would have gone abroad if she had not accepted that job. එයා ඒ රස්සාව බාර නොගත්ත නම් එයා‍ රට යන්න තිබුනා.

තවත් වැදගත් කරුණු කීපයක්

***අර්ථයට ගැලපෙන පරිදි මේ රටාවල will වෙනුවට can, may, must ආදී පදත්, would වෙනුවට might, should ආදී පදත් භාවිතා වෙනවා.

If she comes here tomorrow, we can meet her. එයා හෙට මෙහෙ ආවොත් අපට එයාව හම්බවෙන්න පුලුවන‍්.‍

We couldn’t (could not) be here today if it was / were not for you. ඔයා නැත්නම් අද අපට මෙතන ඉන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ.

If he had studied well, he might have passed the exam. එයා හොඳට ඉගෙන ගත්ත නම් (පාඩම් කළා නම්) එයා‍ට විභාගෙ පාස් වෙන්න ඉඩක් තිබුනා.

***පුරුද්දක්  ලෙස හෝ ස්වභාවය නිසා සැම විටම සිදු වෙන සිදු වෙන දෙයක්  සම්බන්ධව if යෙදෙන විට, if නොමැති වාක්‍ය ඛණ්ඩයේත් වර්තමාන ක්‍රියාවක් යෙදෙනවා. මේ අවස්ථාවල if වෙනුවට when ද යෙදිය හැකියි. (මෙම රටාව zero conditional ලෙස හැඳින්වෙනවා.)

If / When you heat ice, it melts. උණු කලොත් අයිස් දිය වෙනවා (එය එහි ස්වභාවය).

People get frustrated if / when they have too many problems. මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි උනොත්, ඒ අය කලකිරෙනවා (එය මිනිසුන්ගේ සාමාන්‍ය ස්වභාවය).

My boss gets angry if / when I am late to work. මම පරක්කු වෙලා වැඩට ගියොත්, මගෙ ලොක්කට තරහ යනවා (එය ඔහුගේ ස්වභාවය, පුරුද්ද). 

***ඇතැම් විට if වාක්‍ය ඛණ්ඩයක් විධානයක්, ඉල්ලීමක්... වැනි යමක් සමග සම්බන්ධ වෙනවා.

If they try to enter, stop them. ඒ ගොල්ලො ඇතුළට එන්න හැදුවොත් නවත්තන්න.

If they tried to enter, stop them. ඒ ගොල්ලො (බැරි වෙලාවත්) ඇතුළට එන්න හැදුවොත් නවත්තන්න. (ඒත් මම හිතන්නෙ නැහැ ඒ අය ඇතුළට එන්න හදයි කියලා.)

Please don’t wake the baby if she is sleeping. බබා නිදි නම් කරුණා කරල එයාව ඇහැරවන්න එපා.

***ඒ වගේම if වාක්‍ය ඛණ්ඩයක් වර්තමානයේ ඇති තත්වයක්, අදහසක්, කැමැත්තක්, අභිප්‍රායක් වැන්නකට සම්බන්ධ වෙන වි‍ට මේ දෙවැන්න වර්තමාන ර‍ටාවෙන්ම යෙදෙනවා.

If her mother also works there, she is lucky. එයාගේ අමමා වැඩ කරන්නෙත් එතන නම් එයා වාසනාවන්තයි.

If you want to leave, we don’t want to stop you. ඔයාට යන්න ඕනැ නම් අපට ඔයාව නවත්තන්ත ඕනැ නැහැ.

We don’t hope to stay here if they also come. ඒ අයත් එනව නම් අපි මෙහෙ නතර වෙන්න බලාපොරොත්තුවක් නැහැ.

***අනාගතයේ යම් දෙයක් සිදු වෙයි යන මතය සත්‍ය නම් යන අර්ථය ගන්නා if සහිත වාක්‍ය ඛණ්ඩයක ක්‍රියාව අනාගත ස්වරූපයෙන් යෙදෙනවා.

You can open the window if it will make you more comfortable. ඔයාට ජනේලෙ අරින්න පුලුවන් ඒකෙන් (ජනේලෙ ඇරීමෙන්) පහසුවක් වෙනව නම් (පහසුවක් වෙයි කියලා ඔයා හිතනවා නම්).

She can leave if that will make her happy. එයාට යන්න පුලුවන් ඒකෙන් (ඒ යාමෙන්) එයා සතුටු වෙනවා නම් (සතුටු වෙයි කියලා එයා හිතනවා නම්).

***කාරුණික ඉල්ලීමක් කිරීමේදී if කොටසේ ක්‍රියාව අනාගත කාලයෙන්ද යෙදෙනවා. මෙහිදී will වැන්නක් වෙනුවට would වැන්නක් යෙදුන විට ප්‍රකාශය වඩාත් ආචාරශීලී බවක් දක්වනවා.

If you will follow me, I can show you around the place. / If you would follow me, I could show you around the place. ඔයා මාත් එක්ක එනව නම් මට ඔයාට මේ තැන පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්.

***යම් හෙයකින් යමක් වුවහොත් යන අර්ථය දැක්වීමට if කොටසේ ක්‍රියාව ඇතැම් විට should සමග යෙදෙනවා.

If you should meet my brother, please ask him to contact me. යම් විදියකින් ඹයාට මගෙ අයියව / මල්ලිව හම්බ උනොත් එයාට කියන්න මාව කන්ටැක්ට් කරන්න (මට කතා කරන්න) කියලා.

If you should need any help, you could always call me. ඔයාට යම් උදව්වක් ඕනැ උනොත් ඕනැ වෙලාවක මට කතා කරන්න පුලුවන්.

***ඉහත අර්ථය දීමට happen to යන්නත්, should ඇතිව හෝ නැතිව, පහත ආකාරවලින් යොදා ගැනෙනවා.

If you (should) happen to meet my brother, please ask him to contact me. යම් විදියකින් ඹයාට මගෙ අයියව / මල්ලිව හම්බ උනොත් එයාට කියන්න මාව කන්ටැක්ට් කරන්න (මට කතා කරන්න) කියලා.

If you happen to need any help, you can always call me. ඔයාට යම් උදව්වක් ඕනැ උනොත් ඕනැ වෙලාවක මට කතා කරන්න පුලුවන්.

If you should happen to need any help, you could always call me. ඔයාට යම් උදව්වක් ඕනැ උනොත් ඕනැ වෙලාවක මට කතා කරන්න පුලුවන්.

***(CS2) රටාව ඇති පහත ආකාරවල වාක්‍යත් බහුලව හමු වෙනවා.

What would you do if you could do anything you wanted? ඔයාට ඕනැම දෙයක් කරන්න පුළුවන් උනොත් එහෙම ඔයා මොනවද කරන්නේ?

If we were to invite them, would they come to our party? බැරි වෙලාවත් අපි එයාලට ආරාධනා කළොත් එයාල අපේ පාටියට එයිද?

***අතීතයේ යමක් සිදු වුණා නම් ඒ මත පදනම් වී සිදු වීමට ඉඩ තිබුන දෙය වර්තමානය‍ට හෝ අනාගතයට අදාළ නම්, (CS3) රටාවේ if සහිත කොටස සමග (CS2) රටාවේ අනිත් කොටස ‍භාවිතා වෙනවා. එමෙන්ම අතීතයට මෙන්ම වර්තමානයටද අදාළ තත්වයක් වෙනස්ව තිබුනා නම් අතීතයේ විය හැකිව තිබුන දෙයක් ගැන කීමට (CS2) රටාවේ if සහිත කොටස සමග (CS3) රටාවේ අනිත් කොටස ‍භාවිතා වෙනවා. (මෙම ස්වරූප mixed conditionals ලෙස හැඳින්වෙනවා.)

You wouldn’t be here today if you had married her. ඔයා එයාව බැන්ද නම් ඔයා අද මෙතන නැහැ. (මෙතන ඉන්න එකක් නැහැ.) (if කොටසේ අතීතයේ සිදු විය හැකිව තිබූ දෙයක් දැක්වෙන නමුත් අනිත් කොටසින් දැක්වෙන්නේ වර්තමානයට සම්බන්ධ තත්වයක් නිසා මේ ආකාරයෙන් යෙදෙනවා.)

If you had joined that company, you would get a good salary today. ඔයා ඒ සමාගමට බැඳුන නම් අද හොඳ පඩියක් ගන්නවා. (සමාගමට බැඳීම අතීතයට අදාළ වුණත්, හොඳ පඩියක් ලැබීම වර්තමානයට අයත් නිසා මෙසේ භාවිතා වෙනවා.)

You would have understood what he said if you knew German. ඔයා ජර්මන් දන්නවා නම් ඔයාට එයා කිව්ව දේ තේරුම් ගන්න තිබුනා. (තේරුම් ගැනීමට නොහැකි වීම අතීතයට අදාළ දෙයක් වුණත්, ජර්මන් නොදැනීම වර්තමානයටත් අදාළයි.)

If I were rich, I would have bought that car. මම පෝසතෙක් නම් මම ඒ කාරෙක ගන්නවා.. (කාරෙක නොගත්තේ අතීතයේ වුණත්, පෝසත් නැතිකම වර්තමානයටත් අදාළයි.)

***(CS1) රටාවේ if කොටස සමග යෙදෙන අනිත් කොටස අර්ථයට ගැලපෙන වෙනත් යම් රටාවක් ගන්නත් හැකියි.

If he is here, he must have seen us. එයා ඉන්නේ මෙහෙ නම් එය අපිව දකින්න ඇති.  

If you go there, you should be careful. ඔයා එහෙ යනවා නම් පරිස්සම් වෙන්න ඕනැ.

***අතීතයේ යම් දෙයක් සිදු වුනා යන මතය සත්‍ය නම්යන අර්ථය ගන්නා if සහිත වාක්‍ය ඛණ්ඩයක සාමාන්‍ය අතීත කාල ක්‍රියාවම භාවිතා වෙනවා. ඒ සමග යෙදෙන අනිත් කොටස අර්ථයට ගැලපෙන යම් රටාවක් ගත හැකියි

If she got the letter yesterday, she was lucky. එයාට ලියුම ඊයෙ හම්බ උනා නම් (ඊයේ ලියුම ලැබුන බව සත්‍ය නම්) එයා වාසනාවන්තයි.

I am sorry if I was rude to you earlier.  මම කලින් ඔයාට හිත රිදෙන දෙයක් කිව්වා / කළා නම් (ඇත්තෙන්ම හිත රිදෙන දෙයක් කිව්වා / කළා නම්) මට කණගාටුයි.

If he was surprised, he didn’t show it. එයා (ඇත්තෙන්ම) පුදුම උනා නම් එක පෙන්නුවේ නැහැ.

If they wanted more information, as you say, they could have asked me. ඔයා කියන විදිහට ඒ අයට (ඇත්තෙන්ම) තව තොරතුරු ඕනැ උනා නම් ඒ අයට මගෙන් අහන්න තිබුනනේ.

***වෙනත් කෙනෙක් සත්‍ය යයි කියන දෙයක් තමන් නොපිළිගත්තත්, එම පුද්ගලයා එසේ කියන නිසා එයට අභියෝග කිරීමේදී යොදා ගැනෙන්නේ සාමාන්‍ය ක්‍රියා ස්වරූප මිස subjunctive ස්වරූප නොවේ.

If she is here, we must be able to see her. (ඔයා කියන විදිහට) එයා මෙතන ඉන්නව නම් අපට එයාව පේන්න එපායැ.

If you came here yesterday, why didn’t you talk to me? ඔයා (ඔය කියන විදිහට) ඊයේ මෙහෙ ආවා නම් ඇයි මට කතා නොකළේ?
 
***වැඩි අවධාරණයක් සඳහා ඇතැම් විට දෙවෙනි කොටසේ then යෙදෙනවා.

If this is true, then the matter is serious. මේක ඇත්ත නම් කාරණය බරපතලයි.

***අවිධිමත් කතාබහේදී කොන්දේසියක්, තර්ජනයක් වැන්නක් සඳහා if නොමැති රටාත් භාවිතා වෙනවා.

He wants to get in, he pays for it like the others. එයාට ඇතුළට එන්න ඕනැ නම් අනිත් අය වගේ ඒකට ගෙවන්න ඕනැ.

You do that, I’ll report you to the police. ඔයා ඒක කළොත් මම ඔයා ගැන පොලීසියට කියනවා.

***මේ if පදය වෙනුවට ඇතැම් විට provided / providing (that), supposing (that) ආදී යෙදුම්ද භාවිතා වෙනවා.

Anyone will do that job provided you pay them right. ඔයා හරියට ගෙවනවා නම් ඕනැ කෙනෙක් ඒ වැඩේ කරාවි.

Supposing that somebody comes here, we will have to hide somewhere. කවුරු හරි මෙහෙ ආවොත් එහෙම අපට කොහෙ හරි හැංගෙන්න වෙනවා. 

***කොන්දේසිය තුළ නැත යන අර්ථය සඳහා if… not (එසේ නැති නම්) වෙනුවට unless ද භාවිතා කළ හැකි බව සාමාන්‍යයෙන් කියවුණත්, ඕනෑම තැනක if… not වෙනුවට unless යෙදෙන්නේ නැහැ. එහිදී unless පාවිච්චි කරන්නේ එසේ නම් හැරුණවිට අර්ථයේදී පමණයි.

We will not meet her unless she comes here tomorrow. එයා හෙට මෙහෙ ආවෙ නැති නම් අපට එයාව හම්බ වෙන එකක් නැහැ. (හෙට එයා ආවොත් හැර එයාව හම්බ වෙන්න වෙනත් ආකාරයතක් නැති නම් මෙසේ කිව හැකියි.)

Unless you listened to her at least once, you wouldn’t realize what a good singer she is. ඔයා එක පාරක් වත් එයා සිංදු කියනව ඇහුවෙ නැති නම් ඔයාට තේරෙන එකක් නැහැ එයා කොච්චර හොඳ ගායිකාවක්ද කියල. (එක වතාවක්වත් ඇහුවොත් හැර වෙන ක්‍රමයක් නැහැ.)

නමුත් If you don’t like it, you can choose something else (ඔයා ඒක‍ට කැමති නැති නම් වෙන එකක් තෝර ගන්න පුලුවන්) වැන්නක් Unless you like it, you can choose something else ලෙස කීම අර්ථාන්විත නැති බව තේරුම් ගත යුතුයි. ඊට හේතුව වෙනත් දෙයක් තෝරා ගත හැක්කේ තමන් මේ දෙයට අකමැති නම් පමණක් නොවෙන නිසයි.
  
නමුත් මෙසේ කිව හැකියි.

If you don’t like it, you don’t have to buy it.
Unless you like it, you don’t have to buy it.
ඔයා ඒකට කැමති නම් ඇරෙන්න ඒක (මිලදී) ගන්න ඕනැ නැහැ.

පහත එන (a) හා (b) උදාහරණ දෙකේ වෙනසත් බලන්න:

(a) You can’t buy it if you don’t have money with you.
      You can’t buy it unless you have money with you.
ඔයා ළඟ සල්ලි නැත්නම් ඔයාට ඒක (මිලදී) ගන්න බැහැ. (සල්ලි තියනවා නම් හැර ඒක ගන්න වෙනත් ක්‍රමයක් නැහැ.)

(b) You can pay with your credit card if you don’t have money with you.
ඔයා ළඟ සල්ලි නැත්නම් ඔයාට ඔයාගේ ක්‍රෙඩිට්‌ කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. (ක්‍රෙඩිට්‌ කාඩ්පතෙන් ගෙවිය හැක්කේ සල්ලි නැත්නම් පමණක් නොවෙයි.)


මම දැන් මෙතන තවත් දුර ගියොත් කියවන ඔය ගොල්ලො සමහර විට කියවන එක නවත්වල දමාවි. ඒ නිසා ඊළඟ ලිපියෙන් හමු වෙමු. (If I went any further with this now, you readers might just give up reading. So see you again with the next post!)


10 comments:

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails