Monday, February 1, 2010

I Can Speak English - හැකියාව ගැන

 



සේයාරුව‍ට ස්තුතිය: skippyjon 

අපි කාටත් හැකියාවන් තියෙනවා. ඒ වගේම නොහැකි දේත් තියෙනවා. මේ කළ හැකි හා නොහැකි දේවල් ගැන නිතරම අපට කතා කරන්න වෙනවා. ඒ මදිවට සමහර වෙලාවට - නයා දාන්න එහෙම - ඇතැම් උදවිය තමන්ට බැරි දේත් පුලුවන් කියලා කියනවා. ඇයි තව වෙලාවට වැඩකින් කර අරින්න ඕනැ වුණාම එහෙම පුලුවන් දේත් බැහැයි කියලා කියන්නේ.

කොහොම කොහොම හරි හැකියාව (ability) සහ නොහැකියාව (inability) ගැන කාටත් නිතරම වගේ කතා බහ කරන්න සිද්ද වෙනවා. ඒ නිසා පොඩ්ඩක් බලමු එතනදී ඉංග්‍රීසි භාෂාවෙ පාවිච්චි වෙන යෙදුම් කීපයක්.

1. can හා cannot (can’t) - හැකියි / හැකියාව තියෙනවා හා නොහැකියි / හැකියාව නැහැ (වර්තමාන අර්ථයෙන්)

Their little daughter can walk now. ඒ ගොල්ලන්ගෙ චූටි දුවට දැන් ඇවිදින්න පුලුවන්.

I can’t speak Hindi. මට හින්දි කතා කරන්න බැහැ.

2. could හා could not (couldn’t) - හැකියාව තිබුනා හා හැකියාව තිබුනෙ නැහැ (අතීත අර්ථයෙන්)
නමුත් - see, hear, understand, remember වැනි සහජ හැකියාව නිසා කළ හැකි දේවලදී හැර - එක් අවස්ථාවක යමක් කිරීමට හැකි වුණ බව දැක්වීමට බොහෝ විට යෙදෙන්නේ පහත සඳහන් was able to හෝ managed to වැන්නක්. නිශේධාර්ථයේදී නම් could not (couldn’t) යෙදීම වෙනසක් නැතිව කෙරෙනවා.

She could remember anything she heard. ඇහුනු ඕනැ දෙයක් මතක තියා ගන්න එයාට පුලුවන් කම තිබුනා.

They could understand immediately. ඒ අය‍‍ට එවෙලෙම තේරුම් ගන්න පුලුවන් උනා.

He couldn’t answer the question I asked. එයාට බැරි උනා මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න.

3. be able to හා not be able to - හැකි වීම / හැකියාව තිබීම හා නොහැකි වීම / හැකියාව නොතිබීම ගැන අතීත, වර්තමාන හා අනාගත අර්ථයෙන්

I was able to find the right book. මට නියම පොත හොයා ගන්න පුලුවන් උනා.

My friend was not able to go abroad. මගෙ යාළුවට රට යන්න බැරි උනා.

He is not able to come today. එයා‍ට අද එන්න බැහැ.

I am not able to do all this work by myself. මට මේ ඔක්කොම වැඩ තනියම කරන්න බැහැ.

She will be able to see you in half an hour.  එයාට පුලුවන් වේවි පැය බාගෙකින් ඔයාලව හම්බ වෙන්න.

All of them will be able to pass the exam. ඒ අය ඔක්කොටම පුලුවන් වෙයි විභාගෙ පාස් වෙන්න (සමත් වෙන්න).

I will not be able to come tomorrow. මට හෙට එන්න පුලුවන් වෙන එකක් නැහැ.

- not be able to වෙනුවට be unable to යන්න  ඇතැම් විට පාවිච්චි වෙනවා. මෙය බොහෝ විට යෙදෙන්නේ තරමක් විධිමත් (formal) අවස්ථාවලයි.

I am unable to attend the meeting. මට රැස්වීමට සහභාගි වීමට නොහැකියි.

4. manage to හා not manage to - උත්සාහ කර හැකියාව ලබා ගන්නවා, (යමක් කිරීමට) සමත් වෙනවා / උත්සාහ කළත් නොහැකි වෙනවා - අතීත, වර්තමාන හා අනාගත අර්ථයෙන්

She always manages to come on time. එයා හැමදාම (හැම වතාවෙම) කොහොම හරි වෙලාවට එනවා (එන්න සමත් වෙනවා),

The boy managed to finish his homework. (පිරිමි) ළමයට එයාගේ ගෙදර වැඩ ඉවර කරගන්න පුළුවන් උනා.

The boy didn’t manage to finish his homework. (පිරිමි) ළමයට එයාගේ ගෙදර වැඩ ඉවර කරගන්න (උත්සාහ කළත්) බැරි උනා.

We will manage to find a way to do it. අපි ඒක කරන්න විදිහක් හොයා ගන්නවා (හොයා ගන්න සමත් වෙනවා).

***හැකි නොහැකි බව ගැන ස්ථිරවම නොදන්නා බව දැක්වීමට could හා could not (couldn’t) වර්තමාන කාලය සම්බන්ධයෙන් යෙදෙනවා.

Perhaps she could do this sum. සමහර විට එයාට මේ ගණන හදන්න පුලුවන් වෙයි.

Somebody with little experience couldn’t do such a good job. වැඩි පළපුරුද්දක් නැති කෙනෙකුට මේ වැඩේ මෙච්චර හොඳට කරන්න බැහැ (කියල මම හිතන්නෙ).

***අනාගත කාලයේදී ඇති වේ යයි සිතන හැකියාවන් හා නොහැකියාවන් සම්බන්ධව සාමාන්‍යයෙන් will be able to හා will not be able to භාවිතා කෙරුණත්, ඒ පිළිබඳව දැන්මම ස්ථිරව දන්නවා නම් can හා cannot (can’t) පාවිච්චි කරනවා.

We can call them tomorrow. අපට පුලුවන් හෙට ඒ අයට  කතා කරන්න (කෝල් කරන්න).

They can finish the report next week. එ අයට පුලුවන් එන සතියෙ වාර්තාව ඉවර කරන්න.

I can’t go to work next Monday; I have to attend a wedding. මට ලබන සඳුදා වැඩට යන්න බැහැ; මගුල් ගෙදරක (වෙඩිං එකකට) යන්න තියනවා. 

***අනාගතය සම්බන්ධ හැකි හෝ නොහැකි බවක් ගැන ස්ථිරවම නොදන්නා බව දැක්වීමට හෝ ආචාරශීලීව යෝජනාවක්, ඉල්ලීමක් වැන්නක් ඉදිරිපත් කිරීමේදී could හා could not (couldn’t) යෙදෙනවා.

I think my mother could come here tomorrow. මම හිතන්නෙ අපේ අම්මට හෙට මෙහෙ එන්න පුලුවන් වෙයි.

You could talk to the director about me.
ඔයාට පුලුවන් මම ගැන අධ්‍යක්ෂතුමාට කතා කරන්න (එහෙම පුලුවන් නම් ලොකු උදව්වක්).

*** යමක් නොකර ඉන්න බැරි වෙනවා අර්ථයෙන් cannot (can’t) help doing something / cannot (can’t) help but do something රටා යෙදෙනවා.

We couldn’t help laughing / couldn’t help but laugh when we heard it. අපට ඒක ඇහුවම හිනා නොවී ඉන්න බැරි උනා.


***can, could පදවල හැකියාව සම්බන්ධ යෙදුම් පමණයි මෙතනදී සලකා බැලුවේ. “කිරීමට අවසර ඇති”, සිදු වීමට ඉඩ ඇති වැනි අර්ථවල යෙදීම ඉදිරියේදී ඊට අදාළ ලිපිවලදී බලමු. ඒ ඔක්කොම එක සටහනක‍ට ගන්න බැහැනේ කියවන අයට එපා වෙන නිසා - ඒ කිව්වෙ දැනටමත් එහෙම වෙලා නැති නම්! ( You know you can't cover all that in one post without making it boring for the reader – if it already isn't, that is!)

17 comments:

  1. නිතරම කමෙන්ට් නොදැම්මාට නිතරම මෙහෙ එනවා
    දිගටම ලියන්න.
    එල


    /බිඟුවා...!

    ReplyDelete
  2. ප්‍රශ්නයක් අහනකොට Could you...? කියල අහන්නේ වඩාත් ආචාරශීලී වෙන්න නේද?

    ReplyDelete
  3. @බිඟුවා...!
    අහන්න සන්තෝසයි. ස්තුතියි.

    ReplyDelete
  4. @තමීර
    ඔවි,"Can you...?" කියනවට වඩා ආචාරශීලියි "Could you...?" කියලා අහන එක. මේ වගේ දේවල් ගැන තව විස්තර ලියන්නම් ඉදිරියට. (ඒත් ඒ අතරතුරේ තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අනිවාර්යෙන්ම උත්තර දෙනවා.)

    ReplyDelete
  5. නියමයි අයියේ, දිගටම ලියන්න.

    ReplyDelete
  6. @Sujeewa
    ස්තුතියි! අනිවා ලියන්න.

    ReplyDelete
  7. @Thilina
    ස්තුතියි, මල්ලි.

    ReplyDelete
  8. ස්තුතියි,හොද ලිපියක්.

    ReplyDelete
  9. කවුරුද කියන්නේ කියවන්න එපා වෙනවා කියලා. මා නම් කියවනවා මෙන්ම රසවිඳිනවා. ඔබ ඉදිරිපත් කරන ආකාරය නම් අපූරුයි.

    ReplyDelete
  10. @Madhuka,නිලන්ත පියසිරි
    ස්තුතියි.

    ReplyDelete
  11. දිගටම ලියන්න

    ReplyDelete
  12. @uditha
    හැකි තරම් උත්සාහ කරනවා.

    ReplyDelete
  13. Gud work Bro. Keep it up.

    ReplyDelete
  14. I was able to find the right book.කියන්නෙ මොන පදනමෙන්ද?was තිනන තැනට කොහොමද find කියන එක දාන්නේ. past continuous tense වලදි වෙන්නෙ v+ing එකදනඑක.... past simple passive voice වල වෙන්නෙ was/were වලින් පස්සෙ pase participale එකදානඑක.ඒත් මෙතන find කෙලින්ම දාල...මට තේරෙන්නෙ නෑ..can you explain it.thanks

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ past continuous tense හෝ past simple passive voice නෙමෙයි. මෙහි able පදය යෙදී තියෙන්නේ "හැකියාව තිබෙන" යන අර්ථය දෙන adjective (නාම විශේෂණ) පදයක් ලෙසයි; ඉන් පසුව ක්‍රියා පදයක් යෙදෙන්නේ "to go", "to find" ආදී infinitive ස්වරුපයෙනුයි.

      මෙම able පදය යෙදෙන ආකාර පහත සබැඳියට එළඹී නිරීක්ෂණය කළ හැකියි.
      http://oald8.oxfordlearnersdictionaries.com/dictionary/able

      Delete
  15. thank you so much .now I can understand it.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails