Wednesday, January 20, 2010

You May Get 10 Years for That! You Get It? – Getting to Know 'Get'


සේයාරුවට ස්තුතිය: adactio



ඉංග්‍රීසි භාෂාවේ වැඩිපුරම පාවිච්චි වෙන වචනවලින් එකක් තමයි get. මේ නිසාම සමහර අය උත්සාහ කරනවා හැකියාවක් ඇති අවස්ථාවල මේ පදය වෙනුවට සුදුසු වෙනත් වචනයක් යොදන්නත්. ඇයි ඉතින්, මේ ලිපියේ මාතෘකාවේ වගේ getගොඩක්, නැවත නැවත තියනකොට භාෂාවෙ ලස්සනක් නැහැනේ.

හැබැයි මේ වචනය සම්පූර්ණයෙන් මග හරින්න නම් ඉතාම අමාරුයි. එහෙම කරන්න ඉතින් අවශ්‍යත් නැහැනේ. කලින් ලිපියකට ලැබුන ප්‍රතිචාරයකත් මේ ගැන ඉල්ලීමක් තිබුන නිසා අපි අද බලමු මේ getපාවිච්චි වෙන තැන් කීපයක්.

1. ලැබෙනවා, ලබා ගන්නවා, ලබා දෙනවා...

The child got a present. ළමයට තෑග්ගක් ලැබුනා.

She managed to get a promotion. එයාට උසස්වීමක් ලබා ගන්න පුලුවන් උනා.

I asked him to get me a pay rise [බ්‍රි] / pay raise [ඇ]. මට පඩි වැඩිවීක් ලබා දෙන්න කියල මම එයාට කිව්වා.

2. ගේනවා, අරන් එනවා, ගෙනත් දෙනවා / අරන් යනවා, ගිහින් දෙනවා

Can you get that chair over here? ඔය පුටුව මෙහාට ගේන්න පුලුවුන්ද?

Will you get me some water? ම‍ට වතුර ටිකක් ගෙනත් දෙනවද?

Go and get a comb. ගිහින් පනාවක් අරන් එන්න.

I wonder how we can get this cupboard through that door. මම දන්නෙ නැහැ අපි කොහොමද මේ කබඩ් එක අර දොරෙන් ගෙනියන්නෙ කියලා.

We have to find a way to get this parcel to him. මේ පාර්සලේ එයාට ගිහින් දෙන්න (ලැබෙන්න සලස්වන්න) ක්‍රමයක් අපට හොයන්න වෙනවා.

3. තැනකින් තවත් තැනකට යනවා / යන්න සලස්වනවා, තැනකට / කෙනෙක් වෙත ළඟා වෙනවා

How can I get to Colombo from here? මෙතන ඉඳල කොළඹට යන්නෙ කොහොමද?

They all got into the car. ඒ ගොල්ලො ඔක්කොම කාරෙකට නැග්ගා.

I am getting off at the next stop. මම ඊළඟ නැවතුම්පොළෙන් බහිනවා.

We have to get the lid off somehow. අපි කොහොම හරි පියන ගලවන්න (ඉවතට යවන්න) ඕනැ.

How long will it take for him to get to Galle. එයාට ගාල්ලට යන්න (ළඟා වෙන්න) කොච්චර වෙලා යයිද?

Finally, I was able to get to the person in charge. අන්තිමේදී  මට පුලුවන් උනා වැඩේ බාර කෙනාට කතා කරන්න (ළඟා වෙන්න) - මෙය ටෙලිෆෝන් මාර්ගයෙන්ද විය හැකියි.

4. යමක් කරන අවස්ථාවට / තත්වයට ළඟා වෙනවා

They got to know each other at last year’s party. ඔවුන් දැන හඳුනගත්තෙ ගිය අවුරුද්දෙ උත්සවයෙදි (පාටියෙදි).

Hours later, the group got to realize that they had lost their way. පැය ගණනකට පස්සෙ කණ්ඩායමට තේරුම් යන්න ගත්තා ඒ අයට පාර වැරදිලා බව.

The students got to learn a lot about IT at the workshop. ප්‍රායෝගික සම්මන්ත්‍රණයෙදි ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබුනා තොරතුරු තාක්ෂණය ගැන හුඟක් දේ ඉගෙන ගන්න.

We need to get going soon. අපි ඉක්මනින් වැඩ පටන් ගන්න ඕනැ.

5. යම් කෙනෙක් / දෙයක් යම් දෙයකට යොමු කරනවා

It’s difficult to get the children to study. ළමයින්ට කියල පාඩම් කරවන්න අමාරුයි.

He could not get the car to start that day. එදා එයාට කාරෙක පණ ගන්වගන්න (ස්ටාර්ට් කරගන්න) බැරිව ගියා.

Everybody wanted to get the system running again as soon as possible. හැමෝටම ඕනැ උනා පුලුවන් ඉක්මනට යන්ත්‍ර පද්ධතිය (සිස්ටම් එක) ආයෙත් වැඩ කරන්න සලස්වන්න.

6. යම් ක්‍රියාවක් කරවා ගන්නවා

I want to get my hair cut. මගෙ කොන්ඩෙ කප්පවාගන්න ඕනැ.

My brother got his house built by that mason. මගෙ අයියා / මල්ලි එයාගෙ ගේ හදවා ගත්තෙ ඒ බාස් උන්නැහේට කියලා.

*** මෙම අර්ථයේදී get පදය වෙනුවට have පදයද යෙදෙනවා.

You have to get / have the work finished quickly. ඔයාට ඉක්මන් කරලා වැඩ ටික ඉවර කරවගන්න වෙනවා.

7. යම් තත්වයකට පත් වෙනවා / කරනවා, යම් ක්‍රියාවකට භාජනය වෙනවා / කරනවා

Don’t get into trouble. කරදරේ වැටෙන්න එපා.

They got into debt / out of debt. ඒ අය ණය උනා (ණයට වැටුනා) / ණයෙන් නිදහස් උනා.

I am just trying to get you out of trouble. මම හදන්නෙ ඔයාව කරදරෙන් ගලවගන්න විතරයි. 

Both of them got wet in the rain. ඒ දෙන්නම වැස්සට තෙමුනා.

Don’t get too excited about this. මේ ගැන ඕනැවට වැඩිය කලබල වෙන්න (පමණට වැඩි උනන්දුවක් හෝ බයක් ඇති කරගන්න) එපා.

Anybody would get tired doing all this work. මේ වැඩ ඔක්කොම කරනකොට ඕනැ කෙනෙකු‍ට මහන්සි වෙනවා.

You will get used to it. ඔයා ඒකට පුරුදු වෙයි.

My sister is getting dressed. මගෙ අක්කා / නංගි ඇඳුම් අඳිනවා.

She is getting married next month. එයා ලබන මාසෙ බඳිනවා.

Their parents are getting them married. ඒ ගොල්ලන්ගෙ දෙමව්පියො එයාලව බන්දනවා. 

Your pen might get stolen if you just left it there. ඔයාගෙ පෑන කවුරු හරි හොරකම් කරන්න (හොරකම් කිරීමට ලක් වෙන්න) පුලුවන් ඒක ඔතන නිකම් දාලා ආවොත්.

8. අවබෝධ වෙනවා

It seems that he didn’t get the joke. එයාට ‍විහිළුව තේරුනේ නැහැ වගේ.

I just don’t get it. මේක මට තේරෙන්නෙම නැහැ (මොකද මන්දා).

9. අල්ලා ගන්නවා, වදිනවා, අල්ලා දඬුවම් කරනවා

He got the thief by the neck. එයා හොරාව බෙල්ලෙන් අල්ල ගත්තා.

If you do this, the police will certainly get you. ඔයා ඒක කළොත් ඔයාව අනිවාර්යෙන්ම පොලීසියෙන් අල්ල ගනීවි.

The stone I threw got him on the head. මම විසිකරපු ගල එයාගෙ ඔළුවෙ වැදුනා.

Wait, I’ll get you for what you did. ඉඳපන්, උඹ කරපු වැඩේට මම උඹව අල්ල ගන්නම්.

10. යම් කාලයක සිර දඬුවමක් විඳින්නට වෙනවා

He got 10 years for that robbery. එයා ඒ හොරකමට අවුරුදු 10 කට හිරේ ගියා.

11. හිතට දැනෙනවා, හිත අවුල් කරනවා, තරහා ගස්සනවා

The children’s crying really got her. ළමයින්ගෙ ඇඬිල්ල එයාගෙ හිතට හරියට වැදුනා.

This type of music always gets me. මේ වගේ සංගීතය කවදත් මගෙ හිතට දැනෙනවා. 

What gets me is all these people hanging around here. මට තරහක් එන්නෙ මෙතන රස්තියාදු ගහන මේ මිනිස්සු නිසා.

12. ති‍බෙනවා, අසන්න‍ට ලැබෙනවා

You still get cases of dengue in this country. මේ රටේ තවමත් ඩෙංගු රෝගීන් ගැන අහන්න ලැ‍බෙනවා (ඉන්නවා).

13. ලෙඩක් හැදෙනවා

My son got measles last year. ගිය අවුරුද්දෙ මගෙ පුතාට සරම්ප හැදුනා.

I got a terrible headache yesterday. ඊයෙ මට තද ඔළුවෙ කැක්කුමක් හැදුනා.

14. දුරකථනය නාද වෙන විට, දොරට තට්ටු කරන විට එය බලනවා

Can you get the phone? I am busy here in the kitchen. ඔයා ෆෝන් එක බලනවද? මම මේ කුස්සියෙ වැඩ.

Wait, I’ll get the door. ඉන්න, මම බලන්නම් දොරට තට්ටු කරන්නෙ කවුද කියලා.

15. රූපවාහිනී / ගුවන් විදුලි නාලිකාවක් ග්‍රහණය වෙනවා

We don’t get ETV here. මෙහෙ අපට ETV අහු වෙන්නෙ නැහැ.

16. කෑමක් පිළියෙල කරනවා

I’ll get lunch for you. මම ඔයාට / ඔයාලට (දවල්) කෑම හදන්නම්. 


මීට අමතරව නිතරම පාවිච්චි වෙන තවත් දෙයක් තමයි have got රටාව. කෙනෙකුට (හෝ දෙයකට) / කෙනෙක් ළඟ (හෝ දෙයක) / කෙනෙක් සතුව (හෝ දෙයක් සතුව) තිබෙනවා හෝ ඉන්නවා අර්ථයෙන් යෙදෙන haveපදය වෙනුවට හා කළ යුතුයි අර්ථයෙන් යෙදෙන have toවෙනුවට have got toකියා යෙදීම නිතරම කෙරෙනවා තරමක් අවිධිමත් භාවිතයේදී. මෙය වඩාත් බහුල බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියේ. 

We’ve got three children. අපට ළමයා තුන් දෙනෙක් ඉන්නවා.

Have you got a two-rupee coin with you?  ඔයා ළඟ රුපියල් දෙකේ කාසියක් තියෙනවද? 


That idea hasn’t got much sense. ඒ අදහසේ එච්චර හරයක් නැහැ.

I’ve got to go now. මම දැන් යන්න ඕනැ.


මේක කතාබහේදි ඇතැම් අය gotබව‍ටත් කෙටි ‍කරනවා.

I got no time. මට වෙලාව නැහැ.

Got enough money? / You got enough money? (ඔයා ළඟ) සල්ලි ඇති වෙන්න තියෙනවද?

We got to leave now. අපි දැන් පිටත් වෙන්න ඕනැ.


නමුත් මෙම රටා නැවත නැවත ඇති වන තත්ව ගැන සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ.

I often have meetings at the office. මට නිතරම කාර්යාලයේ (ඔෆිස් එකේ) රැස්වීම් තියනවා. (නැවත නැවත)

We usually have to take the bus. සාමාන්‍යයෙන් අපට බස් එකේ යන්න වෙනවා. (නැවත නැවත)
 
ඉතින් පේනවා නේද? මේ getවචනෙ කී ආකාරයකට භාවිතා වෙනවද කියලා. ‍හැබැයි මේ ඔක්කොම නම් නෙමෙයි. තව තියෙනවා සාම්ප්‍රදායික යෙදුම් (idioms) ගොඩක්. ඒවත් ඉතිත් ටික ටික ඉගෙන ගන්න ඕනැ. ඉංග්‍රීසි කියවන පුරුද්ද තමයි මෙතනදි වඩාත්ම වැදගත්. කියවීමෙන් ඉංග්‍රීසි භාෂාවෙ බොහෝ යෙදුම් දැන හඳුන ගන්න හැකි වෙනවා. ඉංග්‍රීසි රූපවාහිනී වැඩ ස‍ටහන්, චිත්‍රපටි ආදියෙනුත් යම් රුකුලක් ලබා ගන්න පුලුවන්කම තිබෙනවා.

කොහොම වුණත් අපි ඉස්සරහට බලමු මේ ටිකක් අමුතු අර්ථ තියෙන වාග් සම්ප්‍රදායන් (idioms, idiomatic expressions) ගැන මේ ලිපිවලිනුත් පොඩ්ඩක් කතා කරන්න. 


6 comments:

  1. can we get some more valuable posts like this? ;)

    ReplyDelete
  2. @änthräX
    I'll try to get you more like this in the future.

    ReplyDelete
  3. අදත් හොඳ පාඩමක්. ස්තුතියි.

    ReplyDelete
  4. @indik
    හැමදාම ප්‍රතිචාර දක්වනවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  5. This is a really good one. Thank u sir.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails