Sunday, January 3, 2010

අපේ කඩිඩේ වගතුග - You Know, No?

සේයාරුව Augapfel ගෙන්

ඒ කාලෙ ඉංග්‍රීසි බසේ කේන්ද්‍රස්ථානය වූ එංගලන්තයේ භාෂා ප්‍රමිතිය හැඳින්වුණේ (අදාල වකවානුවේ එහි රජ කළේ රජෙක්ද රැජිණක්ද යන්න මත පදනම්ව) King’s English හෝ Queen’s English නමින්. තමන්ගෙ රජු හෝ රැජිණගේ බස් වහර ඉතා නිවැරදි විය යුතු බවත්, එය බස නිසි ලෙස හසුරුවනු රිසි සියල්ලන් අනුගමනය කළ යුත්තක් ලෙසත් එකල ඉංග්‍රීසි ජාතිකයන් සැලතුවා.

නමුත් ඉංග්‍රීසි භාෂාව යම් ආකාරයකින් පැලපදියම් වෙච්ච අනිත් හැම රටකම වැසියන් ඒ භාෂාව තම තමන්ගෙ වැඩ කටයුතුවලට පාවිච්චි කරද්දී තම දේශීය ව්‍යවහාරවල (local vernaculars) අංග හා සංස්කෘතිකාංග (cultural elements) ඊට ඈඳාගත්තා. මේ ආකාරයෙන් අද ලෝකයේ එක් එක් රටවල ඉංග්‍රීසි භාවිතා වෙන්නෙ තම තමන්ට ආවේණික වූ යම් යම් වෙනස්කම් සහිතවයි. ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ ඉංග්‍රීසි බස් වහර (American English) අද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියද (British English) පරදවා ප්‍රමුඛතාවය ලබා ගෙන තිබෙනවා කිව්වොත් නිවැරදියි. අනෙකුත් රටවල මෙසේ ඇති වූ ව්‍යවහාරයන් හැඳින්වීමට Australian English, Canadian English, Indian English, South African English වැනි යෙදුම් පාවිච්චි වෙනවා.

අපේ ලංකාවේ තත්වයත් එහෙමයි. මෙහෙත් ඉංග්‍රීසියට අපට ආවේණික වෙනස්කම් එකතු වුණා. අපේ ව්‍යවහාරයට කියනවා Sri Lankan English කියලා, සමහර උගතුන් මෙම වර්ගීකරණයට එකඟ නොවුණත්. ඉන්දියානු භාෂා සමග සිංහල බසේ ඇති නෑදෑ කමත්, අපේ සංස්කෘතික සමීපත්වයත් නිසා මෙයින් සමහරක් ඉන්දියාවටත් පොදු වූ ඒවා.

මුලින්ම මෙතනදි මතක් වෙන්නෙ ප්‍රශ්න අහද්දි අපට නැතිවම බැරි no කෑල්ල. ඔයා ඒ අයට කිව්ව නේද? , එයා (ඔහු) ඒක දන්න‍ව නේද? එයා (ඇය) හෙට එනව නේද? වැනි “‍නේද‍” යන්න අඩංගු ප්‍රශ්නවලදි අපි හැමෝම වගේ කියන්නෙ You told them, no? , He knows it, no? , She is coming tomorrow, no? කියලයි. ඒත් ජාත්‍යන්තර සම්මතය (Standard International English) අනුව නම් මේවා කියවෙන්නෙ තරමක් වෙනස් විදිහකට. You told them, didn’t you? , He knows it, doesn’t he? , She is coming tomorrow, isn’t she? ආදී වශයෙන් එහිදී question tags භාවිතා වෙනවා.

ලංකාවේ ඉංග්‍රීසි බස ඉතා හොඳින් දත් අය පවා බොහෝ දෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී මේ no එක පාවිච්චි කරනවා. ලිඛිත භාෂාවේ (written language) හැරුණු විට ජාත්‍යන්තර සම්මතය අපේ රටේ අනුගමනය කෙරෙන්නේ ව්දේශිකයෙකු හා කතා කිරීමේදී හෝ වැදගත් සභාවක් ඉදිරියේ - එසේ නැතිනම් රූපවාහිණියේ - කතා කිරීම වැනි විධිමත් අවස්ථාවකදී (formal situation) පමණයි. එම නිසා no හි මෙම භාවිතය ශ්‍රී ලාංකික භාෂිත ඉංග්‍රීසියේ පිළිගත් අංගයක් (accepted form in Sri Lankan colloquial English) ලෙස සැලකිය හැකියි. කෙසේ නමුත් අඩු තරමිත් විදේශිකයන් සමග හා ලිඛිත බසේ භාවිතය සඳහා ජාත්‍යන්තර සමිමතයද (international standard ) දැන සීටීම අවශ්‍ය වෙනවා. එහිදී එකතු වන tagකොටස අදාළ වාක්‍යයේ උක්තය (subject) සහ ක්‍රියා පදය (verb) අනුව වෙනස් විය යුතු බව මතක තබා ගත යුතුයි. එසේ නැතිව අපේ සමහරෙක් මෙන් සැම විටම isn’t it? කියා යෙදීම නොගැලපෙයි.

This is correct, isn’t it?
මේක හරි නේද?

That car is Lal’s, isn’t it?
අර කාරෙක ලාල්ගෙ නේද?

Nimal is with you, isn’t he?
නිමල් ඔයා එක්ක ඉන්නව නේද?

Your parents are in Kandy, aren’t they?
ඔයාගෙ අම්මයි, තාත්තයි නුවර නේද?

Kamala loves music, doesn’t she?
කමලා සංගීතයට ගොඩක් ආසයි නේද?

These people live here, don’t they?
මේ මිනිස්සු ඉන්නෙ මෙහෙ නේද?

Your friend was here yesterday, wasn’t he?
ඔයාගෙ යාළුව ඊයෙ මෙහෙ හිටිය නේද?

All of them were very happy, weren’t they?
ඒ අය ඔක්කොම හුඟක් සතුටු උනා නේද?

Mahesh speaks English well, doesn’t he?
මහේෂ් හොඳට ඉංග්‍රීසි කතා කරනව නේද?

Both your children get good marks, don’t they?
ඔයාගෙ ලමයි දෙන්නම හොඳ ලකුණු ගන්නව නේද?

The baby is sleeping, isn’t he/she?
බබා නිදි නේද?

You are leaving now, aren’t you?
ඔයා දැන් යනව/පිටත් වෙනව නේද?

All the directors spoke yesterday, didn’t they?
ඔක්කොම අධ්‍යක්ෂවරු ඊයෙ කතා කළා නේද?

You have met my brother, haven’t you?
ඔයාට මගෙ අයියව/මල්ලිව හම්බ වෙලා තියනව නේද?

Most of your classmates will come tomorrow, won’t they?
ඔයාගෙ පන්තියෙන් ගොඩක් අය හෙට එයි නේද?

I am a good man, am I not? *
මම හොඳ මිනිහෙක් නේද?
*මේ ආකාරයට අනිත් tags ද සකස් කළ හැකියි. (උදා:  He is here, is he not?; They saw it, did they not?) ඇතැම් අය am I not වෙනුවට aren’t I යොදනවා.

නිෂේධාත්මක වාක්‍යවල tags යෙදෙන්නේ අනිත් අතටයි.

You didn’t go there, did you?
ඔයා එහෙ ගියේ නෑ නේද?

They aren’t here, are they?
ඒ අය මෙහෙ නෑ නේද?

එසේම never, hardly ආදී පද ආශ්‍රයෙන් ඇති නිෂේධාත්මක වාක්‍යවලදීත් යෙදෙන්නේ මේ ආකාරයටමයි.

She never came here, did she? එයා කවදාවත් මෙහෙ ආවෙ නැහැ නේද?

We hardly know them, do we? අපි ඒ අයව අඳුරන්නෙ නැති ගාණයි නේද?

***අනිත් පුද්ගලයා කියූ හෝ වෙනත් කෙනෙකුගෙන් දැන ගත් දෙයක් ගැන උනන්දුව, කුතුහලය වැන්නක් දැක්වීමට නම් ප්‍රකාශයේ රටාවම ඇති tag කොටසක් යොදා ගැනෙනවා. (මේවාට ලංකාවේ no යෙදීම අදාළ නැහැ.)

They think they can pass the exam, do they? ඒ අය හිතන්නෙ ඒ අයට විභාගෙ පාස් වෙන්න පුළුවන් කියලා එහෙනම්? (අනිත් පුද්ගලයාගෙන් එසේ දැන ගත් පසු)

You are going abroad, are you? ඔයා රට යනවා එහෙනම්? (වෙනත් කෙනෙකුගෙන් එසේ ආරංචි වී)

***එසේම ප්‍රශ්නයක් ඇසීමට හෝ යමක් කරන ලෙස ඉල්ලීමට ඇතැම් විට ප්‍රකාශයේ රටාවම ඇති tag කොටසක් යොදා ගැනෙනවා. (මේවාටත් ලංකාවේ no යෙදීම අදාළ නැහැ.)

Your bother is at home, is he? ඔයාගේ අයියා/මල්ලි ගෙදරද?

Come here, will you? මෙහෙ එනවද? (එන ලෙස ඉල්ලීමක්)

හොඳයි, දැනට ඇති නේද? OK, that’s enough for now, isn’t it?
එහෙම නැත්නම් අපේ විදිහට කියමු OK, that’s enough for now, no?

21 comments:

  1. මෙවැනි පාඩමක් කරන එක ලොකු දෙයක්. දිගටම කරගෙන යන්න. සුභ පැතුම්.
    ---------------------
    1) Nimal is with you, isn’t he? = නිමල් ඔයා එක්ක ඉන්නව නේද?
    2) Kamala loves music, doesn’t she? = කමලා සංගීතයට ගොඩක් ආසයි නේද?

    මේ වාක්‍ය දෙකම එක සමානයි, එහෙත් එකක isn’t he ලෙසත් අනෙකේ doesn’t she ලෙසත් යොදලා. එ ඇයි?

    ReplyDelete
  2. @Englishman

    පළමු වාක්‍යයේ උක්තය Nimal(පුරුෂ ලිංග), ක්‍රියාව is. ඒ නිසා පුරුෂ ලිංග සර්වනාමය වන he හා is හි නිෂේධාර්ථය වන isn't සමග isn't he කියලා යෙදෙනවා.

    දෙවෙනි වාක්‍යයේ උක්තය Kamala (ස්ත්‍රී ලිංග), ක්‍රියාව loves. එතනදී ස්ත්‍රී ලිංග සර්වනාමය වන she හා loves හි අඩංගු උපකාරක ක්‍රියා පදය වන does හි නිෂේධාර්ථය වන doesn't සමග doesn't she කියලයි යෙදෙන්නේ.

    ReplyDelete
  3. @චතුරංග රූපසිංහ
    Thanks.

    ReplyDelete
  4. මසුරන් ලියමන. මට අපේ ඉන්ගිරිසි සෑර් කියාපු කතාවක් මතක් වෙනවා. උන්දෑ හැමදාම කීවේ අපිට ඉංගිරිසි බැරි අපිට හරියට සිංහල බැරි නිසායී කියලායී. කාලෙකට පස්සේ තමයී කතාව තේරුනේ. අපි දොඩන්නං වාලේ සිංහල දෝරෙට දොඩනවා මිසක වචන යෙදෙන හැටි ගැන හරි අදහසක් නැහැ. කොහොමත් අපි කකුල වතුරෙ ඔබාගෙන රැ නිදි මරාගෙන ගිරව් වගේ සිංහල පාඩම් කොරල විභහගෙට ලිවා මිසක අවබෝදයක් ඇතිව ලිවා නොවෙයීනේ. මටනම් තවමත් ඔය උක්තය , කිරියාව, නිෂේධාර්ථය වචන, උපකාරක ක්‍රියා පදය, වචන කෝච්චියම අරහං. මෙන්න කැට ඔය වචනවල නියම අදහස නැත්තේ මට විතරක් නොවෙන වගට. අම්මපා ඔය වචන කෝච්චිය ඔයීට වඩා සරලව කියන්න විදිහක් නැද්ද. අර විදුර ලක්ශය අවිදුර ලක්ශය - ලග තිත, දුර තිත කීවානම් ඕනෑම මොඩයෙකුට තේරෙනවා. එහෙනම් කටපාඩම නැතිව, අවබෝදයෙන්ම විබහගෙත් ගොඩ දාගන්නවා.

    ඉංගිරිසි ඉගැන්වීමේදී තියන ලොකුම දහන්ගැටේ තමයී අපි වාගේ සිංහලවත් හරියට දන්නේ නැති උන්දෙලාට ඉංගිරිසි වි‍යාකරන උගන්නනේ කොහොමද කියන එක.

    ReplyDelete
  5. @Sam

    කතාව ඇත්ත,මමත් පිළිගන්නවා. ‍මේවා පැහැදිලි වෙන්න හැකි තරම් උදාහරණ මගින් ඉදිරිපත් කරන්න බලන්නම්. ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
  6. @ශාකුන්තල
    Thanks, you know that I appreciate your comments, no?

    ReplyDelete
  7. Thanks for these important posts.

    One question I have is I have always thought the question tag for "that’s enough for now," is "isn't that?".

    But you used " isn’t it?" as the question tag.

    Would you please explain why you used "it" instead of "that"?

    ReplyDelete
  8. @mier

    When the subject of the sentence is "this" or "that", you usually use "it" in the tag.

    Here is an example I saw on a website today:
    This will work, won't it?

    ReplyDelete
  9. this is a nice post isn't ඉට්?
    නියමයි.ඉස්සරහා පෝස්ට් වල ටෙන්සන් ගැන සදහන් කරලා ඇති නේද?

    ReplyDelete
  10. @pubudu

    නම්වලින් සඳහන් කරලා නැති වුණාට tensesවල භාවිතය ගැන විස්තර "They Play Cricket, But Are They Playing Cricket? - වර්තමාන ක්‍රියා ගැන (http://ingirisi.blogspot.com/2010/01/they-play-cricket-but-are-they-playing.html)" ලිපියේ ඉඳලා ඉදිරියට තියනවා.

    ReplyDelete
  11. Thanks, you know that I appreciate your comments, no? කියන එක විධිමත් විය යුත්තේ Thanks, you know that I appreciate your comments, am I not? කියලද?

    සෑම් කිව්ව වගේ මේ ටික හරියට කියවෙන්න ඔය උක්ත ආඛ්‍යාත සම්බන්ධ වෙන විධි ගැන දැනගෙන ඉන්න වෙනව. අපේ ප්‍රොසෙසර් ටික වෙලාවක් ගන්නව නෙව ඔය වැඩ වලට!

    But We should never give up, shouldn't we?

    මේක හරිද? we shall කියල ඔතනට දාන්න බැරිද?

    ReplyDelete
  12. @hare :-)

    එය 'You know that I appreciate your comments, don't you?' ආකාරයෙන් කිව යුතුයි. එහි 'don't you?' කොටස වාක්‍යයේ මුල ඇති 'You know' යන්නට ගැලපෙන ලෙසයි යෙදෙන්නේ. 'Am I not?' යෙදෙන්නේ 'I am your friend, am I not?' වැනි 'I am (I'm)' යනුවෙන් පටන් ගන්නා වාක්‍යවලයි.

    දෙවෙනි වාක්‍යය 'We should never give up, should we?' යනුවෙන් විය යුතුයි. එයට හේතුව 'never' වචනය 'not' මෙන්ම නිෂේධාර්ථ (නැත යන අර්ථ) පදයක් වීම.

    මේ ආකාරයෙන්ම යෙදෙන 'We shall never give up, shall we?' වාක්‍යයේ ඇත්තේ තරමක් වෙනස් අර්ථයක්: 'අපි අත් අරින්නේ නැහැ, එහෙම නේද?' (කලින් වාක්‍යයේ අර්ථය 'අපි අත් අරින්න හොඳ නැහැ (අත් හැරිය යුතු නැහැ), එහෙම නේද?' වැන්නක්නේ.)

    මේ 'shall' සහ 'should' ගැන 'Will or Shall? - අනාගතයේදී (http://ingirisi.blogspot.com/2010/01/will-or-shall.html)' සහ 'It Should Be OK – “should” පදය ගැන (http://ingirisi.blogspot.com/2010/02/it-should-be-ok-should.html)' බලන්න.

    ReplyDelete
  13. බොහොම ස්තූතියි!

    ReplyDelete
  14. පැහැදිලියි පිලිවෙලයි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails