Saturday, January 23, 2010

You Have Always Liked It? - එහෙනම් තවමත් එහෙමයි.

සේයාරුවට ස්තුතිය: vmiramontes


කලින් ලිපියෙ අපි කතා කළානේ දැන් කාලෙට අදාළක්‍රියාවන් සහ තත්වයන් ගැන. තවත් ඉතින් තියෙනවනේ කාලෙක ඉඳලා කරගෙන එන, තවමත් කරගෙන යන දේවල්. මම මෙතන අවුරුදු තුනක ඉඳල වැඩ කරනවා., “එයා ඒ චිත්‍ර පටියට කවදත් කැමතියි. වගේ මෙවැනි අදහස් වලට ඉංග්‍රීසියෙන් නම් භාවිතා වෙන්නේ වෙනමම වාක්‍ය රටාවන්.

I have worked here since I left school. මම ඉස්කෝලෙන් පිට වුණ දා ඉඳල මෙතන වැඩ කරනවා.

I have been working here for three years. මම මෙතන අවුරුදු තුනක ඉඳල වැඩ කරනවා.

She has always liked that film. එයා ඒ චිත්‍ර පටියට කවදත් කැමතියි.

මේ රටා දෙකට අපි වෙන වෙනම උදාහරණ ගත්තොත්...

(C) They have played cricket.

මෙම රටාවේදී He / She / It / The boy / Sunil... has played ලෙසින්ද,  I / We / You / They / The boys / Sunil and Mala... have played ලෙසින්ද ක්‍රියා පදය (verb) යෙදෙනවා.

(D) They have been playing cricket.

මෙම රටාවේදී He / She / It / The boy / Sunil... has been playing ලෙසින්ද,  I / We / You / They / The boys / Sunil and Mala... have been playing ලෙසින්ද ක්‍රියා පදය යෙදෙනවා.



*** (C) රටාවේ හා ප්‍රධාන ක්‍රියා පදයට පෙර have / has (හෝ පසුව සලකා බැලෙන had) උපකාරක ක්‍රියා පදයක් (auxiliary verb, helping verb) ලෙස යෙදෙන අනෙකුත් රටාවල යෙදෙන්නේ ක්‍රියා පදයක past participle ස්වරූපයයි. සම්මත ආකාරයේ ක්‍රියාපදවල (regular verbs) මූලික ස්වරූපයේ එනම් (bare) infinitive ස්වරූපයේ අගට, පහත රීතිවලට අනුකූලව, -ed එකතු කර past participle ස්වරූපය හදා ගත හැකියි. (අනිත්වා, එනම් irregular verbs, වෙ‍න වෙනම ඉගෙන ගන්න වෙනවා. ක්‍රියා පද වර නැගීම දැක්වෙන සටහනකට (conjugation table) මෙම බ්ලොග් අඩවියේ ඉහළින්ම ඇති ඉංග්‍රීසි ඉගෙනුමට අත්වැල් යටතේ තිබෙන ඉංග්‍රීසි ක්‍රියා පද සබැඳියෙන් පිවිසිය හැකියි. මෙවැනි සටහන්වල සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ මේ irregular verbs ක්‍රියා පද පමණක්‌ බව සැලකිය යුතුයි.)

1. අවසානයේ ඇත්තේ ‘e’ අකුරක් නම් එක් කෙරෙන්නේ ‘-d’ පමණයි (උදා: change – changed, face – faced…).

2. අවසානයේ ඇත්තේ ‘y’ නම් එය ‘i’ බවට පත් වෙනවා (උදා: cry – cried, deny – denied); නමුත් එම අවසන් ‘y’ අකුරට පෙර ඇත්තේ vowel අකුරක් නම් එසේ වෙන්නේ නැහැ (උදා: stay – stayed, enjoy – enjoyed).

3. අවසානයේ ඇත්තේ බර කර කියවෙන මාත්‍රාවක් (stressed syllable) නම් හා එහි අග ඇත්තේ ‘-h’, ‘-w’, ‘-x’ (හෝ ශබ්ද නොවන ‘-t’) අකුරක් හැර වෙනත් consonant අකුරක් නම් හා එම අකුරට පෙර ඇත්තේ තනි vowel අකුරක් නම්, එම අවසන් consonant අකුර double වෙනවා (උදා: stop – stopped, rig – rigged, rub – rubbed, pin – pinned, fit – fitted, pat – patted, refer – referred, control – controlled); බර කර නොකියවෙන අවසන් මාත්‍රාවක (unstressed syllable) නම් සාමාන්‍යයෙන් එසේ වෙන්නේ නැහැ (උදා: visit – visited, offer – offered, open – opened, develop – developed, gossip – gossiped); නමුත් අවසානයේ ඇති බර කර නොකියවෙන මාත්‍රාව අඩු තරමින් පැහැදිලිව උච්චාරණය වන්නක් නම්, ඇතැම් විට අග අකුර double වෙනවා (උදා: handicap – handicapped, kidnap – kidnapped, kidnaped [], worship – worshipped / worshiped [], combat – combated / combatted); බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේදී බර කර නොකියවෙන අවසන් මාත්‍රාවක අග ඇති ‘l’ අකුරත් බොහෝ විට double වෙනවා (උදා: travel – travelled [බ්‍රි] / traveled [], cancel – cancelled [බ්‍රි] / canceled []) – නමුත් parallel – paralleled; අග ඇති consonant අකුරට පෙර vowel අකුරු කීපයක් ඇත් නම් සාමාන්‍යයෙන් අවසන් අකුර double වෙන්නේ නැහැ (උදා: heat – heated, wait – waited); නමුත් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේදී වෙන වෙනම ශබ්ද වෙන vowel අකුරු දෙකකට පසුව ඇති ‘l’ අකුරත් double වෙනවා (උදා: dial – dialled [බ්‍රි] / dialed [], fuel – fuelled [බ්‍රි] / fueled []).

4. අවසානයේ ඇති ‘c’ අකුර ඇතැම් විට ‘ck’ බවට පත් වෙනවා (උදා: panic – panicked, mimic – mimicked)

*** (D) රටාවේ ගැනෙන present participle ස්වරූපය ගැන අපි “They Play Cricket, but Are They Playing Cricket? - වර්තමාන ක්‍රියා ගැන ලිපියේ බැලුවා.

***මෙම (C) රටාව ‘present perfect’ හෝ  ‘simple present perfect’ යනුවෙනුත්, (D) රටාව ‘present perfect continuous’ හෝpresent perfect progressive’ යනුවෙනුත් හැඳින්වෙනවා.

***මෙතනත් පොඩි පටලැවිල්ලක් වෙන්න පුලුවන්. මොකද, මේ රටා පාවිච්චි වෙනවා ක්‍රියාව අවසන් බව දක්වන තැන්වලත්. උදාහරණයක් වශයෙන්, They have played cricket” යන්න ඒ අය ක්‍රිකට් ගහලා තියෙනවා වැනි අර්ථත් නිරූපනය කරනවා. (මේ අතීත කාල යෙදුම් අපි ඉදිරි ලිපිවලින් සලකා බලනවා - The Prices Have Gone Up - අතීතයේ තවත් පැත්තක් ලිපිය බලන්න.)

***අපි මේ කතා කරන අර්ථයේදී බොහෝ විට අදාළ කාල පරිච්චේදය හෝ පටන් ගත් වෙලාව / දිනය... ආදිය සඳහන් වෙනවා. ඒ කියන්නෙ for 10 days - දවස් දහයක සිට always - කවදත්, “since January - ජනවාරියේ සිට ආදී වශයෙන්.

We have lived here since 2003. 2003 ඉඳල අපි මෙහෙ ඉන්නවා (ජීවත් වෙනවා).

The child has been using that bag for two years. ළමයා මේ බෑග් එක අවුරුදු දෙකක් තිස්සෙ පාවිච්චි කරනවා.

They have always worked here. ඒ ගොල්ලො කවදත් වැඩ කෙරුවෙ මෙතන. (සිංහලෙන් යෙදුන වැඩ කෙරුවෙ යන්න අතීත කාල ස්වභාවයක් පෙන්නුවත්, අදාළ පුද්ගලයින් තවමත් මෙහි වැඩ කරන බව මෙහි අර්ථයයි.)

***කලින් ලිපියේ සඳහන් කළ
*සම්මත හෝ ස්වභාවය නිසා ඇති තත්වයන් / ගුණයන් පිළිබඳව
*ශාරීරික හෝ මානසික තත්වයන් සම්බන්ධව
*ගන්නා යම් ස්ථාවරයක් පිළිබඳව‍
*have හි අයිතිය හඟවන යෙදුම සමග
මෙම අර්ථය යෙදේ නම්, ඒ සඳහා බොහෝ විට (C) රටාව පාවිච්චි කරනවා.
(මෙවැනි ක්‍රියා පද ‘stative verbs’ වශයෙනුත්, අනෙකුත් ක්‍රියා පද ‘action verbs’ වශයෙනුත් හැඳින්වෙනවා.)

That girl has always looked beautiful. ඒ ගෑණු ළමයගෙ පෙනුම කවදත් ලස්සනයි.

She has always liked that film. එයා ඒ චිත්‍ර පටියට කවදත් කැමතියි.

He has known the truth for a long time. ගොඩක් කල් ඉඳල එයා ඇත්ත දන්නවා.

Politicians have always promised us all this. දේශපාලනඥයො කවදත් අප‍ට මේ ඔක්කොම පොරොන්දු වෙනවා.

He has had a bike for two years now. එයාට දැන් අවුරුදු දෙකක ඉඳල බයික් එකක් තියනවා.  

***අනෙකුත් ක්‍රියා පද සමග, අදාළ ක්‍රියාව කෙටි කාලීන නම් (D) රටාවද, දිගු කාලීන නම් (C) රටාවද සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා. (තාවකාලික තත්වයක් දැක්වීමට ache, feel වැනි පද අර්ථයේ වෙනසකින් තොරව දෙආකාරයෙන්ම යෙදෙනවා)

We have been talking about it recently. ළඟදි ඉඳල අපි ඒ ගැන කතා කරනවා.

The children have been studying for two hours. ළමයි පැය දෙකක් තිස්සෙ පාඩම් කරනවා.

They have been living here for about a year now. ඒ අය අවුරුද්දක විතර ඉඳල මෙහෙ ඉන්නවා (ජීවත් වෙනවා).

They have lived here since their childhood. ඒ අය පොඩි කාලේ ඉඳල මෙහෙ ඉන්නේ (ජීවත් වෙන්නේ).

I have been working here for three years. මම අවුරුදු තුනක ඉඳල මෙතන වැඩ කරනවා.

I have worked here for a long time. මම දිග කාලයක් තිස්සේ මෙතන වැඩ කරනවා.

My head has ached / has been aching since morning. උදේ ඉඳල මගෙ ඔළුව කකියනවා.

I have felt sad / have been feeling sad ever since she left. එයා ගියදා / ගිය වෙලාවෙ ඉඳලම මම දුකෙන් ඉන්නෙ.

*** අදාළ ක්‍රියාව කෙරී ගෙන යන බව හුවා දැක්වීමට දිගු කාලීනව සිදු වෙන දෙයකට පවා (D) රටාව භාවිතා වෙනවා.

The whole family has been watching the match from the beginning. මුළු පවුලම ප‍ටන් ගත්ත වෙලේ ඉඳල මැච් එක (ක්‍රීඩා තරඟය) බලනවා.

That man has been hanging around here for a long time. අර මිනිහා හුඟක් වෙලා ඉඳල මෙතන කැරකෙනවා (රැඳී ඉන්නවා).

He has been drinking since his school days. එයා ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් බොනවා.

***යම් කාලයක සිට නැවත නැවත සිදුවෙන බව දැක්වීමේදී (D) රටාව පාවිච්චි වෙනවා.  නමුත් එසේ කී වතාවක් සිදු වුණාදැයි දැක්වීමේදී (C) රටාව ගැනෙනවා.

Your wife has been trying to contact you since you left home. ඔයා ගෙදරින් පිටත් උන වෙලාවෙ ඉඳලා ඔයාගෙ වයිෆ් ඔයාව කන්ටැක්ට් කරන්න ට්‍රයි කරනවා (ඔයාගෙ බිරිඳ ඔයාට කතා කරන්න උත්සාහ කරනවා).

He has been calling us since yesterday to see whether you are here. ඔයා මෙහෙද කියල බලන්න එයා ඊයෙ ඉඳන් අපට කතා කරනවා (කෝල් කරනවා).  

He has called us five times since yesterday to see whether you are here. ඔයා මෙහෙද කියල බලන්න එයා ඊයෙ ඉඳන් (මේ වෙන තෙක්) පස් වතාවක් අපට කතා කෙරුවා (කෝල් කෙරුවා).

ඉතින් අපිත් දැන් කලින් ලිපියේ ඉඳලම මේක බලනවනේ. (So we too have been following this right from the last post.) ඒ නිසා අදට මෙතනින් නවත්වමු. 

8 comments:

  1. සුපුරුදු පරිදිම, මසුරං.

    been- අතීත කාල
    being- වර්තමාන කාල නේද?
    අතීතයේ සිට අද දක්වා( තවමත්) කරමින් පවතිනවානම් being යොදා ගතයුතුයි නේද?

    ReplyDelete
  2. Yes, I have been liking your posts! <3

    ReplyDelete
  3. @Siribiris

    ඒ ඉස්කෝලෙ කියල දෙන සරල, ඒත් වැරදි, භාෂා රීති නිසා ගොඩක් වැරදි අවබෝධ ඇති වෙනවා.

    *** "being" ක්‍රියා රූපය යෙදෙන කීප ආකාරයක් පහත දැක්වෙනවා:

    (1) He is writing a letter. (එයා ලියුමක් ලියමින් ඉන්නවා.) වැනි වාක්‍ය, එනම් මීට කලින් ලිපියේ සඳහන් (B) රටාව, කර්ම කාරක (passive voice) ලෙස යෙදීමේදී,
    A letter is being written by him.
    (මෙය වර්තමාන කාලයට අදාළයි.)

    (2) "be" ක්‍රියා පදය, එනම් is, are, am ආදියේ මූලය, (B) රටාව‍ට යෙදෙන විට,
    He is being impartial. එයා මේ අවස්ථාවෙ අපක්ෂපාතී වෙනවා.
    (මෙයත් වර්තමාන කාලයට අදාළයි.)

    (3)පහත රටාවේ
    Being an honest man, he didn't try to lie. අවංක මිනිහෙක් වන / වුනු ඔහු බොරු කියන්න උත්සාහ කලේ නැහැ.
    (කීමට අවශ්‍ය දේ අනුව මෙය වර්තමාන කාල හෝ අතීත කාල විය හැකියි.)


    *** "been" ක්‍රියා රූපය

    (1) එය (D) රටාවට යෙදෙන විට (ලිපියේ දැක්වෙන පරිදි) අතීතයේ යම් අවස්ථාවක පටන් ගෙන තව දුරටත් සිදු වෙන දේ දක්වනවා.

    (2) එය (C) රටාවේ කර්ම කාරක ස්වරූපයේද යෙදෙනවා.
    He has written the letter. - The letter has been written by him.
    (C) රටාව (ලිපියේ දැක්වෙන පරිදි) අතීතයේ යම් අවස්ථාවක පටන් ගෙන තව දුරටත් සිදු වෙන දේ මෙන්ම සිදුවී අවසන් දේ දැක්වීමටද පාචිචිච් කරන නිසා, මෙම යෙදීමේදී එහි අදහස අවස්ථානුකූලව දෙවිදිහෙන් එක් විදිහක් ගත හැකියි.
    The letter has already been written. ලියුම දැනටමත් ලියලා (ලියවිලා) ඉවරයි.
    The letter has been written for two hours now. දැන් පැය දෙකක් තිස්සෙ ලියුම ලියනවා (ලියවෙනවා).


    විස්තරය සංකීර්ණ වැඩිද මන්දා. අතීත කාලය, කර්ම කාරකය, වගේ දේවල් අපි ඉදිරියට බලනකොට වඩ හොඳින් තේරුම් යාවි.

    ReplyDelete
  4. @~බිன்ku~
    Thanks. It has been great to have you guys with me.

    ReplyDelete
  5. හරි. මම හිතාගත්තා,"being" කර්ම කාරක සහ "Be" කියන ක්‍රියා පදයේ වර්තමාණයට විතරක් දානව කියලා.

    ඒත්,
    (2) එය (C) රටාවේ කර්ම කාරක ස්වරූපයේද යෙදෙනවා.
    He has written the letter. - The letter has been written by him.

    හුටා, ඔන්න බොලේ ආයෙත් ටැපලුනා.

    ReplyDelete
  6. @Siribiris

    කර්ම කාරකයෙදි,
    * "being" යෙදෙන්නෙ (B) ර‍ටාවෙදි
    * "been" යෙදෙන්නෙ (C) ර‍ටාවෙදි

    පොඩ්ඩක් ටැපලෙන කේස් එකක් තමයි. මේ රටාවලට ව්‍යාකරණයෙ පාඩම්වල කියන නම් නැතිව (A), (B), (C), (D) කියල දැම්මෙත් ඒ නිසා. තව සැරයක් ලිපි දෙකම අරගෙන, අදාළ රටා දෙක මගේ කලින් comment එකත් එක්ක සංසන්දනය කළොත් තේරේවි.

    ReplyDelete
  7. ඉස්සර මටත් සමහර වෙලාවට been, being ටැපලෙනව... :)
    thanks for continuing ur good work.

    ReplyDelete
  8. @indik
    Thanks for being with us all the way.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails