Friday, January 29, 2010

Will or Shall? - අනාගතයේදී

   
 සේයාරුවට ස්තුතිය: gwire

අද අපි කතා කරමු ඉංග්‍රීසි භාෂාවේ අනාගත කාල ක්‍රියා පද සඳහා යෙදෙන රටා කීපයක් ගැන. “They Play Cricket, but Are They Playing Cricket? - වර්තමාන ක්‍රියා ගැන” ලිපියේ සඳහන් කළ පරිදි එහි අපි (A) හා (B) යනුවෙන් නම් කළ රටා දෙකත් මේ සඳහා ඇතැම් විට භාවිතා වෙනවා. නමුත් ඊට වඩා බහුලව යෙදෙන වාක්‍ය රටා දෙකක් දිහාත් බලමු.

(I)  He / She / It / I / We / You / They / The boy / Sunil / The boys / Sunil and Mala... will play cricket.

(J) He / She / It / The boy / Sunil...  is going to play cricket.
     We / You / They / The boys / Sunil and Mala... are going to play cricket.
     I am going to play cricket. 



*** (I) රටාවේ ඇති will පදය මෙන්ම පසුව සලකා බැලෙන can, may, would, should වැනි අනෙකුත් කෘත්‍යමය ක්‍රියා පදවලට එනම් modal verbs (modal auxiliary verbs) වලට පසුවත් යෙදෙන්නේ ක්‍රියා පදයක මූලික (bare) infinitive ස්වරූපයයි.

*** (J) රටාවේ මෙන් ක්‍රියා පදයක මූලික ස්වරූපය to පදය සමග යෙදෙන විට ඇතැම් අය එය to-infinitive නමින් හඳුන්වනවා.

***මෙම (I) රටාව ‘future simple’ හෝ  ‘simple future’ යනුවෙන් හැඳින්වෙනවා.


දැන් බලමු මේ රටා දෙකත්, (A) හා (B) රටාත්, ඉදිරියට සිද්ද වෙන්න තියන දේ සම්බන්ධයෙන් පාවිච්චි වෙන ආකාර දිහා.


1. කරන්නට ඉදිරිපත් වන දෙයකට හෝ යෝජනාවකට - (I) රටාව

I will answer the phone. මම ෆෝන් කරන්නෙ කවුද කියල බලන්නම්.

We will write that letter. අපි ඒ ලියුම ලියන්නම්.

We will talk to her now. අපි දැන් එයා එක්ක කතා කරමු.  

2. අනාගතයේ යම් අවස්ථාවක සිදු වීමට / කිරීමට නියමිත දෙයකට - ‍(A) හෝ (I) රටාව

The meeting starts / will start at 9.30 a.m. උදේ 9.30 ට රැස්වීම ආරම්භ වෙනවා.

Our group travels / will travel to Gampaha tomorrow. අපේ කණ්ඩායම හෙට ගම්පහට ගමන් කරනවා.

3. අනාගතයේදී  සිදු වීමට / කිරීමට පෞද්ගලිකව හෝ ආසන්න වශයෙන් සැලසුම් කර ඇති / සැලසුම් කරමින් පවතින දෙයකට - (B), (I) හෝ (J) රටාව

We are making/ are going to make / will make something special for lunch on Sunday. අපි ඉරිදා දවාලට විශේෂ කෑමක් හදන්න යනවා.

I am meeting / am going to meet / will meet my old friends next weekend. එන සති අන්තයෙ මම මගෙ පරණ යාළුවො හම්බ වෙනවා.

4. සැලසුම් කර නැතත්, සිදු වේයැයි / කිරීමට බලාපොරොත්තු වන දෙයකට - (I) හෝ (J) රටාව

It is going to be / will be hotter in April. අප්‍රේල් මාසෙ මීටත් වැඩිය රස්ණෙ වෙයි.

I am going to do / will do my homework tomorrow. මම ගෙදර වැඩ හෙට කරනවා.

5. ඉක්මනින් සිදුවීමේ සලකුණු පහල වී ඇති දෙයකට - (J) රටාව

The sky is really dark; it is going to rain soon. අහස හොඳටම කළු කරලා; ඉක්මනට වහින්නයි යන්නෙ.

That child looks really sick; I think he is going to faint. අර ළමයට හොඳටම අසනීප පාටයි. මට හිතෙන්නෙ එයා කලන්ත වෙන්න යන්නෙ කියලා.

***යම් දෙයක් සිදු වීමට ඉතාම ආසන්න නම් ඒ සඳහා “be about to” රටාව යෙදෙ‍නවා.

School is about to start. ඉස්කොලෙ පටන් ගන්න ඔන්න මෙන්න.

The bus is about to leave. බස් එක යන්නයි හදන්නෙ.


***අනාගතය පිළිබඳ ප්‍රශ්න ඇසීමේදී will පදය කතෘ පදයට මුලින් යෙදෙනවා. කාරුණික ඉල්ලීමක් කිරීමට මෙම ප්‍රශ්න රටාව you පදය සමග යොදා ගත හැකිය.

Will the minister resign next week? (Is the minister going to resign next week?) ඇමතිතුමා ලබන සතියේ අස් වෙයිද?

Will you come with us tomorrow? ඔයා හෙට අපිත් එක්ක එනවද? (මෙය එසේ එන ලෙස කරන ඉල්ලීමක්. අවශ්‍ය නම් please යන්නත් අගට එකතු කර ඉල්ලීම තවත් ආචාරශීලී කළ හැකියි.)

***අනාගත කාලයට I හා we සමග will වෙනුවට shall යෙදීම ඉස්සර කාලෙ බහුලව තිබුනත් දැන් නම් එසේ කරන්නේ කලාතුරකින්. නමුත් I හා we සම්බන්ධව ප්‍රශ්නාර්ථයෙන් අන් අයගේ මතය හෝ කැමැත්ත විමසද්දී නම් එය තවමත් යෙදෙනවා. මෙම භාවිතයත් වඩා බහුල බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ.

Shall I open the window? මම ජනේලෙ අරින්නද?

Shall we go now? අපි යමුද දැන්?

What shall we do about this? අපි මේ ගැන මොකද කරන්නෙ?

මීට අමතරව shall හි විධානයක්, තර්ජනයක්, දැඩි අභිමතයක්, ස්ථිර පොරොන්දුවක් ආදිය දැක්වීමේදී භාවිතයත් වර්තමාන ව්‍යවහාරයේ ඉතා අඩු අතර එය නීතිමය බසේ නම් තවමත් එවැනි අර්ථවල යෙදෙනවා.  

The tenant shall pay the monthly rent before the end of the relevant month. කුළී නිවැසියා අදාළ මාසයේ අවසානයට පෙර මාසික කුළිය ගෙවිය යුතුයි.

***තවත් කියන්න ඕනැ දෙයක් තමයි, “will” පදය ඇතැම් තැන්වල පාවිච්චි වෙනවා පුරුද්ද හෝ ස්වභාවය නිසා සාමාන්‍යයෙන් සිදු වන / නොවන දෙයක් දැක්වීමට. ඒ වගේම පුරුද්ද හෝ ස්වභාවයට විරුද්ධව සිදු වන දෙයක් ගැන දැක්වීමටත්. මේ තැන්වලදී එහි ඇත්තේ වර්තමාන අර්ථයක්.

He will listen to music for hours. එයා පැය ගණන් සිංදු (සංගීතය) අහනවා. (ඒක පුරුද්ද.)

That door won't (will not) open. ඒ දොර ඇරෙන්නෙ නැහැ. (ඒ ඒකෙ හැටි.)

This will do for the time being. වෙලාවෙ හැටියට මේක ඇති. (සාමාන්‍යයෙන් නම් මදි.) 

The car won't start today. අද කාරෙක ස්ටාර්ට් වෙන්නෙ (පණ ගැන්වෙන්නෙ) නැහැ. (වෙනදා නම් වෙනවා.)

හොඳයි, මේ අනාගත කාලය සම්බන්ධයෙන් වඩාත්ම බහුලව යෙදෙන රටා කීපයක් පාවිච්චි වෙන ආකාර. හැබැයි මේත් ඔක්කොම නම් නෙමෙයි. අනිත්වා ගැන අපි පස්සෙ බලමු. (We will / are going to see about the rest later.) (They Will Be Working - අනාගතයේ තවත් පැත්තක්බලන්න.)



10 comments:

  1. එළ.. ‍දිගටම ලියමු...

    ReplyDelete
  2. @Thilina
    නැතුව, නැතුව...

    ReplyDelete
  3. Sir,
    Your post is GREAT! I don't think that anyone can write such a thing like this.KEEP IT UP!Cheers!

    ReplyDelete
  4. your lessons easy to learn. thanks you for this services

    ReplyDelete
  5. සර් will පදය බාවිත වෙනවා කියන්නේ පුරුද්ද හෝ සවභාවය නිසා නිසා සාමාන්‍යයෙන් සිදුවන නොවන දෙයක් දක්විමට.ඒ වගේම පුරුද්ද හෝ සවභාවයට විරුද්දව සිදුවන දෙයක් ගැන දැක්වීමටත් .

    මේ පද දෙකේ කොහොමද සර් එකක් පුරුද්ද නිසා වෙනවා අනිත් එක අසාමාන්‍ය සිදුවීමක් විදියට වෙන් කරලා හිතන්නේ ..

    The door won't open.ඒ දොර ඇරෙන්නේ නැහැ ( ඒ එකේ හැටි )
    The car won't start today.ඒ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ (වෙනදා නම් වෙනවා )

    කියවන කෙනෙක්ට හිතන්න පුළුවන්නේ මේ දොර කලින් හොදට වැඩ කළා දැන් තමා ඇරෙන්නේ නැත්තේ කියල.කාර් එකත් අනිත් පැත්තට හිතන්න පුළුවන්නේ සර්...කොහොමද ඒ දෙක වෙන් කරලා ගන්නේ සර්..මේ today කියල තියන එකෙන්ද.නැත්නම් එහෙම කියන්න බැරිද සර්

    ඒ වගේම සර් would පාඩමේදී

    When I wanted to check my email this morning , the computer wouldn't start. මට අද උදේ ඊ මේල් තියනවද බලන්න ඕනේ උන වෙලාවේ කම්පුටර් එක ස්ටාර්ට් උනේ නැ ..
    කියනවනේ සර් එකේනම් ටිකක් හරි හිතාගන්න පුලුවන් එක කලින් වැඩ කරලා කියලා ..

    Everyday , he would come home drunk
    හැමදාම එයා ගෙදර අවේ බිලා කියනවනේ ..
    ඒ කියන්නේ එයා දැන් බිලා එන්නේ නෑ කලින් දවස්වල බිල ආවට කියලද ..

    Everyday, he used to drink වගේ අදහසක්ද සර්(ගෙදර අවේ කියල නම් ඔයේ වගේ එකකට දාන්න පුලුවන්ද සර් when he came home )..
    ඒ වගේම Everyday he is used to drink දාලා ලිව්වම එයා අදටත් බීල එන්නේ ..හරියට Everyday he will come home drunk වගේ අදහසක් ද සර් .

    ReplyDelete
    Replies
    1. "The door won't open." - Yes, you're right. It may mean either that it doesn't open at all or that it used to open fine earlier but not this time. That has to be understood according to the context. (I gave this example thinking of a door that doesn't open at all.)

      "Everyday, he would come home drunk " and "He used to home home drunk every day." both mean he doesn't come home drunk any more. As stated in the article linked below, "he used to" and "he is used to" mean two completely different things; the former means that the person doesn't do something any more while the latter means that the person is still familiar with something.
      ("http://ingirisi.blogspot.com/2010/01/they-were-singing-when-they-came-here.html"

      Delete
    2. I really appreciate that you made such an effort to support me sir.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails