Tuesday, January 26, 2010

They Were Singing When They Came Here - අතීත කාල කීයක්ද?


සේයාරුවට ස්තුතිය: Ryan Holst


අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා ඒවා ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ කියලත් කියනවා. නමුත් අතීතයේ අපි හෝ අනිත් අය ලබපු අත්දැකීම්වලින් කාටත් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයක් තියෙනවා. ඒ වගේම රසවත් අත්දැකීම් ගැන මතක්කරන්න, ඒ ගැන කතා කරන්න, අපි කවුරුත් කැමතියිනෙ.
ඉතින් ඒ නිසා තමයි පහුගිය දේවල් පීළිබඳව පාවිච්චි වෙන යෙදුම් අපට වැදගත් වෙන්නෙ. ගෙවිලා ගිය කාල වකවානු ගැන ඉංග්‍රීසියේ භාවිතා වෙන යෙදුම් ගැන නම් අපි කලින් ටිකක් කතා කෙරුවා. අද බලන්න යන්නේ පහු ගිය කාලවල කළ කී දේ ප්‍රකාශ කරන රටා කීපයක් දිහා. මෙතනදි මුලින්ම අවධානය යොමු කරමු බහුලව භාවිතා වෙන රටා දෙකක් දිහා.

(E) They played cricket. ඒ අය ක්‍රිකට් ගැහුවා. (අතීතයේ යම් අවස්ථවක එසේ කළා හෝ යම් කාලයක කරන්නට පුරුදුව සිටියා.)

I met him yesterday. මට ඊයෙ එයාව හම්බ උනා.

We worked together when we were in Kandy. අපි නුවර ඉන්නකොට එකට වැඩ කෙරුවා.

The visited us frequently in those days. ඒ දවස්වල ඒ ගොල්ලො නිතරම අපිව බලන්න ආවා (එන්න පුරුදු වෙලා හිටියා).

I passed that building every day when I went to school. මම ඉස්කො‍්ලෙ යනකොට හැමදාම ඒ ගොඩනැගිල්ල පහු කරගෙන ගියා.

At 8 o’clock I turned on the TV to watch the news. අටට මම ප්‍රවෘත්ති බලන්න ටීවී එක දැම්මා.

මෙම රටාවේදී He / She / It / I / We / You / They / The boy / Sunil / The boys / Sunil and Mala...  played ලෙසින් ක්‍රියා පදය (verb) යෙදෙනවා.

(F) They were playing cricket. ඒ අය ක්‍රිකට් ගහමින් හිටියා. (අතීතයේ යම් අවස්ථාවක හෝ යම් කාලෙක එසේ කරමින් හිටියා.)

My friends were playing cards when I went to see them. මගෙ යාළුවො කාඩ් ගහනවා (එසේ කරමින් හිටියා) මම ඒ අය හම්බ වෙන්න යනකොට.

They were singing when they came back. ඒ ගොල්ලො ආපහු එනකොට සින්දු කියකිය (කියමින්) ආවෙ.

The little child slipped and fell while he was coming down the stairs. පඩි පෙළෙන් පහලට එනකොට (එමින් සිටිද්දි) පොඩි ළමයා ලිස්සල වැටුනා.

This time last year we were organizing a trip. ගිය අවුරුද්දෙ මේ කාලෙ අපි විනෝද ගමනක් සංවිධානය කර කර (කරමින්) හිටියේ.

At 8.15 I was watching the news on TV. අටයි කාලට මම ටීවී එකේ ප්‍රවෘත්ති බල බල හිටියේ.

මෙම රටාවේදී He / She / It / I / The boy / Sunil... was playing ලෙසින්ද, We / You / They / The boys / Sunil and Mala... were playing ලෙසින්ද ක්‍රියා පදය යෙදෙනවා.

*** (E) රටාවේ යෙදෙන්නේ ක්‍රියා පදයක past tense ස්වරූපයයි. සම්මත ආකාරයේ ක්‍රියාපදවල (regular verbs) මෙම  past tense ස්වරූපයYou Have Always Liked It? - එහෙනම් තවමත් එහෙමයි ලිපියේ සලකා බැලූ past participle ස්වරූපයට සමාන වෙනවා. (අනිත්වා, එනම් irregular verbs, වෙ‍න වෙනම ඉගෙන ගන්න වෙනවා. ක්‍රියා පද වර නැගීම දැක්වෙන සටහනකට (conjugation table) මෙම බ්ලොග් අඩවියේ ඉහළින්ම ඇති ඉංග්‍රීසි ඉගෙනුමට අත්වැල් යටතේ තිබෙන ඉංග්‍රීසි ක්‍රියා පද() සබැඳියෙන් පිවිසිය හැකියි. මෙවැනි සටහන්වල සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ මේ irregular verbs ක්‍රියා පද පමණක්‌ බව සැලකිය යුතුයි.)

*** (F) රටාවේ ගැනෙන present participle ස්වරූපය ගැන අපි They Play Cricket, but AreThey Playing Cricket? - වර්තමාන ක්‍රියා ගැන ලිපියේ බැලුවා.

***මෙම (E) රටාව past simpleහෝ  ‘simple past’ යනුවෙනුත්, (F) රටාව ‘past continuous’ හෝ ‘past progressive’ යනුවෙනුත් හැඳින්වෙනවා.

*සම්මතය හෝ ස්වභාවය නිසා අතීතයේ ඇති වූ තත්වයන් / ගුණයන් පිළිබඳව
*පැවති ශාරීරික හෝ මානසික තත්වයන් සම්බන්ධව
*ගත් යම් ස්ථාවරයක් පිළිබඳව
කතා කිරීමේදී (E) රටාව සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා.

This land belonged to my friend a year ago. අවුරුද්දකට කලින් මේ ඉඩම අයිති (අයිතිව තිබුනෙ) මගෙ යාළුවට.

They had two children. ඒ ගොල්ලන්ට ළමයි දෙන්නෙක් හිටියා. 

That girl looked beautiful yesterday. ඊයෙ ඒ ගෑණු ළමයා ලස්සනට හිටියා.

She knew the truth before anyone else. අනිත් කාටවත් කලින් එයා ඇත්ත දැනගෙන හිටියා.

He admitted that he was wrong. එයාට වැරදියි කියලා එයා පිළිගත්තා.

*මීට අනුරූප වර්තමාන කාල ක්‍රියා පදවලදී සලකා බැලූ ආකාරයට, ඉහත සමහර අවස්ථාවලදී අදාළ තත්වය / ක්‍රියාව තාවකාලික වූ බව හෝ එය ඒ අවස්ථාවේ සිදු වූ බව අවධාරණය කිරීම සඳහා (F) රටාව යෙදෙනවා.

The children were loving the experience. ළමයි ඒ අත්දැකීමට ඒ දවස්වල හරි ආසා වෙලා හිටියා (ඒක ළමයින්ට අපූරු අත්දැකීමක් වෙලා තිබුනා).

He was considering a new job when he got the promotion. එයා අළුත් රස්සාවක් ගැන හිතමින් හිටියේ (සලකා බලමින් හිටියේ) එයාට උසස්වීම ලැබෙනකොට.

*මේ නිසා ඇතැම් අවස්ථාවලදී එකම යෙදුම තුළ මේ දෙවිදිහ තරමක් වෙනස් අර්ථ නිරූපනය කරන්න පුලුවන්.

She taught English at ABC College in those days. ඒ දවස්වල එයා ඒබීසී විද්‍යාලෙ ඉංග්‍රීසි ඉගැන්නුවා (දීර්ග කාලීනව).

She was teaching English at ABC College in those days.  ඒ දවස්වල එයා ඒබීසී විද්‍යාලෙ ඉංග්‍රීසි ඉගැන්නුවා (තාවකාලිකව).

*තාවකාලික තත්වයක් දැක්වීමට ache, feel, look වැනි පද අර්ථයේ වෙනසකින් තොරව දෙආකාරයෙන්ම යෙදෙනවා.

My head ached. / My head was aching. මට ඔළුව කැක්කුමක් තිබුනා(ඒ වෙලාවෙ).

I felt sad at that moment. / I was feeling sad at that moment. මට ඒ වෙලාවෙ දුකක් දැනුනා.

He looked awful. / He was looking awful. එයාගෙ පෙනුම (එදා, ඒ මොහො‍තේ) අන්තිමයි.

* කෙනෙකුට (හෝ දෙයකට) / කෙනෙක් ළඟ (හෝ දෙයක) / කෙනෙක් සතුව (හෝ දෙයක් සතුව) තියනවා හෝ ඉන්නවා වැනි අර්ථවලදී (E) රටාව ගන්නා have පදය අනෙකුත් අර්ථවලදී (F) රටාවද ගත හැකියි.

­­­She had long hair. එයාට දිග කොණ්ඩයක් තිබුනා.

­­­They had a lot of money. ඒ ගොල්ලන්ට ගොඩක් සල්ලි තිබුනා.

They were having a party. ඒ ගොල්ලො පාටියක් දාමින් හිටියා (පාටියක් පවත්වමින් හිටියා).

Kamal was having dinner. කමල් (රෑ) කෑම ගනිමින් හිටියා (කෑම කමින් හිටියා).

He also had / was also having family problems when he was fired from his job. එයාගෙ රස්සාව නැති වෙනකොට එයාට පවුලෙ ප්‍රශ්නත් නිබුනා / එයා පවුලෙ ප්‍රශ්නවලටත් මුහුණ දෙමින් හිටියා.

*යම් අතීත පුරුද්දක් වුවත් එයින් එම අවස්ථාවේ ඇති වූ අපහසුතාවය වැන්නක් හුවා දක්වා සඳහන් කිරීමට (B) රටාව යොදා ගැනෙනවා.

He was always losing the keys. එයා හැම වෙලේම යතුරු නැති කර ගත්තා. 

*අතීත පුරුද්දක් ගැන සාමාන්‍යයෙන් (E) රටාව යෙදුනත්, කෙටි කාලෙකට සීමා වුණ අතීත පුරුද්දක් දැක්වීමට දෙආකාරයම යෙදෙනවා.

At the time he got the heart attack, he drank / was drinking heavily. එයාට පපුවෙ අමාරුව හැදුන කාලෙ එයා හොඳට බිව්වා (බොන්න පුරුදු වෙලා හිටියා).

When they stayed here, they quarrelled [බ්‍රි] (quarreled [ඇ]) / were quarrelling [බ්‍රි] (quarreling [ඇ]) all the time. ඒ අය මෙහෙ නතර වෙලා හිටපු කාලෙ හැම වෙලේම රණ්ඩු උනා.

*කතන්දරයක් වැනි විස්තරයකදී ප්‍රධාන සිදුවීම් / ක්‍රියාවන් සඳහා (E) රටාවද, වඩා දිග කාලයක් පවතින පසුබිම් කරුණු සඳහා (F) රටාවද සාමාන්‍යයෙන් යෙදෙනවා. (මේ වෙනුවට මෙහිදී වර්තමාන කාලයද යෙදිය හැකියි.) 

Snow White went further and further into the forest. She was crying. Suddenly, she saw a little house…  ස්නෝ වයිට් තව තවත් දුර කැළෑව ඇතුලට ගියා. එයා අඬ අඬා ගියේ. එක පාරටම එයා පොඩි ගෙයක් දැක්කා...

මේ අකාරයෙන් තමන්ගේම අත්දැකීමක්ද විස්තර කළ හැකියි.

It was 11.30 when we reached Polonnaruwa. The children were asking for something to drink. So we stopped at a roadside kiosk and bought some drinks… අපි පොළොන්නරුවට එනකොට 11.30 යි. ළමයි බොන්න මොනව හරි ඉල්ල ඉල්ල හිටියෙ. ඉතින් අපි පාර අයිනෙ කඩයක් ළඟ නවත්තලා බීම වගයක් ගත්තා...

*අතීතයේ කලක් පැවති (එහෙත් දැන් නැති) පුරුද්දක්, ගුණයක්, තත්වයක්... හෝ නැවත නැවත සිදු වූ දෙයක් සඳහා (E) හෝ (F) රටා වෙනුවට පහත ඇති used to…රටාවද යෙදෙනවා.

He used to smoke a lot when he was young. එයා තරුණ කාලෙ ගොඩක් සිගරට් බොන්න පුරුදු වෙලා හිටියා.

She used to have long hair. ඉස්සර එයාට දිග කොණ්ඩයක් තිබුනා.

They used to write to us every week when they lived in the US. ඒ අය ඇමරිකාවෙ ඉන්නකොට හැම සතියෙම අපට ලිව්වා.

When they stayed here, they used to quarrel all the time. ඒ අය මෙහෙ නතර වෙලා හිටපු කාලෙ හැම වෙලේම රණ්ඩු උනා.

*මෙම රටාව හුරු පුරුදුයි අර්ථය ඇති be used toරටාව හා පටලවා නොගත යුතුයි. 

I am used to all this noise. ම‍ට මේ සද්ද බද්ද හොඳට පුරුදුයි.

They were used to getting up early. ඒ අය වේලාසනින් නැගි‍‍ටින්න පුරුදු වෙලා හිටියා.

You’ll get used to it.  ඔයා ඒකට පුරුදු වෙයි.

***කලින් රටාව (used to) හා බලන විට මේ රටා‍‍වේ (be used to) ඇති තවත් වෙනසක් නම් එයට පසු නාම පදයක් (noun) හෝ ක්‍රියාවක -ingස්වරූපය යෙදීමයි.

ඉතින් අද‍ට නවත්වමු. හැබැයි මේ අද බැලුවෙ අතීත කාලයට සම්බන්ද ඔක්කොම රටා එහෙම නෙමෙයි. අනිත් එවා ඉදිරියට (The Prices Have Gone Up - අතීතයේ තවත්පැත්තක් බලන්න).


4 comments:

  1. හැමදාම වගේ තවත් බොහොම අර්ථවත් සහ වැදගත් ලිපියක් කියවීමට ලැබීම ගැන සතුටුයි. අලුත් ගැජට් ටිකක් දාල තියෙනව දැන්නෙ දැක්කෙ. එව්වගෙ borders ටික අයින් කලානම් ලස්සනයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  2. @Saranga Rathnayake
    සාරංග මල්ලි, මේ borders අයින් කරන විදිහ මම දන්නෙ නැහැනෙ. කොහොමද ඒක කරන්නෙ?

    ReplyDelete
  3. ආ ගිය අය ගැජට් එක;
    ගැජට් එකේ Edit Mode ගිහින් border=CCCCCC කියල තියන තැන border=ffffff කියල වෙනස් කරන්න.
    columns=3 කරන්න, maxflags=21 කරන්න

    සජීව පැමිණීම් දර්ශකය ගැජට් එක;
    ගැජට් එකේ Edit Mode ගිහින් brd1=336699 කියල තියන තැන brd1=ffffff කියල වෙනස් කරන්න.

    ඔය විස්තරේ උදව් වෙයි කියල හිතනව.

    ReplyDelete
  4. @Saranga Rathnayake
    ඔන්න කළා වැඩේ. බොහොම ස්තුතියි ආයෙත් සැරයක්!

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails