Monday, January 11, 2010

Is This a Normal, Ordinary, General or Average Case? - සාමාන්‍යයෙන් අසාමාන්‍ය කඩ්ඩ

සේයාරුවට ස්තුතිය: Terje S. Skjerdal 

ඉංග්‍රීසි භාෂාවේ තියනවනෙ normal, ordinary, general, average වගේ වචන. මේවා ඔක්කොම බොහෝ විට සිංහලට පරිවර්ථනය වෙන්නෙ “සාමාන්‍ය” හැටියට. ඒ කියන්නෙ මේ ඔක්කොගෙම තේරුම එකද? ඔක්කොම එකම විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?

ඇත්තෙන්ම නැහැ. සාමාන්‍ය කියලා සිංහලට හැරවීම හුඟක් තැන්වල නිවැරදි වුණත්, භාවිතය අතින් මේවා අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් උදාහරණ ආශ්‍රයෙන් තේරුම් ගැනීම වැදගත් වෙනවා.

1. Normal

මේ පදය යෙදෙන්නේ “සම්මතයට වෙනස් නැති”, “පුරුදු ක්‍රමයට වෙනස් නැති”, “බහුතරයෙන් වෙනස් නැති” වැනි අවස්ථාවලදීයි.

It is perfectly normal to yawn when you are bored.

කෙනෙකුට යමක් එපා උනාම ඈනුම් යාම හොඳටම සාමාන්‍ය (කාටත් සිද්ද වෙන) දෙයක්‍.

They write five articles in a normal week.

සාමාන්‍ය සතියක (වෙන සතිවලින් කිසි වෙනසක් නැති සතියක) ඔවුන් ලිපි පහක් ලියනවා.

You won't be able to lead your normal life if you go there.

ඔයා එහෙ ගියොත් ඔයාට ඔයාගෙ සාමාන්‍ය ජීවිතේ (පුරුදු වෙලා ඉන්න ජීවිතේ) ගත කරන්න බැරි වෙනවා.

Her temperature is normal.

එයාගෙ (ශ‍රීර) උෂ්ණත්වය සාමාන්‍යයි. (එයා‍ට උණ නැහැ. ඇඟ සීතල වෙලත් නැහැ.)

The situation is back to normal now.

දැන් තත්වෙ සාමාන්‍ය අතට (හුරු පුරුදු විදිහට) පත් වෙලා.

Is this feeling normal?

මේ හැඟීම සාමාන්‍යද? (ඒක අනිත් අයටත් එනවද?)

People who steal are not normal.

හොරකම් කරන අය සාමාන්‍ය නැහැ. (බහුතරය එහෙම නැහැ.)

2. Ordinary

මේ පදය යෙදෙන බොහෝ තැන්වල “විශේෂත්වයක් නැති” අර්ථය ගැබ් වෙනවා.

They are an ordinary family.

ඔවුන් සාමාන්‍ය පවුලක්. (ඒ පවුලෙ කියන්න විශේෂයක් නැහැ.)

It was just an ordinary day.

ඒක සාමාන්‍ය (කිසි විශේෂයක් නැති) දවසක්. 

Ordinary people like you and me can't afford it.

ඔයාල අපි වගේ සාමාන්‍ය (අමුතු සල්ලියක් නැති) මිනිස්සුන්ට ඒක ගන්න සල්ලි නැහැ.

No ordinary man can do it. But this guy is no ordinary man.

සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න බැහැ. ඒත් මේ මනුස්සයා සාමාන්‍ය කෙනෙක් නෙමේ. (එයා විශේෂ දක්ෂකම් ඇති කෙනෙක්.)

3. General

“සියල්ලට/බහුතරයට අදාළ”, “අදාළ බහුතරයක් දේ සම්බන්ධ” වැනි අර්ථවල මෙය යෙදෙනවා.

Her general knowledge is good.

එයාගෙ සාමාන්‍ය දැනුම (සියළු කරුණු ගැන) හොඳයි.

There was a general feeling of sadness.

සාමාන්‍යයෙන් දුක්බර හැඟීමක් තිබුනා. (හැමෝම දුකෙන් හිටියා.)

There was a general belief that ghosts existed.

හොල්මන් තියනවා කියලා සාමාන්‍ය විශ්වාසහක් තිබුනා. (හුඟක් අය විශ්වාස කළා.)

This won't interest the general public.

මේක ගැන සාමාන්‍ය ජනතාවගෙ (බහුතර ජනතාවගෙ) උනන්දුවක් ඇති වෙන එකක් නැහැ.

They gave us a general description of the man.

ඔවුන් අපට මිනිහගෙ සාමාන්‍ය විස්තරයක් (පරිපූර්ණ එකක් නොවුණත්, එයාගෙ ගොඩක් දේ සම්බන්ධ) දුන්නා.

මීට අමතරව “ප්‍රධාන” යන අර්ථයෙනුත් සමහර තැන්වල general ‍භාවිතා වෙනවා.

General Manager සාමාන්‍යාධිකාරි (සියල්ලන් පාහේ අද පාවිච්චි කරන මේ සිංහල යෙදුම general හි අනිත් අර්ථයන් නිසා කළ වැරදි පරිවර්ථනයක්. මෙහි “ප්‍රධාන” මිස “සාමාන්‍ය” අර්ථයක් නැහැ.)

Attorney General නීතිපතිතුමා

4. Average

මෙය භාවිතා වෙන්නේ “බහුතරයට අයිති”, “මැද අගයක් ගන්නා” ආදී අවස්ථාවලයි.

This is not what the average Sri Lankan expects.

මේක සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් (ශ්‍රී ලාංකිකයන් බහුතරයක් නියෝජනය කරන්නාසේ ගත හැකි කෙනෙක්) බලාපොරොත්තු වෙන දෙයක් නෙමේ.

The average height of the group is 5’7’’ (five feet, seven inches).

කණ්ඩායමේ සාමාන්‍ය උස අඩී 5 අඟල් 7 යි (කණ්ඩායමේ සියල්ලන්ගේ උස එකතු කර, සාමාජිකයන් ගණනෙන් බෙදූ විට ලැබෙන අගය). 

We have to find the average of these prices. 

අපි මේ මිළ ගනන්වල සාමාන්‍යය හොයන්න ඕනැ. (ඉහත උදාහරණයේ මෙන්)

සිංහලෙන් බොහෝ විට එකම පදය යෙදුවත්, ඉංග්‍රීසියේ ඉහත වචන භාවිතා වෙන්නේ   එකිනෙකට තරමක් වෙනස් ආකාරවලින්. මේ ආකාරයෙන් උදාහරණ තුළින් ඒවා දෙස බැලීමෙන් ඒවා යෙදෙන ආකාරය ඉගෙනීම‍ට හැකි වෙනවා.

14 comments:

  1. This in not what an average Sri Lankan expects

    Or

    This in not what average Sri Lankans expect.

    ReplyDelete
  2. No ordinary man can do it but this guy is no ordinary man.

    අමනාප වෙන්න එපා, දානවාට. මමත් තවම ඉගෙන ගන්නවා. ලංකාවෙදි දන්නවා කියලා හිතන් හිටියට, පිටරටකට ආවහමයි වෙනස තේරෙන්නෙ. ඔයා කරන්නේ ඉතා හොද වැඩක්.අපි අපේ වැරදි හදාගන්න ඕනා නිසයි මෙහෙම දාන්නෙ.වැරදි නම් කියන්න.

    ReplyDelete
  3. ස්තුතියි ලිපියට, මම ගොඩක් වෙලාවට normal තමයි පාවිච්චි කරේ, දැන් දන්නව කොතෙන්ට මොකක්ද දාන්න ඕන කියල.
    දිගටම ලියන්න !!!

    ReplyDelete
  4. @.::පිස්සා::, ~බිன்ku~, Thilina
    ප්‍රතිචාරවලට ස්තුතියි.

    ReplyDelete
  5. @Anonymous

    ඔබත් මම මෙන් විවිධ වාක්‍ය රටා‍ ගැන උනන්දුවක් දක්වන්නෙක් බව පෙනෙනවා. ඔබගේ වාක්‍ය රටා තුනම භාවිතයේ පවතිනවා.

    එහි තුන්වන වාක්‍යයේදී සියුම් වෙනසක් තිබෙනවා. එහි "ඒත් මේ මනුස්සයා සාමාන්‍ය කෙනෙක් නෙමේ" යන කරුණ ඊට පළමුව ඉදිරිපත් කළ කරුණෙන් (එනම් "සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න බැහැ" යන්නෙන්) තරමක් වෙන්කර, තරමක වැඩි අවධාරණයකින් පැවසීමට අවශ්‍ය නම් ඒ දෙක අතර කොමාවක් යෙදිය හැකියි.
    No ordinary man can do it, but this guy is no ordinary man.
    එ‍සේ නැතිනම් මම කලින් කළා වගේ වාක්‍ය දෙකකට වෙන් කිරීමෙන් එය වඩාත් වෙන් කර අවධාරණය කළ යැකියි. (කතාබහේදී අපි මේ සඳහා කරුණු දෙක අතර මඳකට නිහඬ වී දෙවන කරුණ වඩා බර කර (stress) කියන‍වා.)

    ReplyDelete
  6. @Saranga Rathnayake

    මල්ලි, අපේ මව් භාෂාවෙ මේ හැම එකටම සාමාන්‍යයෙන්(generally, බොහෝ විට) එකම වචනයක් - ඒ කියන්නෙ "සාමාන්‍ය" - පාවිච්චි වෙන නිසාත්, normal වචනය අප‍ට අනික්වාට වඩා හුරු පුරුදු නිසාත් තමයි එහෙම වෙන්නෙ. ප්‍රයෝජනවත් දෙයක් කියන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  7. හොද ලිපි පෙලක් ඉංග්‍රිසි ඉගෙන ගන්න පංති 4 5 ට ගියා a,an ඉගෙන ගත්තෙ මේ බ්ලොග් ඵකෙන් හරියට තාර්කිව අයියාගේ පංතියකට ආවනම් මම අද කඩු මරැවෙක්....

    ReplyDelete
  8. @Anonymous

    මේ ලිපි පෙළින් ඔබ වැනි අය ප්‍රයෝජනයක් ගන්නවා දැකීම සතුටක්.

    ReplyDelete
  9. නමක් සඳහන් නොකර (anonymously) ඉදිරිපත් කරලා තියන ප්‍රතිචාර ඔක්කොම එක් කෙනෙක්ගෙන්ද, වෙන් වෙන් අයගෙන්ද කියලා හොයාගන්න අමාරු නිසා අන්වර්ථ නාමයකින්වත් (nickname) ප්‍රතිචාර දැක්වුවොත් වඩා හොඳයි.

    ReplyDelete
  10. මේ කාරනය මීට වඩා ගැබුරට යන කාරනයක් නේද? සමහර වෙලාට ඉංගිරිසියෙන් අදහස් තියූනු ලෙස ප්‍රකාශ කීරීම සිංහලට වඩා පහසුයී කියලා හිතෙන වෙලාවල් තියෙනවා. උදාහරනයක් විදිහට Negotiation කියන්නේ ශිශ්ටාචාරයක මූලික අංගයක්. නමුත් මට තවමත් මේකට හරියටම ගැලපෙන සිංහල කටට පහසු වචනයක් හිතාගන්න බැහැනොවැ. ශබ්ද කෝශයේ තියන අලුත්ම අලුත් පෝරනුවෙන් බාපු ගමන් වචන කටට පහසු නැහැ. මගේ සිංහල බැරි කම වෙන්න පුලුවන්. හැබැයී පහුගිය වන්ගියේ අපිට කියන්න උනෙත් සාම සාකච්චා කියලා නොවැ. ඔහේ කියාපු Normal, Ordinary, General or Average කියන වචන ටිකම මේකට හොදම උදාහරනයක්.

    ReplyDelete
  11. @Sam

    සමහරුන් කියන ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙ අද ව්ව්ධ වචන මිලියනයක් පමණ තිබෙනවා (සංසන්දනාත්මකව බලන විට ජර්මන් බසේ වදන් මාලාව 185,000 ට පමණද, පුංශ බස 100,000 ට වඩා අඩු ගණනකටද සීමා වෙනවාලු). සාමාන්‍ය උගත්කමක් ඇති පුද්ගලයෙක් එයින් 20,000 පමණ දන්නා බව කියවෙනවා. (http://hypertextbook.com/facts/2001/JohnnyLing.shtml).

    ලෝකය පුරා පැතිරීම වගේම, අනෙකුත් භාෂාවන්ගෙන් වචන උකහා ගැනීමට මැලි නොවන ගුණය ඉංග්‍රීසියේ මේ සරුබව‍ට දායක වුණා.

    සිංහල භාෂාවේ ඇති මුළු වචන ගණන නම් මම නොදන්නා නමුත් එය ඉංග්‍රීසියට කිට්ටු නොවන බවට මම හිතන්නෙ සැකයක් නැහැ.

    ඉංග්‍රීසියෙන් කියූ යමක් වෙනත් භාෂාවකට හැරවීමේදී අපහසුතා ඇතිවීම මේ නිසා ස්වාභාවිකයි. නමුත් මලලසේකර ශබ්ද කෝෂය සම්පාදනය කළ ගුණපාල මලලසේකර ශූරීන් පවසා ඇත්තේ ඉංග්‍රීසියෙන් කියූ ඕනෑම දෙයක් සිංහලෙන්ද සාර්ථක‍ව කිව හැකි බව තම ශබ්ද කෝෂය පිළියෙල කිරීමේදී තමන්ට හොඳින් අවබෝධ වූ බවයි.

    මම හිතන්නෙ මෙතනදි වැදගත් වෙන්නෙ ප්‍රකාශ කළ යුතූ සමස්ත අදහස අනිත් භාෂාවට හැරවීමයි. එසේ නැතිව සෑම වචනයකටම සමාන පදයක් අනිත් භාෂාවෙන් සෙවීම ඵල රහිතයි. යෙදෙන සන්දර්භය (context) අනුව negotiation වැනි වචන සඳහා එතැනට ගැලපෙන විවධ පද (ඇතැම් ව්ට වචන කීපයකින් සැදුන) යොදාගැනීමට මෙහිදී සිදු වෙන්න පුලුවන්.

    සංස්කෘතික වෙනස්කම් ආදිය නිසා සිංහල පාඨකයා‍ට එතරම් ගෝචර නොවන දේ සම්බන්ධ සමහර අවස්ථාවලදී ඒ සඳහා වැඩ් ව්ස්තරයක් ඉදිරිපත් කිරීමට සිදු වෙන්නත් හැකියි. එසේ නැතිව පඬිවරුන්ට පමණක් තේරෙන අළුත් යෙදුම් සෙවීම ඔබ කියන්නාක්මෙන් නිරර්ථකයි කියා මමත් හිතනවා.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails