Sunday, January 17, 2010

I Just Came - නිකම් ආවා?


සේයාරුවට ස්තුතිය: MzPromise

ඉංග්‍රීසි භාෂාවෙ බොහොම බහුලව ‍පාවිච්චි වෙන වචනයක් තමයි “just”. නමුත් යෙදෙන තැන (context) අනුව එහි අර්ථය යම් යම් ආකාරයෙන් වෙනස් වෙනවා. මේවා හුඟක් දුරට ඉංග්‍රීසි භාවිතයෙන් හුරුවුණත්, අපි නිකමට බලමු මේ පදය යෙදෙන අවස්ථා කීපයක් දිහා  - Let’s just have a look at a few instances where this term is used.

හරි, එක උදාහරණයක් දැන් මෙතනම තියෙනවනේ. මෙතන මෙහි අන්තර්ගත අර්ථය “එයින් පලක් වේදැයි නොදන්නා නමුත්” වැන්නක්. 

1. එයින් පලක් වේදැයි නොදන්නා නමුත්, ප්‍රතිඵල / වාසි අවාසි ගැන සිතමින් නොසිට, පැකිලෙමින් නොසිට 

Just come here, will you? කිව්වහම ‍අහල පොඩ්ඩක් මෙහෙ එනවද?

Just listen to me first. මම කියනදේ මුලින් අහල ඉන්න.

Just shut up! කට වහගන්න! (වෙන කතා එපා.)

Why don’t you just take the test and see. ඇයි පරීක්ෂණය (test එක) කරල බලන්නෙ නැත්තෙ.

I just decided to apply for that job. ඕනැ එකක් වෙන්න ඒ රස්සාවට ඉල්ලුම් කරන්න මම තීරණය කළා.

I just asked, never mind. (අනිත් කෙනා ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙන්න අකමැති වගේ නම්) කමක් නැහැ, මම නිකමට ඇහුවෙ.

Just help yourselves. කෑම බෙදාගෙන කන්න (ලැජ්ජ වෙන්න එපා).

Could you just help me a little with this? මේකට මට පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද?

2. එපමණයි (වෙන මුකුත් නෙමෙයි), එපමණක්, එපමණින්

Just a minute, please. මට විනාඩියක් දෙන්න.

It's just a dream. ඒක හීනයක් විතරයි.

He is just an ordinary guy. එයා නිකම්ම සාමාන්‍ය මිනිහෙක්.

I just want some more money. මට ඕනැ තව සල්ලි ටිකක් විතරයි. 

You just need to take one look to see the difference. එක පාරයි බලන්න ඕනැ වෙනස දකින්න.

Just you wait! / You just wait! උඹ හිටපන් (මම අල්ලගනම්)! - අනෙකාට ඇත්තේ බලා ඉන්න පමණයි.  

This just isn’t enough. මේක නම් මදි. (මෙපමණක් නම් මදි.)

This computer is just not fast enough. මේ කම්පියුටරේ වේගෙ නම් මදි. (මෙපමණක වේගය නම් මදි.)

This car is not just slow, it’s ugly too. මේ කාරෙකේ වේගෙ මදි විතරක් නෙමේ, මේක කැතයිත්.

Just because he is our boss doesn’t mean he can throw his weight around like that. එයා අපේ ලොක්ක උන පලියට එහෙම ගෑස් පෙන්නන්න බැහැ.

3. ඒ සඳහාම, වෙනත් පරමාර්ථ / යටි අදහස් නැතිව

We just came to see you guys. අපි ආවෙ ඔය ගොල්ලන්ව බලන්නමයි.

I don’t think that they came all the way from Kandy just to see us. මම හිතන්නෙ නැහැ ඒ ගොල්ලො නුවර ඉඳලම ආවෙ අපිව බලන්නම කියල.

They just wanted to know when we would arrive. ඒ ගොල්ලන්ට ඕනැ උනේ අපි එහෙ එන වෙලාව දැන ගන්න විතරයි.


They did it just for fun. ඒ අය ඒක නිකම් විනෝදෙට කෙරුවෙ.

I just called to let you know about this. මම කතා කෙරුවෙ ඔයාට මේ ගැන කියන්නමයි.


My parents were just there for me. මගෙ අම්මයි තාත්තයි ඕනැ වෙලාවක මට උදව්වට හිටියා.

I am just interested, that’s all. මම නිකම් ඒ ගැන දැන ගන්න කැමතියි, එච්චරයි.

I am just looking. (සාප්පුවකදී) මට ටිකක් බලන්න විතරයි ඕනැ.

4. කිසි හේතුවක් නැතිව, හේතුවක් නැති වුණත්

We can’t just give up the project. අපට මේ ව්‍යාපෘතිය නිකම්ම නවත්වල දාන්න බැහැ.

I can’t just tell him to leave. මට එයාට නිකම්ම යන්න කියන්න බැහැ.

I just don’t like that book. මට ඒ පොත අල්ලන්නෙ නැහැ. (විශේෂ හේතුවක් නැතත් මම කැමති නැහැ.)

I just want a car. මට කාරෙකක‍ට හරි ආසයි (විශේෂ අවශ්‍යතාවයක් නැති උනත්). 

Call her auntie and see; she might just be there. එයාගෙ නැන්දට කතා කරල බලන්න, එයා එහෙ ඉන්න පුලුවන් (එහෙ ඉන්න නිකම් චාන්ස් එකක් තියනවා).

5. හරියටම, එවෙලෙම, ඒකම, එයාම, එතරම්ම

This is just what I was looking for. මේක තමයි මම හොය හොයම හිටියෙ.

She is just the one for you. එයා තමයි ඔයාටම ගැලපෙන කෙනා.

This is just my luck. මගෙ ලක් එකේ හැටි තමා (මගෙ අවාසනාව).

I was just going to call him when he came. මම එයාට කතා කරන්න හදනකොටම එයා ආවා.

My friends came just as I was leaving home. මම ගෙදරින් පිටත් වෙනකොටම මගෙ යාළුවො ආවා.

Her work is just as good as her sister’s. එයාගෙ වැඩ එයාගෙ අක්කගෙ වැඩ තරමටම හොඳයි.

6. සුළු ප්‍රමාණයකින්, යන්තම්

They finished cooking just before 1 o’clock.  එක වෙන්න පොඩ්ඩකට කලින් ඒ අය උයල ඉවර කළා. 

We started our work just after they left. ඒ අය ගිය ගමන් අපි වැඩ පටන් ගත්තා.

She came just in time. එයා යන්තම් වෙලාවට කලින් ආවා.*

He just managed to pass the exam. එයාට යන්තම් විභාගෙ පාස්වෙන්න පුලුවන් උනා.

I just caught the train. මම යන්තම් කෝච්චිය අල්ල ගත්තා.

We just avoided getting caught. අපි යන්තම‍ට අහුනොවී බේරුනා.

He just escaped the rain. එයා යන්තම් වැස්සෙන් බේරුනා.

* in time කල් ඇතිව, පරක්කු නැතිව; on time නියමිත වෙලාවට
He came just in time for the train; the train came right on time. එයා කෝච්චිය එන්න ඔන්න මෙන්න කියල ආවෙ, කෝච්චිය හරියට වෙලාවට ආවා.

7. ඉතා සුළු වෙලාවකට කලින්

just cooked මේ දැන් උයපු, just married මේ දැන් බැඳපු 

The school has just ended.[බොහෝ විට බ්‍රිතාන්‍ය]  – The school just ended.[බොහෝ විට ඇමරිකානු] ඉස්කොලෙ මේ දැන් ඇරිලා.

She was just telling me about it. එයා මේ දැන් මට ඒ ගැන කිය කිය හිටියේ. 

When we went to see her, she had just returned home. අපි එයාව හම්බවෙන්න යනකොට එයා ගෙදර ආව විතරයි.

8. ඇත්තෙන්ම, හොඳටම

The get-together was just great. සුහද හමුව හොඳටම හොඳයි.

The food was just delicious. කෑම ඇත්තෙන්ම රස‍ට තිබුනා.

එතකොට just now” පිළිබඳව අපි Today Morning or This Morning ලිපියේ බැලුවනේ.

***හැබැයි “just” වල වෙනනම තේරුමකුත් තියනවා “සාධාරණ” කියලා.
a just ruler සාධාරණ පාලකයෙක්, a just society සාධාරණ සමාජයක්

යෙදෙන ආකාරය අනුව “just” පදයේ අර්ථයේ ඇති වෙනස්කම් කීපයක් ඒ.

කෙසේ වෙතත් අපේ සමහර උදවිය “ඇයි ආවෙ?” කියන ප්‍රශ්නයට “නිකම් ආවා” කියලා මුලින් උත්තර දෙනවනේ, ආව ගමනට හේතුවක් තිබුනත්. පස්සේ ටිකක් නිවී හැනහිල්ලෙ තමයි කාරණේට බහින්නේ.

ඉතින් ඉංග්‍රීසි කතා කරද්දිත් මේ පුරුද්දට I just came කියන අය ඉන්නවා. අපි අපි අතරෙ මේක තේරුම් ගැනුනත් සුද්දෙක් නම් මේක ඇහුවම හිතා ගන්නෙ I just came to see you (මම ඔයාව බලන්නමයි ආවෙ) කිව්ව හැටියටයි. පස්සෙ නියම කාරණය ගැන කතා කරද්දි හිතන්න පුලුවන් කලින් තමන්ව රවට්ටන්න හැදුවා කියලත්.

සංස්කෘතික වෙනස්කම් නිසා ඇති විය හැකි මෙවැනි දුරවබෝධ ගැනත් අපි දැනුවත් වෙන්න ඕනැ. බටහිර ජාතීන් සමග කටයුතු කරද්දි ඉක්මනින්, එහෙත් ආචාරශීලීව අදාළ මාතෘකාවට අවතීර්ණ වීම වඩා හොඳයි.

11 comments:

  1. සෑහෙන්න වටිනා ලිපියක්.

    ReplyDelete
  2. හැමදාම වගේ අදත් අපට ප්‍රයෝජනවත් දෙයක් දුන්නාට තුති..I just read this...

    ReplyDelete
  3. හැමදාම වගේ අදත් බැලුවා! ස්තුතියි

    ReplyDelete
  4. මමත් හැමදාම වගේ අදත් කියෙව්ව...

    ReplyDelete
  5. ස්තුතියි ලිපියට!
    මම මේ ලිපි මට කියවන්නට මුද්‍රණ කරලා ගත්තට අමනාපයක් නෑනේ???

    කොටින්ම සුද්දවත් කියලා නොදන්න පාඩම් නෙව ;)

    ReplyDelete
  6. @Anonymous, ධනංජය, LG, indik
    ස්තුතියි.

    ReplyDelete
  7. @~බිன்ku~
    පහසු විදිහකට ඔයාගෙ පාවිච්චියට ගත්තට ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
  8. This note was just great :)

    ReplyDelete
  9. @Anonymous
    Thanks for your comment; I've just seen it.

    ReplyDelete
  10. I had been so confuced about 'just'
    because i just didn't know hot to use.
    I learned a lot of things after reading this

    thank you very much!
    I'm looking forward to read your next new post.
    -Nuwan

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails